Saturday, August 29, 2009

ඊවා ලූනා සහ අනුර

ඊවා ලූනා සහ අනුර


මරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද?

නැත. කවදාවත් අවශ්‍ය නැත.

හොඳයි මේ කතාව අහන්න.

අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දි‍යට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය කකුලක් රොට්ටි වෙච්ච සුගන්ධිකා කවුරැත් පිට වෙලා ගියාට පස්සේ හෙමින් හෙමින් තාත්තා බයිසිකලෙන් එනතුරැ පංතියේ ළමයි ශ්‍රමදානෙන් හදාපු පොල් අතු පැලළි බස් හෝල්ට් එකට පියනගමින් පාරේ ඈත බලාගෙන ඉද්දි. සුගත් සර් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ ආර්ථික විද්‍යාව උගන්වන්න, ඒත් වැඩිපුරම ළමයි ආකර්ෂණය වුනේ සර්ගේ කලිසම් ෂර්ට් වලට ගැලපෙන විදියටම පාවිච්චි කරපු කාර් නිසා සහ සර්ගේ බිරිඳගේ වෛවාරණ අඩ නිරැවත් යැයි කොල්ලන්ට තේරැණ විලාසිතා එක්ක පංතියෙ ඉවර වෙද්දී ෂොපිං යන්න එයාගේ වැඩකාරි එක්ක සර් එලියට එනකම් පංතිය දොරකඩට වෙලා කොක්හඩ ලලා බලං ඉන්න එක බලන්නත් එක්කයි. කෙල්ලො සර් ගේ වාහන වලට ආකර්ෂණය වෙද්දි කොල්ලෝ සේරම, සර්ගෙ පංතියකදිම සර්ට මුණ ගැහුණු ශිෂ්‍යාවක වූ, කාමුක දෙවඟනට- ඊළඟට සර්ගේ නීත්‍යානුකූල බිරිය බවට පත්වූ නාඹර ඈ රෑ සිරියත් -අර්ධ මමියක් සේ දිස්වන සර්ගේ රෑප අසෝබාවත් හෙයින් කිසියම් මොහොතක මේ පංතිවල ඉගෙන ගන්නට එන කජුකිරි කොල්ලෙකුට ඈ පෙම් කරන්නට පටන් ගනු ඇතැයි යන සැකයෙන් මුසපත් වෙති. ඇය දැක ගැනීමේ සාංකාවෙන් පංති ඇරෙන තුරැ සිටියත් කිසි දිනෙක ඇය පැමිණියේ කිසියම් රටාවකට නොවීම කොල්ලන් අතර රහසිගත ඔට්ටු ක්‍රීඩාවකට මග පෑදුවා. සුගත් සර්ගේ පංතියට අනුර එකතු වුනේ කවද හරි සර්ගේ පන්තියේ ටික්කා රස්සාව වත් ලබා ගන්න හිතාගෙන වුනත් පුළුවන් තරම් දවසක් ටික්කන්ගේ පස්සපාරේ වැටිලා කාඩ් නොගෙන පංතියට රිංග ගන්නට අනුර බො‍හෝ මාසවල දී සමත් වූයෙන් ටික්කා රස්සාවට අදාල තමන් වැනිම තවත් අනාගතේ බිහිවිය හැකි එවුන් ගැන මතක් වීමෙන් ඒ රස්සාවේ අමාරැකම ද වටහා ගනිමිනි. සුගත් සර්ට ටිකට් මාර්ක් කරන්න ටික්කෝ හත්දෙනෙක් හිටියා වුනාට එවුන් එකෙක්වත් සුදුසුකමක් තිබ්බ නම් ඒ ඒ වැඩේට අදාලව නම් නොවන වග අනුර ගොඩක් කල් ඉඳලා නිරීක්ෂණයෙන් පසු උන් වැඩියෙන් දක්ෂ වුනේ කෙල්ලන්ගේ පස්සවල් දිහා බලන්නට යැයි ලොකු අකුරෙන් ටික්කන්ගේ මුර කූඩුවේ චෝක් කෑල්ලකින් ලියා තබන හැටි අනුර හැමදාම හීනෙන් දැක්කා. ඒ අයට අලුත්ම මෝටර් සයිකල් තිබ්බා. ඒවායේ නැගලා ටික්කෝ පන්ති පටන් අරං පැය බාගෙකින් සර්ගේ කෑම බීම සහ අනෙකුත් පන්තියේ ළමයින්‍ට බෙදන ටියුට් මිටි- ෆයිල් මිටි අරං එන්න කඩිමුඩියේ යන හැටි අනුර පංතියේ ලෑලි අස්සෙන් බලං හිටියේ වාඩි වෙන තැන හරියටම බංකු පේලියේ කෙළවරක වූ නිසා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවට වඩා ආර්ථික විද්‍යාව උගන්වන ගුරැතුමාගේ වැටුපට වැඩ කරන ටික්කෙක් වීම උචිත බව අනුර කල්තියාම තීරණය කරල තිබ්බා. කොහොමත් වහල දාලා තිබ්බ විශ්ව විද්‍යාලවලට ගියා යැයි කියා මොන තරම් කාලයක් රස්තියාදු වෙවී ඉන්නට සිදුවන්නේ දැයි කනින් කොනින් නිතරම අසන්නට ලැබුනු නිසාවෙන් ඒ ගැන අනුරට හාංකවිසියක වුවමනාවක් නොතිබ්බේය.

අනුර ගෙදර ආ ගමන්ම කලේ නවත්තපු තැනින් නවකතාව කියවන්න ගත්ත එක, ඒ මොකද වෙන කිසිම දෙයක් කරන්න හිත නොදුන්න නිසා සහ නවකතාවේ තිස් හත වැනි පිටුවෙන් පස්සේ විස්තර වුන සෑම සිදුවීමක්ම දෑස් අභියස මැවී පෙනෙන්නට පටන් ගැන්ම නිසා ගෙදර වෙන කිසිම වැඩක යෙදෙන්න ගිය සෑම වෙලාවකම අම්මාගෙන් බැනුම් අහන්නට සිදු වුන නිසා. එදා රාත්‍රියේ කතාව නැවතුන තැනින් ...පටන් ගත්තා.

"පිඟන් මැටියෙන් කළ පෙට්ටි පුළුන් පිරැවූ සත්තු බෝනික්කන් සහ ඇගේ විවේක කාලයේ දී ඈ එම්බ්‍රොයිඩර් කළ කොට්ට විනෝදාංශයක් වශයෙන් ඈ එකතු කළාය. ඇගේ මුළුතැන් ගෙය නා නා ප්‍රකාර ආම්පන්න ප්‍රදර්ශනය කළ ප්‍රදර්ශනාගාරයක් බඳු විය‍. ඒ හැම ආම්පන්නයක්ම ඈ පාවිච්චියට ගත්තාය. ඈ මස් මාංසයෙන් වැළකුණත් හාවකු සේ කෑවේ ස්වල්පයක් වුවත් ඉවුම් පිහුම් කිරීම ඈට ආස්වාදයක් විය. සත්ත්ව මසක් ඈ සැලකුවේ මාරාන්තික වස විසක් සේය. එය මහා සෘෂිවරයා ගෙන් ඈ උගත් බො‍හෝ පාඩම් වලින් එකකි. මේ මහා සෘෂිවරයා ගේ ඡායාරෑපය ඇගේ විසිත්ත කාම‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ඇගේ ජීවන මඟ වූණේ ඔහුගේ දර්ශනය යි. ගණිතය මාර්ගයෙන් දේවාලෝකය ලැබූ සාන්තුවරයකු වූ ඔහු සිනාසෙන මුත්තකු බඳු විය. විශ්වය -ඊටත් වඩා ජීවින් -පාලනය කෙරැණෙ ඉලක්කම් වල බලයෙන් බව පයිතගරස් ගේ සිට අද දක්වා ඇති කරගත් සක්වළ ඥානයේ ධර්මතාවන් ගෙන් බව ඔහු පෙන්නුම් ‍කළේය. කෙසේ වෙතත් අනාගත වේදය හැදෑරීමට පළමු වරට අංක විද්‍යාව සංඛ්‍යානය භාවිත කළේ ඔහුය. "

අනුර පොත වසා දමා හිස ඔසොවා බලත්ම මිමී ඔහු අසලින් වූ ඇඳේ වාඩි වී බලා සිටියාය. දේව මායාවක් දැයි මොහොතකට සිතෙන තරමට ඇය රෑමත්ය. කාමරයේ අන්ධකාරය තුල මේසය මත වූ කඩදහි කෝප්පයකින් ආලෝකය මන්දනය කර ආවරණය කළ ඉටිපන්දම් හතලිහේ මේස ලාම්පුව හැර වෙන යම් ආලෝකයක් නොවූයෙන් මේ ඉන්නා ගැහැණිය මායාවක් ද හොල්මනක් ද සැබෑවක් ද යනුවෙන් ස්ථිරව බලා ගැනීමට ප්‍රමාණවත් නොවූවෙන්, තැති ගැන්මෙන් ද සිය පිරිමිකම හේතුවෙන් හඩා දොඩා යටි ගිරියෙන් කෑ ගසා හූ කියා මුළු ගෙදර දෙවනත් කරන්නට ද නොහැකියෙන්, අනුර ඇසිපිල්ලමක් නොසොල්වා මිමී දෙසම බලා ඉන්නට විය.

"ඔයා ඇයි මාව ඊවාගෙන් වෙන් කළේ? "

මිමී ඉතාම පහත් ස්වරයෙන් තූෂ්ණිම්භූතව සිටින අනුරගෙන් ඇසුවාය. අනුරට මේ කිසිවක් වටහා ගැනීමේ පියවි සිහියක් නොවුනි. අම්මා රාත්‍රී පාඩම් කරන වේලාවට සාදාගෙන එන තේ කෝප්පය මේ දැන් කොයි වේලේ හෝ කාමරයට රැගෙන එනු ඇති වග ඔහුට මතක් වූයෙන් මේ සුරෑපි නළඟන දැකුමෙන් විය හැකි අලකලංචිය එකවරම සිහියට ආවෙන් මිමී යනු තව දුරටත් පොත ඇතුලේ චරිතයක් නොවන වග සාක්ෂාත් කරගත්තේය.

"මම ඔයා‍ව කාගෙන්වත් වෙන් කළේ නැහැ. දැං ආයෙම පොත ඇතුලට යන්නේ කොහොම ද? මෙහෙම හිටියොත් අපේ අම්මා දකීවි. මහ විනාසයක් වෙනවා සත්තයි... ඔයා‍ ඇත්තටම කතා පොතෙන් එලියට ආවේ කොහොම ද? මම කියව කියවා හිටියේ ඔයා ගැන තමයි... ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම පොතෙන් සැබෑලෝකයට ඔයා‍ ඒවි කියලා. හපොයි! මම කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලත් නැහැ... මේ දැනුත් මම ඉන්නේ පියවි සිහියෙ හොඳ එකෙන්... මට කියන්න ඔයා මායාවක් ද? නැත්නම් හොල්මනක් ද?"

"මම මායාවක් වත් හොල්මනක් වත් නොවෙයි. ඔයා දන්නවනේ මහා සෘෂිවරයා කියල තිබ්බ විශ්ව රහස් විදියට ඕනෑම ‍පොතක් කිසියම් නිශ්චිත වාර ගණනක් කියැවුනාට පස්සේ එන ඊළඟ කියවීමේ දි මේ චරිත වලට සැබෑලෝකයට එන්නට වරම් ලැබෙනවා. ඒක විශ්ව රහසක්...ඒක දන්නේ මහා සෘෂි විතරයි... "

මිමී දෑස් පුංචි කරගෙන දිගටම කතා කරගෙන ගියා. ඇය පවසන ආකාරයට සෑම පොතකම පළමු පරිච්ඡේදයේ පළමු වැකියේ පළමු වචන හත තුල ඇති විශ්ව රටාවට අදාල සංඛ්‍යා විශේෂයක් නිවැරදිව හඳුනා ගැනීමෙන් එම සංඛ්‍යාවට සමාන වාර ගණනක් පොත කියවීමට ලක් වූ විට එම පොතේ චරිත වලට සැබෑ ලෙසම ජීවය ලබන බවත් ඒ ජීවය ලද චරිත අත්‍යවශ්‍යයෙන්ම එහි කතුවරයාගේ සිතේ මැවුන ආකාරයේම අයවලුන් බව ද ඇය දීර්ඝ ලෙස පැහැදිලි කළා.

"හොඳයි ...මට නම් මේක විශ්වාස කරන්න හරිම අමාරැයි...ඒත් කවුද මේ පොත කියවන වාර ගණන සටහන් කරන් ඉන්නේ ...හරියට උඩ ඉන්න දෙයියෝ අපි කරන කියන දේවල් බලං ඉන්නවට අමතරව කවුරැන් හෝ ලියා පළ කළ පොත් කී වාරයක් ලෝකයේ වෙනත් අය කියවනව ද කියලා වාර්තා පවා තියා ගන්නව ද? මට නම් හිතා ගන්න බැහැ...මහ විශාල දත්ත ගබඩාවක් ඕන වෙනවා ඒ තරම් ‍තොරතුරැ එක් රැස් කරන්න... "

මිමී ඊට පිළිතුරැ දීම වෙනුවට අම්මා පැමිණියොත් පළා යන්නේ කොහෙටදැයි විමසන්නට විය. එමෙන්ම තමා වැනි වූ ලිංගවිපරිතයන් හඳුනා ගැනීමට පරිපූර්ණ ගැහැ‍ණියකට මහ වෙලාවක් ගත නොවන වගත් ඈ අනුරට අවධාරණය කළා.

"කලබල වෙන්න එපා. ඔයා දැං ඔය පොත් කබඩ් එක පිටිපස්සට වෙලා ඉන්න. හෙට උදෙන්ම අම්මා වැඩට ගියාට පස්සේ මා එක්කල එලියට යමු... ඒක නොවෙයි දැං ඔයා විතර ද ඉන්නේ ? මෙහෙම සැබෑ‍ ලෝකයට ඇවිත් මොනවා කරන්න ද සූදානම? ඒ ගැනත් සෘෂිවරයා කියල තියෙනව ද? කතන්දර ප්‍රබන්ධවල ඉන්න අය සැබෑ ලෝකයට ඇවිත් ජීවත් වෙනව ද? එහෙම ආව අය තව ඉන්නව ද? මට හරිම පුදුමයි! "

"මිනිස්සු පොත් ලියන්නේ මොනවට ද? පොත් ලියන්නේ ඒවායේ එන පරමාදර්ශී චරිත හරහා යම් දිනෙක යථාලෝකයෙදි මේ ලෝකය උත්තර මිනිසුන්ගෙන් පුරවාලන්න අවශ්‍ය දිරිය සහ ශක්තිය ගෙනෙන්නයි...දැං මේ කතාවේ ඊවා තමයි ඔයා...ඊළඟ පරිච්ඡේදය කියවන්න ගියොත් ඔයා ගැහැණියක් වෙනවා...ඒ තමයි ඊවා. "

"මොනවා? මම ගැහැණියක් වෙනවා? දෙයියනේ...! මම තවත් මේ කතාව කියවන්නේ නැහැ. මට ඊවා වෙන්න බැහැ. ඇයි දෙයියනේ මම මේකට ගෑවුනේ? මම අහිංසකයෙක් මිමී...මට ලොකු හීන නැහැ...මම හිටියේ කවද හරි ටික්කෙක් වෙන්න. ඊවා කෙනෙක් වෙන්න නොවෙයි...බැරි වුනාද මේ තරම් බලසම්පන්න විශ්ව රහස් ක්‍රමයට අඩු ගානේ ඒ නිවැරදි සංඛ්‍යාව එලඹෙද්දී ඒ කතාව කියවන්න ඊවගේ වයසට ගැලපෙන කෙල්ලක් අතට මේ පොත පත් කරන්න? මට ඊවා වෙන්න නම් මේ කපේදී බැහැ. මම අනුර! සුගත් සර්ගේ අනාගත සුවච කීකරැ ටික්කා- අනුර!! "

"දැං ඔයා පොතේ ඉන්න ඊවා වෙන්නත් අකමැති නම් සේරම කනපිට තමයි සිද්ධ වෙන්නේ...
ඔයා දැනටමත් බෝම්බ පාර්සල් හිරගෙදරට සපයලා ඉවරයි අනුර... ඔයා දැං කොහොමත් පරිස්සම් වෙන්න ඕන. කොයි මොහොතක හරි රාජ්‍ය හමුදා ඇවිත් ඔයාව කුදලං යනවා ඒකාන්තයි!"

"හත්වලාමේ! මම මේ කතාව කියෙව්වා තමයි...ඒත් කවදාවත් මම ඔය දේවල් වලට කිසිම සම්බන්ධයක් නැහැ...ඔයා දන්නව ද මිමී මේක ශ්‍රී ලංකාව...ඔයාගේ මහා මැවුම්කරැ ඉසබෙලාගේ ලතින් අමෙරිකාව නොවෙයි...මෙහේ සිද්ධ වෙනවා විප්ලවයක් වගේ දෙයක්...ඒත් මළ ඉළව්වේ මම ඒකට කිසිම සම්බන්ධයක් නැහැ...මම උසස් පෙළ විභාගයට ලැහැස්ති වෙනවා විතරයි...හැම තැනම මිනිස්සු ඝාතනය වෙනවා... මොන මොන පැත්තෙන්ද කියන්න දන්නේ නැහැ...හැමදාම හැම ගංගාවකම ඉදිමෙච්ච මළකඳන් පාවෙලා යනවා...රාත්තිරිය එලිවෙන්නේ ගම් බිම්වල බිහිසුනු ඝාතන සිද්ධ වෙලා...මිනී ඔලු වැටවල් වල ගහලා...දඩුවම් විඳලා ලෙයින් ජීවි‍තයෙන්... මිනිස්සු ටයර් සෑයවල්වල ගිනි බත් වෙලා ...බලු කපුටන්ට ගිය මළ කඳන් තැන තැන...ඒත් මිමී මම ඔය කිසි දේකට සම්බන්ධ නැහැ...දෙවියනේ දැං මම බෝම්බ ගෙනිහිං දීල ද?"

මිමී දෑස් දල්වන් අනුරගේ කතා අසා සිටියාය. ඇයට අබිසරැලියන්ගේ කැරැල්ල මතක් විය.


"ඔව් ...අනුර ඔයා එක්කෝ කතාවේ ඉතිරි ටික කියවලා රොල්ෆ් කාලේව මුණ ගැහෙන්න... "

"ඒ මොකට ද? එයාට මගේ දෛවය වෙනස් කරන්න පුළුවනි ද? මම දන්නේ රිචඩ් ඩි සොයිසා විතරයි එහෙම මාධ්‍ය වේදියෙකුට...ඒත් ඒ මනුස්සයට ‍මොනව වෙයිද කියල කියන්න දන්නෙත් ඔයාගේ මහා සෘෂිවරයා වගේ කෙනෙකුට විතරයි...මේ තමයි 1988 ... බියකරැම යුගය ලංකාවේ!"

"ඇයි දෛවය වෙනස් කරන්නේ ? ඊවා ලූනා අහුවෙන්නේ නැහැ නේ හමුදා අතට...?? නමුත් ඔයාට පුළුවනි මැරෙන්න ඉස්සර එක වතාවකට හරි ඔයාගේ කතාව කවද හරි මිනිස්සු අතරට ගෙනියන්න රොල්ෆ් කාලේ හරහා...ඒ වගේ මාධ්‍යවේදීයෙක් හරහා"

"මිමී ඔයාට හොඳටම පිස්සු...මිනිහෙක් වෙලා කාලයක් ජීවත් වෙලා ගැහැණියක් වුනාම ඔයාට ඔය වගේ දේවල් හිතෙනවා වෙන්නැති...නමුත් මිමී ...මම කවදාවත් ඊවා ‍ලූනා වෙන්නේ නැහැ නැහැමයි...ඒක ප්‍රබන්ධයක්...අනිත් අතට මේක ලංකාව...මම ඔය බෝම්බ වැඩේට සම්බන්ධ නම් දැං මගේ වළ කපා ගන්න එකයි කරන්න ඕන...ගැලවීමක් නැහැ...මම කො‍හේ කියල හැංගෙන්න ද? මේක පුංචි රටක් මිමී...අනිත් එක සෙල්ලමටවත් මම විප්ලවවාදියෙක් නොවෙයි! "

"ඒත්... මේ බලන්න අනුර...මේ පොතේ පිටු අඩුයි... "

"ඔව්. මේක මම ගත්තේ මහජන පුස්තකාලෙන්...කරන්න දෙයක් නැහැ...පොත් කියවල පිටු ඉරා ගන්න නපුංසකයෝ තවත් එකෙක් ගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැහැ...උන් මේ පිටු ඉරා‍ නොගත්ත නම් මට තව දවසක් හරි ජිවත් වෙන්න තිබ්බා...කමක් නැහැ...පොත්වල පිටු ඉරන නපුංසකයන් බංග වේවා! මම මරණයට සූදානම්!! "

5 comments:

  1. මිමී ගෙ කතාව එක හුස්මට කියව ගෙන ගියා...අපූරූ ලෝකෙකට මොහොතකට මාව අර ගෙන ගිහින් අතරමං කළා වගෙ...කියවන්න හරිම ආස හිතෙනව.
    අදම්යි මේ වගෙ අපූරු කතාවක් සයිබර් අඩවියෙ කියෙව්වෙ....ධෛර්යය සහ ශක්තිය ඔබට, තවත් යස නිර්මාණ කරන්නට!

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි අක්කන්ඩි ඔබගේ දිරිගැන්වීමට!

    ReplyDelete
  3. Ela.. ela... Mage langa thama thiyenawa Evaluna 1st Edition eka.

    ReplyDelete