Sunday, September 23, 2012

මිරැන්ඩා

රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.

මිරැන්ඩා රාත්‍රී එකට පමණ නිවසට පැමිණෙද්දී ඇයගේ පසුපසින් ආරක්ෂාව වෙනුවෙන් කරකැවෙමින් හුන් පක්ෂෙ සහෝදරවරු කීප දෙනා ඇය මග හැර අඳුරේම නොපෙනී ගියේ ඔවුනගේ කාර්ය අවසන් වෙමින් පැවතුනු බැවිනි. මිරැන්ඩා ගේට්ටුවෙන් ඇතුලට යද්දී ද ඔවුහු ඝණ අඳුරේ ඈතින් වූ පඳුරු රාශියකට මුවා වී ඈ නිවස තුළටම යන තුරු ඇගේ නිවස වටපිට සියළු අඳුරු අහුමුළු නිරීක්ෂණයෙන් සිටියහ.

"උඹ ආවද? බැල්ලි. තොගෙන් මම නිදහස් වෙන දවසක් ළඟදිම එනවා... තෝ නිසයි මේ සේරම හෙණ පාත් වුනේ...පාහර බැල්ලි...."

නිශ්ශංක නිදිමරගාතේ කොඳුරන්නට විය. නිශ්ශංක අලුතින් ලියා පළ කරන්නට යෙදුනු කවි පොතේ අත් පිටපත ඔහුගේ ඇඳ අසළ බිම කොල ඉහිරී තිබෙනු මිරැන්ඩා දුටුවා ය.

"ඔයා නිදියන්න. මම බිම නිදා ගන්නම්. කෑ ගහන්න විතරක් එපා. උදේට කතා කරමු. "

"තෝ වේසාවි. මම දන්නවා තෝ රෑ දෙගොඩහරියක් වෙනතුරු මොනවද කරන්නේ කියලා. මහ ලොකු පක්ෂ රැස්වීම්..අනේ පල බැල්ලි. තෝයි මායි කරන විප්ලව...පරට්ටි..."

මිරැන්ඩාට දැනුනේ කුණු වූ කොත්තු රොටියක දියව ගිය අරක්කු ගඳ වහනය වන නිශ්ශංක ගේ කුස තුළින් හඹා ආ ගොරොද්දාවේ ඌෂ්ණය ය. ඈ අපුලින් කට මුහුණ අතින් පිස ලා නිශ්ශංකගේ පොරෝනය තව තවත් ඇද දමා ඔහුගේ සිරුරේ නිරාවරණය වූ පපු පෙදෙස වසා දැම්මා ය.

"නිශ්ශංක. දැං ඇති. ඔයා දැන් නිදියන්න. අපි උදේට කතා කරමු. "

මිරැන්ඩා ඇඳුම් උනා දමා නාන කාමරය වෙත ඇදුනාය. නාන කාමරය පුරා විසිරී ගිය ලේ පැල්ලම් දුටුවෙන් ක්ලාන්තව මෙන් ඇය බිත්තියේ වූ පිඟන් ගැඩොල් රටාව මතුපිට සිය වමත රූටා යවමින් කිසිවක් අල්ලා ගන්නට තැත් දරමින් බිත්තිය පාමුල උණ්ඩි වූවාය. එම ලේ මත කිසියම් පණක් ඇති පනුවන් රාශියක් දඟලන්නා සේ ඈ දුටුවෙන් ඇගේ මුළු සිරුරම සලිත වී ගියේ ය. මිරැන්ඩා නැවතත් ඇගේ දෑස් දෑතින්ම පිස දමා නාන කාමරයේ සුදු පාට පිඟන් ගඩොල් අතර ඝණව පැතිරී ඇති ඒ ලේ වැදලි බලන්නට වූවා ය.

"උඹ මට මගේ පාඩුවෙ ඉන්න දෙනව ද නැද්ද?"

මිරැන්ඩා පාං කපන පිහිය නිදි යහනේ කොට්ටයට යටින් වූ ගුදිරි මෙට්ටය අස්සෙන් වහා එළියට ඇද නිශ්ශංකගේ ගෙලට තබා තද කළා ය.
නිශ්ශංක භය බීරාන්තව මිරැන්ඩාගේ කෝපාග්නියෙන් දැවෙන දෙතුන් ගුණයක් විශාල වූ දෙනෙත් දෙස මඳ අඳුරේ බලා සිටියේ මරණ මංචකයේ සිටින මිනී මරුවෙක් ලෙසිනි. නිශ්ශංකගේ දෑස් කොතරම් විශාල වී ඇත්දැයි ඔහුට නිනව්වක් නොවීය.

"මට ආයෙමත් වේසි වේසි කියල කීවොත් මම තොගේ බෙල්ල කපනවා කපනවාමයි!"

මිරැන්ඩා ඒ වචන ටික උච්ඡාරණය කළේ දත් දෙපෙල එකිනෙක සපාගෙන තොල් එකට තද කර උගුරිනි. ඒ හඩ ආවේ ඇගේ උදරයෙන් ද විය හැක. නිශ්ශංක අසීමිත බියෙන් මුවෙන් වදනකුදු පිට නොකර ඈ දෙසම බලා සිටියේය.
මිරැන්ඩා නිශ්ශංකගේ ගෙල ඉතා සෙමින් නමුත් දැඩිව පිහියෙන් අතුල්ලා සියුම් කේෂනාලිකා කීපයක් කපා දමා මතු වූ ලේ බිඳිති මත පිහි තලයේ දාරය ඇතිල්ලුවාය.

නිශ්ශංක ඉකිගසා හඩන්නට පටන් ගත්තෙන් මිරැන්ඩා පිහිය බිම දමා ඔහුගේ ළය මත හිස හොවා හඩන්නට පටන් ගත්තීය.

නිශ්ශංක ළදරුවෙකු සේ මිරැන්ඩාගේ උරහිසේ තම හිස හොවා ඉකි ගසමින් හඩන්නට විය. මිරැන්ඩා ඔහුගේ හිස තිබූ කොට්ටය තුළ ඔබා ගත් හිසින් වැළහින්නක සේ හඩමින් ඔහුගේ සිරුර මත වැනෙන්නට වූවා ය.
නිශ්ශංක ඇගේ බරින් සිය දුබල සිරුරේ අක්වක් වූ යටිබඩ පෙදෙස නැවත සකස් කර ගනිද්දී මිරැන්ඩා ඔහු වෙතින් පෙරලී ඇඳේ ඇගේ ඉසව්වට තල්ලු වූවා ය.

"නිශ්ශංක මට ඔයාගෙන් වැඩක් නෑ. ඔයා හරි බොළඳයි....මට ඔයාව මරන්න ඕන නෑ. මට මරන්න ඕන...මහ ඇමති!"

නිශ්ශංක මිරැන්ඩාගේ මුව සිය අතින් වසා දැම්මෙන් ඇගෙ හඩ නිකුත් නොවුණි.

මිරැන්ඩා හිස් සීලිම දෙස බලාගෙන මිමිනුවාය. නිශ්ශංකට සඳලතා සිහි විය. මේ යක්ෂණියට වඩා ඇය කොතරම් සියුමැලි ගැහැණියක් දැයි සිතින් විමසමින් සිය කොපුල් තල හරහා ගලා ගිය කඳුලු සොටු සූරා පිසිමින් නිශ්ශංක නාන කාමරය වෙත ඇදෙන්නට විය. හාත්පස ඝණ අඳුර බිඳින්නට නාන කාමරයේ දැල් වූ විදුලි බුබුලත් සමගම ඔහුගේ සිතේ වූ බිය ද පහව යන්නට විය.

සඳලතා ට දින දී තිබුණේ තවත් සති දෙකකින් උදා වන පළමු බ්‍රහස්පතින්දා ය. ඈ ඉමහත් අපහසුවෙන් නානකාමරයට වැදුනාය. වෙනදාටත් වඩා බඩේ පැටියා ඇගේ මුත්‍රාෂයට පයින් අනිනා සේ ඇයට දැනුනෙන් ඈ කොමෝඩය මත සීරුවෙන් වාඩි වූවාය.

"සඳා මට මිරැන්ඩා එක්කල තවත් ජීවත් වෙන්න බෑ... ඒකි පක්ෂෙ එකෙක් එක්කල බුදියනවා. මම ඒක දන්නවා. මෙච්චර කල් මම ඒක නොදන්නවා වගේ හිටියා..."

"මට තේරෙන්නෑ නිශ්ශංක. ඔයා ගැන මම තැවෙනවා. මැරෙනවා. උපදිනවා. මේ බඩේ ඉන්න පැටියගෙ ඉරණම මොකද්ද නිශ්ශංක?"

"මම දන්නේ නෑ සඳා...මම ජීවිතේම නරකාදියක් කර ගෙන..මට කිසිම ගැලවීමක් නෑ...මට කිසි දේකට විසඳුමක් නෑ..."

"මිරැන්ඩා ගැන මම දන්නවා නිශ්ශංක...මට තේරෙන්නේ නෑ ඔයා වගේ සංවේදී කෙනෙක් එයා එක්කල ජීවත් වෙන්නේ කොහොමද කියල..."

සඳලතා ගේ මිය ගිය දේහය නානකාමරයේ කොමෝඩය උඩ වැටී සිටියදී සොයා ගන්නා විට දින දෙකක් ගෙවී ගොස් තිබුණි. ඇගේ කුස දරා හුන් දියණිය සිය ජල අටල්ල බිඳී කොමෝඩය තුළට වැටී කුණු වී තිබිය දී සොයා ගත්තේ ඇගේ සිරුර ඉවතට ගන්නා විට දී ය. සඳලතාත් ඇගේ දියණියත් කුණුව ගිය වෑදමත් පෙකෙණි වැලත් යන සියල්ල එකම කුණු මාංෂ මල්ලක් සේ, මුහුණු වසා සිටි පොලිස් කම්කරුවන් පිරිසක් විසින් බිම තබා තිබූ හැකිලූ ට්‍රොලියකට සීරුවෙන් ගොඩගැසුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඇරඹුනි.

ඊළඟට පරීක්ෂණය සඳහා හිස කුණු වී ඉදිමී ඕජස් ගලමින් තිබූ නිශ්ශංකගේ සිරුර ද ට්‍රොලිය මතට දැමුණි.

3 comments:

  1. අම්මට උඩු.., එතකොට මිරැන්ඩා..???
    ප්‍රෂ්ණාර්ථ කිහිපයකට පසුව මිරැන්ඩා ගැන හිතලූවක් තනාගන්නට ඉඩදී හකාවතී කතාවෙන් ඉවත් වන අයුරු මනස්කාන්තය..,
    සඳලතා නිශ්ශංක මිරැන්ඩා තුන්කොන් ගැටුම අවසන එකෙකු දිනුවා උවද සහතකෙන්ම තිදෙනාම පරාජය වී ඇති නේද..? මිනිස් සංවේදනා සහ ඉක්මන් සිතුවිලි ගැන මා හට ඇත්තේ කලකිරීමකි.., එහෙත් කතුවරයාගේ සහජ බව තුලින් අකුරු මත මවන්නට ඔහු දක්වන දස්කම උක්ත හැඟුම මකාලයි.

    ReplyDelete
  2. කතාව කියෝල ඔලුව මොකදෝ වෙලා ඉද්දි ලිශාගෙ කොමෙන්ට් එකත් කියවන්න උනැයි කියමුකෝ

    ReplyDelete
  3. Memento Film එක වගේ... ලොවෙත් නෑ !!!!

    ReplyDelete