Tuesday, October 27, 2009

බිත්ති හරහා පෙරටම...


බිත්ති හරහා පෙරටම...

මැජික් ශිල්පියාගේ ගෙලට තොණ්ඩුව දමා මුහුණ කළු ‍ආවරණයකින් වසා දමද්දීද ඔහුගේ දෑස් දීප්තියෙන් බබළමින් තිබූ බවත් පෝර‍කයේ යටි තට්ටුවේ හරි මැද්දෑවේ ඔහු සිටුවා අත පය බැඳ සෘජු කාය විලාසෙන් සිටිනු තමන් හොඳින්ම දුටු බවත් ලීවරය ඇද ඔහුගෙ සිරුර මළ පුඩුව තද වී එල්ලුම් ගහේ කඹය රැඳි කුඹගසේ මුදුනතේ එල්ලී කඹයේ දැඩි බව කුඹයට දැනෙද්දී ඔහු පොළවට සිරස්ව අවලම්බාකාරයෙන් දෙපසට වැනෙමින් හුන් බවත් නැවත නැවතත් කියා පෑමෙන් අධිකරණ වෛද්‍යවරයා ඔප්පු කරමින් සිටියේ අට්ටාලය මත හොවා ඇති මැජික් ශිල්පියාගේ සිරුර සුදු පරෙවියන් රංචුවකට රූපාන්තරණය වී අවකාශයට පියඹා ගොස් ඔහුගේ අවසන් මොහොතේ සිරුරේ එතී තිබුන වස්ත්‍ර පමණක් ඉතිරි වී තිබීම තමන්ට කිසි සේත්ම පිළිගත නොහැකි කාරණයක් බවත්ය. වෛද්‍යවරයා නිර්ජලීය කොපර් සල්ෆේට් කැට වලින් තැනු ප්‍රතිමාවක් මෙන් වික්ෂිප්තව කතා කරන්නට විය.


මැජික් ශිල්පියාගේ මරණ දඩුවමට සාක්ෂිය ට පැමිණ සිටි සියල්ලන් භීතියෙන් ද විශ්මයෙන් ද මුසපත් ව එකෙනෙහිම විවිධාකාර වූ ප්‍රබන්ධයන් ද හොල්මන් කතා ද ගුප්ත කතා ද කට කතා ද ගොතන්නට වූයෙන් අයෙක් කීවේ මැජික් ශිල්පියා හිර ගෙදර බිත්ති හරහා ඇවිද යනු ජේලර්වරයෙකු දුටු බවත් ඔහුගේ මරණයට හෝරා කීපයකට පෙර එම ජේලර්වරයා ලේ වමනය කරමින් මිය ගිය බවත් තවෙකෙක් ‍කී‍වේ මැජික් ශිල්පියා දූමාරයක් බවට පත්වී සිර ගෙදර ඉතා කුඩා කවුළුවකින් පාවී එළියට ගිය බවත් එය දුටුවෙකු ගොලු වී ඇති බැවින් වැඩි විස්තරයක් දැන ගැනීමට බැරි වූ බවත්ය. කෙසේ වුව ද හිර ගෙදර බිත්ති සහ කුඩා කවුළු වලින් පිටතට පියඹාගත නොහැකි වූ සුදු පරෙවියන් සිවු දෙනෙකු දැල් දමා අල්ලා ගන්නට සමත් වීමෙන් අනතුරුව සියලු පර්යේෂණයන් මේ කුරුල්ලන් කෙරෙහි යොමු වීමෙන් සිර ගෙදර මුරකාවල් ලිහිල් වූයෙන් මැජික් ශිල්පියා සැඟව සිට පැන යන්නට ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශය හදිසි චක්‍රලේඛයක් එවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් එකසිය විසි හතර දෙනෙකුගේ සේවා තහනමකට ලක් වූයෙන් ඔවුහු වික්ෂිප්තව සිය ‍නිවෙස් කරා ආසන්නතම දුම්රිය ස්ථානවලින් එවෙලේ සූදානම්ව තිබූ දුම්රිය වෙත නැගී අන්ත්‍රස්දාන වූහ. ඔවුන් නිදි වර්ජිතව රාත්‍රීන් තිහක් ගත කිරීමෙන් පසු රාජකාරි සඳහා වාර්තා කළ දිනයේ සේවකයන් එකසිය විසි දෙනෙකුට නැවත ලෙඩ නිවාඩු දමා රෝහල් ගත වන්නට වූයේ ඔවුනගේ ඇස් වසා ගැනීමට පවා නොහැකි ලෙස ඇහිපිල්ලම් නලලට තද වී තිබීම‍ හේතුවෙන් ඔවුනගේ ඇස්වලින් දිගින් දිගටම කඳුළු ගලා ඒමටත් කහපාටින් කොළ පාටින් කබ ජාතියක් ගලා ඒමත් නිසා දරුණු වසංගතයක් බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වළක්වා ලනු පිණිසය.

කෙ‍සේ වුවද පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් ආරච්චි විසින් බැවින් එම වාර්තාවට අනුව මැජික් ශිල්පියා සිරගෙදර බිත්තියක් තුලින් යාමට සිය සෙවණැල්ල පාවිච්චි කර ඇති බවත් එම සෙවණැල්ල බිත්තිය මත පතිත වූ එම උදෑසන තදින් හිරු පායා ඇති බවත් එම හිරු එළිය සිර කුටියේ කවුළුවෙන් පර්යාලෝකය වී ඇති බවත් අක්ෂාංශ සහ දේශාංශ මැන ගෙන සූර්ය ස්ඵුටය නිවැරදිව ගණනය කර බැලූ විට එම රශ්මිය මැජික් ශිල්පියාගේ සිරුරේ වූ කාබන් අංශු සෙවණැල්ල දිගේ බිත්තියේ ප්‍රක්ෂේපිත වර්ගඵලයේ සංචිතව පැවති එම බිත්ති තැනූ ශ්‍රමිකයන්ගේ ශ්‍රමය හා මුසුවී ඔහුගේ සිරුර නිරුපද්‍රිතව සිරගෙයි බිත්තිය හරහා එළියට ගොස් ඇති බවයි. මෙම වාර්තාවෙන් කුපිත වූ අධිකරණ ඇමති වරයා වහාම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගත්තේ මින් ඉදිරියට හිරගෙවල් තැනීම සඳහා කම්කරු ශ්‍රමය භාවිතා කිරීම අහෝසි කළ යුතු බවටත් එම බිත්ති තැනීම සම්පූර්ණයෙන්ම රො‍බෝ යන්ත්‍රවලට පැවරිය යුතු බවත් කිසිදු හේතුවක් නිසාවෙන් කම්කරුවෙකු හෝ එම ක්‍රියාදාමයට සම්බන්ධ කර නොගත යුතු බවත් කෙටුම්පත් ගත කෙරුණි.
රොබෝවරුන් යොදා විවිධ බන්ධනාගාර නිර්මාණය කිරීමේ දී විශාල වශයෙන් අරමුදල් ජාත්‍යන්තර රොබෝ ආයතන සමග ගනුදෙනු කරන්නට යෙදුනෙන් ඒ හා සම්බන්ධ ඇමතිවරු කීපදෙනෙකු ගේ පෞද්ගලික වත්කම් ඉහළ යාම ඉවසාගත නොවූ වෙනත් පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමක් මේ කැබිනට් පත්‍රිකාවට සිය විරෝධය පා රාජ උදහසට ලක්ව, සිරගතව, එහි සිට උද්ඝොෂණයක් ක්‍රියාත්මක කරන්නට වූයෙන් සිරකරුවන් විශාල ප්‍රමාණයකට ඉමහත් අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදුවූයෙන් ඔවුන ද ඇතුලුව රාජකීය මන්ත්‍රී කණ්ඩායමම වීරයන් ලෙස, සිරගත නොවී සිටියවුන් සලකන්නට වූයෙන් වහා ජනතා හඬට කන් දුන් රාජාණ්ඩුව ඔවුන් සියල්ලන් නිදහස් කළ අතර මෙලෝ හසරක් නොදත් අපරාධ කරු‍වෝ වහා ලද අවසරයෙන් සිය දෛනික කටයුතු ආරම්භ කරන්නට වූහ.


මේ හදිසි තීරණය හේතුවෙන් ඉන් ඉදිරියට කම්කරුවන් යනු කුමන ආකාර ගන්නා වූ අයවළුන් දැයි විවාදයක් පාර්ලිමේන්තුවේ ගොඩනැගුනු අතර බො‍හෝ අය කීවේ තමන්ට කම්කරුවන් ගැන කිසිදු අවබෝධයක් නැති හෙයින් පිරිසිදු කම්කරුවෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ව්‍යවච්ඡේදනය කර ඔවුන් අන් අයගෙන් වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණ කවරේදැයි පර්යේෂණ කළ යුතු බවයි. සමහර මන්ත්‍රීවරු කීවේ කම්කරුවන්ට උණ්ඩුක පුච්ඡයක් නැති හෙයින් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි බවයි. නමුත් උණ්ඩුක පුච්ඡය දැක ගැනීමේ ක්‍රමය එම මන්ත්‍රීවරු සභාවට ඉදිරිපත් නොකළ හේතුවෙන් පළමු යෝජනාව ස්ථිර විය. මින් උද්‍යෝගයට පත් ආණ්ඩුවේ උපදේශකයන් පුවත්පත් වල මහ විශාල දැන්වීම් පළ කොට කම්කරුවෙකු සොයා වෙ‍හෙසෙන්නට වූයෙන් කිසිවකුත් තමා කම්කරුවෙකු යැයි කීමට නොහැකි වූහෙයින් ද ඉදිරිපත් නොවූ හෙයින් ද සියල්ලෝ නිෂ්පාදන බලවේගවල අයිතිකරුවන් වශයෙන් සමාජයේ සියළුම ජන කොටස් හඳුනා ගන්නට හැකි වීමෙන් පසු කම්කරුවෙකු සොයා එවන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය හරහා පණවිඩ යැවූව ද ඔවුනට එකදු කම්කරුවෙකු සොයා ගත නොහැකි වීමෙන් රජාණ්ඩුව කණස්සල්ලට පත් විය. නිෂ්පාදන බලවේග ලෙස බහුතරයක් හඳුන්වා තිබුනේ අනාගත දිනෙක දී තමන් කුමන හෝ ආකාරයක නැවුම් නිර්මාණයකට දායක වීමට පූර්වාභ්‍යාසයේ යෙදෙන බවත් ඉන් සමහරක් කවි නිෂ්පාදනය කරන බවත් තවත් සමහරු අදහස් නිෂ්පාදනය කරන බවත් තවත් සමහරු විහිළු නිෂ්පාදනය කරන බවත් යනාදි වශයෙන් ඔවුනගේ නිෂ්පාදන හැකියාවන් ද එම හැකියාවන් විසින් අනාගතයේදී තමන්ට අත්වන ප්‍රාග්ධනය හේතුවෙන් තමන් නියත වශයෙන් ම ධනපතියන් බවට පරිවර්තනය වන බවත් ඉතාම උද්‍යෝගයෙන් පවසන්නට වූයෙන් සමාජයෙන් කම්කරුවෙකු සොයා ගැනීම සරල කාරණයක් නොවන වග මෙම විශේෂ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට පත් වූ පාර්ලිමේන්තු කමිටු‍වට වහාම වැටහුණි.


වෛද්‍යවරු, තමන් අති විශාල වැටුප් වලට හිමිකම් කියන හෙයින් ද සුඛෝපභෝගි වාහන වාරික ගෙවා පාවිච්චි කරනා බැවින් ද ක්‍රෙඩිට් කාර්ඩ් වැනි උසස් සමාජය පරිහරණය කරන දෑ භාවිතා කරන හෙයින් ද රුපියල් දෙදහස් පන්සීයක වැටුපට වැඩකාරියක් ගෙදර වැඩට ඉන්නා හෙයින් ද නිෂ්පාදන බලවේගවල හිමිකම් වශයෙන් දරුවන් සෑදීමේ හැකියාවෙන්ද පෝෂිත බැවින් තමන් කිසිදා ශ්‍රමය වගුරා වැටුප් ලබන කම්කරුවකු වශයෙන් වර්ගීකරණයට අයත් නොවන වගත් එබඳු සමාජ තලයන් හි වැජඹෙන කිසිවකුත් කම්කරුවකු ලෙසට හඳුනා ගැනීම නීති විරෝධි බවත් එය කිසිසේත්ම වෘත්තිකයන්ගේ ආත්මාභිමානයට හොඳක් නොවන පරිහාසයක් බව ද කීයෙන් ඔවුන් මෙන්ම ඉංජිනේරුවරුන් ගණකාධිකාරිවරුන් නීතිඥයන් මිනින්දෝරුවන් ව්‍යවසායකයන් ද ගුරුවරු ද යනාදී මෙකී නොකී සියළු වෘත්තිකයන් පෙළ ගැසී එකට සිටියෙන් ඔවුනගේ ශ්‍රමය බන්ධනාගාර බිත්ති සමග සම්බන්ධ කරන්නට තැත් කරන්නන් ට සිය කිසිසේත්ම අවකාෂය්ක නොදී සිය තර්ක හකු‍ලා ගෙන යන්නට තරම් බලගතු වෘත්තී සමිති ක්‍රියාමාර්ග දියත් වූයෙන් මෙම පාර්ලිමේන්තු පර්යේෂණය උදෙසා කම්කරුවෙකු සොයා ගැනීමේ අර්බූදය ජාත්‍යන්තරය කරා යොමු විය. තවද එතුවක් කල් බොහෝ අය දැන නොසිටි නිෂ්පාදන බලවේගයක් ලෙස වර්ගයා බෝ කිරීමේ හැකියාව පිළිබඳ සත්‍ය අනාවරණය වීමත් සමගම පිරිමි සංහතියම ධනපතියන් බව අවධාරණය කර ගත්තෙන් සියළුම පිරිමින් ඉන් අමන්දානන්දයට පත්ව සිය නිෂ්පාදන බලවේගය ප්‍රදර්ශනය කරමින් මිදුල්වල පාරවල් වල සහ සඳළුතල වල ගැවසෙන්නට වූයෙන් කාන්තාවන් ද සිය නිෂ්පාදන බලවේගය ගැන සංවාදයකට පැමිණෙන්නට වූයෙන් මහා කාලගෝට්ටියක් රටපුරාම ඇති වන්නටත් කාන්තාවන් හර්තාල් කරන්නට ද පටන් ගත්තෙන් මේ පිළිබඳව අනවරතයෙන් මැදිහත් වන්නට රාජාණ්ඩුවට සිදු විය.

කාන්තාවන්ගේ සටන් පාඨය වූයේ පිරිමින්ට මෙන් ප්‍රසිද්ධියේ තම නිෂ්පාදන බලවේගය එළි දැක්වීමට සුදුසු පරිදි සිය ගර්භාෂය සිරුර තුළින් පිටත මල්ලක ස්වරූපයෙන් සකස් කර දිය යුතු බවත් එය කැන්ගරු ආකෘතියකින් තමන්ට පහසු ආකාරයට පසු පසින් තිබීමෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමට ද බාධාවක් නොවන බවත් මෙය කඩිනමින් විසඳා තමන් ද පිරිමින් මෙන්ම ධනපතියන් ලෙස පිළිගත යුතු බවත්ය. මේ ගැටළුව කෙරෙහි අවධානය ලක් කළ රාජකීය සභාව මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධ විද්‍යාඥයන්ට දන්වා යැවීමෙන් අනතුරුව නොබෙල් ත්‍යාගලාභි භෞතික විද්යායඥ ගුරුවරයෙකු වාෂ්ප එන්ජිමේ ආකෘතියකට පුරුෂ සහ ස්ත්‍රී ප්‍රජනන අවයව පුරුද්දා නිර්මාණය කල චිත්ත පර්යේෂණ වාර්තාවකට අනුව මෙයාකාරයෙන් ගර්භාෂය විස්ථාපනය කිරීමෙන් ප්‍රජනන ක්‍රියාවලිය සාර්ථක කරගනු පිණිස පියයුරු වල පිහිටීම ගණනය කර පෙන්වා තිබුනේ ඒවා හිස මත ස්ථානගත කළ යුතු බවයි. මෙම අදහස ප්‍රසිද්ධ වීමත් සමගම සියළු සටන් කාමිනියන් සිය සටන අතහැර දැමූ අතර එම වාර්තාව සකස් කළ මහාචාර්යවරයාට කොණ්ඩා මෝස්තරකාරිනියන්‍ ගේ සංගමය විසින් සිය කෘතඥතාවය පළ කළේ තම වෘත්තීයට එරෙහිව ආ කුමණ්ත්‍රණය පරාජය කිරීමට ඔහුට හැකි වූ බව ප්‍රීතියෙන් දන්වමිනි.

සිය නිෂ්පාදන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් කාන්තාවන්ට නොවූයෙන් සිය කැමැත්තෙන් ඔවුන් නිර්ධනයින් ලෙස සංස්ථාපිත වීමට එකඟ වූයෙන් රූපලාවන්‍ය කෙරෙහි පැවති ඔවුනගේ අතිමහත් උනන්දුව හේතුවෙන් ඔවුන්ගේ පන්තිමය අවශ්‍යතාවක් ලෙස එය වටහා ගත් පාලක පක්ෂ විසින් ප්ලාස්ටික් සර්ජරි සහ විලවුන් ආලේප වර්ග සහ රූපලාවන්‍යයට අදාළ සියළු දේ ගැසට් නිවේදනයකින් අත්‍යවශ්‍ය ‍ද්‍රව්‍ය ලෙසද ඒවා මත පනවා තිබූ සියළු බදු ඉවත් කිරීමෙන් ද ඔවුනගේ පන්තිමය වශයෙන් ගොඩනැගී තිබූ හීනමානය සනසා ලන්නට කටයුතු කළ හෙයින් පිරිමි සිය සිතැඟි ලෙස කාන්තා රූ සපුව දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩයක් ලෙස තහවුරු කරගත්තෙන් ලෝකයේ ප්‍ර‍ථම වතාවට කාන්තා සිරුරේ නග්න රූප රැගත් ප්ලේබෝයි සඟරා උණු කැවුම් මෙන් වෙළඳපොල ආක්‍රමණය කළ අතර එම ඡායාරූපවලට පෙනී සිටීමෙන් කාන්තාවන් සිය නැති වූ ධනපතිභාවය උපයා ගත්තෙන් ඔවුන් පිරිමින්ට නොදෙවෙනිව සිය නිෂ්පාදන බලවේගය ලෙස සිය සිරුර ප්‍රදර්ශනය කිරිමට පටන් ගත්තෙන් සියළු මනුෂ්‍ය ප්‍රජාවම ධනපතියන් බවට එක රැයින් පරිවර්තනය විය.

එලෙස සඟරාවලට සිය සිරුර ඡායාරූප ගත කිරීමට ඉඩක් නොලද කාන්තාවන් විවිධ ආකාරයට පිරිමින් වසඟයට ගැනීමෙන් නිළියන් ගායිකාවන් නාටිකාංගනාවන් නිරූපිකාවන් සහ ගණිකාවන් වැනි විවිධ ධනපති රැකියා නිර්මාණය කරගත්තේ සිය ප්‍රාග්ධනය වූ රූ සපුවේ ආනුභාවයෙනි. එම රැකියා නිර්මාණයෙන් පසුවද ඉතිරි වූ සමහර කාන්තාවන් බිරිඳ නමැති ස්වයංරැකියාවට යොමු වීමෙන් අනෙකුත් සියල්ලන් සම්පූර්ණ වශයෙන්ම කැපවී සිදු කරන රැකියා සියල්ලම මද මද වශයෙන් කරන්නට පටන් ගත්තෙන් අනෙකුත් රැකියාවල නියුතු වූවන්ගේ පැවැත්ම වඩාත් තහවුරු විය. සියළුම අවස්ථා වලදී පිරිමින්ට සිදු වූයේ සංසන්දනාත්මකව ගැහැණුන්ගේ ක්‍රියාකලාපයන් ඉවසා සිටීමටය. සෝම පානයෙන් මත්වන පිරිමින් එකිනෙකා හා වාද කරගත්තේ ගැහැණුන්ට ගර්භාෂය සම්බන්ධව ඇති අවුල හේතුවෙන් තමන් හා ධනපතියන් ලෙස සම තැන ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් අධික ලෙස මෝඩකම් කරමින් පිරිමින්ගේ අවධානය ගැනීමට වලිකන බවය. මළ ගෙවල්වල රාත්‍රීන් ගෙවා යන තවත් අයගේ ප්‍රසිද්ධ සංවාදයක් වූයේ කාන්තා සිරුර ප්‍රති නිර්මාණය කිරීමේ න්‍යාය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමක් බවත් ඔවුනට තවත් වැඩි පුර පියයුරක් ලබා දීමට හැකි නම් එම වැඩපිලිවෙලට පක්ෂව සිය ඡන්දය දෙන බවත්ය. මේ පිළිබඳව පර්යේෂණ පවත්වන්නියන් කියා සිටියේ දැනට තියෙන පියයුරු වලින් පවා සිය සිරුරේ ගුරුත්ව කේන්ද්‍රයට අනවශ්‍ය බලපෑමක් වන බවත් මේ යෝජිත ප්‍රතිසංස්කරණ මගින් සිය සමාජ ස්ථාවරය වර්ධනය වුවත් සිය කැට් වෝක් සඳහා භාවිතා වන රිද්මයන් කෙරෙහි අවදානමක් ඇති විය හැකි බැවින් පවතින ආකෘතිය වඩාත් සමතුලිතතාවයක් ඇති කරන බවත්ය.

මේ අයුරින් ජනතාව සංයමයකින් දෛනික කටයුතු කරගෙන යන්නට වූයෙන් රාජ්‍යය ඉතා බලවත් විය. හාමතේ මියැදුන මිනිසුන් ද මන්ද පෝෂණයට ලක් වූ දරුවන් ද දූෂණයට ලක් වූ කාන්තාවන් ද සිය අවසන් හුස්ම හෙලන්නට මත්තෙන් ඔවුන් මෙතුවක් කල් ධනපතියන් ලෙස හෝ ධනපතියන් බවට පත්වෙමින් සිටි අය බවට සිහි කැඳවන්නටත් එම විශේෂ පණිවිඩය ඇසීමෙන් සිය චිත්තාභ්‍යන්තරයන් ආලෝකමත් වී මරණින් පසු ද මේ ක්‍රමයටම අනුගතව යළි උපදින්නට ඔවුන් පොරොන්දු කරවා ගැනීමෙ විශේෂ රාජ්‍ය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූයෙන් ඔවුනගේ භූමදාන කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත් වුණි.

මේ සියළු සිදුවීම් මේ ආකාරයෙන් ගලා යද්දී මැජික් ශිල්පියා සිරගෙයින් පැන ගිය බව සියල්ලන්ටම අමතකව ගිය හෙයින් හෙතෙම ඈත වනගත පෙදෙසක නොදියුණු ග්‍රාමයක සිය මැජික් සංදර්ශණ පවත්වන්නටත් ආධුනික මැජික් ශිල්පීන් බිහි කරන්නටත් පටන් ගෙන තිබුනි. අහම්බෙන් ඔහු හමු වූ ධර්මසේන නම් වූ පුද්ග‍ලයෙක් ඔහුගේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟපාන්නට මෙම මැජික් ශිල්පියාට ආරාධනා කළෙන් එම සිනමා පටය තිරගත වීමත් සමග නැවත මැජික් ශිල්පියා ගැන මතකය රාජාණ්ඩුවට ඇති වේයැයි මැජික් ශිල්පියාගේ අත් උදවුකරු මතක් කළ හෙයින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඉතා කුඩා දර්ශනයකට පමණක් වෙස්වලා ගෙන සහභාගි විය.

අදටත් අහස් ගවුව චිත්‍රපටයේ ඉතා කුඩා ජවනිකාවක පෙනී සිටින්නේ එම මැජික් ශිල්පියා බව මේ වනතුරු කිසිවෙකුත් නොදැන සිටීම පුදුමයක් නොවේ.

Sunday, October 25, 2009

බීට් රූට් ලේ

බීට් රූට් ලේ

ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූ‍යේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග‍ ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරැ කළේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප්‍රති‍‍‍ඵලයක් ලෙසය.

දිගින් දිගටම සිහින තුල සහ අන්තර් සිහිනමය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප්‍රක්ෂේපනය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ‍ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය‍. එසැන සියල්ල නිවී ගියේ එය සිහිනයක් බව ඒත්තු ගන්වමිනි. ඇය පියවි සිහිය ලබද්දී දැනගත්තේ ඈ අවසිහියෙන් බවය.

චන්ද්‍රාණි නින්දෙන් පිබිදී ඇතත් ඇය තවත් සිහිනයකට ඇතුළු වෙමින් සිටින බව නොදැන සිටියෙන් ඇයට කාමරයේ සීලිම පෙනුනේ බීට් රූට් ඉස්ම ගලා හැලෙන ඉරි තලා ගිය වැහි බර අහසක් මෙනි. බිත්ති දිගේ ගලා හැලෙන බීට් රූට් තැම්බූ වතුර ක්‍රමයෙන් පොලව දිගේ ඇය ගේ දෙපතුල් අසලට ගලා එන්නේ යැයි සිතුනි. එම බීට් රූට් තැම්බූ වතුර ඇගේ සිරුර යට කරමින් ගංවතුරක් මෙන් නැගී ඈ එමත පාවෙන්නට පටන් ගති. ඉපිලුම් නියමය සත්‍ය වශයෙන් යෙදෙන්නා වූ සිහිනයක් බැවින් ඇගේ පරිමාව විස්ථාපනය කළ බීට් රූට් ඉස්ම ඇගේ රුධි‍රයේ ඝණත්වය ට සම වීමෙන් ඇය බීට් රූට් තැම්බූ වතුරේම කොටසක් බවට පත් විය.

"මට දියවැඩියාව! මට දියවැඩියාව!! දෙයියනේ මට දියවැඩියාව!!! "

ඇය මහ හයියෙන් කෑගැසුවාය. බිත්තියේ පහලට බඩගාමින් හුන් හූනෙක් වහාම සිවිලිම දෙසට වේගයෙන් බඩගා එහි වූ පැල්මකින් අතුරුදහන් විය. ඈ පමණක් තනිවම නවාතැන් ගෙන හුන් බෝඩිං කාම‍රයේ කැරපොත්තන් මීයන් හූනන් සහ ඇමීබාවන් හැර වෙන කිසිවෙකුවත් ඇයගේ ලතෝනිය අසන්නට නොවුයෙන් ඇය වහාම ඇඳෙන් බැස රාත්‍රී ගවුම පිටින්ම බෝඩිමෙන් පිටතට පැමිණියාය. ඇය බෝඩිමේ ගේට්ටුව අසලට පැමිණ බෝඩිමට වැටී ඇති මහ පාරෙන් වූ අතුරුපාර දෙස එක දිගට ඇස් යොමු කළ ද කිසිවෙකු පෙනෙන්නට නොවූයෙන් ඇය මිදුලෙන් ගේට්ටුව විවෘත කර පාරට ආවාය. පාර දිගේ තාර වෙනුවට බිට් රූට් ඉස්ම හැලි ඇති අයුරක් පෙනී නැවත තාර පාටින් පාර පෙනෙන්නට පටන් ගත්තෙන් ඇය පා ඉක්මන් කළාය. ඇය එක එල්ලේ ඉදිරියට ඇදෙන්නට විය.

"දෙයිය‍නේ මගේ ඇඟ සේරම බීට් රූට් ඉස්ම ගලනවා නහර ඇතුලේ... මෙහෙම ගියොත් මගේ මුලු සරීරෙම තියෙන වතුර ටික මේ බීට් රූට් වල තියෙන සීනි වලින් උරා‍‍ගෙන විජලනය වෙන්න ගන්නවා... දන්නවද අඩුවෙන් වතුර තියෙන තැං වලට වැඩියෙන් වතුර තියෙන තැං වලින් ‍උරා ගන්නවා කියලා? දෙයියනේ දැනටමත් මගේ ඇස් ගෙඩිවල තිබ්බ වතුර සේරම මේ බීට් රූට් ඉස්ම උරාගෙන උරාගෙන යනවා ‍‍‍... මට තව ටික වේලාවකින් මේ ලෝකේ බීට් රූට් ඉස්ම නිසා අන්ධ වෙන පළවෙනිම ගැහැණිය වෙන්න වෙනවා... මට දියවැඩියාව හැදිලා...මට දැනෙන්නේ මම සීනි ගෝනියක් වගේ ඇත්තම කියනවා නම් බීට් අල තම්බපු වතුර බාල්දියක් වගේ... "

"ඔයා කොහොම ද ඒක දැනගත්තේ? "

"මම හීනයක් දැක්කා... "

"මොකද්ද ලමයො දැක්ක හීනේ? "

"මම දැක්කා අපේ දොස්තර නෝනා බීට් රූට් තම්බපු වතුරෙන් ලේ දෙනවා මිනිස්සුන්ට. ඒ මිනිස්සු සේරම ටික වෙලාවකින් හරිම සන්තෝසෙන් මැරිල ගිහින් ස්වර්ගේ ඉපදෙන්න පටන් ගත්තා. ස්වර්ගෙට දරා ගන්න බැරි තරම් මිනිස්සු කන්දරාවක් ගිහින් එකපාරටම එහේ ඉපදෙන්න ගත්තා. ටික ටික ස්වර්ගලෝකය බර වැඩි වුනා...ඒක කොළඹට පාත් වුනා...කොළඹ දිව්‍යලෝකයක් වෙලා තිබ්බා...‍මෙහෙම හීනයක් පේන්න නම් එකම හේතුව මට දියවැඩියාව නිසාම තමයි... "

"අයියෝ මේ විකාර හීනයක් නිසාද මේ කල‍බලේ? කොළඹට දිව්‍යලෝකේ පාත් වුන එක ගැන සතු‍ටු වෙන්නයි ඕන...ඔය බීට් කතාව වැඩක් නැහැ... "

"ඒක ‍එහෙම වෙන්නේ කො‍හොමෙයි? මට වැදගත් මෙතන මේ බීට් කතාව තමයි...ඉස්සෙල්ලම තේරුම් ගන්න මේ සංඥා ගැන. රතු රුධිරාණුවලයි සුදු රුධිරාණුවලයි සංකලනයෙන් තමයි අපේ මේ ලේ හැදිල තියෙන්නේ ...තව පට්ටිකා කියල ජාතියකුත් එක්කල...මතක නැද්ද ඉස්කෝලේ සෞඛ්‍යය පාඩම? බීට් අල තැම්බුවම ඒ වතුර අපේ ලේ වලට ආදේශ කරන්න පුළුවන් කියල මට හීනෙන් කීවේ අපේ දොස්තර නෝනා...ඒක ඇත්තක් නොවුනට ඒ දොස්තර නෝනා මට මීට සති දෙකකට විතර ඉස්සර හීනෙන් පෙනිලා කීව දෙයක් මට දැන් වගේ මතකයි...එයා කීවේ ලේ ජාති වෙනස් වෙන්නේ රීසස් සාධකයෙන් විතරක් නොවේය කියලා. හැබැයි මම ඒ කතාව කාටවත් කියන්න ගියේ නැහැ. දැං තමයි මම මේ ඔයාට උනත් කියන්නේ... "

"මොකද්ද රීසස් සාධකය කියන්නේ? "

"මම දන්නේ නැහැ බං...ඒත් ලේ වර්ග කරද්දී ඒ බී ඒබී සහ ඕ කියල කියන්නේ අන්න ඒ වගේ ලේ වල තියෙලු මොකක් හරි ගුණයක් ඒවා වෙනස් වෙනවලු කතා කරන බාසාව අනුවත්...මොකද කතා කරන බාසාව හැදෙන්නේ මොළය ඇතුලේ නිසා මොළය හරහා ලේ හැමතිස්සෙම ගමන් කරන නිසා අපි කතා කරන හිතන පතන බාසාවෙ දේවල් ලේවලට ඇතු‍ළු වෙනවලු..මේක හරිම රහසක් ලු... "

"ඇත්ත ද බං? එහෙම වෙනව ද? "

"ඔව් බං දැං බලපං හොඳ කෙනෙක් ගේ ලේ නරක කෙනෙකුට දුන්නම නරක කෙනා හොඳ වෙනවලු...බුද්ධිමත් කෙනෙක්ගේ ලේ මන්ද බුද්ධික කෙනෙකුට දුන්නම එයත් බුද්ධිමත් වෙනවලු...ඔන්න ඔය වගේ කතා බං ... ඕවා ඇත්ත ද කියන්න මම දන්නේ නැහැ...ඒත් ඒවා වෙන්න බැරි ද? "

"වෙන්න බැරි නැහැ... වෙන්න බැරි නැහැ... "

"ඒක තමයි මම කියන්නේ මේ ලේ වලට සිතුවිලි මුහු වෙනව නම් ඒ සිතුවිලි නිසා ලේවල රසායනය වෙනස් වෙනව නම් ඒ කියන්නේ කතා කරන බාසාව හිතන පතන බාසාව නිසා ලේ වල රසායනික සංයුතිය පොඩිත්තක් හරි වෙනස් වෙනව නම් මම කියන්නේ ලේවල සිද්ධ වෙන වෙනස් කමක් වුනත් ආයෙම මොලේ ඇතුලෙන් යද්දි අපි හිතන මතන තැන් වලින් ඒ වෙනස හඳුන ගෙන අපිට හීන නිර්මාණය කරනවා වෙන්නත් ඕන...සිතුවිලි නිර්මා‍ණය කරනවා වෙන්න ඕන...ඒ කියන්නේ ලේවල සීනි වැඩි වුනාම ‍ඒකත් මොළයට දැනිලා අපිට හීනයක් විදියට අනතුරු අඟවනවා වෙන්න පුළුවන් කියන එකයි... "

"අම්මෝ උඹ හිතන දුර...මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ...ඕනම නං උඹ බ්ලඩ් චෙක් කරගනින් අර නවලෝකෙට ගිහින්... "

"මට එහෙම ඕන නැහැ. මට හිතෙන දේ තමයි මගේ ලේ වල සීනි ගතිය වැඩිය කියන එක...දැං බලන්න මේක මට වෙන්න ගත්තේ මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත දවසෙ ඉඳලම නේ...මේ විදියේ හීන පේන්න ගත්තෙම මේ අලුත් භාෂාව ඉගෙන ගන්න පටං ගත්තු දා ඉඳලමයි. ඉතිං ඒකයි මේකයි අතර කෙලින්ම සම්බන්ධයක් තියෙන්නේ ...ඒ හින්දා ලේ චෙක් කරන්න ඕන නෑ..."

"මට පේන්නේ උඹේ ලේ විතරක් නොවෙයි මොලෙත් පෙන්ව ගන්න‍ වෙයි වගේ මනෝ විශේෂඥයෙකුට...මට තේරෙන්නේ නම් ඒකයි...උඹ මොකද හදිසියේ දෙමළ ඉගෙන ගන්න පටං ගත්තේ? "

"ඔන්න ඔන්න උඹලට ඉතිං හැමදාම ඔහොම තමයි...කවුරු හරි විශේෂඥයෙක් කියන්නම ඕන ඕනම දෙයක් පිළිගන්න...අපි කොක්කුනේ...දෙමළ ඉගෙන ගන්නේ ඇයි කියලද ඇහුවේ ?? "

චන්ද්‍රාණි සිය දෑතින් මුහුණ පිස දමා ගත්තාය. ඇයගේ දෑසේ පතුලේ සුමියුරු රහසක් සැඟව ඇතැයි ඇගේ යෙහෙලියට සිතුනි.

හැන්දෑවේ ඥාණලිංගම් වැඩ ඇරී බෝඩිමට පැමිණ කාමරයේ ජනේලය ඇර දැමුවේය.
වෙනදා මෙන් අල්ලපු ගෙදර බෝඩිමේ චන්ද්‍රාණි පේන්නට හිටියේ නැත.

Saturday, October 17, 2009

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය


"මට කවි පැටියෙක් හදා ගන්න ඕන! "

කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වණ රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ක්ෂණයකින් කවියාගේ මවගේ රෙද්ද කඩා දැමූ හෙතෙම ඇයව උස්සා ගස් දෙබලක හිර කරගෙන සිය යටි කයෙන් පහර දෙන්නට වූයෙන් අසමතුලිත වූ ගස් දෙබල පොලව දෙසට බර වීමත් සමගම ඇයගේ යටි කය ඉහලට එසවී තිබිය දී හිස මහ පොලව මත ගැටී මත් සමගම ඇගේ අතට අසු වූ මැටි ගලක් දෑතින් ම ඔසොවා ඇති හැකි උපරිම වීරියෙන් ඔහුගේ හිස මතට දමා ගැසීමත් සමගින්ම ඇ‍යගේ ගැබ් ගෙල අසල උණු සීරාවට ඔහුට මෝචනය වීමත් සිදුවනු දැනෙද්දී ඔහුගේ නිසල කය සහ සුනු විසුනු වී ගිය මැටි ගල් පස් ද ඇගේ සිරුර මතටම බැර විය‍. කවි‍යාගේ පියා කවියා සංසේචනය වීමට පැය හතරකට පෙරම මළවුන් අතරට ගිය අතර ඇය රෙද්ද ගසා දමා නැවත ඉණවට තද කර හැඳ ගෙන වණ රොදින් එලියට ආවාය. මිය ගිය මිනිසාගේ ධාතු ද සමග ඇය විහාර ගෙට ගොස් පංචසීලය සමාදන්ව ‍බෝධියට පැන් වඩා අලුත් මල් පූජා කළ ගැටිස්සියකගේ අතෙහි වූ තෙල් බෝතලයෙන් ස්වල්පයක් දොලොස්මහේ පහනට දමා පහනෙන් ඇඟිල්ලට පොඟවා ගත් තෙල් බිංදුවක් සිය හිස කෙස් අතර උලා ගත්තාය.

කවි පැටියා පන්සලේ ඝංඨාරය සිවු වරක් නාද දෙද්දී අව පක්ෂයේ සඳ හතරවැනි කලාවේ නැංගුරම් ලද්දී සිය ආත්මය සංසේචනය වෙමින් පැවති යුක්තාණුවේ මයිටකොන්ඩ්‍රියා අසලින් වූ ක්රෝමසෝමයක දැවටී මවගේ හදේ රිද්මයෙන් ඔංචිලි පදින්නට විය. පී එච් අගය මෙන්ම ඩීසීඑච් හෝමෝන වල සාන්ද්‍රණ ද අඩු වැඩියෙන් සමාකලනය වූයෙන් යුක්තාණුව යහමින් ගර්භාෂයේ බිත්තිය මත නැංගුරම් ලෑයෙන් ඔංචිලිවාරම් නවතා කවියා අත පය හකුල ගෙන හෘදය හැදෙන තුරු දිවා රාත්‍රි විසි අටක් බලා සිටියේය. පුෂ්ප මංජරියකින් එක පුන් මලක් පූදින්නා සේ පිපී ආ හෘද මාංසය සමගින් ඉතා සිහිනිව මවගේ ලබ් ඩබ් ආකාර වූ හෘද ස්පන්දනයේ ම අනුකාරක හඩක් යම්තමින් නැගෙද්දී කවියා සිය ජීවිතයේ පළමු විරිත හඳුනා ගනිමින් සිටියේය.

කවියාගේ මවට එක් උදෑසනක සිය මුඛයෙන් මුළු ලොවම ප්‍රාදූර්භූත වන්නා සේ ද සිය ඛේට ග්‍රන්ථි වලින් අනවරතව ගලා ආ උණු ලෝ දිය දහර ගිනි රස්න ජල සීරාව රාවණා ඇල්ල කඩා හැලෙන්නා සේ හකුපාඩා අතරින් දැනෙන්ට ද වූයෙන් ඇය ගෙයි පිළිකන්නට දුවගොස් ඔක්කාරය කරන්නට වූයෙන් ඇයට තව දුරටත් ග්‍රාම වාසය නොහොබින්නේ යැයි ඒත්තු ගිය හෙයින් වහාම එදා උදැහැනැක්කේම සෙයිලම බලා ඇදෙමින් තිබූ මිරිස් ලොරියේ රියැදුරා හා එකතුව ලොරියේ ඉදිරිපෙල අසුනේ වීදුරු කන්නාඩිය අසලින් වාඩි වී හතරවරම් දෙවිවරුන්ගේ ඡායාරූප දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටිමින් හැන්දෑකරයේදී නවගමුව හන්දියෙන් හැරී රියැදුරාගේ බාල නංගිලැයි දිහා ගියාය. කවියා ගැස්සිලි බැස්සිලි මැද්දෑවෙන් මේ යන ගමන විශ්වයේ ගන්ධබ්බයෙකු ලෙස ගමන් කළ ඒකාකාරී වේග රිද්ම ආකාරයට වඩා කොතරම් මනරම් පරිමන්දිත චලිත රිද්මයක් මහ පොලොව මත චලනය වීමේ දී හට ගන්නේ දැයි විපරමින් සිය ජලාබූජ ජීවන කාලය උන්මාදයෙන් ගත කලේය.
අවසිහියෙන් රැප් සංගීතයකට නටන්න‍කු මෙන් ඔහු අර්ධ ක්ලාන්තව හුන්නෙන් රියැදුරා රාත්‍රියේදී කවි‍යාගේ මවගේ සයනයට පැමිණීම පිළිබඳ කිසිදු නිනව්වක් නොවීමේ හේතුව මැකී යන්නේ කවි‍යාගේ මව සිය දත් කූටු කාගෙන ඔහු වෙත හෙමින් සහ සැරෙන් "කොරගන්න දෙයක් හෙමින් කොරගනින් මිනිහෝ!.. මගේ බඩේ දරුවෙක් ඉන්නෝ..." යැයි කීම ඇසුනෙන් පමණි.

එදින සිට මාස දෙකක් යනතුරු විඩෙන් විඩේ කවියා ඉමහත් තෙරපුමක ආස්වාදයක් ලබමින් සිටිද්දී දිනක් ඇය කීවේ මේ උපදින්ට ඉන්න එකා කොහේ හෝ කාගේ හෝ ඇඟේ ගසා නැවත මුකලානට යා යුතු බවය.

කී පරිද්දෙන්ම කවියා ඇගේ කුස සැප සේ ගත කරමින් හුන් කාලයේ අවසානය ලං ව ඇති බව දැනුනේ අපස්මාර රෝගියකු මෙන් ඇය විලි රුදා විඳිමින් ප්‍රසව තරංගයෙන් සිය යහන් ගබඩාව භූමි කම්පාවකට ලක් වෙමින් සිටි මොහොත උදා වූ දිනයේ ය.

වැල මදුලකින් ඇටය පනින්නාසේ ඉමහත් ආශ්වාදයෙන් සිය සිරුර ඇගේ රැහැණින් මුදා මෙතුවක් ජල තරංග ඔස්සේ පමණක් ඇසි අවට ‍ලෝකයේ සියලු ශබ්ද පියවි කනින් ඇසීමටත් පළමු වතාවට තම හදවත ගැහෙන රිද්මය තම කනින් අසා ගැනීමටත් මෙතුවක් දස මසක් තිස්සේ අනවරතව අසා සිටි සිය මවගේ ලබ් ඩබ් ශබ්ධාවලියට සමු දීමටත් කවියාට සිදු වූයෙන් පුර පසලොස්වක කුජ නවයේ සැරිසරන ගුරු කන්‍යා රාශියට පත් වන හෝරාවේ කැති නැකතේ තුන්වන පාදයේ සඳු ගමන් කරද්දී කටක ලග්නයෙන් මෙලොව එලිය දුටු කුමරු යැයි කිසිවකු විසින් සිය ජන්ම පත්‍රය නමෝ විත්තියෙන් සාදනු ඇතැයි කවියා සිතුවද ඒ කිසිවක් පොත පතක සටහන් වන්නට පෙර ඉස්පිරිතාල ඇඳෙන් අමාරුවෙන් බැස ගත් කවියා‍ගේ මව ඔහුව ඔතා සිටි සුදු පැනල් රෙද්ද පිටින්ම ගෙන තාප්පයෙන් පැන මහ මගට වන්නීය. කැනල් පාරේ නිශාචරයින් අතරින් ඇය කඩිමුඩියේ පා තබා මීට පැය හතරකට පෙර දරුවකු වැදූ ගැහැණියක ලෙස නොව සිපිරිගෙයින් පැන ‍යන්නා වූ සොර මුලක නාය‍කයෙකු බඳු වේගයෙන් දරු ගොට්ට ද කිහිලි රුවා ගෙන දුව ගොස් ප්‍රථමයෙන් ම හමු වූ කසල බාල්දියට කවියා දමා ඈ නොපෙනී ගියේ සර්වලෝක විනාසාය යනුවෙන් හැඳිනිය හැකි මේ ලෝකයේ කිසිවකු නොදත් භාෂාවකින් මන්තරයක් මතුරමිනි.

එතැන් සිට ගත වූ පැය අටක කාලයක් කවියා සිය උප්පත්ති කේන්ද්‍රයේ සඳු ලැග හුන් රාශියේම සෙනසුරුද වූයෙන් උපන් ජන්ම ඒරාෂ්ටක අවස්ථාවෙන් ඉපදීම කරණ කොට මියෙන්නට තරම් ප්‍රභල දුර්ගන්ධ වූ කැලි කසල මධ්‍යයේ නිරුපද්‍රිතව ජීවය අකාලයේ මියෙන්නට වූ අවසාන හෝරාව පන්නා ගෙන ගොස් ජීවත් වීමේ තවත් උත්ප්‍රේරණයක් සලසා ගත්තේ හිරු සමගින් කැලි කසල ගොඩ වෙත පියඹා ආ සෙනසුරුගේ වාහනය වූ ද කපුටන්ගේ අනවරත කරච්ච‍ලයේ රිද්මය රස විඳිමෙනි.

චන්ද්‍රයා සිය අකාෂ පථයේ සහචර සෙනසුරා සමග වූ සංයෝග වූ අවස්ථාව ක්‍රමයෙන් දිය කර ශනිට වඩා වේගයෙන් තව දුරටත් සිය ගමනේ යෙදුනෙන් ජන්ම ඒරාෂ්ටකය පහවී කවියා නගරයේ කැලි කසල හමුදාව භාරයට පත් වූයෙන් වහාම පත්‍ර වාර්තාකරුවන් රොත්තක් මැද්දේ ඔවුනගේ කැමරාවල සැනෙලි මැද්දෙන් සිය මුව අයා කිරි ඇබින්දක් දෙන නිරිඳෙක් ඇත්දෝහෝයි අසන්නාක් මෙන් හෙලූ බැල්ම විජයග්‍රහණය වීමත් සමගම අලුත උපන් ළදරුවන්ට දෙන කිරි මිශ්‍රණ සොයමින් යන්නට කිසිවකු නොවූයෙන් කැලි කසල එකතු කරන ස්ථානය අසල වූ බුලත් කඩය කරමින් වෙළහෙලදාමෙන් ජීවත් වූ ඇගි අක්කා වහා සිය හැට්ට බොත්තම් විවර කොට සිය වමත් තන පුඩුව දුන්නෙන් එහි ඇති කිරක් නොවූවද ඇති තාක් වූ උණුසුම මධ්‍ය‍යේ කවියා සිය පළමු මව ලෙස ඇය සිහියේ ඇඳ තබා ගත්තතේය.

එතැන් පටන් කවියා කපුටු බෝ රුක අසල ටියුබ් ලයිට් හපා කන කලු ගල් කැට වතුර සමග බී ගිලින මැජික් කාරයාගේ දිවා සහ සැන්ඳෑ සංදර්ශනය ද ඇගි අක්කා සමග දවල් දවසේ ම බුලත් මිටි බඳින හැන්දෑවෙද්දී ඉහ මුදුනට කර හවරිය ඔතා කෙස්ස බැඳගෙන විලවුන් නාගෙන පාරට බසින ප්‍රෙමක්කා ද අතර කාලය ගෙවී සියල්ලන්ටම නොදැනී මහ පාරේ තාප්ප මත අලවා ඇති අටකලම්පන්නයක් වූ පෝස්ටර ද පාරේ ඉබා‍ගාතේ යන් වහු කුණු බල්ලන් ද උන්ගේ ඇඟවල් මත වැස හුන් මැක්කන් ද කඩමින් ලොකු විය. කවියා කිසි විටෙකත් තමාගේ මව හෝ පියා හෝ නොදැන සිටීමෙන් ඔහුගේ සිත ඉමහත් සැහැල්ලුවෙන් පැවතුන අතර කළු ගල් ගිලින මිනිහා දිනක් කවියාගේ රත්තරන අතින් අල්ලා බලා කළ පරීක්ෂණය ඇවෑමෙන් සිය පියා මෙලොව කොහේ හෝ ඉන්නා බවත් ඔහු තමන් මෙන්ම වෙනත් මැජික් කාරයෙකු ගේ සංදර්ශණ බලමින් ද වෙනත් ප්‍රේමක්කා කෙනෙකු ගේ ලැම පෙදෙස හොරැහින් බලමින් ද ඉන්නවා විය යුතුය යන්න කවියා එකහෙලා තීරණය කරන විට නගරසභාවේ හැන්දෑවේ හතරට පිඹින නලාව නාද වූයෙන් මෙලොව කිසිවෙකුත් නොදන්නා ඒ ඔහුගේ නව වන උපන් දින සාදය අහසේ හිරු ගමන් ගත් පථයේ සලකුණු වී තිබුණි.

කවියා කුණු වලට දමා යාමට ප්‍රථම කවියාගේ මව මැතිරූ මන්තරයක් වූයෙන් ද එය ඔහුගේ දෙසවන් මත රැව් පිළිරැව් දෙන්නට වූයෙන් ‍දිනක් මැජික් සංදර්ශකයා සිය කාසි එකතු කරන ටින් එකේ රැඳුනු කාසි ගණන් කරන වේලාවක් බලා හෙතෙම ළං වී ඇසුවේ තමා කොහෙන් මේ ලෝකයට පැමිණියේ දැයි කියාය.

උඹ ආවේ මේං මේ ගල් ගෙඩි බඩෙන් එන්නා වාගේම ය

කවියා සතුටට පත් වූයෙන් එතැන් සිට තමන් මෙලොව පැවතීම පිළිබඳ සියලු සැක සංකා හිරු දුටු ‍පිනි මෙන් ද උදෑසන ලූ කෙළ පිඩක් මෙන් ද සිය සිතින් අකාමකා දැමූයෙන් මැජික්කාරයාගේ ප්‍රථම ගෝලයා බවට පත්වීමේ වරම ද උදා කරගත්තේය. දින කීපයකින්ම ටියුබ් ලයිට් අතින් ගසා කුඩු කිරීමටත් කුඩා ගල් කැබලි හොඳින් ගිල දැමීමටත් කුඩා රබානක් ගෙන විරිඳු කියන්නටත් කකුලෙන් චිත්‍ර අඳින්නටත් කවියා පුහුණු වූයෙන් උත්පත්ති අවස්ථාවේ සිකුරා ලග්න ගතව සිටීමේ සියළු ගති සොබා පහළ වූයෙන් කවියා චිත්තාකර්ෂණීය රුවින් ද පළල් දෙවුරින් ද කඩවසම් ශෝභාමත් සිරුරින් ද අසාහාය කාය ශක්තියෙන් ද වර්ධනය ව මහළු මැජික් ශිල්පියා වෙනුවෙන් සංදර්ශණ තනිවම පැවැත්වීමට තරම් පළපුරුද්ද අත් කරගත්තෙන් දිනක් පෙට්ටියකට දමා වැසූ තරුණියක් දෙකට කපා පෙන්වීමෙන් පසු තරු පහේ හෝටලයක නිත්‍ය මැජික් පෙන්වන්නා බවට පත් වීමත් සමග සිය විංශෝත්තරී දශා චක්‍රයේ සිකුරුට අදාල වසර විස්සේ පළමු වර්ෂය ගෙවා යන්නට පටන් ගත්තේය‍‍‍.

කවියා සිය මැජික් හැකියාවෙන් පොහොසතුන් වශී කරගන්නට සමත් වූයෙන් සිය දුප්පත් මිතුරන් අතරට එකතු වූ නවීන පන්නයේ අරුමෝසම් විලාසිතා වැළඳ ගත් සුඛෝපභෝගී ජීවන ක්‍රමයෙන් ආලිප්ත වූ අලුත් ධනවත් මිතුරන් ද සිය ආශ්‍ර ආශ්‍රමයට පත් වූයෙන් දිනක් මැජික් සංදර්ශණාවසානයේ දී එබඳු ධනවත් තරුණ කණ්ඩායමක ආරාධනයෙන් කවියා සිය මැජික් ශිල්ප දක්වන්නට ඔවුනගේ මන්දිරයට ගියේය.

ඒ යන ගමනාතුර එක්තරා රටක වෛද්‍ය විද්‍යාව හදාරනු පිණිස ගොස් සිටි ධනවත් තරුණියක් පුරුෂාණු වෙනුවට අබ ඇට ගර්භාෂගත කර දරුවන් උපදවන ක්‍රමයක් කෙරෙහි පර්යේෂණයේ යෙදී සිටියා ය. ඇය සිහිනයෙන් දකින්නේ ද සැබෑ ලොව සිදුවන තතුම බැවින් ඇය අනාගත වාක්‍ය කියන්නියක ලෙස ද ප්‍රකටව සිටියාය. ඇය ‍මීට වසර හතකට පෙර සිය ප්‍රථම උපාධි නිබන්ධයේ දී ප්‍රකට කර සිටියේ ආකාෂ වස්තු වල චලිතයේ පවතින අක්‍රමිකතාවයක් නිසා පොළවේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක උපදින මැජික් ශිල්පියකු විසින් මුළු ලෝකය ම පාලනයට ගන්නා බවය. එමෙන්ම ඇය සිය උපාධි නිබන්ධයට විවිධ වර්ගයේ කවි සහ කතා ද බොහෝ ප්‍රමාණයක් අමුණා තිබූයෙන් ඇයට උසස් සාමාර්ථයක් දී නැවත උපන් ගම්පලාත වෙත වෛද්‍යවරියක් ලෙස බලගන්වා එවා තිබුණි.

ඇය ද සහභාගි වූ මෙම මැජික් සංදර්ශණය අවසානයේ දී ඇය විසින් ඒ කවියා රැගෙන ආ කණ්ඩායමේ කෙනෙකුට කීවේ තමා විසින් මින් පෙර අනාවැකි කියන ලද මැජික් ශිල්පියා මේ විය යුතු බවයි.

පෙට්ටියක ලූ ගැහැණියක් පණ පිටින් දෙකට කපන්නට සමත් මිනිහෙකුට මේ ලොව ඕනෑම දෙයක් කළ හැකි බව මෙම වෛද්‍යවරිය එම කණ්ඩායමට සිය ශල්‍ය වෛද්‍ය විද්‍යා දැනුමෙන් ඒත්තු ගැන්වූවාය.

මින් කුපිත වූ ධන කුවේරයන් මෙතුවක් තමන් අමන්දානන්දයට පත් කළ කවියා අල්ලා රජයේ මහාමාත්‍යාදීන්ට චෝදනාභිමුඛව පෙන්වා සිරගත කරන්නට වැඩකටයුතු කළෙන් සිය සිකුරු දසාවේ රාහු අන්තර් දශාව උදා වී ඇති බව කවියා දැන නොගත්ත ද එය රාත්‍රි අහසේ තාරුකා පංති අතර සටහන් ව තිබුනේය.

සිරගතව හුන් කවියා දිනක් සිර මැදිරි බිත්තියේ කලකට පෙර සිටියවුන් විසින් ලියා තිබූ වැකියක් කියවමින් සිටියදී සිරගෙදර ජේලර්වරයෙකු නිරීක්ෂණ සටහනක් ලොග් පොතේ දමා ගොස් තිබුනේ කවියා නොතේරෙන භාෂාවකින් නොයෙක් දේ සිරගෙදර බිත්ති මත ලියන බවත් ඒවා වහාම පරීක්ෂාවට ලක් කළ යුතු බවත් ය.

එනයින් ඉන් පසුවදාම හිරගෙදරට වන් අක්ෂර විශ්ලේෂණ මහා ප්‍රාඥයන් පිරිසකගේ නිර්දේශයෙන් වහා කැඳවූ මහාධිකරණ බලතල සහිත ඒක පුද්ගල කමිටුවක තීරණය වූයේ කවියා විවිධ ජනතා නැගිටීම් වලට තුඩු දෙන අපභ්‍රංෂ විප්ලවවාදී කවි විශේෂයක් ලියා ඇති බවත් ඔහු දේශ ද්‍රෝහියකු බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි ප්‍රථම එල්ලා මැරීමේ සංදර්ශනයේදීම එල්ලා මරා දැමිය යුතු බවත්ය.

මැජික් ශිල්පියා කවියෙකු ලෙසත් විරෝධාර විප්ලවවාදී විමුක්තිකාමියකු ලෙසත් සුජාත පුත්‍රයන් අතින් මිය ගියේ එසේය.

Monday, October 12, 2009

‍අත්‍යවශ්‍ය සටහනක්


‍අත්‍යවශ්‍ය සටහනක්

මා අනාගත ලේඛකයකු විය හැකියැයි කිසිවකු වරදවා වටහා ගනිතැයි ම‍ට සිතුනි. මන්ද යත් මගේ අනාගත ලේඛන දිවිය උදෙසා ඔවුහු මට උපදෙස් ආචාර ධර්ම සහ ඥාණය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බැවිනි. අයෙක් මට අක්ෂර වින්‍යාස ගැන ද තවෙකෙක් ව්‍යාකරණය ගැන ද මට ආද‍රයෙන් ද හාසයෙන් ද අපහාසයෙන් ද උපදෙස් දෙති. තවත් අය ප්‍රතිචාර සමාචාර කිරීමේ වත්පිළිවෙත් ගැන සිය ඥාණ කෝෂ්ඨාගාරය කලතමින් විග්‍රහ කතෝපකථන කරුණාවෙන් ද දයාවෙන් ද සෝපාහසයෙන් ද ඉදිරිපත් කරති. පරිශීලනය කළ යුතු පොත් පත් ඇදුරන් ගැන ලිඛිත දේශන පවත්වති. තවත් අය තවත් දේ කරමින් සිටිති. මේ සියල්ල දැන් ම‍ට මහත් සියොළගම දවා හළු කරන්නට තරම් බියකරු ලෙස දැනෙන ගින්නකි. ඒ බව මේ ප්‍රඥාසම්පත්තියෙන් ආඨ්‍ය වූවන්‍ට නොතේරෙන්නේ නොවෙයි. ඒ ඒ අයගේ ක්‍රමය ය. ඒ අය සතුරන්ට පහර දෙන‍්නේ මිතුරු උපක්‍රමයෙනි. මට මේ ගිනි රස්නය දැනෙන්නේ මේ දෙන උපදෙස් නිසාවෙන් නම් නොවේ. මේ උපදෙස් දෙන්නන්ගේ වාග් විලාසයන් අස්සෙන් සියුම්ව මතු වෙන ඔවුන් දැඩි ලෙස ලොවින් වසං කොට හංගාගෙන සිටින වෛරයේ ගින්නේ රස්නය නිසාවෙනි.

වඳුරෙකු කීබෝඩ් එකක ඇඟිලි ඔබමින් අනන්ත කාලයක් ගත කළ හොත් ඔහු විසින් සසම්භාවී ලෙස ටයිප් කරන අක්ෂර සංකේත සංකරණ සහ සංයෝජන සියල්ල අතර භගවත් ගීතාව වුවද ප්‍රතිරචනය වීමක් විය හැකි බව සම්භාවිතා ගණිතය කෙළ පැමිණි ප්‍රඥාවන්තයින් පවසා ඇත. මෙහි ප්‍රායෝගික සත්‍ය කුමක් වුවත් න්‍යායිකව නම් සිදු විය හැක්කකි.

මෙලෙස ම මම ද එබඳු වඳුරෙකු ලෙස නමුත් වෙනස් වඳුරු ක්‍රමයකට විවිධ වචන වාක්‍ය සහ අදහස් තැනින් තැනින් සොරකම් කොට සසම්භාවී ලෙස එකට තබා කිසිවක් අමුණා මෙතැන තබමින් සිටිමි. ඒ කිසිදු ලේඛන උපාංගයක් මගේ නොවේය. මගේ අතැඟිලි වල අගින් යතුරු ලියවෙන මේ සියල්ලේ මුල් පිටපත් මා සමග සම්බන්ධ වන්නේ ඉතාම සංකීර්ණ ආකාරයකට ය. ම විසින් කියවන අසන සහ සිතන ලද බහු විධ විකාර සහ ඒවාට තුඩු දුන් සමාජ සිදුවීම් අධ්‍යයන ආයතන සහ පුස්තකාල නැමති දැනුමේ බලාධිකාරයන් වල යාන්ත්‍රික කොපි මෙලෙස මා අතින් ඡායාපිටපත් බවට පත්‍ වීම ලේඛන කලාවක් නොවේ. මවිසින් කිසිදු අලුත් අදහසක් හෝ ලිවීමේ ප්‍රාතිහාර්යයක් සිදු කර හෝ කරමින් ඉන්නේ ද නැත. මම කිසිදු අලුත් වචනයක් නිමවා නැත. මා විසින් ප්‍රයෝජනයට ගන්නේ ද අනිත් බොහෝ අය කල්ප කාලාන්තරයක් තිස්සේ අදහස් උදහස් කියා පෑමට යොදා ගත් වචනම ය. එහෙයින් ඒවා සම්බන්ධව මට අයිතියක් ඇත්තේ ද නැත. මේ වචන පුරුද්දා හදන වැකි සමහර විට අරුතක් ජනනය කළ ද බො‍හෝ විට එවැනි දෙයක් ද නොවෙන වග කාට වුවත් පැහැදිලිය. එනයින් අලුත් අදහස් නිර්මාණය කිරීමක් ද නොවේ. මේ කියවන වැකිය පවා ඔබ මී‍ට පෙර කොහේ දී හෝ කියවා ඇති බවට නොඅනුමානය. මේ සියළු අදහස් වෙනත් කවුරුන් හෝ මින් පෙර ද පවසා ලියා ඇත. එක අතකින් වියරණ බිඳී ගොස් හෝ ලිවීමෙන් මා කරන්නේ ඒ අදහස් ම බිඳුනු වියරණයකින් නැවත කීමක් විය හැකිය.

දැන් කීමට ඇත්තේ ලිවිය යුතු සියල්ල මට පෙර ලිවීම නමැති කාර්ය සාධිතයන් අතින් ලියැවී හමාර වී ඇති බවය.

සියළුම අදහස් මට පෙර සිටි අයගේ හිස් මතින් උත්පාත වී මහ පොලොව වෙත සපැමිණ පොත් පත්වල ලියැවී මුද්‍රණය වී ඇත.

සිතන්නට දැන් අලුතෙන් කිසිවක් නැත. සියල්ල සිතිය යුතු අය සිතා අවසන් කර ඇත.

බිඳුනු වියරණයකින් පරණ දෑ නැවත කියවන්නට ලැබීම ඔබේ අභාග්‍යය විය හැකිය.

මා දැන් කළ යුත්තේ වියරණ බිඳීම පමණි.


ප.ලි.

එහෙයින් මා විසින් මෙහි ලියා තබන ඕනෑම දෙයක අයිතිය ඔබ සතුය. ඒවා නැවත ලිවීම නැවත විකෘති කිරීම සහ නැවත නැවත තැන් තැන් වල ලියන්නට හෝ තමන් කැමති අකැමැති ඕනෑම දෙයක් මේ ලියවිලි වලට කරන්නට ඔබට සියළුම බලය සහ අයිතිය ඇත්තේය.
මේවා ලියා ඇත්තේ ඔබට ද මා මෙන්ම ලෝකයේ ලියා ඇති සියළු දේ විකෘති ලෙස කියවා ගැනීමට ඔබට සහ මට ඇති අයි‍තියේ නාමයෙනි.

Monday, October 5, 2009

ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි


ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි

මේ අහන්න කෆ්කා. දැන් ඔයා අත්දකින දේ තමයි හුඟාක් ග්‍රීක ශෝකාන්තවල ගරු අරුත වෙලා තියෙන්නේ. මනුස්සයා තමන්ගේ ඉරණම තෝරා ගන්නේ නැහැ. ඉරණමයි මනුස්සයා ව තෝරා ගන්නේ. ඒකයි ග්‍රීක නාටකයේ මූලික ලෝක දර්ශනය. එ‍තකොට ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචක අර්ථය එන්නේ ප්‍රධාන චරිතයේ නරක ගුණයක් නිසා නොවෙයි. යහපත් ගුණයක් නිසා. ඒක යි උත්ප්‍රාසය. මං මේ කොතනටද එන්න හදන්නේ කියලා දන්නවා ද? මිනිස්සු ඛේදවාචක ඇතුළේ තව තව එරෙන්නේ ඒ ගොල්ලන්ගේ දෝසයක් නිසා නෙවෙයි. ඒ ගොල්ලන්ගේ සුචරිතයක් නිසා. හොඳම උදාහරණය සොෆොක්ලීස්ගේ ඊඩිපස් රෙක්ස්. ඊඩිපස් ඛේදවාචකයට මුහුණ දෙන්නේ එයාගේ කම්මැලිකමක් හරි ගොබ්බකමක් හරි නිසා නෙවෙයි. එයාගේ තිබිච්ච වීරකම සහ අවංකකම නිසා. අන්න ඒකෙන් තමයි අනිවාර්ය උත්ප්‍රාසය උපදින්නේ.

කෆ්කා මුහුදු වෙරළේ-හරුකි මුරකමි -පිටුව 286
ගාමිණි වියන්ගොඩ පරිවර්තනය

ජිනදාසට නගරයේ කිසිදු ඩිස්පැන්සරියක නිදි පෙත්තක් මිළ දී ගන්නට නොහැකි විය. කිසිදු තැබෑරුමක මත් පැන් පොදක් නොවීය. නිදි පෙති මෙන්ම මත් පැන් ද සියල්ල විකි‍ණී අවසන්ව තිබූයෙන් සමහරු ඕඩිකොලොන් බෝතල් සහ වයින් ස්පිරිතු මෙන්ම ටර්පන්ටයින් වැනි රසායනික ද්‍රාවණ සොයා කඩ සාප්පු පීරමින් යන්නට වූහ. පොල් ගස් කරටි වල අමුණා බැඳ තැබූ කුඩා මැටි මුට්ටි වලින් සෑම පොල් ගහකම මුදුන් හැඩ වී තිබුනි. කිසිදා මදින්නට යොදා නොගත් පොල් ගස් ද රා මැදීමට යොදා ගෙන ඇති අයුරැ හාත්පස දකින්නට ලැබුනි. සමහරු පළතුරු වර්ග බැරල් වල දමාගෙන ඒ මතට ඊස්ට් ඉස පැසවන්නට උත්සාහ ගනිමින් සිටියහ. කිසිදා සයිඩර තාක්ෂණය නොදත්තවුන් සිය ගෙමිදුල් වල කසිප්පු- සීනි කරිංඤ්ඤං- සයිඩර් යනාදී මෙකී නොකී හැලි අරක්කු තරගයට මෙන් පෙරන්නට වූහ.

මේ සියල්ලන්ට මත් වන්නට ඇවැසි වූ මොහොතයි.

ජිනදාස අවසානයේ කළුකඩකාරයෙකු මුණ ගැසී අරක්කු බෝතලයක් මිල දී ගන්නට සිය සේසතම දුන්නේය. ඔහුට මේ බෝතලය මෝය කටේ ගිය පොල් ලෙල්ලක් මෙන් දැනුනි.

මිනිසුන් ට අවශ්‍යව තිබුනේ ඒ විපත්තිදායක මොහොතේ අවසිහියෙන් සිටීමටය. ඒ තවත් පැය දොලහකින් මහ පොලොව මත පතිත වන ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථිවිවාසී සියල්ලන් දැවී විනාෂ වී යන්නට නියමිත වූ බැවිනි. මුළු නගරයම ‍මුළු රටම මෙන්ම මුළු ලොවම කැළඹී සිය අවසාන මොහොත තත්පර ගණනින් ගණන් කරමින් හිඳිනා අවසන් වරුව එය විය. අහසේ පායා තිබූ සඳ මෙන්ම ඊට මදක් කුඩාවට දිලිසි දිලිසි හුන් ඇස්ටරොයිඩය මහ පොලොව ඉලක්ක කර ගෙන එමින් සිටින මොහොතේ එය දර්ශනය වන අර්ධ ගෝලයේ රටවල්වල වැසියන් හට කාලය ගෙවුනේ ඉමහත් නොසන්සුන් බවකිනි.

මෙන්න එසැනින් සැන පුවත්. එසැනින් සැන පුවත් ඔබ වෙත ගෙන එන්නේ ආකර්ෂා ය. දයාබර ‍හිතවතුනි. තවත් ලෝක විනාෂයට ඇත්තේ පැය එකොලහකුත් විනාඩි තිස් හයකුත් තත්පර පනස් දෙකකි. නාසා ආයතනය ප්‍රකාෂ කරන පරිදි ග්‍රාහක අංශුව පෘතුවියේ ඝට්ඨනය වන්නේ උත්තර අක්ෂාංශ විසි දෙකයි තිස් දෙකයි අතර සහ නැගෙනහිර දේශාංෂ එකසිය එකොලහයි එකසිය විසි තුනයි අතර කළාපයට ය. දැනට ගණනය කර ඇති නිරවද්‍යතාවය අනුව මේ මොහොතේ අහසේ දිස්වන පූර්ණ චන්ද්‍රයාගේ ආපාතන කෝණයට සමාන ලෙස ඇස්ටරොයිඩයේ ආපාතන කෝණය සම වන මොහොතේ සිට විනාඩි තුනක කාලයක් ඇතුලත එය පෘථිවිය මත ගැටෙන්නට නියමිතය. මේ ගැටුමට පූර්වයෙන් පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විනාඩියක කාලය තුල වායුගෝලයේ උෂ්ණත්වය සූර්යයාගේ උෂ්ණත්වයෙන් අර්ධයකට පත්වන හේතුවෙන් ඇස්ටරොයිඩයේ ගමන් පථයේ ඡේදන ලක්ෂ්‍යය වන ඉහත දැක්වූ අක්ෂාංශ සහ දේශාංශ කේන්ද්‍ර කරගත් අරය කිලෝමීටර පන්දහසක් වන සී‍මාවේ සියළු ගොඩබිම් සහ සාගර ප්‍රදේශවල සියලුම දේ වාෂ්ප වී යන අතර එමගින් විශාල තාප ප්‍රමාණයක් මුදා හැරෙන හෙයින් එම මොහොතේ සිටම පෘථිවිය මත සියළුම ජීව ක්‍රියා සහිත සත්ව සංතතිය විනාෂ වන්නට ක්‍රමයෙන් පටන් ගන්නා බවත් ප්‍රථම තත්පර දහය ඇතුලත පෘථිවිය මත සියළු ජීවින් පිලිස්සී යන බවත් නාසා ආයතනයේ ප්‍රකාෂ‍කයෙක් මීට ස්වල්ප වේලාවකට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාෂ කොට ඇත. දැනට ඇමරිකා එක්සත් ජනපදය සිය උපරිම තාක්ෂණය භාවිතා කො‍ට මෙම ග්‍රහක අංශුව විනාෂ කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති අතර දැනට ඇති තාක්ෂණික සීමාවන් හරහා ඉතිරි වී ඇති පැය එකොළහ තුල ක්‍රියාත්මක කළ හැකි කිසිදු ක්‍රියාදාමයක් නොමැති බව ඇමරිකානු ආරක්ෂක සේවය නිල නි‍වේදනයක් නිකුත් කරමින් ප්‍රකාෂයට පත් කර ඇත.

සියල්ලෝ ළඟ ළඟ එන මරු දකිමින් වික්ෂිප්තව සිටියහ. ඇස්ටරොයිඩයේ ගැටුම ස්ථිර ලෙසම ප්‍රකාෂයට පත්වූ මීට වර්ෂයකට පෙර සිටම පෘථිවිවාසීන් එම අවස්ථාවට මුහුණ දීමට බොහෝ අමාරුවෙන් සිත් සාදා ගන්නට පටන් ගත්තේ ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාලය විසින් නිරන්තරයෙන් නිකුත් කළ මෙම ව්‍යසනයේ නොවැලැක්විය හැකි හේතූන් කෙරෙහි හට ගත් විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වන්නට වූයෙනි. මුලින්ම ලෝකවාසීන් විශ්වාස කළේ ඇමරිකානුවන් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ චීන ජාතිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යාවකාෂගත අධිබල පරමාණු බෝම්බ රැගත් අභ්‍යවකාෂ යුධ යානා එය මත පතනයන් හේතු කොට ගෙන මෙම ඇස්ටරොයිඩය එහි ගමන් මගේදීම විනාශ කිරීමට සමත් වනු ඇතැයි කියාය. එවැනි ක්‍රියාන්විතයන් කීපයක්ම අසාර්ථක වූ බව මීට පෙර මාස ගණනාවක් තුලම ප්‍රවෘත්ති සේවා මගින් අනාවරණය කළෙන් සියල්ලෝ මහ පොළොවින් සමුගැනීමට එකාවන්ව තීරණය කළහ. සමහරැ කල් තියාම සිය දිවි හානි කරගන්නට යොමු වීමත් සමග ලෝකයේ සියළු තැන්හි පෙර කිසි කලෙක නොවූ විරෑ ලෙස ශෝකජනක ආරංචියෙන් පිරී ගියේය. බොහෝ ධනවත් අය ඇමෙරිකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති අභ්‍යවකාශයට පැන යාමේ මෙහෙයුම් වලට මුදල් බැඳීමට යොමු වූහ. එම මුදල් ප්‍රමාණයන් ඩොලර් බිලියන ගණනින් වූයෙන් ලංකාවෙන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට යා හැකි වූවෙකු ලෙස වාර්තා වී සිටියේ රජ පවුලේ අයෙකු පමණි. කෙලෙස හෝ පෘථිවි වාසී පවුල් හතරක් මෙම අභ්‍යවකාශය කරා පැන යාමේ දුලබ අවස්ථාව උදා කර ගෙන තිබුනි. ඔවුන් පෘථිවිය හැර යන්නට ගත්තේ මීට හරියටම මාස හතකට පෙරය. ඔවුන් නැවත පෘථිවිය කරා පැමිණීමට නියමිත වන්නේ මෙම විනාෂයෙන් අවුරැදු පහකට පසුය. කෙසේ වෙතත් පවුල් හතරකට අවුරැදු පහකට ජීවත් වන්නට තරම් ආහාර පාන සහ අනෙකුත් පහසුකම් අධිතාක්ෂණික උපක්‍රම යනාදිය තිබුන ද පෘථිවියේ යළි පැමිණ ජීවත් වන්නට කිසිදු ලෙසකින් ඔවුනට අවකාෂයක් නොවන වග විද්‍යාඥයන් තිර ලෙසම ප්‍රකාශ කළ ද ඔව්හු මෙම ව්‍යසන‍ය හැබැහින් දැක හැකි තරම් කාලයක් ජිවත්ව මිය යන්නට තිර ලෙස අදිටන් කරගත්තෝය. බිල් ගේට් ද ඔවුනතර විය. සැබැවින්ම මෙම ඇස්ටරොයිඩ ගැටුමෙන් පසු අවුරුදු විසිපන්දහසක් යන තුරැ පෘථිවි පෘෂ්ඨයේ හිරු ආලෝකය ‍පතිත නොවන බවත් අධික විකිරණයන් හේතුවෙන් කිසිදු ජීවියෙකුගේ පැවැත්ම වලංගු නොවන වගත් විද්‍යාඥයන් හෙලිදරව් කර ඇත. මෙම සියලු සිදුවීම් මධ්‍යයේ සුපුරුදු ලෙස ‍සිය ගුවන් විදුලි විකාශ පවත්වන පෞද්ගලික එෆ් එම් නාලිකා තම සේවාදායකයන්ගේ ලෝකාවසාන පණිවිඩ නිකුත් කරමින් සිටින්නට විය.

"ලෝකාවසානය තෙක් අප හා විශ්වාසයෙන් ගනුදෙනු කළ ගනුදෙනුකාර භවතුන් ට අපි තිර ලෙසම ඊළඟ අත්භවයේද මෙම මහ පොලොව මතම ඉපදී මෙම ව්‍යාපාර ඒ ආකාරයෙන්ම පවත්වා ඔබ සියළු දෙනා සමග නැවතත් එක්වන්නේ යැයි ද එතෙක් අප හා ආ ගමනට මෙසේ තුති මල් කුසුම් පුදන බව සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරය ප්‍රාර්ථනා කර සිටියි."

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...

"ලෝකයේ අවසානයට ලං ව ඇති මේ මොහොතේ ඔබගේ දෙපා අනාදීමත් කාලයක් තිස්සේ සුරැකි ඩී එස් අයි සමූහ ව්‍යාපාරය මෙලෙස අප සියල්ලන් උපදින මතු අත් භවයක ද මේ ආකාරයටම දෙපා ලබා අපගේ විශ්වාසනීය පාවහන් මිළ දී ගෙන සමුර්ධිමත් නව ලොවක් තනන්නට අප හා එක්වන්නට වරම් ලැබේවා කියා මේ ප්‍රාර්ථනා ගෙනෙන්නේ ඩී එස් අයි සමූහ ව්‍යාපාරය!"

අවකාෂයේ
නිමක් නැති වූ
අඳුරෙන්
ආ වූ හිරැ කිරණයෙන්

නැගී...

පාවී ...

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...
පම් පම් පම් පම් පම්...

"මේ ලොව අවසාන හෝරා කීපයේ දී අප මේ සූදානම් වන්නේ අපගේ මකරා ලකුණ දරණ ඇස්බැස්ටස් ෂීට් පාවිච්චි කර හිසට සෙවණක් තනා ගනිමින් අපගේ ව්‍යාපාර කෙරෙහි ඉමහත් විශ්වාසයක් තැබූ ගනුදෙනුකාර භවතුන්ට ලබන්නා වූ මේ ලෝක විනාශයෙන් මතු උපත ලබන ලෝකයේදීත් අප හා එක්ව මේ ආකාරයෙන්ම ගනුදෙනු කරන්නට වරම් ලැබේවා කියා පැතුම් ගෙන එන්නටය. පැතුම් ගෙන එන්නේ මකරා ඇස්බෙස්ටොස්! ලෝකය විනාශ වුවත් මකරා ඇස්බැස්ටොස් ඉතිරි වේ!! "

කාලාත්‍රයේ...

කාලාත්‍රයේ...
පසු යාමයේ
රස පොලොවේ
ඇස ගැටී රත්හැල් රස වැටී
රත්හැල්ලේ රසවැටී
කය නැති හිත ගල් වී

ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...

"සූරූපී ලළනාවනි, ළඳුනි , වනිතාවනි මේ... ලොව විනාශ වන්නට පෙර ඔබ අත්විඳින අවසන් නිමේෂයයි. ඔබගේ පෙම්වතා ස්වාමියා අවසන් වරට ඔබ දකින්නේ මේ හෝරා කීපයේ දීයි. එම අවසන් හෝරා කීපය ඔබේ පෙම්වතාගේ ස්වාමියාගේ දෙනෙතට රසඳුනක් වන්නට මෙන්න වික්ටෝරියා සීක්රට් ලාංජරි දැන් ‍ඔබට ඉතාම පහසු මිලට! දෙකක් මිලදී ගත් විට නොමිලේ තුනක් ලබා ගැනීමට හැකි ස්ථාන... මාතලේ ෆැන්සි හවුස් -බුත්තල සාරි මන්දිර්- අගුණකොලපැලැස්සේ තමරා එන්ටර්ප්‍රයිසස්- දික්වැල්ලේ පමු‍ණුව ස්ටෝර්ස්- හාලි ඇල නිව් චින්තා ට්‍රේඩර්ස්....පිටකොටුවේ මනමෝදීනි විලාස් යනාදී දිවයින පුරා ශාඛා විසි හතකින් ... වික්ටෝරියා සීක්රට් සමගින් සුන්දර ලෝකාවසානයක්!"

පම් පම් පම්
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
පම් පම් පම් පම් පම්

ගුවන් විදුලි යන්‍ත්‍රයේ නිමක් නැති ලෝකාවසාන පණිවිඩ ප්‍රචාරයන්ට නොදෙවෙනිව රූපවාහිනී සේවා ද ලෝකාවසාන මොහොත ගැන විද්වත් සාකච්ඡා සහ විනෝද වැඩසටහන් මෙහෙය වන්නට උනන්දු වී ඇත්තේ සමස්ථ ජනප්‍රජාවගේ අවසන් හුස්ම පවා සැහැල්ලුවෙන් හෙලන්නට හැකි වන පරිදිය.

එක්තරා රූපවාහිනි චැනලයක් හදිසියේම ප්‍රචාරය කරන්නට ගත්තේ ලංකාවේ සිටින ධනවතුන් විසින් දුප්පතුන් කෙරෙහි ලෝකාවසානයේ දක්වන්නට යෙදුනු සිය අනුකම්පා සහගත සද්කාර්යයක් ගැනය. එනම් එම රූපවාහිනි වැඩසටහනට ඉදිරිපත් වන අයගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් ජයග්‍රහණය කරන්නන්ට ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්නට මෙම ධනකුවේරයන් සූදානම් වී ඇති බවයි. එම වැඩසටහනට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ඉඳුරුව ප්‍රසන්න ජයලත් නම් වූ විසි හතර හැවිරිදි තරුණයාගේ ඉල්ලීම වූයේ සිය පවුල සමග බකිංහැම් මාලිගාව බලන්නට යන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. වහාම ක්‍රියාත්මක වූ ධනකුවේරයෝ ඔවුනට පළමු පංතියේ බ්‍රිතාන්‍ය ගුවන්සේවා ටිකට් පත් ලබා දී ලෝකාවසානයට පෙර තිබූ අවසන් ගුවන් ගමනට එකතු කර එම සිහිනය සැබෑ කරගන්නට ඉඩ ඇරියහ . එම තරුණයා ඇතුළු පවුලේ සැම ඇඳිවතින්ම බ්‍රිතාන්‍ය බලා පිටත් වූයේ පවුලේ සියල්ලන්ම අන්දුන් කුන්දුන් තත්වයේ සිටියදී මය.

තවත් අයෙකු එම වැඩසටහනින් ජයග්‍රහණය කොට ඉල්ලා සිටියේ ජැක් ඩැනියෙල් ලීටර හතරේ බෝතලයකි. ඉතාම අපහසුවෙන් සිංගප්පූරුවෙන් වහාම ඩීඑච්එල් කර ගෙන්වා ගත් එම බෝතලය දැකුමෙන් කොස්වත්තේ සේනාරත්න සිහි විසංඥ නොවූවා පමණි. සත්‍ය වශයෙන්ම හැලි අරක්කු පෙරීමෙන් හෙම්බත්ව සිටි හෙතෙම ඉතිරි පැය දහය සිහි විසංඥ වනතුරු බොන්නේ යැයි කියා රූපවාහිනි විකාශ මධ්‍යස්ථානයෙන් පිටව සිය මිතුරන් සමග මග දිගට මධුපානය කරමින් කොස්වත්තට සේන්දු විය.

තවත් ජයග්‍රාහිකාවක් සිය ඉල්ලීම ලෙස ඉදිරිපත් කලේ රංජන් රාමනායක මහතා සමග ලෝකාවසාන සැන්දෑව ගත කරන්නට අවශ්‍ය බවය. එම ඉල්ලීම ඉටු කිරීමට කෙසේ හෝ උත්සාහ කළ යුතු වූයෙන් රංජන් රාමනායක සම්බන්ධ කරගැනීමට යෙදූ සියළු උපක්‍රමයන් අසාර්ථක වූ බැවින් සියළුම ධනකුවේරයන් ලජ්ජාවට පත්වී ඇගෙන් වෙනත් ඕනෑම වරමක් ඉල්ලන ලෙස බැගෑපත් වීමෙන් ගැටළුව සිවු ගුණයකින් වර්ධනය විය. මෙවර ඇය ඉල්ලා සිටියේ ශිහාන් මිහිරංග සමග සැන්දෑව ගත කිරීමට අවශ්‍ය බවයි. මෙයින් ද කැළඹුනු ධනකුවේරයෝ කරකියා ගත හැකි කිසිවක් නොවූයෙන් වැඩසටහන අතරමග නතර කර දමා දුප්පතුන් බයිට් කිරීමේ ලෝකාවසාන සංදර්ශනය ද නිමාවට පත් කළහ.

එම සුප්‍රසිද්ධ නාලිකාව සිය වැඩසටහන අතර මග නතර කර දැමුවද අනිකුත් තරගකාරී නාලිකා සිය වැඩසටහන් අඛණ්ඩව පවත්වන්නට යෙදුනෙන් සිය ඡායාරූපය මුද්‍රණය වූ රුපියල් දහසේ නෝට්ටු ද පාර්ලිමේන්තුවේ සෙංකෝලය හැරමිටියක් ලෙස ඇණ ඇණ යන්නට සිතැඟි වූ පරණ සමසමාජකාරයෙකු ද සිය සිහිනය සැබෑ කරගත්තේය. තවත් පශ්චාත් නූතනවාදියෙකුගේ ඉල්ලීමක් වූයේ සිය ජීවිතයේ අවසන් ඉල්ලීම ලෙස රාජාසනයේ වසුරැ හෙලන්නට ඇවසි බවයි. එම ඉල්ලීම ඉටු කරන්නට ඔහු සමග පිටත් වූ රූපවාහිනි කණ්ඩායම ලෝකාවසානයට පෙරම මරු දුටු බව එම රූපවාහිනියේම අවසන් පුවත් නිවේදනයේදී විකාශ විය.

බොහෝ අය පිරිත් සජ්ජායනා -සාමුහික බයිබල් සහ කුරාණ කියවීම් සහ ආගමික වතාවත්වල යෙදී සිටිය ද ගෝල්ෆේස් පිටිය පුරාම දක්නට ලැබුනේ විවිධ ලෝකාවසාන සංදර්ශනයන්ය. සන්ෆ්ලවර්ස්ලා ඉදිරිපත් කළ යුගන්ධර රාත්‍රිය සියල්ලන්ගේ චිත්තාකර්ෂනයට ලක්විය. සෑම ගීතයක් අවසානයේම අති විශාල අහස් වෙඩි දැවීමෙන් ලෝකාවසානයට අරුතක් එකතු කරන්නට ඔවුන් බොහෝ මුදල් වියදම් කර තිබුනි. සමහරුන් සාගරයේ නොගැඹුරු පෙදෙස්වල කුඩා බෝට්ටුවල නැගී සිටියේ එමගින් ලෝකය ගිනි ගෙන දැවෙන අවස්ථාවේ දී මුහුදට පැන එම ගිනි නිවා ගන්නට හැකිය යන විශ්වාසයෙනි. තවත් සමහරු විශාල බෝක්කු තුල ගුලි වී සිටියේ එමගින් තම දිවි රැකෙතැයි විශ්වාස ‍කළ හෙයිනි. සමහරක් වයෝවෘද අය මේ කිසිවක් ගණනකට නොගෙන එදිනෙදා කටයුතු වල යෙදී සිටියහ. ගෝල්ෆේස් පිටියේ තැන් තැන්වල තරුණ තරුණියෝ සිය සිතැඟි ලෙස අවසන් කාලය ගෙවමින් සිටියහ. ඔවුන් සමහරු බලාගත් අත බලාගෙන සිටි අතර සමහර ජෝඩු උමතුවෙන් මෙන් ඔවුනොවුන් සිප වැළඳ ලෛංගික අභිචාරයන්හි යෙදී සිටියහ. කිසිවෙකුත් කිසිවෙකු කෙරෙහි ද්වේශයක් වෛරයක් ඉරිසියාවක් නොවුනෙන් ඉමහත් සැනසිල්ලකින් ඔවුන් සියල්ලෝ සිය ජීවිත වල මෙතෙක් රැඳි ව්‍යාජ සළුපිලි උණා දමා අන්‍යොන්‍ය ප්‍රේමයෙන් වෙළී සිටියහ.‍

ගෝල්ෆේස් වෙරළ තීරයේ එක කෙලවරක අති දැවැන්ත එල්සීඩී තිරයක වි‍ශාල ඉලක්කම් වලින් ඉතිරිව ඇති කාලය තත්පර ගණන් වලින් දිස් වෙමින් තිබුනි. ඉඳහිට එම තිරයේ සටහන් වූයේ මෙම දැවැන්ත තිරය එම්ටීවී මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් සුවහසක් ලෝකාවසාන සංදර්ශන හිතකාමීන්ගේ පහසුව පිණිස තබා ඇති බවයි.

එදා රාත්‍රී අහසක් නොවීය. හරියටම ගණනය කර තිබූ වේලාවටම අහසේ සඳු පෙනුන මානයේ එතරම්ම විශාල ලෙස කහ පැහැති බෝලය දිස් වන්නට විය. ඒ සමගම මුළු අහසම රක්ත වර්ණ විය. ගිනි දළු දසත පැතිරෙන්නට විය.

තව අරක්කු බෝතලයක් මිළ දී ගන්නට සල්ලි සොයා බැංකුවක් කඩමින් හුන් ජිනදාසගේ ගෝනියේ වූ සල්ලි කොල ඔහුට පෙර අළු විය.


[විශේෂ ස්තුතිය උපුටා ගත් වර්ණ ගීතය වෙනුවෙන් නදීක ගුරුගේට නදීක ගුරුගේ/ඉන්ද්‍රචාප ලියනගේ/කසුන් කල්හාර යන අයවලුන්ට The Romantic Opera සීඩී තැටියට]