Friday, July 8, 2011

මාරාව

අපි දෙන්නම ගහළ ගාලෙන් පනිද්දි මට ඒකිගෙ අත අතෑරුනා ඇහිපිල්ලමක් ගහන ඉක්මනට. මම නැවතිලා ආපහු හැරෙද්දි පේමක්කා චීත්තේ ඇඟිලි තුඩුවලින් කකුල් පාදා ගන්න තරමට උස්සං ලැහැස්ති වෙනව ආයෙම පනින්න ඇඹුල් මූණෙන් බිම බලාගෙන. මම ආයෙම අනික්පැත්තට පැනලා පේමක්ක අල්ලගෙනම මේ පැත්තට පැන්නා හනිකට. වෙලාව තිබ්බේ නෑ විශ්වයටම කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලා දෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මට අතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඩේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුර ගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින් ආකාහෙ වැහි බීරමකුත් මුහු වෙලා තිබ්බා ගස් අස්සෙන්. ගඳපාන මල් තැලුනු හැම පඳුරක්ම හෙලවෙද්දි ඒ සුවඳ පැතිරෙව්වා හාත්පස මුකළානෙ. අපි අපේ අත් දැඩිව හිර කරං දුවන්නට වුනා. ඉඟුරු මුසු හඳුන් සුවඳක් ඇගේ හැට්ටෙ අස්සෙන් එනවා වගේ පිම්මේ දුවද්දි ළඟ ළඟම තං දෙකම උඩ පැන්නා තරගෙට වගේ එකිනෙක සිඹ සිඹ මට උහුලන්ට බැරි වුනා ඒ ගැස්සුම ඇහැ අද්දරින් පේන කොට. ගඳපාන මල් සුවඳ හරි කාමුකයි කියලා එවෙලෙ මට හිතුනා. ලැම අස්සෙ හිරවෙච්ච ඒ සුවඳ හිත එක්කල හටං කරද්දි ගඳපාන සුවඳ වාතයේ තිබ්බ වැහි දූලි සුවඳ එක්කල මුහු වෙද්දි ඇඟ උණුහුම් වෙන්න ගන්නවා වගේ දැනුනා. මොකද්දෝ හීනි රස්නයක් විදුලි කොටන්නා වගේ කොඳු නාරටිය දිගේ දිව්වා වගේ දැනුණා බිජ්ජ දිහාවට. එතකොටත් අහසේ විදුලි ඉරි ඇඳෙන්න ගත්තමයි. චීත්තෙ සටසට ගාද්දි ඒ සුවඳ තව තවත් මට දැනුණා බූමිතෙල් සුවඳ එක්කල.තව මොහොතකින් මහ වරුසාව ගස් කොළං පොඩිකොරං බිම පතබාන බව මට සුවඳින් දැනුණා. වැහි සුවඳ බැද්දේ ගස්කොලං අස්සෙන් දිව්‍ය ලෝකෙන් හමා එන සුවඳක් වගෙයි දැනුණේ. වැහි සුවඳ-ගඳපාන මල් සුවඳ-හැට්ටේ අස්සෙන් එන හඳුන් සුවඳ අතෝරක් නැතුව අපේ නාස්පුඩුවල බැඳුනා කාරමක් වගේ. බැද්දට කෙළවරක් නෑ වුනාට අපි දෙන්නට කෙළවරක් තිබුණා හැඟවිල්ලේ හෙවණ දෙන මහ ගස් අතර වල් කොටුවක රහසිගත. කටු පඳුරු වට කරපු අන්දර ගස් හෙවණ යට තැලිච්ච තණ ඇතිරිල්ල හැම පෝයකටම වකුටු කොඳු දිග ඇරන් ඉන්නට ලබන අවසාන මොහොතට කලිනුයි මේ අපෙ දිවිල්ල...ළතැවිල්ල.


මම සරම කඩල දමල චීත්තෙත් එක පාරින් කඩල දැම්මා ඉර එළිය යම්තමට වළාකුළු අස්සෙන් ඝණ සැරේට විහිද විහිද තිබ්බා මොහොතකට විතර. චීත්තෙ තිබ්බ මල් පොහොට්ටු හතරවටේ පඳුරුවල පිබිදුනා වගේ මම දැක්කේ අහසේ විදුලි කෙටුමකුත් එක්කලම. යටිකය නිරුවස්තරේ එයා බිමට වකුටු වුනාම පිටිපැත්තේ කොඳුනාරටිය තට්ටමේ දෙබෙදුමට පැතිරිච්ච හරිය ඉර බහින මුකලානේ කඳු පංතිය වගේ දිස්නෙ දුන්නා ආලෝකෙට. එතනදි අපි දෙන්න පෙරළුනා...පේමක්කා හිනා වුනා. දිගටම හිනා වුනා..නතර නොකර හිනා වුනා කිතියෙන් වගේ. මට පිස්සු කියලා පේමක්කා කියද්දිම මම කට හිර කරගත්තා මගේ කටින් දෙපැත්තට දමලා පේමක්කගෙ කකුල් මැදින් හිර කරගන්න ගමනෙම තණ බිස්සට දැනුණා උණුසුම මෙච්චර වෙලා හැංගිච්ච. ඒ එක්කලම පේමක්කා ඇස්දෙක ගිනිබෝල දෙකක් වගේ ලොකු කරගත්ත ගමන්ම මාව ඒකිගෙ ඇඟෙන් ඉවතට විසිවෙලා යන්න මුළු දහිරියෙන් තල්ලුකරලා කැඩිච්ච චීත්තෙ කුකුල් හිකිල්ලක වේගෙන් ක්සනිකව අත්දෙකෙන්ම පෙරවගෙන ආපු පැත්තෙන්ම ගාල කඩාගෙන දුවන්න උනහම ඇසිල්ලකින් මම මගේ පිබිදුනු ඉඳුරන් එක්කලම තණ ගොල්ලේ හතර අතට අතපය විසිකරාන අන්දර ගහේ මුදුන දිහා ඇස් එල්ල කරගත්තමයි දැක්කේ මහතුං ගහේ අත්තක දිගෑ වෙලා පහළ බලං ඉන්න හැටි...වේස බල්ලා!


ඒ ඔක්කොටම ගියේ බඹරෙක් මූනට කිට්ටුවෙං රූං ගාං යන්න යන වෙලාවක් වෙන්නැති.


"මොකද්ද හු... තෝ ගහ උඩ කරන්නේ? "


මට යකා වැහුණා..පරල වුනා. මගේ ඇඟ වෙව්ලන්න ගත්ත.මම සරම උඩහට ඇදල දාගන්න ගමන් හුන් තැනින් දනිපනි ගාලා නැගිට්ටුනා. සරම කැසපට ගහල මහතුං ට පහලට බහින්න කෑ ගෑවා යටිගිරියෙං. මූ ගහේ බඩගාං බලං ඉඳලා පරයා මම මෙතෙන්ට එනතුරු පේමා එක්කල. මුගේ මාලුකෑවට මදි කියලා හිතද්දීම මගේ මූණට ලාටු වගේ උගේ ධාතු වැටුණා...


තොගේ අ...ට කියලා මමත් ගහ උඩට බඩගාන්න ගත්තට එකතැනම උඩ පැන්නා මිසක් කිසි චලනයක් වුනේ නෑ..කකුල් වෙව්ලුවේ මට දරාගංට බැරි වේගෙට. මහතුං අවසිහියෙන් වගේ ගහේ අනෙක් පැත්තෙ අත්තකට දඩෝං ගාලා පැන්නගමන් සරම ලිහිල තව අත්තක පැටලුනා. ඌ අමු හෙලුවෙන් අප්‍රාණික වෙමින් තිබ්බ පුරුස නිමිත්තත් එක්කල පහලට මට කලිං රූටල මගේ කරට උඩින් බිමට පැන්නේ ගිඩිස් සද්දෙන් එහෙම්ම ඉද්ද ගැහැව්වා වාගෙ උණ්ඩිවෙච්ච වෙගෙන්ම ඉදිරියට නැමිච්ච විදියටම ඇදිලා ගිහිං නිරුවස්තරෙන්ම බැද්ද කඩාගෙන දුවද්දි මම උගේ සරමත් අරං මගේ සරමත් ලෙහං බඩ උඩට උණ්ඩිකරං උගෙ පස්සෙම පැන්නුවා.


ආයෙම මහ අහසම පොළවට කඩං වැටුණා වගේ ගොරබිරං සද්දෙන් විදුලියක් කොටද්දිම පොල් ගෙඩි තරම් වතුර බිංදු එක්කල ධාරාණිපාත වැස්ස කඩං හැලුණා. මම අනේක වාරයක් ගහේ පඳුරේ හැපි හැපි සර සර සද්දෙන් දුවං මහතුං දිසාවටම වැහි සද්දේ අස්සෙන් කණ තියාගෙන දුවන්න ගත්තා. එක පාරටමයි මේ අස්සේ මම දැක්කේ මූ ඉද්ද ගැහැව්ව වගේ මගෙන් යාර විසිපහක් නෑ දුරින් හිටං හිටියේ බහිරවයා වගේ ඔලුව බිමට නමං ඇස් දෙක මයේ ඇස් දෙකට මානං හරියට අතේ බිල්ලක් තියං ඉන්නවා වගේමයි මහසෝනා. මම හිටු පාදරයා කියාගෙන ඌ දිහාවටම දුවද්දියි දැක්කේ උගේ අතේ තිබ්බෙ මොකද්ද කියලා මහ වැහි බිංදු අස්සෙන් සටසට ගාලා ඇඟපත ඔලුව මූණ හරහා වැටෙද්දි.


තුවක්කුවක්!


මගේ මූණ ඇදවෙනවා මටම දැණුනා..හකුපාඩ ගැලවිලා දනිස් උඩට වැක්කුරුණා. මම එකපාරටම ගල්බීතවෙලා හිටුවනම නැවතුනා. පිටකරගන්න බැරුව හිරවෙච්ච ධාතු ද කොහෙද නිසා යටිබඩ කොරවෙච්චි ගතිය වැඩිපුර දැනෙද්දි උගේ ඇඟ සේරම ලේ ගලනවා මම දැක්කා හරියට ලේ විලක ඔබලා ඔලුව ගත්තා වගේ. ඉහේ ඉඳං ලේ ගලා ගියා වැහි බිංදු එක්කල සටසට ගාලා මුහු වෙවී බෙල්ල දිගේ හෙළු ඇඟ පුරාම ඉහේ ඉදං පාදාන්තෙටම. බිජ්ජෙ කෙළවරිං ලේ මුහු වෙච්ච ඝණ ලේ කැටි දිය වෙච්ච වතුර බිංදු බිංදු වැටුනා දුරට පෙනුණා රාවණ ඇල්ල වගේ එක තාලෙට. හෙළුවෙං තුවක්කුවක් මානං ඉන්න එකෙක් ඉස්සරහ විලිසංගෙ මොටද කියල ලිහල දැම්ම මාත් සරම බිමට ඒක කොහොමත් තුන්ගුණයක් විතර බරවෙලා තිබ්බා තෙමිච්ච ගතියට. මහතුං මාරයා වගේ මා දිහාවම බලං උන්නා වැහි බිංදු අනෝරාවක් අපි දෙන්න අතරින් මහ පොළවට ඇදං වැටෙද්දි ගස් ඇඹරි ඇඹරි මහ කුනාටු හුළං කැරකෙද්දි වැහි වතුර රේඛා එක්කල අපි දෙන්න ගල් පිළිම දෙකක් වගේ උන්නා යාර දහයකට එහා මෙහා එකිනෙකා දිහාව බලං හෙළුවෙං බයෙං ත්‍රස්තෙං.


"ඉතිං බලං ඉන්නේ... පත්තු කොරහං යකෝ මම බය නෑ මැරෙන්න! "


මම කියං කියං ගියා එහෙමම දෙපැත්තට පැද්දි පැද්දි ඌ තුවක්කුව එක්කලම කෙහෙල් කඳක් මුලින් කපා හෙලුවා වගේම ඇදං වැටුනා ගිඩිං කියාගෙන මහ පොළවට වතුර බිඳිති මලක් වගේ හතරවටේට විසික් වෙලා ගියා හරියට ජබොග් ගාලා උන්දෑ පීල්ල ගාව වලට පැන්න වගේ. තුවක්කුව එහෙම්ම උරේට හිරවෙලා කෙලිං වෙලා තිබ්බා වැට ඉන්නක් වගේ පසා කරගෙන උගේ පපුවෙන් නෙරලා ආව. වැහි බිංදු කෝටි ගාණක් ඌයි මායි අතරින් පොළවට ගහගෙන ගහගෙන ගියා කසෙන් ගහන්නා වාගේ මගේ පිට රිදුං දුන්නා මහ විසාලෙට අහසෙ මැද්දෙන් මහ එළි වැටෙද්දි මට පෙනුණා කට ඇරිච්ච තාලෙන්ම මැරිල ඉන්න හැටි මහතුංව. උගේ ඔලුව මැද්දෙන් ගිහිං තිබ්බා පැල්මක් මොළේ කෑලි ටික ටික සේදි සේදි පේන්න ගත්තම මට ඔක්කාරෙට ආවා.


"කවුද යකො තොට කෙටුවේ?"


මම ඇඟ සේරම ගලා ගෙන හැලෙන වතුර බල්ලෙක් වගේ ගසා දාලා නළල අතගාගෙන ඇහි බැම මැද්දෑවෙන් ගලා ගෙන ආව මහ ජල කඳ පිහිලා ගසා දැම්මා අත දකුණු පැත්තට විසික් වෙන්න දබරැඟිල්ලට එකතු වීගෙන ආව වතුර ටික. මම දෙකට නැවිලා මහතුං දිහාවට නැඹුරු වුනාම දැක්කෙ උගේ ඇස් දෙකේ තිබ්බ මාරාන්තික පෙනුමට මුහු උන මහා භීතිය.


"කාටද යකෝ තෝ බය වුනේ? "


"මට ද ?? "කියල වටපිට හිතාගන්න දෙයක් නැතිව මම මෙලෙක් වෙද්දි හිත අයෙම තද කරගත්තා කවුද මුගේ ඔලුවට කෙටුවේ ඌම මටත් කොටයි ද කියන පරාණබයෙන් මම හතරවටේම වැහි බිංදු අස්සෙන් නාගයෙක් වගේ බලන්න ගත්තා ඉහට කොටල පොල්ල වැරදුනු. වැහි වතුර හෙණ ගහන්නා වගේ පඳුරු අස්සට කඩං පාත් වෙද්දී ඒ හැම වතුර කස පාරකින්ම කීස් කීස් ගගා පහර කන හබරල කොල ආයෙම ආයෙම ඔලුව උස්සන්ට වාගේ ඉස්මත්තට පැන්නා තරගෙට. මට මහ විසාල හුජ්ජබරක් හැදිලා ඒක එතනම නිදහස් වෙලා ගියා කළවා අස්සෙන් උණුවතුර කේතලයක් මද රස්නෙට මහ වැස්ස මැද්දෑවේ තට්ටම් අස්සෙන් වක්කරනවා වගේ දැඩි හීතලක් ඇති කරන පරිසරයේ ඇති එකම රස්න දහර වශයෙන්. දෙකකුල් අස්සෙන් පිටි පස්සේ මහ මුකලානේ ගස් උඩින් මහ හෙණයක් ඒ එක්කලම කෙටුවා ගහ මුදුනේ ගිනි රස්න පුළිඟු දහරාවක් මල් වෙඩිල්ලක් වගේ ඉහිරෙද්දි සද්දෙත් පැතිරුණා කන් බිහිරි කරවන තරමට මට රෙවුනා එතනම. මම ඇදං වැටුණා මහතුංගේ උණුසුම් මළකඳ උඩට ජරබරාස් ගාගෙන මහ අතු කීපයක් මහපොළවට ඇදං වැටෙද්දී ගන්දස්සාරය එක්කම මගේ ඇඟේ දුවගෙන ගියා විදුලි පුංජ වගේ වතුර බිංදු සීරාවට දෙගුණයක් විතර ඇදං වැටිච්ච කොල පත්‍ර දඩු සේරම ඇඟ උඩ. අපි දෙන්න මළවුන් සහ නොමළවුන් එකම තෙරපිල්ලේ ලේ පිලී ගඳවල් අස්සෙන් මළමුත්‍ර ඌස්නය අස්සෙන් පෙරිපෙරී තවතවත් වතුර හතරවටෙන් මඩත් එක්කල ගලා ගියා එන්න එන්නම දළුලාගෙන ආව ඝණ අන්ධකාරයත් එක්කලම මගේ ඇඟට කඩං වැටිච්ච මහ අතු දඩු විසාල තෙරපුමක් ඇති කරල තිබ්බා මගේ උරහිසට සහ තට්ටමට කිසිම බුරුලක් ඇති නොකර.


මට දැනුණා කෙටේරියක් ලේ පෙරිච්ච කැරකෙනවා මගේ ඉහ ඉද්දරින් හීනයකින් වගේ දැඩි සීතල අස්සෙන් බොඳ වෙච්ච. පේමක්කා නිරුවස්තරෙන් ඇවිද ඇවිද හිටියා අවසිහියෙං වගේ දියවෙවී ගියා ඇගේ රූපය මගේ ඇස් තුළ සහ ඇගේ තට්ටං තෙමාගෙන ආ ජල දහරාවල් ඇදං වැටුණා මගේ නළලට දහ වද දෙන්නා වගේ වතුර වක්කර වක්කර මොළේට ප්‍රශ්න කරනවා වගේ කේ පොයින්ට් එකේ වදකයෝ ඉස්සර. මගේ ඇස්වලට උඩිං ගලාගෙන ගිය වතුර මඩ අස්සෙන් මට හීන් කෙඳිරියක් ඇහෙන්න ගත්තා මහ වතුර බුබුලක් බුගුබුගු ගානවා වගේ කවුරු හරි හුස්ම අල්ල ගන්න ජීවිතෙ රැක ගන්න පණ ගහන.


5 comments:

  1. පත්තු වෙන්න වලිකාපු තුවක්කු දෙක ,දෙවිදිහකට පත්තු කරන්න ගිහින්.

    මේ කතාව කියවන කොට , මට මතක් වුනේ ,කැම්පස් එකේ සුළු සේවක මහත්තයෙක්ට වෙච්චි දෙයක්.ඒ මහතාත් තුවක්කු පත්තු කලේ , මේ විදිහට ගස් ගල් උඩ ඉදන් කියලා , විශ්ව විද්‍යාලයේ පෙම්වතුන් දැන ගත්තේ , එක දවසක් අවාසනාවට වගේ නැඟපු අත්ත හයිය නැති වුන නිසා.

    මේක රෝගයක් නේද ?

    ReplyDelete
  2. "යටිකය නිරුවස්තරේ එයා බිමට වකුටු වුනාම පිටිපැත්තේ කොඳුනාරටිය තට්ටමේ දෙබෙදුමට පැතිරිච්ච හරිය ඉර බහින මුකලානේ කඳු පංතිය වගේ දිස්නෙ දුන්නා ආලෝකෙට"
    මාරයිනෙ ලියල තියෙන විදිය.

    ReplyDelete
  3. මේක අපූරුයි. භෘෂා භාවිතය විශිෂ්ට යි වෙනදා වගේම. බසේ පැහැදිළි බව නම් වෙන කවරදාටත් එහා... නිශ්ශංක ව කේ කේ එස් ව මතක් වුණා.සුබ පැතුම්!
    යෝජනාවක්: මේක සංවාදයට බඳුන් විය යුතු නිර්මාණයක්. ඒ නිසා ම මුද්‍රිත මාධයයක පළ වුනා නම් හොඳයි නේද?

    ReplyDelete
  4. බ්ලොග් අවකාශයේ මම කියවපු විශිෂ්ටම නිර්මාණය.මේක කලින් දැක්කනම් මගේ භාෂා භාවිතයත් වෙනස් වෙන්න තිබුනා.

    ReplyDelete
  5. මේ වගේ නිර්මාණයක් කියවන්න ලැබීම සතුටක්, අපූරු ගලාගෙන යාමක්, විශිෂ්ඨයි.......

    ReplyDelete