Tuesday, December 28, 2010

ඔහු වෙනුවෙන් ලියූ අපූරු යතුරුපුවරුව

ඔලිම්පියා ව‍ර්ගයේ යතුරුලියනයක් ඔහුට මිළ දී ගන්නට මුදල් ලැබුණේ එක්තරා අපූරු ආකාරයකටය. එනම් මීට වසර තිස්පහකට පෙර අනපේක්ෂිත ලෙස නිර්භීතම පුවත්පත් කලාවේදියා සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ රජයෙන් ලද මුදල් ත්‍යාගයෙනි. එකල ඔහුගේ නිර්භීත ක්‍රියාව වූයේ බෝගල පතලක අධික වැසි වැටීමෙන් පසුව පස් කඳු කඩා වැටී ‍පොළව යට සිරව හුන් කම්කරුවන් පිරිසක් බේරා ගන්නා අතිශය දුෂ්කර අන්තරායකර බිම් ගුහා හාරාගෙන ගිය ගමනට සම්බන්ධ වීමය. එම වසරේ ත්‍යාගයට රෙකමදාරු වූයේ ඒ වීර ගමන ගැන ලියූ පරිසර වාර්තා ඇගයීමට ලක්වීමෙනි. එකල රටෙහි වූ නිර්භීත ක්‍රියා එතෙකින් සීමා වූයේ දැහැමි පාලනයක් වූයෙන් යැයි දැයි ඔහු මෑතකදී සිය පුවත්පත් කොලමේ ලියා තැබීය. වීර ක්‍රියාවකට මග පෑදුනේම ස්වාභාවික විපතක් නිසාවෙන් බැවින් වසර තිස්පහක කාලයක් තුළ වීර ක්‍රියාවේ ක්ෂිතිජය සිතා ගත නොහැකි තරම් ඈත් වී වෙනස් වී දුෂ්කර වී ම්ලේච්ඡ වී ඇතැයි ද ඔහු ට සිතුනද එය සිය කොලමේ ලිවීමෙන් වැළකී සිටියේ ය. එතෙකින් මෙතුවකට කරගෙන ආ පත්තර රස්සාවෙන් ඔහු ලද්දේ එදා වේල - පරිගනකයක් සහ අන්තර්ජාල පිවිසුම -ආත්ම තෘප්තිය සහ මරණ තර්ජන පමණි.

අද ඔහු පණස් විය ඉක්මවා වයසින් ගොස් ඔලිම්පියාව වෙනුවට පරිගනක යතුරුපුවරුවක් සිය ඇඟිලි තුඩු අගින් ස්වල්ප පරිශ්‍රමයකින් තලා දමමින් ලියන කොලම විද්‍යුත් පණිවිඩයක් හරහා පුවත්පතට යවා එහි ‍ආදායම ණයවර පත්‍ර ගිණුමට බැර කරගනිමින් සිය නිවසේ සිටම වෘතියේ යෙදෙන යුගයට අවතීර්ණ වී සි‍ටියේය. ඔහු වඩාත් විශාල නිදහසක් භුක්ති වින්දේ ලිවීමේ පහසුකම ඔස්සේ මිස සමාජ‍ය තුළ ලියන්නට ඇති ‍දෑ ලිවීමට ඇති පහසුව ඔස්සේ නොවේ. ලියන්නට අතිශය පහසුම තාක්ෂණයක් වර්ධනය වී ඇතිමුත් ලියන්නට ඇති දේවල් ලිවීමේ නිසාවෙන් උපදින ප්‍රතිඵල මැඩ ගැනීමේ තාක්ෂණයක් දියුණු වී ඇති වගක් ඔහු‍ට නෙපෙණුනි. ඔහුගේ කාලය බොහෝ සෙයින් ගතව ඇත්තේ ඉස්පිරිතාලවල පොලීසිවල සහ උසාවිවල ය. වරක් ඔහු පාලකයාගේ රහසිගත රාජ මන්දිරයක් ගොඩනගන නගරයෙන් ඈත දුෂ්කර වනදුර්ගයට රහසිගත ලෙස පාගමනින් ගොස් එකතු කරගත් තොරතුරු ලියා ප්‍රසිද්ධ කළෙන් දුරකතනයෙන් සහ ලිපි මගින් එක දිගටම ලද මරණීය තර්ජන හේතුවෙන් සිය කුලී ගෙදර අත්හැර දමා නන්නාඳුනන පලාතක සැඟවී මාස කීපයක කාලයක් ගත කරන්නට සිදු විය. එබඳු කාල පරිච්ඡේද කීපයක් පසුගිය වසර දශක එකහමාරක් තුළ උදා වූයේ තමාටත් නොදැනීම බැව් ඔහුට නිරතුරුව මතක් විය. වීරත්වයේ සැබෑ මායිම් රේඛා වෙනස් වී ඇත්තේ යැයි ඔහු අදහන්නේ එබැවිනි.

පසුගිය සතියේ ඔහු ලද අපූරු තොරතුරක් නිසාවෙන් ඔහුගේ සමස්ත ජීවිතයම මෙයාකාරයෙන් වෙනස් වේයැයි ඔහුට සිහිනෙකුදු නොසිතුණේය. ඔහු තම සිරුරේම සිරකරුවකු වී සිටියේය.


***

සිය සියළු මනෝභාවයන් සළිත කරවූ එම ප්‍රවෘත්තිය දුරකතනයෙන් ඇසුමෙන් ඔහුගේ අතැඟිලි නලියන්නට වූයේය. මෙය අතිශය සාපරාධී පාපකාරී අවස්ථාවක් ලෙස සිතෙහි හටගත් තැවිල්ල හේතුවෙන් ඔහු පරිගනකය දෙස බලා සුසුම් හෙලමින් බලා සිටින්නට විය. ඔහු මේ කාරණය අරභයා කොලමක් ලියන්නේ නම් එය තම සමස්ත ජීවිතයේ දී ලබන්නට යන උපරිම ත්‍යාගය ලැබුමට ප්‍රමාණවත් වන බැව් කල්පනා විය. ඒ ත්‍යාගය නම් මරණය යි. පාලකයාට එරෙහි මෙබඳු කාරණාවක් ලියන්නට මනස මෙහෙය වන්නෙක් උත්තරීතර වීරත්වයට පත්වනු නොඅනුමාන වුව ද පසුගිය වසර දහය තුළ එවැන්නෙක් ඉතිරි වී ඇත්නම් ඒ තමා පමණක් බැව් ඔහු සක් සුදක් සේ පැහැදිලිව දැන හුන්නේය. ඔහුගේ අතිජාත මිතුරන් වූ පුණ්ඩදූල ,කාකනාම ,හිඳඹුසේන, සුමණදීන ,කීරදෙණිය යනාදීහු දැන් වෙසෙන්නේ රජ මැදුරේය. ඔවුන් ගමන් බිමන් යන්නේ රජවාසල රථවලිනි. කෑම බීම තරු පහේ හතේ හෝටල වලය. ඔවුනගේ‍ එකම කාරිය රජු වෙනුවෙන් උසස් ව්‍යාකරණානුකූලව ලිපි රචනා ලියා එක්කෝ පුවත්පත් කතෘවරුන්ට යැවීමයි. නොඑසේනම් රජතුමාට ප්‍රසිද්ධියේ දේශන රැලි වලදී කියවන්නට සකස් කර දීමයි. අවශේෂ වශයෙන් රජතුමා ගේ නියමයෙන් පොත්පත් ලියා පළකරන ඊනියා විශාරද ඥාතීන් දරුවන් වෙනුවෙන් ගොස්ට් රයිටර්ලා විදියට සේවා සැපයීමයි. මේ කොයික කළත් ඔවුනට රජ සම්පත්තියෙන් අණූන සැප සම්පත් නිරන්තරයෙන් ලබන්නට වාසනා වී ඇත්තේය. ඔවුනගේ දරුවන්ගේ අධ්‍යාපනය එංගලන්තයේ හෝ ඇමරිකාවේය. ඒ තතු ජීවිතයේ සැබෑ වූ සිහින වන්නේ මේ ජීවිතයට ඔවුන් පිළිපන් බැවිනි. ඔවුන් ර‍ට පිළිගත් බුද්ධිමතුන් ගේ ශ්‍රේණියට උසස් වී ඇත. ඔවුන් කියනා දෙයක් උත්කර්ෂයෙන් පිළි ගන්නට සියල්ලෝ සැදි පැහැදී සිටිති. ඒ ජීවිතයට ඇතුළු වීමේ යතුරු ඔහු අත වුවද කිසිකලෙකත් වාසල දොරටුව වෙත පා නගන්නට ඔහු සිත් නොවීය. දොරටුව අභිමුව ජෙලග්නයිට් කූරක් සේ පත්තු වන්නට පතමින් හේ කල් මැරීය. සැබෑ ජීවිතය දුෂ්කරය. තැතිගැන්මෙන් ගත වුවද රජ වාසල වාසය ඔහුගේ ආත්මය පාවා දීමක් ලෙස නිරන්තරයෙන් හැඟුණි.

පසු දින ඔහුගේ කොලමේ ලියැවී ඇති කාරණා සම්බන්ධව පුවත්පත් කතෘ මාණ්ඩලික ප්‍රධානියා ඔහු වෙත දුරකතනයෙන් උදෑසන කතා කළේය. කස්සප විශ්මයට පත් විය. තමන් එය නොලියූ බව සපථ කර කීවද කතෘතුමා කීවේ එය විද්‍යුත් තැපෑලෙන් ලද බවත් එය පුවත්පතේ පළකිරීමට තමන් රෙකමාදරු කළ බවත් එවැන්නක් ලිවීමෙන් තම පුවත්පතට කළ ලාභය නිසාවෙන් තම ගෙවීම තුන්ගුණයකින් වැඩි කළ බවත් මෙබඳු ප්‍රචණ්ඩ- නිර්භීත ලිපිවලට ජනයා අතිශය උනන්දුව දක්වන බවත් පුවත්පත උණු කැවුම් මෙන් විකිණී යන්නට එය හේතුවන බවත් පැවසූ හෙතෙම ඔහුට සුභ පතා තවත් මේ වැනිම ලිපියක් ඊළඟ නිකුතුවට ද එවන ලෙස බැගෑපත් විය.

කස්සප අතිශය ලෙස කම්පාවට පත්විය. නැවත නැවතත් කල්පනා කළ ඔහු එබඳු ලිපියක් තමා නොලියූ බැවින් මේ කාරණය අරභයා තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නේ කෙසේදැයි කල්පනා කරන්නට විය. කවුරුන් හෝ තමන්ගේ විද්‍යුත් ලිපිනය සොරාගෙන මේ කඩාකප්පල්කාරී කටයුත්ත කරන්නට ඇතැයි ඔහුට සිතුණද දැන් මේ ලියැවිල්ලේ වගකීම තමන් වෙත පැවරී ඇති හෙයින් එබඳු ළාමක දේ කීමට සූදානම් වීමෙන් ඵලක් නොවන බැව් හෙතෙම කල්පනා කරන්නට විය.

ඔහු පරිගනකය ඉදිරියේ වාඩි වීමට ද බිය විය. පරිගනකය සුපුරුදු ලෙස මේසය මත නිසොල්මනේ ඔහු දෙස මොනිටර නෙත දල්වාගෙන බලා සිටී. එහි යතුරු හෙමින් සීරුවේ රිද්මයකට එබි එබී යන්නා සේ ඔහුට පෙනී ගියේය. දෙයියනේ මා වෙනුවෙන් යතුරුපුවරුව යතුරුලියනව ද?

හදිසියේම සිය කුලී නිවසේ දොර මහ හඩ නංවමින් විවර වී සිය දෙටු දියණිය පෙනී සිටියාය.

"මොකද්ද තාත්තේ මේ කරන්නේ? අපිවත් මරාගෙන මැරෙන්න ද හදන්නේ? මේ බලන්න මගේ පුංචි එවුන් දෙන්නා දිහා. උන්ට තවම අවුරුදු හතයි හතරයි. තාත්තා හදන්නේ අපිවත් පණපිටින් වළලන්න ද?"

එසැණින් සිය බෑණා ද දියණිය පසෙකට තල්ලු කර ඔහු ඉදිරියේ සිට ගත්තේ සිය දබර ඇඟිල්ල ඔහුගේ නාසයට එල්ල කරගෙනය.

"තාත්තේ...හොඳ හිතින් මේ කියන්නේ...අපි කන්න බොන්න දෙන්නම් ... ඔය පත්තරේට ලියන එක නවත්තල දමල යං අපිත් එක්කල. මේක පුදුම කරුමයක්නේ? තාත්තට මොකද්ද තියෙන පිස්සුව මේ? රටේ රජතුමාගේ දේවල් එලිපිට ලියන්න යන්නේ එතුමා කවුරු කියල හිතා ගෙනද ? අපි මොක්කුද? මේ පත්තරේට ලියපු එකම ඇති අපි සේරටම වලපල්ලට යන්න. පුදුම පිස්සුවක් නේ තාත්තේ තාත්තට තියෙන්නේ? යං යං මේ මගුල් සේරම දමලා අපේ අහ යං..."

පුවත්පතේ කතෘතුමා නොසෑහෙන උන්මාදයකින් පුවත්පතේ අයිතිකරු ‍හමුවී සිය ව්‍යාපෘතිය මල්පල ගැන්වූ ආකාරය විස්තර කර ඔහුගේ අමන්දානන්දය තව තවත් වර්ධනය වන සේ කතා කරන්නට විය.

"අපි මේ පාර මේ රජතුමා ගෙදර යවන්නේ පාරවල් ගානේ උද්ඝෝෂණ අරව මේව කරල නොවෙයි. එකම එක කොලම් එකකින්! ඔබතුමා දන්නව ද දැං මුළු රටම මේ කස්සපගේ කොලම් එක කියවනවා. පත්තර විකුණුම හතරගුණයකින් වැඩි වුණා පහුගිය සති හතර ඇතුළේ. මිනිස්සු පාරට බස්සන්නේ අර පක්ෂෙන් මේ පක්ෂෙන් නොවෙයි. මේ කස්සපගේ කොලම් එකෙන්!"

කස්සප සිය දියණියගේ ගෙදර පදිංචියට ගිය දිනයේ සිටම බෑණා ඔහු අසලම නිදි වර්ජිතව දිවා රෑ දෙකෙහිම ඔහු කිසිම‍ දෙයක් නොලියන්නේ යැයි සපථ කරමින් ඔහු අසලම සි‍ටියේය. සත්‍ය වශයෙන්ම ඔහු වැසිකිළියට ගියද බෑණා ඔහු අසලම රැකවල් ලා සිටියේ ඒ අතරතුර හෝ ඔහු යමක් නොලියන බැව් තහවුරු කරගන්නට ය. සියල්ල හොඳින් සිදුවිය. කස්සපගේ කුළී නිවස ප්‍රචණ්ඩ ජනතාව විසින් ගිනිබත් කර ඇති බැව් පසුදින ජාතික පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂපාඨය ලෙස මුල්පිටුවල බැබලි බැබලී තිබුණු අතර ඔහුගේ වතගොත ජීව දත්ත වලින් ඇතුළු පිටු පිරී ‍ගොස් තිබුණි. ඔහු මේ සියල්ල දත්තේ සිය දියණිය වැඩ‍ හමාර වී ගෙදර එනවිට ගෙනැවිත් තිබූ දවසේ පත්තර සියල්ලම පිටුවක් නෑර පරීක්ෂාවෙන් කියවීමෙනි. යසෝමා ලෝකාවසානය වෙත ලංවූ බැළලියක් මෙන් ගර්හිතව සිටියාය.

"පුතේ විශ්වාස කරන්න මම මේ කිසිම දෙයක් ලීවේ නැහැ. විශ්වාස කරන්න. දැං මේ කස්සප කොලම් එකේ යන ඒවා කිසි දෙයක් මා අතින් ලියැවුණු දේ නොවෙයි. මේක මහ විශාල පුදුමයක්. නමුත් මේ ලියැවෙන දේවල් සැබෑවටම මිනිසුන් දතයුතු දේවල් බැව් හැබෑව! මේ ඔක්කොම මා දන්නා විස්තර තමයි. නමුත් දෙවියනේ මම මේ කිසිවක් ලීවේ නැහැ. කවරුහරි මගේ නමින් මේවා පුවත්පතට විද්‍යුත්තැපෑලෙන් යවනවා. ඉතිං මං මොනවා කරන්නද දෙයියනේ...මම මේවා ලියන්න හිතුවත් ලීවේ නැහැ."

"පිස්සු විකාර දොඩවන්න එපා තාත්තෙ. මේවා සේරම තාත්තගේ මතිමතාන්තර එක්ක යසට ගැළපෙනවා. තාත්තා හිතන විදියටම ඒ ශෛලියටම වෙන කාටවත් ලියන්න පුළුවන් ද? දැං රජවාසල ප්‍රකාශයකුත් නිකුත් කරල තියෙනවා තාත්තා ද්‍රෝහියෙක් කියලා. මේවා ගැන මේ විදියට බොළඳ කතා කියන්න එපා. මගේ ජීවිතෙත් ඉවරයි තාත්තේ. කොයි වෙලාවක හරි අපි සේරමත් සූන්නද්දූලි වෙනවා අද හෙටම. මේ බලන්න මේ පත්තරේ...මේ කියල තියෙන්නේ යසෝමා ගැන. දෙයියනේ මගේ දරුවො දෙන්නා... යසෝමා...අපි අද රෑම තාත්තත් අරං අපේ අහ යමු. නැත්තං අද රෑට සොයාගන්න වෙන්නේ අපේ භෂ්මාවශේෂ තමයි."

ඔවුහු සියල්ලම එදිනම රාත්‍රියේ කුලී රියක නැගී අසේලලයි මහගෙදරට පිටත් විය. යසෝමා මේ සියළු කරදර විපත්ති ගෙන ආ සිය පියා දෙස උපේක්ෂාවෙන් බලා සිටියාය. කස්සප රියේ වහල දෙස අඩවන් දෑසින් බලා ගත්වනම ඔහේ සිටින්නට විය. ඔහු මැතිරුවේ තමන් මේ කිසිවක් තම කොලමට නොලියූ බවයි. එය අඩෝවැඩියාවක් මෙන් ගමනාන්තය තෙක්ම ‍යසෝමාගේ කණට වැක්කිරිණි.අසේල භයභ්‍රාන්තරව දල්වා ගත් දෙනෙතින් අඳුරු මහමග දෙසට නෙත් යොමා නොඉවසිලිමත්ව සිය සිවුහැවිරිදි දියණිය තුරුළු කරගෙන සිටියේය. ඔහුගේ පියා මේ සියලු ආරංචි පුවත්පත් වලින් කියවා අතිශය භීතියටත් සංත්‍රාසයටත් පත්ව ඇඳේ වැතිරී සිටියේය. ඔහුගේ රුධිර පීඩනය ඉහළ ගොස් තිබුණි.

කතෘතුමා මේ සතියේ පළ වූ කස්සප කොලම ගැන දුරකතනයෙන් රාජ්‍ය රහස් අංශයේ නිලධාරීන් සමග කතා කරමින් සිටියේය. ඔහු අභියස රහස් පරීක්ෂණ අං‍ශයෙන් පැමිණි නිලධාරීහු දහ දෙනෙක් සිට ගෙන සිටියෝය. ඔවුහු කඩිමුඩියේ විශේෂාංග දෙපාර්තුමේන්තුවේ ලිපි ගොනු සහ පරිගනක දත්ත පරීක්ෂා කරමින් ද කතෘතුමා ප්‍රශ්න කරමින් ද යුහුසුළු වූහ.

"මහත්වරුණි මේ කස්සප ලිපිය අප වෙත එවන්නේ විද්‍යුත් තැපැල් මගින්. කස්සප ඉන්නේ කොහෙද කියන්න මම දන්නේ නැහැ‍. අපි ළඟ තියෙන්නේ මේ ලිපිනය විතරයි. ඉතිං ඔහෙල මට වඩා හොඳින් දන්නවා ඇති නොවැ ඒ කුලී ගෙදර ගිනිබත් කරල කියල ඊයේ රාත්තිරියේ. මට කියන්න තියෙන්නේ මේ ලිපිය අපට ලැබෙන තාක් අපි ඒක පළ කරනවා. ඕගොල්ලෝ නීති මගින් ක්‍රියාත්මක වීම අපට ගැටළුවක් නැහැ. අපි ඒවට පෙනී සිටිනවා. මේක කිසිම ආකාරයක නීති උල්ලංඝණය කිරීමක් නොවේ වග ඔබතුමන්ලා දන්නවා. ඔබතුමන්ලගේ ප්‍රශ්නයත් මේ කස්සප කොලමේ ම කීප වතාවක් ලියැවිලා තියෙනවා නොවැ. ඒවා අපිට වඩා හොඳට තේරුම් යන්නෙත් ඔය මහත්වරුන්ටම නෙව."

කස්සප කොලම අඛණ්ඩව පුවත්පතේ පළ වන බැව් දුටු අසේලට පිස්සු හැදෙන්නට ඔන්න මෙන්න යැයි සිතුණු එක් අවස්ථාවක කස්සපට තමා මේ කොලම ලියන්නේ නැතැයි ඔප්පු කිරීමට අතැඟිලි තලා ගන්නට සිදු විය. ඔහු එය කළේ වංගෙඩිය සවිමත් බාල්කයක කඹයක් ආධාරයෙන් ඉහලට ඔසවා සිය දෑත් මතට පතිත වන ලෙස සැකසූ ලීවර ආධාරකයක් සිය කකුලින් පන්නා දමමිනි. කස්සප සිය අකර්මන්‍ය වූ දෑතේ ඇඟිලි ඉමහත් ආඩම්බරයෙන් සිය දියණියටද පෙන්වා පෞද්ගලික රෝහලෙන් පිටත්ව ආවේ දින තුනකට පසුවය. යසෝමා සිය පඩිපත පෞද්ගලික රෝහලට වැය කර සිය පියාගේ අකර්මන්‍ය දෑතේ තුවාලවලට බෙහෙත් ගල්වා සනීප කරගත්තාය. කස්සප කොලම අඛණ්ඩව පුවත්පතේ පළ විය. එදිනෙදා රජ වාසලේ අකටයුතුකම් වංචා දූෂණ එළිදරව් කරමින් නිර්දය ලෙස විවේචනාත්මකව ලියැවුණු මේ කොලම රජතුමා ද නිතිපතා කියවන්නට වූයෙන් රජතුමා නොදන්නා තම පවුලේ ඥාතීන් විසින් කරන අකටයුතු කම් පවා දැනගත්තෙන් ඉමහත් ප්‍රචණ්ඩත්වයට පත්ව සිටියේය. පොලිසියේ විශේෂ ඒකකයක් පොලිස්පතිගේ නියමයෙන් විවෘත වූයේ කස්සප අත්අඩංගුවට ගැනුමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නටය. මෙම පොලිස් අංශය හැඳින්වූයේ කේපී ඔපරේෂන් නමිනි.

කස්සපගේ අකර්මන්‍ය දෑත් නිසාවෙන් ඔහුගේ අසරණ විලාසය බලා සිටිනා යසෝමා සහ අසේල ද කම්පිතව වැහැරී සිටියහ. ඔවුනගේ දෛනික ජීවිත අවුල්ජාලා බවට පත්වී තිබුණි. අසේල වැඩට යන්නේ යසෝමා සමග මාරුවෙන් මාරුවටය. කස්සප කොලම නවතින දවසක් නොදැකම තිබියදී මෙය ලියැවෙන්නේ කෙසේදැයි අසේලට සිතාගත නොහැකිව තිබිය දී දිනක් යසෝමා සහ අසේල තම පියා වෙනුවෙන් රාජකාරී මාරුකර ගන්නා ස්වල්ප කාලාන්තරයක දී කස්සප සිය දෑස් ඇඳ මිට්ටමේ වූ තියුණු ගැටියක හප්පා දෑස් ලේ විලක් බවට පත්කර ගත්තේය. එදින රාත්‍රිය රෝහලේ කටුක ලෙස ගෙවන්නට අසේලටත් යසෝමාටත් දියණියන් දෙදෙනාටත් සිදු විය. කස්සපගේ දෑස් අඳ වී තිබුණේ සිදු වී ඇති හානි‍ය යලි කිසිදු දිනක ප්‍රතිකර්මයකින් සකස් කර ගැනුමට‍ නොහැකි ලෙසිනි.

කස්සප කොලම නොනවත්වා ලියැවුණි. පුවත්පත් රට පුරා විකිණෙද්දී දහස් ගණන් මිනිසුන් රාජවාසලේ අත්තනෝමතික ක්‍රියා ගැන සිය විරෝධය පතුරද්දී පුවත්පතේ කතුවරු සහ ව්‍යාපාරික සමූහය එක රැයකදී අතුරුදන් වූ අතර පුවත්පත් මුද්‍රණාලය ගිනිබත් විය. කස්සප කොලම අන්තර්ජාලයේ සැරිසරන්නට වූයෙන් කස්සප සොයා ක්‍රියාත්මක වූ කේපී ඔපරේෂන් එක සාර්ථක වී තිබුණි.

කස්සප ගෙලෙන් පහලට අක්‍රිය වූ දේහයක් සහ නොපෙනෙන දෑසකින් යුතුව ඇඳක වැතිරී සිටිය දී අසේල සහ යසෝමා ද ඔවුනගේ දරු දෙදෙනාද සමගින් අත්අඩංගුවට පත්වුව ද අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර කස්සප කොලම දිනෙන් දින ව්‍යාප්ත වනු නිලධාරීන්ටද රාජාණ්ඩුවටද දැක ගත හැකි විය.

3 comments:

  1. Excellent post..!

    ReplyDelete
  2. Come here from Malaysia

    http://najib-razak-quote.blogspot.com

    ReplyDelete
  3. Sihina EkathukarannekJuly 9, 2011 at 1:29 AM

    Sometimes Truth takes a life of it's own . At that point it is unstoppable !

    ReplyDelete