Saturday, August 29, 2009

ඊවා ලූනා සහ අනුර

ඊවා ලූනා සහ අනුර


මරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද?

නැත. කවදාවත් අවශ්‍ය නැත.

හොඳයි මේ කතාව අහන්න.

අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දි‍යට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය කකුලක් රොට්ටි වෙච්ච සුගන්ධිකා කවුරැත් පිට වෙලා ගියාට පස්සේ හෙමින් හෙමින් තාත්තා බයිසිකලෙන් එනතුරැ පංතියේ ළමයි ශ්‍රමදානෙන් හදාපු පොල් අතු පැලළි බස් හෝල්ට් එකට පියනගමින් පාරේ ඈත බලාගෙන ඉද්දි. සුගත් සර් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ ආර්ථික විද්‍යාව උගන්වන්න, ඒත් වැඩිපුරම ළමයි ආකර්ෂණය වුනේ සර්ගේ කලිසම් ෂර්ට් වලට ගැලපෙන විදියටම පාවිච්චි කරපු කාර් නිසා සහ සර්ගේ බිරිඳගේ වෛවාරණ අඩ නිරැවත් යැයි කොල්ලන්ට තේරැණ විලාසිතා එක්ක පංතියෙ ඉවර වෙද්දී ෂොපිං යන්න එයාගේ වැඩකාරි එක්ක සර් එලියට එනකම් පංතිය දොරකඩට වෙලා කොක්හඩ ලලා බලං ඉන්න එක බලන්නත් එක්කයි. කෙල්ලො සර් ගේ වාහන වලට ආකර්ෂණය වෙද්දි කොල්ලෝ සේරම, සර්ගෙ පංතියකදිම සර්ට මුණ ගැහුණු ශිෂ්‍යාවක වූ, කාමුක දෙවඟනට- ඊළඟට සර්ගේ නීත්‍යානුකූල බිරිය බවට පත්වූ නාඹර ඈ රෑ සිරියත් -අර්ධ මමියක් සේ දිස්වන සර්ගේ රෑප අසෝබාවත් හෙයින් කිසියම් මොහොතක මේ පංතිවල ඉගෙන ගන්නට එන කජුකිරි කොල්ලෙකුට ඈ පෙම් කරන්නට පටන් ගනු ඇතැයි යන සැකයෙන් මුසපත් වෙති. ඇය දැක ගැනීමේ සාංකාවෙන් පංති ඇරෙන තුරැ සිටියත් කිසි දිනෙක ඇය පැමිණියේ කිසියම් රටාවකට නොවීම කොල්ලන් අතර රහසිගත ඔට්ටු ක්‍රීඩාවකට මග පෑදුවා. සුගත් සර්ගේ පංතියට අනුර එකතු වුනේ කවද හරි සර්ගේ පන්තියේ ටික්කා රස්සාව වත් ලබා ගන්න හිතාගෙන වුනත් පුළුවන් තරම් දවසක් ටික්කන්ගේ පස්සපාරේ වැටිලා කාඩ් නොගෙන පංතියට රිංග ගන්නට අනුර බො‍හෝ මාසවල දී සමත් වූයෙන් ටික්කා රස්සාවට අදාල තමන් වැනිම තවත් අනාගතේ බිහිවිය හැකි එවුන් ගැන මතක් වීමෙන් ඒ රස්සාවේ අමාරැකම ද වටහා ගනිමිනි. සුගත් සර්ට ටිකට් මාර්ක් කරන්න ටික්කෝ හත්දෙනෙක් හිටියා වුනාට එවුන් එකෙක්වත් සුදුසුකමක් තිබ්බ නම් ඒ ඒ වැඩේට අදාලව නම් නොවන වග අනුර ගොඩක් කල් ඉඳලා නිරීක්ෂණයෙන් පසු උන් වැඩියෙන් දක්ෂ වුනේ කෙල්ලන්ගේ පස්සවල් දිහා බලන්නට යැයි ලොකු අකුරෙන් ටික්කන්ගේ මුර කූඩුවේ චෝක් කෑල්ලකින් ලියා තබන හැටි අනුර හැමදාම හීනෙන් දැක්කා. ඒ අයට අලුත්ම මෝටර් සයිකල් තිබ්බා. ඒවායේ නැගලා ටික්කෝ පන්ති පටන් අරං පැය බාගෙකින් සර්ගේ කෑම බීම සහ අනෙකුත් පන්තියේ ළමයින්‍ට බෙදන ටියුට් මිටි- ෆයිල් මිටි අරං එන්න කඩිමුඩියේ යන හැටි අනුර පංතියේ ලෑලි අස්සෙන් බලං හිටියේ වාඩි වෙන තැන හරියටම බංකු පේලියේ කෙළවරක වූ නිසා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවට වඩා ආර්ථික විද්‍යාව උගන්වන ගුරැතුමාගේ වැටුපට වැඩ කරන ටික්කෙක් වීම උචිත බව අනුර කල්තියාම තීරණය කරල තිබ්බා. කොහොමත් වහල දාලා තිබ්බ විශ්ව විද්‍යාලවලට ගියා යැයි කියා මොන තරම් කාලයක් රස්තියාදු වෙවී ඉන්නට සිදුවන්නේ දැයි කනින් කොනින් නිතරම අසන්නට ලැබුනු නිසාවෙන් ඒ ගැන අනුරට හාංකවිසියක වුවමනාවක් නොතිබ්බේය.

අනුර ගෙදර ආ ගමන්ම කලේ නවත්තපු තැනින් නවකතාව කියවන්න ගත්ත එක, ඒ මොකද වෙන කිසිම දෙයක් කරන්න හිත නොදුන්න නිසා සහ නවකතාවේ තිස් හත වැනි පිටුවෙන් පස්සේ විස්තර වුන සෑම සිදුවීමක්ම දෑස් අභියස මැවී පෙනෙන්නට පටන් ගැන්ම නිසා ගෙදර වෙන කිසිම වැඩක යෙදෙන්න ගිය සෑම වෙලාවකම අම්මාගෙන් බැනුම් අහන්නට සිදු වුන නිසා. එදා රාත්‍රියේ කතාව නැවතුන තැනින් ...පටන් ගත්තා.

"පිඟන් මැටියෙන් කළ පෙට්ටි පුළුන් පිරැවූ සත්තු බෝනික්කන් සහ ඇගේ විවේක කාලයේ දී ඈ එම්බ්‍රොයිඩර් කළ කොට්ට විනෝදාංශයක් වශයෙන් ඈ එකතු කළාය. ඇගේ මුළුතැන් ගෙය නා නා ප්‍රකාර ආම්පන්න ප්‍රදර්ශනය කළ ප්‍රදර්ශනාගාරයක් බඳු විය‍. ඒ හැම ආම්පන්නයක්ම ඈ පාවිච්චියට ගත්තාය. ඈ මස් මාංසයෙන් වැළකුණත් හාවකු සේ කෑවේ ස්වල්පයක් වුවත් ඉවුම් පිහුම් කිරීම ඈට ආස්වාදයක් විය. සත්ත්ව මසක් ඈ සැලකුවේ මාරාන්තික වස විසක් සේය. එය මහා සෘෂිවරයා ගෙන් ඈ උගත් බො‍හෝ පාඩම් වලින් එකකි. මේ මහා සෘෂිවරයා ගේ ඡායාරෑපය ඇගේ විසිත්ත කාම‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ඇගේ ජීවන මඟ වූණේ ඔහුගේ දර්ශනය යි. ගණිතය මාර්ගයෙන් දේවාලෝකය ලැබූ සාන්තුවරයකු වූ ඔහු සිනාසෙන මුත්තකු බඳු විය. විශ්වය -ඊටත් වඩා ජීවින් -පාලනය කෙරැණෙ ඉලක්කම් වල බලයෙන් බව පයිතගරස් ගේ සිට අද දක්වා ඇති කරගත් සක්වළ ඥානයේ ධර්මතාවන් ගෙන් බව ඔහු පෙන්නුම් ‍කළේය. කෙසේ වෙතත් අනාගත වේදය හැදෑරීමට පළමු වරට අංක විද්‍යාව සංඛ්‍යානය භාවිත කළේ ඔහුය. "

අනුර පොත වසා දමා හිස ඔසොවා බලත්ම මිමී ඔහු අසලින් වූ ඇඳේ වාඩි වී බලා සිටියාය. දේව මායාවක් දැයි මොහොතකට සිතෙන තරමට ඇය රෑමත්ය. කාමරයේ අන්ධකාරය තුල මේසය මත වූ කඩදහි කෝප්පයකින් ආලෝකය මන්දනය කර ආවරණය කළ ඉටිපන්දම් හතලිහේ මේස ලාම්පුව හැර වෙන යම් ආලෝකයක් නොවූයෙන් මේ ඉන්නා ගැහැණිය මායාවක් ද හොල්මනක් ද සැබෑවක් ද යනුවෙන් ස්ථිරව බලා ගැනීමට ප්‍රමාණවත් නොවූවෙන්, තැති ගැන්මෙන් ද සිය පිරිමිකම හේතුවෙන් හඩා දොඩා යටි ගිරියෙන් කෑ ගසා හූ කියා මුළු ගෙදර දෙවනත් කරන්නට ද නොහැකියෙන්, අනුර ඇසිපිල්ලමක් නොසොල්වා මිමී දෙසම බලා ඉන්නට විය.

"ඔයා ඇයි මාව ඊවාගෙන් වෙන් කළේ? "

මිමී ඉතාම පහත් ස්වරයෙන් තූෂ්ණිම්භූතව සිටින අනුරගෙන් ඇසුවාය. අනුරට මේ කිසිවක් වටහා ගැනීමේ පියවි සිහියක් නොවුනි. අම්මා රාත්‍රී පාඩම් කරන වේලාවට සාදාගෙන එන තේ කෝප්පය මේ දැන් කොයි වේලේ හෝ කාමරයට රැගෙන එනු ඇති වග ඔහුට මතක් වූයෙන් මේ සුරෑපි නළඟන දැකුමෙන් විය හැකි අලකලංචිය එකවරම සිහියට ආවෙන් මිමී යනු තව දුරටත් පොත ඇතුලේ චරිතයක් නොවන වග සාක්ෂාත් කරගත්තේය.

"මම ඔයා‍ව කාගෙන්වත් වෙන් කළේ නැහැ. දැං ආයෙම පොත ඇතුලට යන්නේ කොහොම ද? මෙහෙම හිටියොත් අපේ අම්මා දකීවි. මහ විනාසයක් වෙනවා සත්තයි... ඔයා‍ ඇත්තටම කතා පොතෙන් එලියට ආවේ කොහොම ද? මම කියව කියවා හිටියේ ඔයා ගැන තමයි... ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම පොතෙන් සැබෑලෝකයට ඔයා‍ ඒවි කියලා. හපොයි! මම කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලත් නැහැ... මේ දැනුත් මම ඉන්නේ පියවි සිහියෙ හොඳ එකෙන්... මට කියන්න ඔයා මායාවක් ද? නැත්නම් හොල්මනක් ද?"

"මම මායාවක් වත් හොල්මනක් වත් නොවෙයි. ඔයා දන්නවනේ මහා සෘෂිවරයා කියල තිබ්බ විශ්ව රහස් විදියට ඕනෑම ‍පොතක් කිසියම් නිශ්චිත වාර ගණනක් කියැවුනාට පස්සේ එන ඊළඟ කියවීමේ දි මේ චරිත වලට සැබෑලෝකයට එන්නට වරම් ලැබෙනවා. ඒක විශ්ව රහසක්...ඒක දන්නේ මහා සෘෂි විතරයි... "

මිමී දෑස් පුංචි කරගෙන දිගටම කතා කරගෙන ගියා. ඇය පවසන ආකාරයට සෑම පොතකම පළමු පරිච්ඡේදයේ පළමු වැකියේ පළමු වචන හත තුල ඇති විශ්ව රටාවට අදාල සංඛ්‍යා විශේෂයක් නිවැරදිව හඳුනා ගැනීමෙන් එම සංඛ්‍යාවට සමාන වාර ගණනක් පොත කියවීමට ලක් වූ විට එම පොතේ චරිත වලට සැබෑ ලෙසම ජීවය ලබන බවත් ඒ ජීවය ලද චරිත අත්‍යවශ්‍යයෙන්ම එහි කතුවරයාගේ සිතේ මැවුන ආකාරයේම අයවලුන් බව ද ඇය දීර්ඝ ලෙස පැහැදිලි කළා.

"හොඳයි ...මට නම් මේක විශ්වාස කරන්න හරිම අමාරැයි...ඒත් කවුද මේ පොත කියවන වාර ගණන සටහන් කරන් ඉන්නේ ...හරියට උඩ ඉන්න දෙයියෝ අපි කරන කියන දේවල් බලං ඉන්නවට අමතරව කවුරැන් හෝ ලියා පළ කළ පොත් කී වාරයක් ලෝකයේ වෙනත් අය කියවනව ද කියලා වාර්තා පවා තියා ගන්නව ද? මට නම් හිතා ගන්න බැහැ...මහ විශාල දත්ත ගබඩාවක් ඕන වෙනවා ඒ තරම් ‍තොරතුරැ එක් රැස් කරන්න... "

මිමී ඊට පිළිතුරැ දීම වෙනුවට අම්මා පැමිණියොත් පළා යන්නේ කොහෙටදැයි විමසන්නට විය. එමෙන්ම තමා වැනි වූ ලිංගවිපරිතයන් හඳුනා ගැනීමට පරිපූර්ණ ගැහැ‍ණියකට මහ වෙලාවක් ගත නොවන වගත් ඈ අනුරට අවධාරණය කළා.

"කලබල වෙන්න එපා. ඔයා දැං ඔය පොත් කබඩ් එක පිටිපස්සට වෙලා ඉන්න. හෙට උදෙන්ම අම්මා වැඩට ගියාට පස්සේ මා එක්කල එලියට යමු... ඒක නොවෙයි දැං ඔයා විතර ද ඉන්නේ ? මෙහෙම සැබෑ‍ ලෝකයට ඇවිත් මොනවා කරන්න ද සූදානම? ඒ ගැනත් සෘෂිවරයා කියල තියෙනව ද? කතන්දර ප්‍රබන්ධවල ඉන්න අය සැබෑ ලෝකයට ඇවිත් ජීවත් වෙනව ද? එහෙම ආව අය තව ඉන්නව ද? මට හරිම පුදුමයි! "

"මිනිස්සු පොත් ලියන්නේ මොනවට ද? පොත් ලියන්නේ ඒවායේ එන පරමාදර්ශී චරිත හරහා යම් දිනෙක යථාලෝකයෙදි මේ ලෝකය උත්තර මිනිසුන්ගෙන් පුරවාලන්න අවශ්‍ය දිරිය සහ ශක්තිය ගෙනෙන්නයි...දැං මේ කතාවේ ඊවා තමයි ඔයා...ඊළඟ පරිච්ඡේදය කියවන්න ගියොත් ඔයා ගැහැණියක් වෙනවා...ඒ තමයි ඊවා. "

"මොනවා? මම ගැහැණියක් වෙනවා? දෙයියනේ...! මම තවත් මේ කතාව කියවන්නේ නැහැ. මට ඊවා වෙන්න බැහැ. ඇයි දෙයියනේ මම මේකට ගෑවුනේ? මම අහිංසකයෙක් මිමී...මට ලොකු හීන නැහැ...මම හිටියේ කවද හරි ටික්කෙක් වෙන්න. ඊවා කෙනෙක් වෙන්න නොවෙයි...බැරි වුනාද මේ තරම් බලසම්පන්න විශ්ව රහස් ක්‍රමයට අඩු ගානේ ඒ නිවැරදි සංඛ්‍යාව එලඹෙද්දී ඒ කතාව කියවන්න ඊවගේ වයසට ගැලපෙන කෙල්ලක් අතට මේ පොත පත් කරන්න? මට ඊවා වෙන්න නම් මේ කපේදී බැහැ. මම අනුර! සුගත් සර්ගේ අනාගත සුවච කීකරැ ටික්කා- අනුර!! "

"දැං ඔයා පොතේ ඉන්න ඊවා වෙන්නත් අකමැති නම් සේරම කනපිට තමයි සිද්ධ වෙන්නේ...
ඔයා දැනටමත් බෝම්බ පාර්සල් හිරගෙදරට සපයලා ඉවරයි අනුර... ඔයා දැං කොහොමත් පරිස්සම් වෙන්න ඕන. කොයි මොහොතක හරි රාජ්‍ය හමුදා ඇවිත් ඔයාව කුදලං යනවා ඒකාන්තයි!"

"හත්වලාමේ! මම මේ කතාව කියෙව්වා තමයි...ඒත් කවදාවත් මම ඔය දේවල් වලට කිසිම සම්බන්ධයක් නැහැ...ඔයා දන්නව ද මිමී මේක ශ්‍රී ලංකාව...ඔයාගේ මහා මැවුම්කරැ ඉසබෙලාගේ ලතින් අමෙරිකාව නොවෙයි...මෙහේ සිද්ධ වෙනවා විප්ලවයක් වගේ දෙයක්...ඒත් මළ ඉළව්වේ මම ඒකට කිසිම සම්බන්ධයක් නැහැ...මම උසස් පෙළ විභාගයට ලැහැස්ති වෙනවා විතරයි...හැම තැනම මිනිස්සු ඝාතනය වෙනවා... මොන මොන පැත්තෙන්ද කියන්න දන්නේ නැහැ...හැමදාම හැම ගංගාවකම ඉදිමෙච්ච මළකඳන් පාවෙලා යනවා...රාත්තිරිය එලිවෙන්නේ ගම් බිම්වල බිහිසුනු ඝාතන සිද්ධ වෙලා...මිනී ඔලු වැටවල් වල ගහලා...දඩුවම් විඳලා ලෙයින් ජීවි‍තයෙන්... මිනිස්සු ටයර් සෑයවල්වල ගිනි බත් වෙලා ...බලු කපුටන්ට ගිය මළ කඳන් තැන තැන...ඒත් මිමී මම ඔය කිසි දේකට සම්බන්ධ නැහැ...දෙවියනේ දැං මම බෝම්බ ගෙනිහිං දීල ද?"

මිමී දෑස් දල්වන් අනුරගේ කතා අසා සිටියාය. ඇයට අබිසරැලියන්ගේ කැරැල්ල මතක් විය.


"ඔව් ...අනුර ඔයා එක්කෝ කතාවේ ඉතිරි ටික කියවලා රොල්ෆ් කාලේව මුණ ගැහෙන්න... "

"ඒ මොකට ද? එයාට මගේ දෛවය වෙනස් කරන්න පුළුවනි ද? මම දන්නේ රිචඩ් ඩි සොයිසා විතරයි එහෙම මාධ්‍ය වේදියෙකුට...ඒත් ඒ මනුස්සයට ‍මොනව වෙයිද කියල කියන්න දන්නෙත් ඔයාගේ මහා සෘෂිවරයා වගේ කෙනෙකුට විතරයි...මේ තමයි 1988 ... බියකරැම යුගය ලංකාවේ!"

"ඇයි දෛවය වෙනස් කරන්නේ ? ඊවා ලූනා අහුවෙන්නේ නැහැ නේ හමුදා අතට...?? නමුත් ඔයාට පුළුවනි මැරෙන්න ඉස්සර එක වතාවකට හරි ඔයාගේ කතාව කවද හරි මිනිස්සු අතරට ගෙනියන්න රොල්ෆ් කාලේ හරහා...ඒ වගේ මාධ්‍යවේදීයෙක් හරහා"

"මිමී ඔයාට හොඳටම පිස්සු...මිනිහෙක් වෙලා කාලයක් ජීවත් වෙලා ගැහැණියක් වුනාම ඔයාට ඔය වගේ දේවල් හිතෙනවා වෙන්නැති...නමුත් මිමී ...මම කවදාවත් ඊවා ‍ලූනා වෙන්නේ නැහැ නැහැමයි...ඒක ප්‍රබන්ධයක්...අනිත් අතට මේක ලංකාව...මම ඔය බෝම්බ වැඩේට සම්බන්ධ නම් දැං මගේ වළ කපා ගන්න එකයි කරන්න ඕන...ගැලවීමක් නැහැ...මම කො‍හේ කියල හැංගෙන්න ද? මේක පුංචි රටක් මිමී...අනිත් එක සෙල්ලමටවත් මම විප්ලවවාදියෙක් නොවෙයි! "

"ඒත්... මේ බලන්න අනුර...මේ පොතේ පිටු අඩුයි... "

"ඔව්. මේක මම ගත්තේ මහජන පුස්තකාලෙන්...කරන්න දෙයක් නැහැ...පොත් කියවල පිටු ඉරා ගන්න නපුංසකයෝ තවත් එකෙක් ගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැහැ...උන් මේ පිටු ඉරා‍ නොගත්ත නම් මට තව දවසක් හරි ජිවත් වෙන්න තිබ්බා...කමක් නැහැ...පොත්වල පිටු ඉරන නපුංසකයන් බංග වේවා! මම මරණයට සූදානම්!! "

Friday, August 14, 2009

සදාකාලික කන්‍යාව


සදාකාලික කන්‍යාව

"අද මොකද්ද කතාව? "

"අද අපි අනාගතයට යනවා. ආයෙම එනවා හරියටම කාල යන්ත්‍රයේ අත්දැකීමක් ... "

"හ්ම්...හොඳයි හොඳයි...හොල්මන් ගැන නොකිය ඕන දෙයක් "

"මේක හොල්මන් කතාවක් නොවුනට ඒ වගේ තමයි. ඒත් මෙතන මේ කතාවේ ජීවත් වෙන මිනිස්සු‍න්ගෙන් නැවත ඉපදෙන හොල්මන් ස්වරෑප තමයි එකිනෙකා හමුවන්නේ. ඒකයි අපට කාලයන්‍ත්‍රයේ යන්න වෙන්නේ. "

"තේ‍රෙන්න කියන්න මල්ලි. නැත්නම් අපට නින්ද යන්නේ නැහැ. ඕව කල්පනා කරන්න ගත්තොත් මේ කතන්දර කීමේ සම්පූර්ණ පරමාර්ථය නැති වෙනවා...හැන්දෑවේ හතට නිදා ගන්න වෙන්නේ වෙන කොයි ලෝකෙකද මල්ලි? රටේ විප්ලවයක් සිද්ධ වෙනවා නම් ඒ වගේ කැපකිරීමක් අපි කරන්න ඕන. ඔවු ඒක හෙමිහිට සිද්ධ වෙච්චාවේ. අපි මේ ලයිට් නිවං ගත කරන කාලය නාස්ති වෙන එක අඩුම තරමින් අවම කරගන්නයි මේ කතන්දර කියන ‍වැඩේට අපි බහින්නේ... නැද්ද පොඩි? " ලොකු අක්කා බොහොම ගාම්භීර ලෙස කියා ගෙන ගියා.

"ඔව් කලින් නිදා ගත්තට නින්ද යන්නේ නැහැ. පොත් කියවන්න බැහැ ලයිට් නොදා...මේ ඝණ අන්ධකාරය අපි‍ව ගමන් කරවන්නේ චිත්ත පරීක්ෂණාගාරයකට. ඒ කියන්නේ අපි අපේ මනසින් අපට ඕන විදියට දේවල් වෙනස් කරමින් බලනවා වෙන්නේ මොනවද කියලා...ඒකත් එක්තරා පුහුණුවකින් කළ යුතු දෙයක්...මේ කතා කීමෙන් ඇසීමෙන් වෙන්නෙත් ඒ වගේම දෙයක් මල්ලි... මේ සිතුවිලි සියල්ල ලැබ් මීයෝ වගේ ...අපිට පුළුවන් ඒ ඒ විදියට සිතුවිලි එහා මෙහා කරල පරීක්ෂණ පවත්වන්න...මල්ලිගේ කතා හරියටම ඒ අන්ධකාර පර්යේෂාණා‍ගාරයේ සිද්ධ වෙන පාලක පාලිත පරීක්ෂණ වගේ...ඒකෙන් දෙකක් වෙනවා. එකක් අපි සිතුවිලි මෙහෙයවනවා චිත්ත රෑප ඔස්සේ...අනික කාලය ගෙවනවා...එච්චරයි. "

"මට තේරෙන්නේ නැහැ චිත්ත පරීක්ෂණ ගැන නම්... "

"හොඳයි දැන් කතාව පටන් ගන්නකෝ... "

"සදාකාලික කන්‍යාව ගැන කියන්නයි යන්නේ. ඒක තව අවුරැදු දහසයකින් ලියවෙන පොතකින් මම ගන්නේ... "

"මොනවා? තවම ලියැවුනේ නැති පොතකින් කොහොම ද හලෝ උපුටා දක්වන්නේ?? "

"ඒකනේ මම කීවේ ... මේක ටයිම් ටනල් සීන් එකක් කියල...මම අනාගතයට යනවා...එතනින් අරන් එනවා මේ කතාව...ඒකයි මේ කතාවේ විශේෂය... අනිත් එක මේ අසූ අට අසූ නවය යුගය කවද හරි ඉතිහාසය තුල නොයෙක් විදියට කියවෙන මාතෘකා අනන්තයක් සපයන යුගයක් වෙනවා..."

"කන්‍යාවෝ ගැන කතා කරන්න ඔයා තවම පොඩි වැඩියි කියල තේරෙන්නේ නැද්ද? අනික අපි එක්ක?? පිස්සු ද ඔයාට ...මම දන්නේ නැහැ ඔයා කියන්න යන කතාව මොකද්ද කියලා , හැබැයි ඔන්න තේරැම් ගන්න විකාර නම් කියවන්න එපා ...මම කීවේ ගාණට වැඩි වෙන්න එපා...හරිද? "

"නැහැ නැහැ ඔන්න ඉතිං ඩෝං ගිහිං!! මම මේක කියන කම් ඉන්නවලා...මේකේ ඇති කුණුහරැපයක් නැහැ...කන්‍යාව කීවම ඒක අඟවන්නේ නිතරම කන්‍යාභාවයම නොවෙයි හලෝ...ඕගොල්ලන්ගේ විද්‍යාව පොතේ නේ ඒවා තියෙන්නේ... "

"ඔයා මොනාටද අපේ විද්‍යාව පොත් බලන්නේ...තව මොනවද ඔයා හොරෙන් කියවන්නේ? "

"ඇයි ඕ‍ගොල්ලන්ගේ සිරිකත පත්තරේ අර වෛද්‍ය ප්‍රශ්න පිටුව...මම ඒකත් කියවනවා...ඉතිං මොකද ?? ඕගොල්ලො මම කියවන ඒවා තෝරන්න ද යන්නේ? එහෙම කරන්න බැහැ හලෝ...අනික මම ඕගොල්ලන්ට වඩා හොඳට තේරැම් අරං ‍ඉන්නේ සෞඛ්‍ය පාඩම්... "

"ඇති ඇති ඔයාගේ ඔය පත්තර කියවිලි ගැන අපි අම්මට වහාම රිපෝට් කරන්නම් කෝ උදේට...මෙයා ඇට්ටර වෙන්නයි හදන්නේ... "

"ඒකම ගැන තමයි ‍මම‍ මේ කියන්න හදන්නේ...ඕගොල්ලො තමයි ඔය ගැන ඔය විදියට හිතන්නේ. දන්නව ද මම පත්තර පොත් කියවන්නේ ඇයි කියලා...ඒකට හේතුව තමයි මම හිතන්නේ මේ මොහොත තුල මම සොයන දේ මට නොලැබෙනවා කියලා... ඒ කියන්නේ හරියටම මට තව ටිකක් සම්පූර්ණ වෙන්න අවකාෂයක් ඉතිරිය කියලා... "

"අනේ මේ මොන විකාරද කියවන්නේ? කතාවක් කියන්න හලෝ... "

"මේක තමයි කතාව. ඒ අසම්පූර්ණ අවකාෂය තරණය කරන්නයි මම කියවන්නේ. දැනුම කියන්නෙම මගේ අසම්පූර්ණබවේ නීත්‍යාණුකූල සීමාව. ඒ සීමාව අතික්‍රමණය කරන්න දරණ උත්සාහය තමයි දැනුම සොයා යාම. දැනුවත් පුද්ගලයෙකු ලෙස සමාජගත වීම... "

"පොඩි ...අද නම් මෙයාට පිස්සු ද කොහෙද... "

"හ්ම් මට තේරෙන්නෙත් නැහැ මෙයා කියන දේ නම්... "

"හරි හරි මේක තමයි මම උපුටා ගත්ත අනාගත පොතේ කොටස. ඒක මට තේරෙන්න නම් මම ඒ අනාගතයට යන්න එපැයි...ඒක තේරෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? ඕගොල්ලෝ වගේම සියලුම කාන්තාවෝ හිතන්නේ තමන් තුල තමන්ට වඩා විසාල රහස් උද්‍යානයක් වගේ දෙයක් තියෙනවා කියලා...ඒක තමයි කවද හරි සිංහල බාසාවෙන් ලියල අපට කියවන්න ලැබෙන අලුත්ම දැනුම...ඒක තමයි මම කෙටියෙන් කියන්නේ සදාකාලික කන්‍යාව කියලා...අයි‍යෝ ඕගොල්ලා ගිය දුර...මේක මගේ කතාවක්‍ නොවෙයි. මට වඩා මහ විශාල කතන්දරකාරයෙක් ලැකාන් කියල ...අන්න එයා කීව කතාවක්..."

"දැනුම කාලයෙන් ස්වායත්තයි කියලද හිතන්නේ ළමයෝ? එහෙම වෙන්නේ නැහැ...දැනුම කාලය මත රඳා පවතිනවා.. අද ඒක තේරෙන්නේ නැහැ කියල කියන්නේ ඒක අනාගතයේ දි තේරෙනවා කියල කියන්න පුළුවන් නම් අද ඒක දැනුමක් නොවෙයි ... උපකල්පනයක්... අනේ මන්දා...අනාගතයේ දී ඒක දැනුමක් වේවි. විද්‍යාව වගේ...දැනුම කියන්නෙම විද්‍යාවක්...වෙනස් වෙවී යන දෙයක්. ඒත් කාටවත් කියන්න බැහැ මේ සිද්ධාන්ත‍ය අනා‍ගතයේ දී නිර්මාණය වන බව... "

"හොඳයි ...මම කීවේ අනාගත පොතකින් උපුටා ගත්තා කියලා...එහෙම පොතක් ලියවුනාම මොකද වෙන්නේ‍? මම උපකල්පනය කළ දේ සත්‍ය වෙනවා නේද? "

"මට තේරෙන්නේ නැහැ. දැන් ඔය පොත ලියන කෙනා කවුද ? "

"දීප්ති කුමාර ගුණරත්න... "

"ඉතිං එයා දැං මොකද කරන්නේ? "

"එයා දැං පානදුරේ ඉන්නවා චේගේ පොතක් අතේ තියං චූලානන්ද සමරනායක එක්ක කතා කර කර... කොටින්ම එයා නාට්‍ය පුහුණුවක ඉන්නේ...මම අනාගතය බලන්නයි දැං හදන්නේ..."

"මොනවද ඒ අය කතා කරන්නේ? ඔයා කොහොමද ඒ අය කතා කරන දේවල් දන්නේ ? ටයිම් ටනල් එකෙන් ද? "

"ඔව් ඒ අය නාට්ටි ගැන කතා කරනවා...භීෂණය ගැන කතා කරනවා...ඉතිරි වෙන්නේ කොහොම ද කියලා කතා කරනවා... "

"ඉතිරි වෙන්නේ ? ඇයි ඒ අය ඉතිරි වීමක් ගැන කතා කරන්නේ?? "

"ඉතිරි වුනොත් යම් දවසක ඒ අයට නැවතුන තැනින් පටන් ගන්න පුළුවන් නිසා. ඕගොල්ලො නොදන්නවට මරණය සුළඟවගේ හැමතැනම හමා යනවා කියන එකයි ඒ අයගේ මාතෘකාව...ඉතිං ඉතිරි වීම ගැන කතා නොකර වෙන මොනවා ගැන කතා කරන්න ද ? "

"ඉතිං ඊට පස්සේ? "

"දීප්ති එයාගේ අතේ තියෙන ඉංග්‍රීසියෙන් ලියැවෙච්ච චේ චරිතාපදානය චූලානන්දට දෙනවා...එයා ඒක ගෙදර තියාගන්න භයානක නිසා පිළිකන්නේ පොලිතින් කොලවල ‍ඔතලා වලදානවා... තව අවුරැදු දාසයකින් ඔය චේගේ පොත වළදාපු තැනින් ගොඩ අරං චූලානන්ද සිංහලට පරිවර්තනය කරනවා... "

"එතකොට දීප්ති කුමාර?? "

"එයා හිස්ටීරියාව කියල පොතක් ලියල පක්ෂයක් ලියාපදිංචි කරනවා.... "

"මට නිදිමතයි... "

Monday, August 10, 2009

අඳුරැ විමානයට ...


"ඔන්න අද මට බාධා කරන්න එපා. මම කතාව කියාගෙන යන්නම්. පස්සේ ප්‍රශ්න ඇසීමෙ වාරයක් දෙන්නම් එතකොට ඔය සේරම අහන්න හරි ද?

අපි ඒ කියන්නේ මම එදා යතුරැ හිලෙන් රිංගලා ගියේ කොහාට ද කියල කියන්නයි හදන්නේ. යතුරැ හිල තිබ්බේ ගස් බෙනයක. ගස් බෙනය තිබ්බෙ මම පිච්චුන ටයර් ගොඩට පොඩ්ඩක් එහා. ඒ ටයර් ‍‍ගොඩ ගහ මුල තියෙද්දී තමයි මම අවසන් වතාවට දැක්කේ මගේ ඇස්දෙක බැඳලා තිබ්බ රෙදි පටියට යටින් යම්තමට වගේ ...ඒත් ටයර්ගො‍ඩට වැටෙනකොටම හොඳ අපූරැවට දැනුනා රබර් ගඳ...

ඒවායින් වැඩක් නෑ ...වැදගත්ම දේ තමයි මගේ පාවෙලා ගිය ගමන. ඒක තමයි මම දැකපු ලස්සනම හීනය. දන්නවනේ මේ දවස්වල මිනිස්සු කොයි තරම් මැරිල යනවද කියල. එහෙම මැරිල යන එකේ වුනත් සාමාන්‍යකරණය වෙන්න නම් මරණයට ලැබෙන්න එපායැ සුන්දර කතාවක්. ඒ සුන්දර කතාව තමයි මම‍ මේ කියන්න යන්නේ. හැබැයි යතුරැ හිලෙන් රිංගලා යනකම් නම් දරා ගන්න බැරි වේදනාවක් තිබ්බා...ඒත් ඒ සුළු මොහොතයි...ඒ සුළු මොහොත කල්පයක් තරම් දිගට දැනෙනවා...ඒක අමතක නොවෙන වේදනාවක්. ඒ වේදනාව මතක් වෙද්දී හිතා ගන්න බැරි සැහැල්ලුවක ඉන්න නිසා ඒක හරිම අපූරැ මතකයක් විතරයි.

මට හොඳට මතකයි යතුරැ හිලෙන් මිදිලා එලියට එද්දී සේරම ඉවරයි. දැවෙමින් තිබ්බ අපේ ශරීර වලින් පුළුටු ගඳයි රබර් ගඳයි මුහුවෙලා කාරන ගඳකින් හතරවටේම දුම් ගහන්න ගත්ත නිසා ඒ ආපු සන්නද්ධ කණ්ඩායමත් ආපහු ඒ අයගේ වාහන වලට වැදිලා නොපෙනී ගියා. කිසි කෙනෙක් ඉතුරැ වෙලා හිටියේ නැහැ අපේ සිරැරැ පිලිස්සෙනවා බලන්න. අපි ගහ උඩට වෙලා බලාගෙන හිටියා අර පුංචි දවස්වල වැහි වතුරේ ඔරැ පාකරලා බලං ඉන්නවා වගේ. මෙච්චර කාලයක් ආදරෙන් බලා කියා ගත්ත අපේ සිරැරැ කළු ගැහෙමින් දුම් දමමින් පෙණ බුබුලු නගමින් ප්ලාස්ටික් බෝතල් කෑලි ඇඹරෙනවා වගේ ගිනි ගනිද්දී අපි ඔහේ බලං හිටියා. හිටි ගමන් ටොස් ගාලා හඩක් ආවා මොනව හරි පුපුරලා යනවා වගේ බොල් හඩක්...ඒ මිනිස් සරීර ගිනි ගන්නකොට සිරැරේ තැන් තැන්වල හිර වුනු වායු කොටස් පීඩනයෙන් මිදී යාමක් ලෙස අපට පෙනුනා. අපිත් දැං මහ විශාල පීඩනයකින් මිදිලා නිදහස් වෙලා නේද කියලා එතකොට හිතුනා.

ඉස්සෙල්ලම කියන්න ඕන මම දැක්කේ තනිකර සුදු එලියෙන් පිරිච්ච වට පිටාවක්...හරියට ඉර දිහා එක එල්ලේ බැලුවා වගේ ඒත් ඇස් වලට හිරිහැරයක් උනේ නැහැ...මම හිතන්නේ ඒක දැක්කේ ඇස් දෙකෙනුත් නොවෙයි. ඒක මොකකට පෙනුනද කියන්න බැහැ නේ ...ඒක දැනුනා හරියට හීනයක වගේ...හීන පේන්නේ ඇස්වලින්ය කියලා කියන්න බැහැනේ...අන්න ඒ වගේ...ඒ ආලෝකය තිබ්බේ අර යතුරැ හිලෙන් එලියට පැන්න ගමන්ම ...ටික වේලාවකින් ඒක නැති වෙලා ආයෙම හැම දෙයක්ම සුපුරැදු විදියට පේන්න ගත්තා...හැබැයි හැම දෙයක්ම විනිවිද පේන්න ගත්තා...‍‍ගහේ කඳ දිගේ ප්ලෝයම පටක වල වතුර පෝර රසායන ගලා යන හැටි පවා පෙනුනා ...ඒවා ගලා යන ගෝසාවත් ඇහුනා... ඇහුනා කියන්න බැහැ...දැනුනා...පෙනුනා...මන්දා මේ ‍වගේ දේවල් විස්තර කරන්න වචන නැහැ කියන ඒක තේරැම් ගනිමින් හිටියා කීවොත් හරි...අනිත් එක අපිට වචන ඕන වුනෙත් නැහැ ...එතනින් එහාට වචන සේරම තාච්චියකට දාපු ලුණු කැට වගේ පුපුරලා ගියා. නමක් හැඩයක් රැවක් අපට තිබ්බෙත් නැහැ...සේරමලා එක වගේ ඒත් මොකද්දෝ වෙනසකුත් තිබ්බා එකිනෙකා අතරේ...ඒක මට මතක් කරන්න බැහැ දැං...

පස්සේ අපි වට පිටාව නිස්කලංක වෙනවත් එක්කම හිතුන හිතුන තැනකට ඇසි පිය ලන වේගෙන් ඇතුල් වුනා. මහ ඈතවල් කියල දෙයක් තිබ්බේ නැහැ... සේරම එකම තැන වගේ පේන්න ගත්තේ...ඉර හඳ තරැ අවකාෂය කෙලවර අඳුරැ විමානයක් වගේ පෙනුනා. "

"ඇති ඇති ආයෙම ඉතිරි ටික හෙට කියන්න ... මට හීනයක් පේනවනම් හොඳයි ඔය වගේ...‍නමෝ බුද්ධාය....මම නිදා ගන්නවා."

ලොකු අක්කා එහෙම කියලා නින්දට වැටෙන්න ඇති. ඝණ අන්ධකාරයේ මට හිතුනේ මම කීව කතාව ඇත්තක්ම ද කියලා...හැමෝම ලයිට් නිවලා එදිනෙදා මැරිල යන මිනිස්සු ගැන හොර රහසේ කතා කරනවා කියල මට හිතුනා...

"එතකොට ඒ අඳුරැ විමානයට කියන්නේ අපාය කියල ද දිව්‍ය ලෝකය කියල ද මල්ලී? "

Saturday, August 8, 2009

සඳකඩ පහණ


එදත් සුපුරැදු විදියට හවස හය වුනා. අපිත් ලයිට් නිවලා දැම්මා.
ඉර බැහැගෙන යන එලියත් ටිකක් තිබ්බ නිසා අපි කාමරේට වෙලා ජනේලෙන් එලිය බලං හිටියා. සේරමලා අකුරට වැඩකළා. ගෙවල් කීපෙකට එහායින් හමුදාවේ වැඩ කරන කෙනෙක් හිටි ගෙදරත් වෙලාවට ලයිට් නිවනවා. විශේෂයක් තිබ්බේ නැහැ කාටවත්. සමහරැ සංතොසෙන් ලයිට් නිවුවා...සමහරැ දෙස් දෙවොල් මුහුණින් ලයිට් නිවුවා. විරැද්ධ අය මුහුණින් අරකෙන් මේකෙන් විරැද්ධත්වය පෙන්නුවට වචනයක් කතා කළේ නැහැ.

අපි සුපුරැදු විදියට කාමරේට වෙලා කතා කියන්න ලැහැස්ති වුනා.

"අද අපට කතාවක් ඕන සඳකඩ පහන ගැන..." පොඩි අක්කා කීවා.

"සඳකඩ පහණ ගැන මොන කතා ද කියන්න තියෙන්නේ...ඒක ගැන කිසි කතාවක් නෑ..අපි‍වෙන මොනව හරි කතා කරමු... "

"අයියෝ ඔයා අනිත් කතා කියනවා වගේම කියන්න සඳකඩ පහණ දාලා කතාවක් දෙකක්...අපි අහං ඉන්නම්...ඇත්ත වෙන්නම ඕන නැහැ...ඔයා කවද්ද ඇත්ත කතා කීවේ අනිත් එක... "

"හා... මම කියන්නම් සඳකඩ පහණ ගැන හැබැයි පස්සේ රණ්ඩු කරන්න බැහැ බොරැ කියනවා කියලා...මට ඉතින් කියන්න තියෙන්නේ බොරැ තමයි..."

"හරි හරි මේ තමයි මේ ලෝකේ ඉන්න පට්ටපල් කෙබර කාරයා..." අක්කලා දෙන්නම හිනා වෙන්න ගත්තා...

"හරි එහෙනම් මම කියන්නම් සඳකඩ පහණට නම හැදුන හැටි. මෙන්න මෙහෙමයි. ඒ කාලේ රජවාසලට හරි පන්සලකට හරි ඇතුල් වෙන තැන තියන්න ඕන වුනේ කකුල් පිරිසිදු කරගන්න ඔය දැං කාලේ වගේ පාපිස්සක් නේ...පාපිස්සක් වුනාම රළු මතුපිටක් තියෙන්න එපායෑ නැත්නම් කකුල් යටිපතුල් වල තියෙන කුණු අයින් වෙන්නෑනේ...ඒ හින්දා තමයි ඉස්සෙල්ලම එහෙම තියෙන දෙයක මතුපිට රළු වෙන විදියට සකස් කරන්න ඒ අය හිතුවේ. ඉතිං රළු වෙන්නය කියල ඔය මොනවා හරි කළු ‍ගලේ කෙටුවනම් ඇති නේ...ඒත් ඒ අය මේ වැඩේට සත්තු රෑප පාවිච්චි කරන්න හිතුවේ ඇයි කියල දන්නව ද?


ඒ කාලේ ලෝකෙම ගො‍ඩක් සාමකාමීයි. ඉඳල හිටල තමයි යුද්ධ සටන් තිබ්බේ...ඒ කාලේ සටන් වලට අද වාගේ ගිනි අවි තිබ්බෙත් නැහැනේ. සේරම තිබ්බේ දුනු ,කඩු , හෙල්ල ,‍තෝමර වගේ යකඩින් හදපු දැව ජාති එක්ක මුහු වෙච්ච ආයුධ...

ඒ ආයුධ ඇරෙන්න යුධ පිටියට අරං ගිය සත්තු හිටියා. අලි ,ඇත්තු ,අශ්වයෝ , සිංහයෝ වගේ හීලෑ කරපු එවුන්...මෙවුනුත් පාවිච්චි කළා සටන් කරන්න...ඉතිං මේ සත්තු නඩත්තු කරන්නෙත් රජවාසලේම තමයි. උනුත් බල සේනාවල කොටස්. නමුත් අපිට තිබ්බේ බෞද්ධ හැදියාවක් නිසා මේ විදියේ යුද්ධ සටන් වලට එච්චර ප්‍රසාදයක් තිබ්බේ නැහැ රජවරැ අතර වුනත්. ඒ කාලේ රජවරැ වැඩියෙන් කල්පනා කළේ වාරිකර්මාන්ත සහ බුදුසසුන රැක බලා ගන්න එක ගැනයි. ඒකනේ පරසතුරැ හමුදාවලට උනත් හරිම ලෙහෙසි වුනේ රට අල්ලන්න...

මේ හිංසාකාරී වැඩ වලට සත්තු පාවිච්චි කරන්න වෙන එක හෙලා දකින්න තමයි ඒ සත්තුන්ගේ රෑප පයට පෑගෙන්න දාන්න ඕන කියලා ඒ කාලේ හිටි කැටයම් ශිල්පීන් මේ විදියට සඳකඩ පහනට සත්තුන්ගේ රෑප දාන්න තීරණය කරල තියෙන්නේ... ඒකට රජවරැත් එකඟ වුනා...අනිත් එක ඒ කාලේ තිබ්බෙම හින්දු ආගමිකයන්ගෙන් වෙච්ච ආක්‍රමණම තමයි වැඩිපුර ...ඒ හින්දා ඒ අයගේ පුජනීය සත්වයා ගවයා පාගන්නත් හිතන්න ඇති...කවුද හලෝ දන්නේ හරියටම...අනික ගවයා යුද්දෙට ගෙනියන්නෙත් නැහැනේ..."

"අම්මේ....... මෙහෙම ටොම් පචයෙක්...අපි නම් අහල තියෙන්නේ සත්ව රෑප හතර නියෝජනය කරන්නේ ජාති -ජරා- ව්‍යාධි -මරණ කියන භව චක්‍රයෙන් දැක්වෙන සංසාරය කියලනේ... "

"හරි හරි එහෙම වෙන්නත් ඇති. ඉතිං මං කීවේ කතාවක් නේ...මම මුලිනුත් කීවා ඕගොල්ලෝ ඕවා හරියටම දන්නව නම් වෙන මොනව හරි ගැන කතා කියමු කියලා... "

"හා කමක් නැහැ...දැං ඉතිං කියන්නකෝ අර සඳකඩ පහණ නම ලැබුන හැටි දැං... "

"සඳකඩ පහණ කියන සම්පූර්ණ නම ගැන කියන්න කලින් කියන්න ඕන සඳකඩ කියන්නේ මොකද්ද කියලා...ඔන්න ආයෙම පණ්ඩිත කම් කියවන්න එනව නම් මම ඒවා කියන්නේ නැහැ හරිද? "

"හරි හරි කියන්න බලන්න...අපි සද්ද නොකර ඉන්නම්... "

"කඩ කියන්නේ කෑල්ලක් කියන එක. රෙදි කඩක් කියල කියන්නේ අහල නැද්ද? ඒ වගේ ස‍ඳෙන් කෑල්ලක් කියන එක තමයි සඳකඩ කියන්නේ...ඒක හරි නේද? දැං ඕන නම් අපි කියන්නේ මෙහෙමත්. බිම් කඩක්...බිම් කෑල්ලක් කියන එකනේ...ඒ වගේ... "

"හරි හරි ඒක නම් ඇත්ත තමයි. හරස්කඩ කියන්නේ එතකොට හරහට කැපූ කෑල්ල කියන එක නේද? එතකොට වාහල්කඩ? ඒකත් කෑල්ලක් කියලද කියන්නේ? "

"හරස්කඩ කියන්නේ හරහට කපලා ගත්තු කොටස කියන එකනේ අක්කේ...එතකොට කඩ කියන තේරැම තියෙනවා නේ. දැං වාහල් කඩ කියන්නේ ස්ථූපයක් ආවරණය කරල හදපු වහලක් කියන තේරැම ඇති පියස්සට නේ. එතකොට ව‍හලෙන් කෑල්ලක් තියෙනවා නේ. ඒකට අපි වාහල් කඩ නැත්නම් වහලේ කොටසක් කියල කියනවා ...ඒකත් ගැළපෙනවා නේ ද? "

"ඔව් ඒකත් හරි කියමුකෝ. "

"එතකොට ස‍‍ඳෙන් ගත් කෑල්ලක් මේ විදියට සත්තු දාන්න හිතුවේ මොකද කියනවා නම් ඒ කාලේ මිනිස්සු විශ්වාස කරන්න ඇති හ‍‍‍ඳේ සත්තු ඉන්නවා කියලා. දැං අර සස ජාතකේ හැටියට හඳ මතුපිට හාවෙක් ඇන්ද‍නේ ශක්‍රයා. ඒ කතාව දන්නවා නේ? ඒක නම් මෙතන කියන්න මට බැහැ."

"හරි ඒ කතාව දන්නවා. ඉතිං ඒකයි මේ සඳකඩ පහණෙ ඉන්න සත්තුයි අතර සම්බන්ධය මොකද්ද? "

"ඉන්න කියනකම්... ස‍‍ඳෙ සත්තු ඉන්නවා කියල හිතපු අය නිසා තමයි මේ අර්ධ වෘත්තාකාර කළු ගල් නිර්මාණයට සත්තු ඔබලා ඒක සම්පූර්ණ කලේ. සත්තු ඉන්න ඕන හ‍‍ඳේ නිසා ඒ අය එහෙම දාන්න ඇති... අනිත් අතට සත්තු සේරම මැරිල ගිහිං හ‍ෙඳේ ආයෙම ඉපදෙනවා කියල ඒ අය හිතන්න ඇති. ඒක අපිත් දන්නේ නැහැනේ...තවම හරියට."

"එතකොට සඳකඩ පහණේ සත්තු ඇරෙන්න තව දේවල් තියෙනවා නේ? "

"ඔවු තියෙනවා තමයි. ඒ සත්තුන්ගේ පැවැත්මට තමයි ඒවා දාලා තියෙන්නේ... දැං බලන්න පලා පෙති දාලා තියෙන්නේ ශාක විදියට ආහාරයට ගන්න...ලියවැල...ඒකත් ආහාර විදියට සංකේතයක්... "

"අනේ මෙහෙමත් බේගල්... "

"ඔන්න ‍එහෙනම් මම නවත්තනවා? "

"හිකි හිකි හිකි ඔයා නම් මල්ලි කවද හරි දේශපාලකයෙක් වෙනවා මේ තරම් අතේ පැලෙන බොරැ කියන්න පුරැදු වෙලා...හොඳයි එතකොට හංසවැල? "

"හංසයාගෙන් පෙන්වන්නේ දියේ ඉන්න සතුන් ...ඔක්කොම දාන්න බැරි නිසා එයා විතරයි දාලා තියෙන්නේ... "

"හ්ම්ම්ම් ...අනේ මන්දා...එතකොට මැදින් තියෙන නෙළුම් මල? "

"ඉතිං හරිනේ...හංසයෝ ඉන්න විලක නෙළුම් මලක් තියෙන එක අහන්න දෙයක් ද?"

"හපෝ ඔයාට නම් මල්ලි පවු සිද්ද වෙනවා මේ කියන කතා වලට. සඳකඩ පහණෙන් දැක්වෙන්නේ ඔය බහු බූත නොවෙයි. සංසාර භව චක්‍රය තණ්හා ආශා නැති කරල ගිහිගෙයින් නික්මිලා භාවනා කරල නිවන් දකින්න කියන බුද්ධ දේශනාව තමයි ...දන්නේ නැත්නම් ඉගෙන ගන්න..."

"ඒකනේ කියන්නේ ඕගොල්ලොන්ට කතා කියන්නත් ඕන... මම අන්තිමට බැණුම් අහන්නත් ඕන...
එහෙනම් සඳකඩ පහණ ගැන කතාව ඉවරයි... "


[මෙහි අන්තර්ගත සියල්ල මනඃකල්පිතයි. කිසිදු විශ්වාසයකට ඇදහිල්ලකට හෝ පිළිගත් මතවාදයක් මෙම ප්‍රබන්ධයෙන් අභියෝගයට ලක් ‍නොවන වග කරැණාවෙන් සළකන්න.]

Tuesday, August 4, 2009

කළුවරේ කතා


හකාවතී කියන්නේ කතන්දරකාරයට... හැබැයි ඒක සිංහල ගෑණු කෙනෙක් ගේ නමක් වගේ නිසා මට හිතුනා මේ බ්ලොග් එක එහෙම නම් කරන්න.

මට මේ හකාවතී නම් යෝජනා කළේ නම් මගේ මිත්‍රයෙක්. එයා අරාබි බාසාව දන්නවා හොඳට. ඉතින් මගේ හිතටත් ඇල්ලුවා ඒ නම. ඒ හින්දා තමයි මේ.

ගෑණුන්ගේ නම්වලින් දේවල් නම් කරන එක හරිම ලස්සනයි නේ. අමරාවතී කියල සයිවර් කඩයක් තියෙනවා හැබැයි ගිණි ගනන් කෑම...

ගොඩක් ඉස්සර ඒ කියන්නේ 88 -89 කාලයේ රෑට ලයිට් දාන්න දුන්නේ නැහැනේ ...
ඒ කාලේ මටයි අක්කල දෙන්නටයි හරිම ජොලි. අපි කළුවරේ ඇඳන් උඩට වෙලා රෙදි පොරවන් කතා කියනවා...

ලොකු අක්කා හරිම බයයි ගැරඩින්ට. පොඩි අක්ක බය හොල්මන් වලට.

මම එච්චර කතා දන්නේ නැහැ ඒ කාලේ. කියන්නෙම බොරැ තමයි. ඒත් අක්කලා දෙන්නම ඒවට හිකි හිකි ගගා හිනා වෙනවා.

මම කරන්නේ කළුවරේ ...

ඔන්න අක්කගේ ඇඳ යට ගැරඩියෙක් !

කියල කෑ ගහන එක. එතකොට අක්කා ඊට හයියෙන් කෑ ගහනවා. එතකොට ගේ ඇතුලෙන් අම්මා කෑ ගහනවා...

මොකද තොපිට මැරැම් කන්න ඕන වෙලා ද කියලා...

එතකොට අපි හිකි හිකි ගගා හිනා‍ වෙනවා රෙදි අස්සට වෙලා... අක්කා අඩනවා බය කරනවා කියලා...ටික වෙලාවකින් ආයෙම කතා කියන්න ගන්නවා. සමහර දවසට එලිවෙනකම් කතා කියනවා...එලි වුනාම සතුටුයි. ඉර පායාගෙන එද්දී අපි අම්මා එක්ක තේ බොනවා.

ඉර පායන්න එපා කියල තහනම් කළාට වැඩක් නැති නිසා ඉර ඔහේ පෑයුවා.

ඒ කාලේ කවුරැත් බයෙන් හිටියේ. ඒත් අපි හරිම සතුටින් හිටියේ කළුවරේ කතා අහන්න...