Friday, November 27, 2009

ශ්‍රම ශක්ති විප්ලවය


ශ්‍රමය නැමැති සංගීතය නිසා මම වොල්ගා නදිය වෙත ඇදී ගියෙමි. අද වුවද එම ශ්‍රමකාමී ගීතය මගේ හදවත ප්‍රීතිමත් ලෙස මත් කරවා ලයි. ශ්‍රමයේ වීරෝදාර කාව්‍යයේ රසය මට ප්‍රථම වතාවට වින්දනය කිරීමට හැකි වූයේ කවදා දැයි මට තවමත් ඉතා ‍‍හොඳින් මතක ඇත.

මගේ සරසවි - මැක්සිම් ගෝර්කි

එක්ස් මහත්තයා අත්සන ගසා දමා ඉක්මනින් කාර්යාල ගොඩනැගිල්ලෙන් මහමගට පැන සිය දෑතින්ම තාරපාර හාරා ‍මහ පොලව මතු කර වහා සැඟව ගොස් දෙමටගොඩින් මතුවුයේ තොරතෝංචියක් නැති සිතුවිලි විලක පිහිනමින් අන්දමන්ද සිහියකිනි. ඔහුගේ දෙසවන් මත රැව් දුන්නේ නිධානය සිනමා පටයේ පසුබිම් සංගීතය වැනි වූම ඉමහත් ගුප්තමය මියැසියකි. ඔහු‍ගේ දෑස් මත නලියමින් මැවුනේ වයි මහත්තයා දුරකතනයෙන් කතා කොට ටෙලි නාට්‍ය පිටපත ගැන දැක්වූ හදිසි බව තුලින් මතුවූ යක්ෂාවේශ මුහුණමය. වහවහා සිය සිරුරේ කෂේරුකාව අඹරවමින් පිඹුරු ගමන ඉක්මන් කළ එක්ස් මහත්තයා තීන්දුයි නිවාරණයි කැපයි- තීන්දුයි නිවාරණයි කැපයි- තීන්දුයි නිවාරණයි කැපයි යනාදි වශයෙන් සිතින් එකම වදන් පෙළක් මතුරමින් වීදිය දිගේ අතුරා තිබූ වැසිකිලි පල්දෝරුව දිගේ ඉදිරියට ඇදෙන්නට විය. අහසේ ගිනි බෝලයක් පොළවට පාත් වන්නා සේම හිරු අවරෙ හැරෙමින් තිබූ මොහොතේ එක්ස් මහත්තයා මහමග අයිනේ වූ මෑන්හෝල් එකකින් මතුවී ඒ අසලම වූ හමීඩියාස් ප්‍රදර්ශනාගාරයේ වීදුරු බිත්තිය මත වූ සාරුක් කාන් ගේ ඇඳුම් කට්ටලයට බැස ඒ අසල වූ බස්නැවතුමෙන් බසයක එල්ලී විනාඩි හතලිස් පහක ගමනක යෙදුනේ සෙඩ් මහත්තයාගේ ගෙදර බලා යන්නටය.

"දැන් පිටපතේ කොන්සෙප්ට් එක කොහොමෙයි ? "

"තව ටිකක් විතර ඉතිරියි. ඔක්කොම ලියල ඉවර වෙලත් මම කීප තැනක් වෙනස් කලා නේ‍... "

"හරි දැං මොනවද කපලා දැම්මේ? "

"මේං මේ විස්තර වගයක්...ඒවා එච්චර වැඩක් නැහැයි කියල හිතුනත් එක්කල. ලොකේෂන් බැලුව නිසා මේ ටික ගැලපෙන්නේ නැහැයි කියල එම් මහත්තයා කී‍වා ඊයේ හැන්දෑවේ...එයාට ඕන විදියටම සේරම ලියාගන්න පුළුවන් වුනා කියලා නම් හිතන්න අමාරුයි. "

"කෝ බලන්න... "

***
මුහුදේ සරැලි අතර දියව යන වෙරළ තීරයේ රැඳුවුනු දෑස් මත දැවටුනේ ජීවි‍තයේ රහස යැයි සිතන්නට මිනිසුන් පුරැදු වෙමින් සිටි සමය එය විය යැයි ඔවුන් ඉගෙන ගනිමින් සිටියහ. ඒ මන්ද යත් සිය ජීවිතයේ අපූර්වතම දර්ශනය මුහුදු බඩ සැන්දෑවක හිරැ බැස යාම යයි ඔවුන් අත් විඳි ඒ අති උත්කර්ෂවත් හෝරාව වූ බැවිනි‍. එය හෝරාවක් යැයි සඳහන් කළ ද එය අතිශය අතිශයෝක්තියට නැංවූ නිමේෂයකි. ජීවිතයේ සතුට පවතින්නේ තත්පර ගණන් වලින් බැව් ඔවුන් සියල්ලෝම වටහා ගනිමින් සිටි අතර ඔවුනගේ ප්‍රාග් ‍‍ෛඑතිහාසික ප්‍රොටෝ‍‍කොලය වන මොෂින් මක්මල්බාෆ් සිය රිදීතිර මත ලියමින් හුන් අලුත්ම සිනමා කෘතිය තුල පඨිතය ගොඩනංවමින් හුන්නේ එම තත්පර ගණන් වූ ජී‍වි‍තයේ ප්‍රමෝදය මැනීමේ කාල යන්ත්‍රය තත්පරයෙන් සීයෙන් පංගු මැනිය හැකි කාලමාපක උපකරණයක් වීමේ අවශ්‍යතාවය ගැනයි. කරුණාකර මොෂින් මක්මල්බාෆ් ගැන අ‍වබෝධයක් ලබා තිබීමෙ වටිනාකම දැං ඔබ වටහා ගනිමින් ඉන්නා බව දැනීමෙන් ඇති වූ සංතුෂ්ඨිය හේතුවෙන් මෙම ලියැවිල්ල තවත් දිග් ගැහීමේ අවශ්‍යතාවය මා මග හැරී බව සලකන්න. ‍එහ එසේ යැයි වීමෙන් ඔබට යම් අපහසුතාවයක් ඇති වන්නේ‍ නම් කරුණාකර පරණ රාවය පත්තර ගොන්නක් අවුස්සා මොෂින් මක්මල්බාෆ් ගැන කියවන්න. අවංකවම ඒ ලිපිය කවරදා පළ වුයේ දැයි කීමට තරම් මගේ මතකය තීව්‍රර නැති‍ බැවින් එය වසර දෙදාස් පහේදී විය හැකි බව මගේ අවිඥාණය ඇණවුම් කරනා බැවින් එම වර්ෂයේ පත්තර මිටියක් දිග හැර හෝ ජාතික ලේඛනාරක්ෂකයේ තාවකාලික සාමාජිකත්වයක් ලබා වහ වහා පෙරලා බලා හෝ එම ලිපිය සොයා කියවීම ඔබගේ වගකීමකි.

***
"හ්ම් මේ ටික නම් වැඩක් නැහැ තමයි. තමුසෙත් මොනව හරි ලියන්න කීවම රටේ නැති විගඩං එහෙං මෙහෙං එල්ලලා ලියනවා නේද? මේක කිසිම සම්බන්ධයක් නැහැනේ ඕයි මේ අනිත් කොටස් එක්කලා? "

"ඒක නම් එහෙම තමයි මේ කපාපු ටික මම ලියල තිබ්බේ වෙන වැඩකට ඒත් මේ මම බැලුවේ මොනව මොනව හරි එල්ලලා මේකේ පිටු ගණන වැඩි කරල ... "

"ෂී ෂී අයිෂේ ඔහොම පිටපත් ලියල හරි යන්නේ නැහැනේ? අනික මේක අනුමණ්ඩලේට යවන එකක් නොවෙයිනේ ...අන්න එහෙම නම් නොතේරෙන ඕන මගුලක් දාලා යවන්න තිබ්බා...මොකද ඒකේ ඉන්න එවුන් මේවා කියවන එකක් යැ... කියෙවුවමත් ඉතිං තේරෙන්නේ නැත්නම් කරන්නේ නියමයි කියල පාස් කරන එකනේ‍‍..."

"මේ ටික වෙනම අරං ආයෙම ලියන්න ඕන...මේක අනුග්‍රාහක සමාගමේ ඇප්රෑවල් එකට හෙට දානවා කියල එන් මහත්තයා කීවේ... "

"හරි ‍එහෙනම් ඕක කියවනවා බලන්න... "

***

ඒ ශ්‍රමය පිළිබද අවසන් තීරණයට එළැඹුනු රාත්‍රියයි. සල්ලි කොළ කඳු ගසා පුළුස්සා දමමින් මෙතුවක් කල් ශ්‍රමය සහ වහලා අතර පරතරය නිර්මාණය කළ හුවමාරුවේ අතිරික්තය විනාශ මුඛයට පත් කළ හෝරාවයි.

උදා හිරු මස්තකප්‍රාප්ත වන සුභ හෝරාව ලිත් පිටුවේ මුද්‍රිත අකුරෙන් මිනිස් ඇස වෙත විශ්වාසයේ කූටප්‍රාප්තිය සලකුණු කර තිබූ හෙයින් නිවුටන් ගේ හිතළුවක් වූ සර්වගුරුත්වාකර්ෂණ සමීකරණ තුළත් ඊටත් මෑත මිනිසා විසින් වෘද්ධිගත කරගත් වෘත්ත චලිතයේ සහ ඉලිප්සීය චලිතයේ කාල අවකාශ හැසිරීමත් සන්නිකර්ෂණය කළ ගණිත යන්‍ත්‍රයේ අනුසාරයෙන් උදෑසන හය පසුවී විනාඩි නවයකුත් තත්පර හතළිස් දෙකක දී සූර්ය මධ්‍යලක්ෂ්‍යය ක්ෂිතිජයෙන් මතු වද්දී සියල්ලෝ විශ්වයේ මහා ශ්‍රමාධිකාරය ලෙස ප්‍රස්තාවනාවට පත් කළ සූර්ය දිව්‍ය රාජයන්ගේ සම්ප්‍රාප්තිය අති උත්කර්ෂවත් ලෙස සැමරීමට කඳු පාමුල එක් රැස්ව සිටියහ.

මින් මතු ප්‍රඥප්තියට අනුව සියලු භාණ්ඩ හා සේවාවන් හුවමාරු විය යුතු වූ බැවින් සූර්යෝදාවත් සමගින්ම සියල්ලෝ ශ්‍රමය වගුරන්නට පටන් ගති.

වර්ෂ එක්දහස් නවසිය අසූනවයෙදී නිරීක්ෂණය කළ පරිද්දෙන්ම සූර්යයාගේ උපරිම තාප ඵලය පෘථිවිවාසීනගේ සියළුම කටයුතු කෙරෙහි සෘණාත්මකව බලපෑ ශක්ති විමෝචනයේ අතුරුඵලයක් ලෙස සූර්යා විසින් ජනනය කළ ශක්තියේ උපරිම අගය ගණනය කරගන්න‍ට ලැබීමේ වාසිය අත්විඳි මානව විද්‍යාඥ සංසදයේ අවසන් වාර්තාවට අනුව මහ පොලව වටා ඇති චුම්බක ක්ෂේත්‍රයේ අති සූක්ෂම වෙනස් වීම් මැන ගැනීමේ තාක්ෂණය එළිදරව් වූයෙන් ශ්‍රමය පිළිබඳ චිරාත් කාලීනව පැවති මිථ්‍යා මත බිඳ හෙලා ශක්ති හුවමාරුව පිළිබඳ න්‍යාය ලෝකවාසීන්ගේ ඒකමතික තීරණයෙන් ක්‍රියාත්මක වන්නට වූයෙන් එතුවක් කල් ධන සංචිත පවත්වා ගනිමින් ලෝක ආර්ථික රටාවන් ගලග්‍රහයෙන් පවත්වා ගත් මහ විසාල සංගත දෙදරා බිඳ වැටෙන්නට පටන් ගත් හෙයින් සියල්ලන් ශ්‍රම බලකායට අනුයුක්තව සාමුහික ජීවණය නම් වූ මානව සංහතියේ වඩාත්ම සංවර්ධිත අවධිය කරා පියවර තබන්නට පෙළ ගැසුණි.

ශ්‍රමය යනු ශක්ති‍යේම පරිවර්තනයක් ලෙස වඩාත් පළල් අරුතකින් ප්‍රතිනිර්වචනය වූයෙන් සියලුම මිනිසාගේ ශක්ති හුවමාරුවන් තම තමන්ගේ පෞද්ගලික ඉපැයීම් ලෙස ජූල් නමැති ඒකකයකින් මැන ශරීරයේ තැන්පත් කළ චිපයක ආධාරයෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයට අදාල ශක්ති ප්‍රමාණය සහ පේශිවල සහ මොළයේ නියුරෝන වල ශක්ති පරිවර්තන සසඳා දිනපතා අතිරික්ත ලෙස වගුරන ලද ශ්‍රමය නිශ්චිත වශයෙන් ගණනය කරගැනීමේ තාක්ෂණවේදය පෘථිවිවාසීන්ට ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ක්‍රියාත්මක වූයෙන් එතැන් සිට ශරීරයට බාහිරින් වූ කිසිවක අයිතියක් යැයි දෙයක් හෝ පෞද්ගලික දේපළ ක්‍රමයක් හෝ නොපවතින්නට වූයෙන් කිසිවකුත් මූලික අවශ්‍යතාවයන් කෙරෙන් විවිධත්වයකට හෝ අසමානත්වයකට පත් නොවුනි.

සියල්ලෝ සෘජු හෝ වක්‍ර ශ්‍රමිකයන් වූයෙන් මොළය වෙහෙසන්නන්ට මෙන්ම කය වෙහෙසන්නන් ද සම ලෙස සියළු සම්පත් පරිභෝජනය කිරීමේ අවකාශ ලද්දෙන් මිනිස්සු අතිශය තෘප්තිමත් ජීවිත අත්කර ගත්හ.

ගෝලීය ලෙස එකඟතාවයට පත් වූ ශ්‍රම ශක්ති විප්ලවයේ ජයග්‍රහණය උදෙසා සිය ජීවිත කැප කළ සියල්ලන් වෙනුවෙන් කෘතගුණ දැක්වීමටත් අලුත් ලෝකයකට හිරු උදාවන මොහොතේ එම අකාලික සංතුෂ්ටිය බෙදා හදා ගැනීම උදෙසා විවිධ භාෂා සහ සංස්කෘතීන් හරහා මෙම ශ්‍රම ශක්ති විප්ලවයේ ජීව ගුණය පිළිබඳ අදහස් බෙදා ගැනීම පිණිසත් සිය බුද්ධිය මෙහෙය වූ විද්වත් කමිටුවේ සභාපතිගේ දේශණය ඉන් පසු ලෝකවාසීන්ට අසන්නට ලැබුනේය.

***

අද අප පා තබා යන්නේ අනාගතයටයි. මිනිස් සංහතිය සිය බුද්ධි බල මහිමයේ ප්‍රායෝගික සී‍මාවේ තවත් නිම්වළල්ලක් පසු කර ඉදිරියට ඇදෙන මොහොතක පෘථිවිවාසි ඔබ සැම මෙලෙස අමතන්නට ලැබීම මෙම ශ්‍රම ශක්ති විප්ලවයේ ජයග්‍රහණයේ ‍උණුසුමට අපගේ මැදිහත් වීමේ අවංක සංතෝෂය ද්විගුණ වන්නටත් ඔබ සැම වෙත මෙම ශ්‍රම ශක්ති විප්ලවයේ සැබෑ උරුමයන් පැහැදිලි කරදීමටත් අවස්ථාවක් ලෙස සලකමි.

ඔබ අප සැවොම දන්නා පරිදි මින් මතුවට අපට වැටුප් ගෙවන්නන් නැත. තම තමන් ශ්‍රමය වැයකර ජූල් උපයා ගත යුතුයි. මේ කාරණය පිටුපස ඇති තාක්ෂණය කාටත් සරලව වැටහෙන දෙයක් නොවුනත් අප විසින් ජය ගෙන ඇති තාක්ෂණ ප්‍රවණතා කීපයක සංකලනයක් ලෙස මෙය හඳුන්වා දෙන්නට මට අවස්ථාව දෙන්න. ප්‍රධාන වශයෙන්ම ඔබ සියල්ල අත පළඳා ඇති වළල්ලේ ඇති චිපයක් ආධාරයෙන් ඔබ දෛනිකව උපයන විශිෂ්ඨ ජූල් ප්‍රමාණය සටහන් වෙනවා. ඒ ජූල් ප්‍රමාණයට ඔබගේ මානසික ශ්‍රමය ද අයත් වෙනවා. ඔබ සැවොම දන්නා පරිදි සෑම වේලාවකම ඔබ උපයා ගත් ජූල් ප්‍රමාණය අපගේ පරිඝණක ජාලයට එකතු කර ඔබගේ ගිණුම යාවත්කාලීන කරන්නට හැකියාව තියෙනවා. ඒ අනුසාරයෙන් වැඩියෙන් කය සහ මනස වෙහෙසවන්නන්ට වැඩියෙන් ජූල් උපයා ගන්නට හැකියාව තියෙනවා. කවුරුත් දැන් දැනුවත් කර ඇති පරිදි මෙම පද්ධතියේ සංවේදිතාවයට හිරුගේ පෘෂ්ඨය මතුපිට සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල විලනයන් බලපානවා. ඒ හැම අවස්ථාවකදීම පෘථි‍වියේ චුම්භක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම් ගණනය කර ඔබගේ ජූල් ඉපැයීම් වලට සිදුවන හානිය අප සංශෝධනය කරනවා. මේ ගැන කිසිවෙකුටත් කිසිම ආකාරයක අසාධාරණයක් නොවන ලෙස පද්ධතිය අපගේ සනාතනික විමර්ශනයට ලක්වෙනවා. මේ ගැන අප සියල්ලන් ඉතාම සතුටු විය යුතුයි. ඒ වගේම තම තමන් කැමති ආකාරයෙන් විශ්ව ශක්ති සංචිතයට දායක විය හැකියි. ඒ තම තමන් උපයන ජූල වලින් ඉතාම ක්ෂුද්‍ර කොටසක් ස්වේච්ඡාවෙන් ලබා දීමෙන් ශ්‍රමය වැගිරීමේ අපහසුතාවයෙන් පෙලෙන්නන්ට නැවත ලබා දීමට කටයුතු යොදන්න පුළුවන්. ශ්‍රමය වැගිරවීමේ අපහසුතාවයන් ඇත්තන් ලෙස වයස අවුරුදු දහ අටට අඩු දරුවනුත් වයස අවුරුදු හතළිස් පහට වැඩි අයත් සලකන්නට තීරණය කර ඇති නිසා මේ ශ්‍රම ශක්ති සංචිතය බොහෝ පිරිසකට ජූල සපයන්නට උපකාරී වන බව අපගේ විශ්වාසයයි. සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සියළුම යන්ත්‍ර හේතුවෙන් ගමනාගමන සියල්ලන්ට පොදු සේවාලෙස තමන් උපයා ගත් ජූල් වලින් ඉතාම ක්ෂුද්‍ර කොටසක් වැය කිරීමෙන් එම සේවා ලබා ගත හැකියි. ඒ නිසා කිසිවෙකුටත් පෞද්ගලික් වාහන වල අවශ්‍යතාවයක් නැහැ. සියලු ගමන් බිමන් සඳහා ප්‍රවාහන පද්ධති ඇති නිසා කිසිවෙකුටත් මිල මුදල් ගෙවා කිසිවක් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.

ඉතිං මේ ක්‍රමයේ පදනම කුමක් ද? කාට හරි එහෙම ප්‍රශ්නයක් හිතට නැගෙන්නට පුළුවන්. මේ පිළිබඳ අපි ඉතාම වැදගත් සිද්ධාන්ත කීපයක් අනාවරණය කරගෙන තියෙනවා.
මූලික වශයෙන්ම විශ්වයේ පවතින්නේ ශක්තිය පමණයි. ඒක දැන් අපි ප්‍රායෝගික භාවිතයක් ලෙස මුදල් විස්ථාපනය කිරීමට භාවිතා කිරීම පමණයි අලුතින් සිදුවී ඇත්තේ මෙම විප්ලවය හරහා. ශක්තිය පමණයි ප්‍රාථමික වන්නේ. අනෙකුත් සියල්ල‍ මේ පවතින ශක්තියේ නොයෙකුත් ආකාර පමණයි. ශක්තිය නිසා ද්‍රව්‍ය හට ගන්නවා.‍ ද්‍රව්‍ය නිසා අවකාශය නිර්මාණය වෙනවා. ද්‍රව්‍ය තුල ගබඩා වී ඇති ශක්තිය අපට ගණනය කරන්න සමීකරණයක් සොයල දීල තියෙනවා අපේ විශිෂ්ඨතම ප්‍රාඥයා අයින්ස්ටයින් විසින්. අපට පුළුවන් ඕනම පදාර්ථයක ගැබ්වෙලා කැටිවෙලා තියෙන ශක්ති ප්‍රමාණය ගණනය කරගන්නට- එම ශක්තිය සමානයි ස්කන්ධය සහ ආලෝකයේ ප්‍රවේගයේ වර්ගය නමැති සුප්‍රසිද්ධ සමීකරණයෙන්. දැන් අපි ඒක වඩාත් දියුණු කරල තියෙනවා චිත්ත ශක්තිය දක්වා මිනුමේ ක්‍රමයක් දක්වා. චිත්ත ශක්තිය මැනීමේ දී අපි මොළයේ නියුරෝනවල ශක්ති වෙනස සොයා ගන්න උපක්‍රම දියුණු කරල තියෙනවා. ඒවා අතිශය ක්ෂුද්‍ර විචලනයන් බැවින් මාංශ ‍පේශී චාලක ශක්තිය බවට පරිවර්තනය වන ජූල සෙවීම තරම් පහසු නොවුනත් ඒ සඳහා අපි දියුණු කරගත් න්‍යායන් ප්‍රායෝගිකව යොදා ගැනෙනවා‍.
ශරීරයේ දෛනික පැවැත්මට නිරන්ත‍රයෙන්ම වැය වන ශක්ති ප්‍රමාණය වෙනම පෙරා ගන්නට පුළුවන් විදියට අපි මේ අතේ බැඳ ගන්නා චිපයේ සංවේදකයන් නිර්මාණය කරල තියෙනවා. ඒ අනුව කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව ඉතාම වැදගත් පෙරයීම් කරගැන්මට පවා පුළුවන්. ඒවා මේ පද්ධතියේ අතුරු ඵල ලෙස හඳුන්වන්නට පුළුවනි.

භාණ්ඩයක ජූල මිල තීරණය වන්නේ එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා වැය වූ ශ්‍රමිකයන්ගේ ජූල් ප්‍රමාණය සහ එම එකලස් කළ ද්‍රව්‍යයන්ගේ අන්තර්ගත ශක්ති ප්‍රමාණය ජූල්වලට පරිවර්තනය කළවිට ලැබෙන අගයන්ගේ සමාකලනයෙන්. එවිට පරිගණකයක මිලට සමාන ජූල් ප්‍රමාණයක් උපයා ගන්නට මිනිසෙකුට දින හතලිස් හතරක් දවසට පැය අටක කාලයක් සිය ගෙවත්තේ වගා කටයුතුවල යෙදීමෙන් උපයා ගත හැකියි.

මිනිසුන් නිරෝගි බව පවත්වා ගැනීමට කරනු ලබන ශාරිරික ක්‍රියාවලදී ද ජූල් උපයා ගන්නට උපකාරීවීම නිසා මිනිසුන් නිරෝගි වීමේ ප්‍රවණතාවය පිළිබඳ මිනිස් සංහතියේ කිසි කලෙකත් නොවූ තරමින් උනන්දුවක් උද්‍යෝගයක් හට ගත්තෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා ආයෝජනය කළ යුතු ජූල ප්‍රමාණය දැවැන්ත ලෙස අඩු වීමෙන් ලෝක ජනගහණයේ අපේක්ෂිත ආයුෂ ද වර්ධනය වීය.

සංගීතය හෝ වෙනත් කලා නිර්මාණයන්ගේ වටිනාකම අතිශය ලෙස ජූල වශයෙන් ඉහල යාමත් ඒ හෙයින්ම නිර්මාණකරණයේ යෙදෙන්නවුන්ට තෘප්තිමත් යුගයක් උදා විය.

තම ප්‍රථම සිනමා නිර්මාණය වෙනුවෙන් ජූල වැය කළ අධ්‍යක්ෂකවරයෙකුට උපයා ගත හැකි වූ අතිරික්ත ජූල ප්‍රමාණයෙන් ශ්‍රම ශක්ති සංචිතයට පරිත්‍යාග කල ජූල ප්‍රමාණය කොතරම් වටිනාකමක් ගත්තේද යත් එම ප්‍රමාණය සාමුහික ගොවිපලවල් දහයක සේවා සඳහා ජල සහ විදුලි සැපයුම් ප්‍රමාණයට පරිවර්තනය කරන්නට හැකි විය.

ශ්‍රම ශක්ති විප්ලවය සදා කල් රැඳුනු මිනිස් උන්නතියේ සිහිවටනයක් ලෙස පැවතුනි.

මිනිස් සංහතිය දුටු චමත්කාරජනකම සිහිනය එලෙස මල්ඵල ගැන්විණි.

***
"තමුසේ හිතනවද මේක අනුග්‍රාහක කොම්පැණිය අනුමත කරයි කියල? "

Saturday, November 14, 2009

On Line පාංශුකූල


On Line පාංශුකූල

මහාචාර්යවරයා කුදලාගෙන විත් අඳුරු කුටි‍යකට දමා එහි වූ දැවැන්ත යකඩ දොර වසා දමන ලදී. දින තුනක් ඝණ අන්ධකාරයේ සිටි හෙතෙම හතරවන දිනයේ දී යකඩ දොර හැර බලද්දී මරණාසන්නව සිටියෙන් ඔහුගේ දෙකකුලින් ඇද කුටියෙන් එළියට ගත් වදකයෝ ඔහුව වත්තං කරගෙන ගොස් කොන්ක්‍රිට් බංකුවක් මත හොවා මුහුණට වතුර ඉස බලා සිටියහ.

"කෝ උඹගේ ලියවිල්ල හංගපු තැන? කියපං දැංවත්? "

මහාචාර්යවරයා දෙනෙත් හැර පියා නිසොල්මනේ හිරු දෙස බලා සි‍ටිනායුරින් දෑස් අර්ධයක් දල්වා වික්ෂිප්තව සිටියේය. ඉන් මොහොතකට පසු හෙතෙම අවසන් හුස්ම හෙලූයෙන් ඔහු ලියූ ලියැවිල්ල කිසි දිනෙක කිසිවකු අතට පත්වන්නට ඉඩක් නොමැති බවත් එය අනාවරණය කර ගැනුමට දැරූ අවසන් ප්‍රයත්නයත් ව්‍යර්ථ වූ වග වදකාගාරය භාරකරු වහා ඉහලට දන්වා සිටියේය.

මෙම ලියැවිල්ල ඉන් වසර හතලිස් පහකට පසු විශ්ව විද්‍යාලයේ පැරණි ලිපි ලේඛන සංරක්ෂණාගා‍රයේ බිත්තියක වූ ලෑලි වරිච්චියක් අලුත්වැඩියාවට ගලවමින් සිටිය දී රහසිගත ලෙස සඟවා තිබූ ‍කඩදාසි බම්බුවක් තුළ ‍සුරුණ්ඩු වී තිබුයෙන් වඩුවන් අතට පත් විය.

එම වඩුවන් විසින් පරිස්සම් කර ගෙන මා කරා පැමිණෙන තෙක් මේ ලියැවිල්ල කිසිවෙකුත් විසින් නොකියවා තිබූ බව මම හොඳින්ම දනිමි.

***

විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා වර්තමාන ආර්ථික ව්‍යුහයට නොගැලපෙන්නේ යැයි වසර දෙසිය දහතුනකට පසුව සොයා ගැනීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු පාඨමාලා සංශෝධනය කොට ක්‍රියාත්මක කළ යුතු වගට- පැවතුන අධ්‍යාපන ක්‍රමයට අනුව සාමාන්‍ය පෙළ විෂයන් අටෙන් විෂයන් තුනක් සමත් වී සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වහා චක්‍රලේඛයක් නිකුත් කරන්න වූයෙන් ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පිළිබඳ උපාධි පාඨමාලාව - පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ උපාධි පාඨමාලාව - තුවක්කු සහ වෙඩි උණ්ඩ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ උපාධි පාඨමාලාව ද සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලාව ද ඇතුළුව පන්සිය පනස් පහක් වන නව උපාධි වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධන පාඨමාලා ලෙස හඳුන්වා දීමේ ක්ෂණික අවශ්‍යතාව පැන නැගී ඇති බව මේ පිළිබඳ පර්යේෂණයේ යෙදුනු ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කර තිබූයෙන් එම පාඨමාලා අතරින් සමහරක් ඉගැන්වීම පිණිස දැනට අධ්‍යයන ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු ලෙස යම් යම් දේවල් කරමින් සිටි කිසිදු මහාචාර්යවරයෙකු අසමත් බව ද සොයා ගැනීමෙන් අනතුරුව මෙම පාඨමාලාවන් ඉගැන්වීමට සමත් අයගෙන් ඉල්ලුම් පත් කැඳවීමට විශ්වවිද්‍යාල අමාත්‍යාංශය තීරණය කරන ලදි.

සන්නිවේදනය පිළිබඳ රටවල් දහතුනක දේශණ පවත්වන, ඒ නිසාම චිරප්‍රසිද්ධියට පත් දැනට විදේශගතව සිටි එක්තරා මහාචාර්යවරයෙකු නැවත දිවයිනට ගෙන්වා ගැනීම උදෙසා ඩොලර් මිලියන පහළොවක ඇස්තමේන්තුවක් අනුමත කරවා ගැනීමට අධ්‍යාපන ඇමති කරා පැමිණි විශ්වවිද්‍යාල අමාත්‍යාංශයේ ලේකම් මහතාගේ වැඩ තහනම් කොට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වන්නට සිදුවූයේ එම පාඨමාලාව ඉගැන්වීම උදෙසා රට තුලම ජිවත් වූ ජන සන්නිවේදනය පිළිබඳ කෙළ පැමිණි නිවේදිකාවක් සිය ඉල්ලුම් පත්‍රය ඇමතිවරයා වෙත එක්තරා හිම වැටෙන රටක දී පැවැත්වූ සම්මේලනයක් ආවරණය කරන්නට ගොස් සිටිය දී ඇමතිවරයාගේ ඇ‍ඳේ කොට්ටය යට තබා එන්නට ඇයට හැකි වීමෙන්ය. අවසානයේ ජන සන්නිවේදන පාඨමාලාවට ඇඳක කොට්ටය යට ඉල්ලුම් පත්‍රයක් තබා ඒමේ කෞෂල්‍යය ප්‍රායෝගිකව අත්හදා බලා එම පාඨමාලා හදාරන්නියන් වහ වහා උසස් ජන සන්නිවේදිකාවන් බවට පත් වීමත් සමග විශ්ව විද්‍යාල පාඨමාලා කෙරෙහි පොදු ජන ප්‍රසාදය අතිශය ලෙස ඉහල යන්නට වූයෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් දුප්පතුන්ට මෙවැනි උසස් පාඨමාලා උගැන්වීමෙන් ආර්ථිකයට වන හානිය පිළිබඳ රහසිගත වාර්තාවක් ඇමතිතුමා ලදුයෙන් එම පාඨමාලා සහතික සියල්ලම මුදල් ගෙවා ඇමරිකාවේ කොන්ඩලීසා රයිස් මහත්මියගේ අත්සනින් නිකුත් කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලය ක්‍රියාත්මක වූයෙන් ඉන් පසුව ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම පාඨමාලාව සඳහා සිසුවියන් ඇතුලත් කරගැනීමේ සාර්ථක ක්‍රමයක් අත්හදා බැලුණූ අතර එය අතිශය සාර්ථක වීමත් සමග නිවේදන ක්ෂේත්‍රය කාන්තාවන්ගෙන් බැබළීමත් සමගම පුරුෂාධිකාරය බිඳලන්නට හැකි වීම පිළිබඳ ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ල එකතුව දැවැන්ත මෙගා සංගීත රාත්‍රියක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත් විණි.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණ කලාව පිළිබඳව නිපුණතා පෙන්වූ එකුදු මහාචාර්යවරයෙකු රට තුළින් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඒ සඳහා වහ වහා සී එන් එන් සහ බී බී සි ආයතනවල පළපුරුදු ප්‍රවෘත්ති නිශ්පාදකයන් කණ්ඩායමක් රට තුලට ගෙන්වා ගැනීමට යෝජනා වෙද්දී පිටකොටුවේ මල්වත්ත පාරෙන් ඉදිරිපත් වූ වැන්ඩස්ටාර්ටන් මහතා ඒ සඳහා නිපුණයෙකු වග අමාත්‍යවරයා පෞද්ගලිකව දැන සිටි හෙයින් එම පාඨමාලාවේ අධ්‍යක්ෂ තනතුර ද ගමන් බිමන් සඳහා ත්‍රීවීල් රථයක් ද ලබා දීමෙන් අනතුරුව ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිෂ්පාදනය පිළිබඳ උපාධි පාඨමාලාව ආරම්භ වූයේ අධ්‍යාපන අමාත්‍යවරයාට එංගලන්තයේදී ආචාර්ය උපාධියක් පිරිනමන ආකාරය ඩිජිටල් තාක්ෂණ අනුසාරයෙන් සජීවි ලෙස ප්‍රති නිර්මාණය කර රාත්‍රී අටේ රූපවාහිනි පුවත් මගින් විකාශය කිරීමත් සමගය. එම ප්‍රවෘත්තිය කොතරම් තාත්වික ලෙස ඩිජිටල් ගත කර තිබුනේ ද යත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අත්පොලසන් දෙමින් එහාට මෙහාට යන අයුරුද ඔහුගේ ආරක්ෂකයන් ද ඔහුට අනුව අත්පොලසන් දෙමින් විසිල් ගසමින් සිය කළවා වල හම් පටිවලින් සැදි රහසිගත කොපු තුල සඟවා තබා ඇති දැලි පිහි පවා මතුවී පෙනෙන ආකාරයට නිර්මාණය කර තිබූ හෙයින් ද මෙම ඩිජිටල් ප්‍රවෘත්ති කලාව ගැන තරුණ කොටස් උමතුවෙන් ඉල්ලුම් පත් එවන්නටත් දෙමව්පියන්ට ඇවිටිලි කරන්නටත් වූයෙන් පසුව පැවැත්වූ තරග විභාගයකින් සමත් වන්නන්ට පමණක් ඩොලර් ලක්ෂ තුනක් වාරික ක්‍රමයට ගෙවීමෙන් පාඨමාලාව සඳහා ඇතුලත් කර ගැනුණි.

එම ඩිජිටල් ප්‍රවෘත්තියේ ඇමතිවරයා සිගරට් කොටයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග හුවමාරු කරගන්නා දර්ශනය විකාශ වන්නට නොදී නවත්වා ගත්තේ අනූ නවයෙනි. එය ප්‍රවෘත්තිය විකාශ කිරීමට පෙර පරීක්ෂා නොකළ ප්‍රවෘත්ති වැඩසටහන් අධ්‍යක්ෂක වහාම සිනමා ශාලාවක චිත්‍රපට දුවවන යන්ත්‍රයක වසර හතරක පුහුණුවකට යවන්නට ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා රෙකමදාරු වූ බව ආණ්ඩුවේ ඕපා දූප ජාත්‍යන්තරයට ප්‍රචාරය කරමින් ඩොලර් කෝටි ගණන් උපයන අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන්ව තිබුණි. වැඩි දුරටත් එම දඩුවම ගැන අදහස් දක්වා තිබූ එම අඩවිය පැවසූයේ එම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට චිත්‍රපටි රීල් එකක් වම් ප්‍රොජෙක්ටරයෙන් දකුණට හෝ දකුණෙන් වමට මාරු වන අවස්ථාවේ දී තිරයේ දකුණු කෙළවරේ ඉහළින් පෙනී නොපෙනී යන කුඩා රවුම් ගැන අවධානයෙන් සිට කාලය ගැනීමට පුහුණු වීමෙන් මෙබඳු ප්‍රවෘත්ති විකාශය කරන අතරතුර සිදු විය හැකි දෝෂ වලක්වා ගැනීමට මනා පුහුණුවක් ලැබෙන බවය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තම සමීපතම හිතවතුන්ට පවසා තිබ්බේ පණ බේරී ඔයින් ගියා ඇතැයි කියාය.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පාඨමාලාව හැදෑරු පසු ඒ අය එංගලන්‍තයේ සහ ඇමරිකාවේ විවිධ ප්‍රවෘත්ති නිෂ්පාදන කටයුතු වල යෙදෙන බවත් සිය මවුරට කරා නැවතත් එම ප්‍රවෘත්ති එවීමට තරම් ඔවුන් කාරුණික බවත් එම කෘතිම ප්‍රවෘත්ති සඳහා රාජාණ්ඩුවෙන් ඔවුනට වැඩිදුර අධ්‍යාපනය සඳහා වියහියදම් දරන බවත් ප්‍රචලිත වීමෙන් පසු වැන්ඩස්ටාර්ටන් සිය පෞද්ගලික විශ්ව විද්‍යාලයද විවෘත කරන්නේ අගනුවර අතිශය මිල අධික ඉඩම් සහිත ප්‍රදේශයක අක්කර විසිහතරක භූමියක දැවැන්ත පරිඝනක විද්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමෙන් ය. පුපුරා යන බෝම්බයක් සජීවිකරණය සහ එම අවස්ථාවේ දී මිනිස් සිරුරු කැබලි වන ආකාරය පිළිබඳ දිනෙන් දින ඉතාම නිවැරදි පරිඝණක වැඩසටහන් අනුසාරයෙන් වීඩියෝ පට නිපදවන්නටත් මිනිසුන් කා අතින් වුවද ඝාතනයට ලක් වන සෑම ක්‍රමයක්ම ඉතාම සජීවි ලෙස නැවත නිර්මාණය කිරීමටත් මොවුන් රුසියන් වූහ.මෙම විශේෂඥයන් බො‍හෝ දෙනෙක් ප්ලේ ස්ටේශන් වීඩියෝ ක්‍රීඩාවල පරිණත අයවලුන් වීම ද සුවිශේෂි කාරණයකි. අවශ්‍යතාව අනුව ඕනෑම ආකාරයක වීඩියෝ පට නිර්මාණය කරන්නටත් ඒවා සුරක්ෂිතව අවශ්‍ය වාර්තාකරුවන් වෙත ලබා දීමටත් නැවත එම වීඩියෝ පට වෙනත් අනන්‍යතාවයකින් විකාශන සමාගම් වෙත ලබා දීමේ උපක්‍රමත් මෙම පාඨමාලාවට අයත් විය. මෙමගින් එකම සිදුවීමක් අරභයා විවිධ පසුබිම් විවිධ පුද්ගලයන් අන්තර්ගත පරස්පර ප්‍රවෘත්ති ද එක ලෙසම විකාශනය වීම සාමාන්‍ය දෙයක් බවට ද පත් විය. කිසිවෙකුත් ඒ ගැන මැසිවිලි නොකියන්නට වූයේ මෙම ප්‍රවෘත්ති විකාශ වින්දනාත්මක වැඩසටහන් ලෙස අනෙකුත් ප්‍රසාංගික වැඩසටහන් අතරතුර නරඹන්නට සියල්ලන් සැදී පැහැදී සිටි බැවිනි.

තවද වැඩි ලාභාපේක්ෂාවෙන් මෙම විද්‍යාගාරයෙන් නිපද වූයේ ඇමතිවරුන් මැතිවරණ රැලි අමතා කතා කරන ආකාරයත් ජනතාව අත්පොලසන් දෙමින් ඒවාට හුරේ දමන ආකාරයත් ය. මෙම වීඩියෝ පට එම ඇමතිවරු ඉතා ඉහළ මිල ගණන් ගෙවා වැන්ඩස්ටාර්ටන් ගෙන මිල දී ගෙන තම නායකයාට පෙන්වීමෙන් පෙර කිසි කලෙකටත් වඩා සිය වෘත්තීය කටයුතු ඉමහත් විවේකයෙන් සිදු කරන්නට වීමෙන් අනාගත සියළු මැතිවරණ වලින් පාලක පක්ෂය පරාජයට පත්වන වග දැන සිටි විපක්ෂය ද සිය සංචිත ධනය ආයෝජනය කොට වැන්ඩස්ටාර්ටන් විශ්ව විද්‍යාලයට නොදෙවෙනි විශ්ව විද්‍යාලයක් අගනුවරට බැහැරින් ආරම්භ ‍කලෙන් එම පාඨමාලා සඳහා දුර බැහැර පෙදෙස්වල තරුණ පිරිස් ආකර්ශණය කරගත් හෙයින් ඔවුන ද තම දුෂ්කර ප්‍රදේශවල ජීවන තත්වය ඉතා උසස් ලෙස පෙනෙන වීඩියෝ නිර්මාණ සකසා ඉහළ මිල ගණන් වලට විකුණා වහ වහා අගනුවර ඉඩකඩම් මිල දී ගෙන සිය ගම් පෙදෙස්වලින් සංක්‍රමණය වූයෙන් රටේ නායකයන් අතිශය සංතෘප්තියෙන් මෙම කෘත්‍රිම වීඩියෝ නරඹමින් කාලය ගත කළහ. එමෙන්ම තමන්ට විරුද්ධව වීඩියෝ පට නිර්මාණය වන සියළු අවස්ථාවලදී ඒවා කෘතිමව නිර්මාණය කොට ඇති වගට පර්යේෂණ වාර්තා සකස් කිරීමට ද මෙම තාක්ෂණික විශේෂඥ උපාධිධාරීන්ට හැකි වූයෙන් කොයි අතිනුත් වාසි සහගත ජීවන ක්‍රමයක් ඔවුහු උදා කරගත්හ. මැති ඇමතිවරු සතුටින් කාලය ගත කළහ. ඔවුන් විනෝදයට කළේ බේරේ වැවට ඉහළින් පියාසර කරන කාක්කන් රංචු පිටින් වෙඩි තැබීමය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාවට කිසිදු බාහිර කැඳවීමකින් තොරව විවිධ ශ්‍රේණිවල මහාචාර්යවරුන් සොයා ගැනීමට හැකි වූයෙන් එම පාඨමාලාව අතිශය සාර්ථක වූයෙන් නවීන විචාරකයන් සහ නිර්මාණකරුවන් බුරුතු පිටින් විශ්ව විද්‍යාලවලින් පිට වන්නට පටන් ගත්තෙන් සාහිත්‍ය කලා ආදියේ නැවුම් ප්‍රබෝධයක් හට ගත්තේ, ගමේ කෝපි කඩවල පවා ගැමියන් දාං අදිමින් කතා කරමින් සිටියේ මිචෙල් ෆූකෝ ගැනය නැත්නම් රෝලන්ඩ් බාත් ගැනය එසේත් නැත්නම් සාත්‍රෙ ගැනය. ඩෙරීඩා ගැනද ඔව්හු කතා කළහ. ලැකාන් ගැන නොදත් කිසිවෙකු සොයා ගැනීම උගහට විය. සමහරු ලැකාන් කෝට්ටේ ගියා වැනි යැයි පිරුළු ද එදිනෙදා ව්‍යවහාරයට ගත්හ. හැමෝම රාත්‍රි කාලය ගත කළේ ස්වයංක්‍රීය ගිණි අවි සුද්ද කරමිනි. පොලිෂ් කරමිනි.

විචාරකයන් පොත් කියවීමට කාලය ගත කිරීමට වඩා එම පොත් ගැන අනෙක් විචාරකයන් ලියා ඇති දේවල් සහ අන්තර්ජාලයෙන් උපුටා ගත් කොටස් නැවත නැවත මිශ්‍ර කර අළුත් ලිපි ලිවීමත් තව දුරටත් සිනමා කෘති බවට පත් නවකතා කියවනු වෙනුවට සිනමා පටය නරඹා එම නවකතාව ගැන විචාර ලිවීමේ ක්‍රම ද කිසි ‍දිනෙක නොකියවූ පොත් ගැන සාරාංශ ලියා ඇති පොත් වෙනම ඇති හෙයින් ඒවා පරිශීලනයෙන් තමන් ද එම පොත් කියවා ඇති ලෙස රඟ දැක්වීමේ ක්‍රම ද මෙම උපාධි පාඨමාලාවට අයත් විය. මෙහි විශේෂිතම යෙදවූම වූයේ රටේ පැවති හාරසිය අසූ හතක් වූ ග්‍රන්ථ සම්මාන උළෙලවල් සඳහා පොත් තෝරා සම්මාන පිරිනැමීමේ දුෂ්කරතාවය ජය ගැනී‍මට වෙන් වූ ක්‍රම වේදයන් ශාස්ත්‍රීය ලෙස හදාරා ඉදිරිපත් කර තිබුනු විෂය කොටසයි. එම විෂය කොටස අතිශය ජනප්‍රිය වූයේ මේ නොයෙක් උළෙලවල දී පොත්වලට සම්මාන දීමේ දී ද මුල් පිටු හැටක් පමණ කියවා කාලය ඉතිරි කරගෙන සහ වැඩිම පොත් ප්‍රමාණයක් කියවූ බවට පත්‍රිකා පුරවා ඒ වෙනුවෙන් ගෙවන දීමනා වැඩිපුර ලබා ගැනීම පිණිස කතෘවරුන්ට දුරකතනයෙන් කතා කොට පුස්තකවල අන්තර්ගතය සහ අනෙකුත් සියළු තතු අසා දැනගෙන ඒ ගැන හේතුපාඨ ලිවීමේ කලාව යි. මෙය සියල්ලන්ගේ පැසසුමට ලක්වූ පාඨමාලාවක් බවට පත්වූයේ මේ සියළු හේතු වෙනි. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වන බව සියල්ලන් දැන සිටීම නිසා කිසිවෙකුත් කිසිදු සම්මානයක් ගැන පශ්චාත්තාපයක් නොවන්නට වග බලා ගති. කුමක් හෝ සම්මාන උළෙලකින් තමන්ගේ කෘතියට ද අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන බව සියල්ලන් දැන සිටීම මීට හේතුවයි. සමහරු අනෙකා වෙනුවෙන් සම්මාන උළෙලවල් පැවැත්වූ අතර ඊට කෘතගුණ දැක්වීමක් ලෙස අනෙකා ද මේ සංවිධායක වෙනුවෙන් සම්මාන උළෙලක් පවත්වා දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් සම්මාන එකිනෙකාට දී සාහිත්‍ය වංශ කතාව ඔපවත් කළහ.

මෙබඳු සාර්ථක ක්‍රමවලින් කියවීම සහ හැදෑරීම නමැති ක්‍රමවේදයන් සරල වී මිනිසුන් දැනුම ලබා අතිශය ජනප්‍රියත්වයට පත්වූවන් ආණ්ඩුවේ උපදේශකයන් බවට පත්වී මෙම ක්‍රම තව දුරටත් වර්ධනය කරන්නටත් ප්‍රචලිත කරන්නටත් පටන් ගත්හ. මේ අති නවීන හැදෑරීමේ කෙටි ක්‍රම ප්‍රගුණ කළ සමහර උගතුන්ට පොතක කවරය දැකීමෙන් පවා එහි අන්තර්ගතය ගැන පැය දෙකහමාරක දේශන පවත්වන්නට හැකියාව ලැබුණි.

පසුව දැන ගන්නට ලැබුනේ ‍නෝබෙල් සාහිත්‍ය ත්‍යාගය තෝරන කමිටුවේ බහුතරයක් ද විශාල මුදල් ගෙවා මෙරට පැමිණ මෙම උපාධිය අසමත්ව දුර්මුඛව නැවත සිය රටවල් කරා ගිය බවයි. මෙනයින් උපාධියේ ගෞරවය ඉහළට නැගුනි.

මහා වංශය පරිඝනක ගත වූයෙන් එහි රජතුමා යන වචනය දහතුන්දාස් හාරසිය විසි හතර වරක් යෙදී ඇති බව එක්තරා මහාචාර් යවරයෙකු ප්‍රකාශයට පත් කළෙන් ඉතිහාසය සහ පරිඝනක අතර මෙම අපූරු සම්බන්ධය ලොවට හෙලිකිරීම හේතු කොට ගෙන ලෝක ඉතිහාසය ගැන නොයෙක් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගැනීමට බටහිරයන් ඩොලර් මිලියන් ගණනක් අතින් වියදම් කරන් මෙරටට එන්නට වූයෙන් රට තුළ විදේශ සංචිත අතිශය ඉහළ යෑමකට ලක් වී මැදපෙරදිග ධනවතුන් පවා කුඩා රැකියාවල් සඳහා මෙ‍රටට ඇදී එන්නට පටන් ගත්තෙන් සංස්කෘතික අර්බූද කීපයක් පැන නැගෙන්නට වී වහාම ඔටුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාවය පැන නැගුනෙන් ජාත්‍යන්තර සහයෝගය නොමදව තිබූ බැවින් විදේශ අමාත්‍යවරයා රුපියල් කෝටි හතලිස් පහක් වියදම් කර සිය බාල දියණියගේ උපන් දින සාදයද හවායි දූපතේ පවත්වා එරට සංවර්ධනය කිරීමට ධන සම්පත් පොලී රහිත දීමනාවක් ලෙස ඒ අයුරින් ප්‍රදානය කොට වැඩි දුරටත් උපදෙස් දෙමින් සංක්‍රමණිකයන් පිළිබඳ මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බවට පාලානාධිකාරයට ආඥාවක් නිකුත් කර නැවත දිවයිනට පැමිණියේය.

පසුව ඇමතිවරයා පැවසූයේ එබඳු සශ්‍රීක ආර්ථික ඉතිහාසයක් ඇති රටකට මූල්‍යමය ව‍ශයෙන් උදවු කිරීම සෘජුව කළ නොහැකි නිසා උපන් දින සාදයකට මුවා වී සිය රට‍ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කළ බවයි. මේ අසා ඉමහත් සංතෝෂයට පත්ව හඬ නගමින් සිනාසුන රටේ ධනවත් ජනතාව පසුව වෛද්‍යවරු සොයා ගොස් සිය උදරවල සහ අ‍‍ධෝමුඛවල පැලී ගිය මාංශ පේශි මැහුම් දමා යළි සකස් කර ගත්තෙන් ඉන් පසු ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි අතිශය සන්තුෂ්ටිදායක ප්‍රවෘත්ති මධ්‍යම රාත්‍රියේ පමණක් විකාශ කළ යුතු බවට පාර්ලිමේන්තු පණතක් සම්මත විය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාව අතිශය සාර්ථක වුයෙන් හෝඩිය, නම් පොත, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගද්යහය, සකස්කඩ, නාමාශ්ට ශතකය, පඤ්ච රත්නය, නවරත්නය, ව්යා‍සකාරය හා ප්‍රත්‍යශතකය වැනි පිරිවෙන් පොත් පත් පිටකොටුවේ උණු කැවුම් මෙන් විකිණී‍ ගියෙන් පොත් විකුණන්නන් තවදුරටත් පදික වෙළෙන්‍දෝ නොවූහ. එම පොත්වල පරිවර්තන භාෂා එකසිය පණහකට වැඩියෙන් නොයෙක් රටවල මුද්‍රණය වීමත් සමග පෙන්ගුවින් සමාගම සහ බාර්න්ස් ඇන්ඩ් නෝබල් සමාගම් මෙරට ආයෝජනය කරන්නට තරඟ වැදුනෙන් විදේශ මුදල් මෙරටට ගලා ඒම ගැන සම්මුතියකට එළඹීමට ජාත්‍යන්තර බලපෑම් ද එල්ල වූ අතර රාජාණ්ඩුව කියා සිටියේ එම ග්‍රන්ථ සඳහා කතෘභාග රජයට අයිති බැවින් එබඳු කිසිදු බලපෑමකට තමන් නතු නොවන බවයි. ජාත්‍යන්තර බලවේග නිහඬ වූ අතර සැප්තැම්බරයේ පැවැත්වුනු පොත් සල්පිල සඳහා කොළඹ සිට කතරගම දක්වා වූ රේල් පාර ආවරණය කොට මඩු ගසා පවත්වන්නට සිදු වීමත් විශේෂ බස් සේවා මගින් විදේශිකයන් තමන් කැමති පොත් නැරඹීමට ගමන් පහසුව ලබා දෙන්නට සිදු වීමත් සහ ඔවුන් අධික ලෙස පොත් මිළදී ගැනීමටත් වූයෙන් එම ගමන් මළුවලට ද ප්‍රවාහන පහසුකම් සළසන්නට සිදු වූයෙන් රජයට ඉමහත් අසීරුතාවයකට මුහුණ දෙන්නට සිදු විය. හම්බන්තොට ගුවන් තොටුපලේ සිට විශේෂ බෝට්ටුවලින් ගාල්ලට විදේශිකයන් ප්‍රවාහනය කිරීමෙන් ධීවරයන් අමතර ආදායම් උපයා ධනවත් වූයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසය.

රටේ අවශ්‍යතාවලට වඩා වැඩියෙන් ගිනි අවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් වූයෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය උදෙසා අවශ්‍ය ඉංජිනේරු පාඨමාලා ද හඳුන්වා ‍දීමෙන් තුවක්කුවලින් සෑදු වැල්පාලම් සහ මහා මාර්ගවල අත් ඇඳි වැටවල් නිර්මාණය වූයෙන් අතිරික්ත තුවක්කු වලින් ඉමහත් ප්‍රයෝජනයක් ගන්නට මහා මාර්ග අමාත්‍යාංශයට හැකි විය. ලෝකයේ ප්‍රථම වතාවට වෙඩි උණ්ඩ මගින් විදුලි බල උත්පාදනයට සුවිශේෂ ටර්බයිනයක් නිපදවන්නට හැකියාව ලද්දෙන් කෝටි ගණනක් වූ වෙඩි උණ්ඩ දැවීමෙන් ජලය වෙනුවට ආ‍‍‍දේශකයක් ලෙස ටර්බයිනයේ යකඩ තහඩු ඉලක්ක කර වෙඩි තැබීමෙන් කරකැවෙන මෙම බලශක්ති උත්පාදක යන්ත්‍රය හේතුවෙන් වෙඩි තබන්නට අවකාශයක් නොලත් අතිරික්ත හමුදාවලට සුවිශාල කාර්යභාරයක් පැවරුනෙන් ඔවුනගෙන් ආර්ථිකයට එකතු වූ අමතර මෙගාවොට් ධාරිතාව දිවයිනේ සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකින් සපුරන්නට හැකි වීමත් සමග එම හමුදා විසුරුවා හැරීමේ අවශ්‍යතාව ද වැලකී විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙම නවතම බලශක්ති උත්පාදන ටර්බයිනය දැක බලා ගැනීමටත් එය අධ්‍යයනය කිරීමටත් පැමිණීමෙන් ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුවේ ලේඛන දත්ත ගබඩා පිරී යන්නට ද විදේශ මුදල් දැවැන්ත ලෙස මෙරටට ගලා එන්නට ද විය. ආරක්ෂක කමිටුව සහ බලශක්ති අමාත්‍යාංශය ගණනය කර තිබූ පරිදි මෙම බලශක්ති වැඩසටහන අවුරුදු හාරසියයක කාලයක් දක්වා පවත්වා ගන්නට ප්‍රමාණවත් වෙඩි උණ්ඩ රජය සතු බව එලිදරවු වූයෙන් ජනතාව ප්‍රීති ඝෝෂා තබමින් ඔපෙක් තෙල් හවුලේ පඹයන් පෙට්‍රල් සහ ඩීසල් දමා පුළුස්සා දමමින් විනෝද වූහ. දැවී ගිය උණ්ඩවල ලෝහ කොටස් උණු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වානේ සහ වෙනත් ලෝහ වර්ග නිපදවා ගන්නට සමත් වූයෙන් ලෝපස් සහ යපස් ආනයනය කිරීම නතර කර දැමූ හෙයින් ඒ සඳහා විදේශවලට ඇදී ගිය ඉමහත් ධන සම්භාරයක් රටතුල ඉතිරි වූ අතර ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය ලෝහ සහ වානේ කම්බි වල මිල අතිශය පහළට වැටීමෙන් එම කර්මාන්ත දැවැන්ත ලෙස දියුණු විය. සැමට තට්ටු ගෙවල් සංකල්පය බිහි විය.

උපදින සියල්ලන්ට තම කාලීන අවශ්‍යතා මත සිය දිවි හානි කරගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කළ අයට වුවමනා වූයෙන් රට තුළ සිය දිවි හානි කරගැනීමේ සාර්ථක ක්‍රම පිළිබඳව උද්‍යෝගය වර්ධනය වී ඒ සඳහා වෘත්තීය නිපුණතා ඇති සුදුසුකම් ඇති විද්වතුන් රටට අවශ්‍ය වූයෙන් එබඳු සායන පැවැත්වීමට අධ්‍යාපන මට්ටම් නිර්මාණය කිරීම ‍උදෙසා නව නීති සංශෝධන සහ විශ්ව විද්‍යාල පාඨමාලා බිහි වූයෙන් මිනිසුන්ට සිය සමාජ වගකීම් සහ යුතුකම් ඉටු කර කැමති දිනෙක මිය යාමේ වරප්‍රසාදය භුක්ති විඳින්නට හැකි විය. මෙම නව ක්‍රම යටතේ සමහරු කැමැත්තෙන්ම ද තවත් සමහරු දේශපාලකයන් ගේ සහ බලවතුන් ගේ රෙකමදාරු මත ද සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වූයෙන් විවිධ මල් ශාලාවල විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව සිය දිවි නැසීමේ සායන සමග ඒකාබද්ධ ගිවිසුම් සකස් වූයෙන් විවිධාකාර පැකේජ වෙළඳපොළට එකතු විය. එබඳු එක්තරා සිය දිවි නසා ගැනීමේ පැකේජයක් නොහොත් වැඩ පිළිවෙලක් මගින් යෝජනා වූයේ වඩාත්ම වියදම් අඩුම ක්‍රමය ලෙස ගොවිතැනට පිවිසෙන ලෙසයි. ඉන්පසු බැංකුවකින් ණයක් ගෙන යන්ත්‍රෝපකරණ කුලියට ගෙන බිත්තර වී ගොවිජන සේවාවෙන් මිළ දී ගෙන කුඹුරු අස්වද්දා පලිබෝධනාශක වල්නාශක සහ පොහොර වැනි වගාව සඳහා යන ඒ සියලු විය හියදම් බේරා පසුව අස්වනු නෙලීමෙන් තමුන්ට සිය දිවි නසා ගැනීමට ඉතා පහසුවෙන් තීරණය කරගැනීමට උපකාරී වන බව සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලා සම්පූර්ණ කළ උපාධිධාරීන් විසින් ජනතාවාදී ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දෙන් නගරාශ්‍රිතව සුඛෝපභෝගීව සිටි බහුතර ජනතාව වගා සංග්‍රාමයක් ‍ක්‍රියාත්මක කරනා ආකාරයෙන් නගරයෙන් දූරස් ඈත ගම්බිම් වලට ගොස් මෙම ක්‍රමය අත්හදා බලන්නට වූයෙන් රටේ ආර්ථිකයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දුන් බවට ලෝක බැංකු සංඛ්‍යාන වාර්තා ඉදිරිපත් වී ඔවුනගේ මෝක්ෂගත ජීවිතයට පිං පිණිස අතිශය දැවැන්ත සොහොන් පිට්ටනි රටපුරා ඉදි විය. පාංශුකූල දීම සඳහා රටේ ශාසනය ප්‍රමාණවත් නොවූයෙන් බුරුමයෙන් ආනයනය කළ රහතුන් පිරිසක් විසින් රටපුරා පාංශුකූල දීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට රජයට අතුරු අයවැයක් සම්මත කරවා ගන්නට වූයේ බුරුම රහතුන් දෙසන බණ පාලියට සහ සිංහලට පරිවර්තනය කරන්නට අවශ්‍ය පරිවර්තකයන් ද බොහෝ පිරිසක් ගෙන්වන්නට සිදු වූයෙනි. සමහර දුෂ්කර ප්‍රදේශවල පාංශුකූල දීම අන්තර්ජාලය ඔස්සේ ද දුරකථන ඔස්සේ ද සිදු වූයෙන් ඈත ගොවි බිම්වල අතිශය දැවැන්ත ඇන්ටනා කුළුනු -ප්‍රකාශ තන්තු ජාල සහ ජංගම දුරකතන ජාලද ව්‍යාප්ත විය. ඔන් ලයින් පාංශුකූල දීමේ ක්‍රමයේ ආරම්භය මෙසේ විය.

මේ අයුරින් ර‍ටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ආර්ථිකය පෙර නොවූ විරූලෙස සංවර්ධනය විය.

***

පසු සටහන්

මෙ‍ම කඩදාසි රෝලේ තිබූ අපහැදිලි සටහන් කීපයක් ද ඔබගේ කියැවීමට මෙසේ ගොනු කරමි.

සටහන් අංක 1

මේ නෝට්පෑඩ් එකේ සිංහලෙන් ලියද්දි සමහර වෙලාවට ටයිප් කරන අකුරු පිස්සු කෙලිනවද බලන්නයි මේක ලියන්න ගත්තේ. ඇත්තටම ගත්තම සමහර වෙලාවට මේකෙන් ලියන්න බැහැ. ඉස්පිලි කොම්බු පාපිලි පැනල දුවනවා අකුරු අතැරලා. හරියට ඉර හඳ දිවුරල ආදරෙන් ඉඳපු අය පස්සේ වෙනස් වෙලා වෙන් වෙලා යනවා වාගේ. අදහන්න බැරි විදියට. ජලනි ට මම දවසකුත් මේ කතාව මෙහෙමම කීවා වගේ මතකයි.

යුනිකෝඩ් වල හැටි ‍එහෙම තමයි. ඒක හදල තියෙන්නෙ පුළුවන් තරම් හොඳින් වැඩ කරන්න වුනත් බිල් ගේට්ස් සිස්ටම් එක හදවල තියෙන්නේ ඊට වෙනස් විදියකට දුවන්නයි.

කරන්න දෙයක් නැහැ.

කොහොම හරි තටමලා ලියන්න ඕන පරිඝනකයේම තමයි. නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මට දැන් අකුරු මතකත් නැහැ. කයන්න ලියන්න ගියාම ලියවෙන්නේ තයන්න. පයන්න ලියන්න ගියාම ලියැවෙන්නේ වයන්න. අනේ මන්දා ...කයනු තයනු කත....පයනු වයනු පව... තමයි...

සටහන් අංක 2

...හරියට රාවණා වගේ. යුනිකෝඩ් සහ රාවණා එකම කාසියේ දෙපැත්ත වගේ. සිස්ටම් එකට ගැලපෙන්නේ නැත්තේ මොකද්ද කියල අපට තේරුම් ගන්න බැහැ. ඉස්පිලි පාපිලි වගේ ඉඳපු අයත් එලවල දානවා. කුම්භකර්ණයා සහෝදරයා වුණත් වැඩකට නැති කොම්බු ගෙනත් පාපිලි අස්සේ දමා ගන්නවා. එතකොට කියන්න යන කතන්දරේ සේරම වෙනස් වෙනවා. වෙන කතන්දරයක් කියවෙනවා. මම ලියල දෙන දේ නොවෙයි එයා අන්තිමට කියවන්නේ. වෙන දෙයක්. පස්සේ මා සොයාගෙන නිල් වෑන් එකක් එයි. ඒ මොකට ද ? මම ඉන්නේ කාටත් පේන තැනක. එතකොට ආරක්ෂාවයි. මේවා ප්‍රබන්ධ කියල මමම කී වතාවක් ජලනි ල එක්ක කියල ඇද්ද? නැහැ ඒවා ප්‍රබන්ධ නොවෙයි... මම ගයනු කිත්තක් වගේ ඉන්න ඕන. ජලනි ඔයා යංසයක් වගෙයි. මට මේ උපදේශක කම් එපා වෙලා ජලනි...

සටහන් අංක 3

අද ජලනි ආවෙත් නැහැ තීසිස් එක ලියන්න. මොකද දන්නේ නැහැ. මට හරිම පාළුවක් දැනෙන්නේ මොකද මන්දා. කන්නාඩියෙන් බැලුවම ඇයි මට මාවම පේන්නේ අවුරුදු දහයකින් තරුණ වෙලා වගේ? මැරෙන්න කිට්ටු වුනාම සමහරු ලස්සන වෙනවලු...

මේ සටහන් කවුරු හරි කවද හරි කියවයිද දන්නෑ...ඒත් මට මොකෝ මම එතකොට නැහැනේ...‍කො‍‍හොමත් මිනිස්සු දන්නවා අපි කරන්නේ රඟපෑමක් කියලා...අපිත් මිනිස්සු...

අනික සටහන් ලියන්න ඕනත් නැහැනේ කාටවත් ඒවා කියවන්න ඕන නැත්නම්...

ලිවීමේ මහාද්වීපය සොයා ගත්ත එක ගැන පම්පෝරි ගහ ගහ හිටිය හැටි මතක් වෙනවා දේශනාගාර වල...

කිසි තේරුමක් තිබ්බද මේ කරපු ලියපු එක ඉළවුවකින් වත් මේ ලෝකෙට?


සටහන් අංක 4

දයාබර ජලනි

මේක ලියන්න ම ඕන කතාවක් ඒකයි මේ තකහනියේ ලියන්න කියල වාඩි වුනේ. ඉතිං කියවන්න පටං ගන්න අර සිසිරයේ රැයක මගියෙකු නම් කියවන්න සූදානම් වෙනවා වාගේම හරිබරි ගැහිලා. ඒක මම ආයෙම විස්තර කරන්න යන්නේ නැහැ මොකද ඉටැලෝ කැල්විනෝ ඒක විස්තර කළ යුතු නියම රසවත් ආකාරයටම විස්තර කරල ඉවර නිසා. ලියපු දේවල් ආයෙම ලියන එක කාටවත් තරම් වෙනව ද? හරිබරි කීවම මතක් වෙන්නේ හරිජනයා ගෙන ගිය අරගලය ඉන්දියාවේ නමුත් ඒකයි මේ ලියවිල්ලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ නමුත් හරිබරි ගැහෙන්නේ කො‍‍හොමද කියලා හිතාගන්න උත්සාහ කරද්දි මේ හරිජන ප්‍රශ්නෙ ඔලුවට ආවා. .........

........ඩොක්ට ෂිවාගෝ කියවද්දි ඇස ගැටුන පැස්ටනාර්ක්ගේ කවියක් ඇතුලේ ඉටිවැටිය දැල්වී යන්නා සේම මගේ පෑනේ තීන්ත ටික වෑහිලා ඉවර වෙන්නත් පුළුවන් රටේම තියෙන දේවල් මේ කතාව ලියද්දි ලියන්න ගියොත්...මගේ ජීවිතය වගේම...මතක ඇතුව රෝසා ලක්සම්බර්ග් කියවන්න ජලනි...අපට මග ඇරුන දේවල් බොහොමයි...

..... ඒ හින්දා අන්ධ ගායකයෙක් දෑස් අඳුරු කන්නාඩියකින් වසාගෙන ගීත ගායනා කරන්නා සේ මා දන්නා ගායනාව තාලයකට ලිවීම බැවින් වැඩිමනත් ලෝකය පෙනීමෙන් මගේ සිතුවිලි කැළඹීම නතර කරගන්නට සියුම් අඳුරු කන්නාඩියක් ලෙස ගලා එන වචන වලට පෙරහණයක් දමා ගන්නවා මේ මොහොතේ සිටම නැත්නම් මට වෙන්නේ ස්ටිවී වොන්ඩර් වගේ නොපෙනෙන ලෝකය දිහා දෑස් දල්වන් වටපිට හිස කරකවමින් ගායනා කරන්නා සේම මේ ලියැවිල්ල හුස්මක් කටක් ගන්නේ නැතිවම ලියං ගිහින් මහ විසාල අතරමං වීමකට ඔබව තල්ලු කරදමා මට ඕන ඔවුන් අතට පත් වන්නටයි. හැම ලියැවිල්ලකම මට මෙතුවක් සිදු වුනෙත් ඒකමයි. .....

ජලනි...

.......හැම ලියවිල්ලක්ම අසම්පූර්ණ සටහන් ගොඩක් වෙලා වචන කඳුගොඩ ගැහෙන්නේ මේ අනවරත වරද නිසා යැයි මම වටහා ගන්නෙම රාත්‍රියේ ලියැවුනු දේ පහන් එලියෙන් වුවද හිරු එලියේ දි කියවද්දීම එහි රැස් දහරේ කිදී කිමිදී යද්දී කොතරම් වෙනස් හැඟුම් ජනිත කරන්නේ දැයි මම ම සොයා දැනගත් බැවිනි. මෙහෙම ලීවට මම ඉතාම සැලකිලිමත් වෙනවා මේ කතාව මට ඕන දේවල් ටික ගොනු කරගෙන සංවිධානාත්මක රචනයක් විදියට ඔබට පිළිගන්වන්නට. නමුත් මේ කන්නාඩි හැම කන්නාඩියක් වගේම මට පෙන්වන්නේ කන්නාඩියෙන් සඟව ගත් සූක්ෂම ‍ස්ථරයක් වසා දමලා නිසා මේ දැනටමත් මම ලියාගෙන යන දේවල් අතර මහ හිදැසක් ඔබට දැනු‍නොත් ඒ වරද මගේ නොවන වග තේරුම් ගන්නට දැං ඔබ සමත් වනු නොඅනුමානයි.

දැනටමත් මම කියන්න ඕන සියල්ල කියා අවසන් යැයි මට හැඟේ.

මමත් ඒ කාලකන්ණි කමිටුවේ හිටියා ජලනි!

දැං ජලනි ඔයා දුවන්න ඕන...ගොඩාක් හයියෙන්...


සංස්කාරක සටහන

මේ මීට වසර හතලිස් පහකට පෙර අප රටේ සැබෑ චින්තනය ලෝකයා හමුවේ තබන්නට මෙම මහාචාර්යවරයා විසින් සැකසූ‍ ලියැවිල්ලයි.

මෙම ලියැවිල්ල එදා පාලකයන් අතට පත් වූයේ නම් කිසිවක් වෙනස් නොවන්නට ඉඩ තිබුනි.

දැනට හැටහත් හැවිරිදි විශ්‍රාම ලත් ජනාධිපතිනිය මීට වසර තිහකට පෙර පැවති මිලිටරි ජුන්ටාව පෙරලා දමා නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රජයේ ප්‍රථම ජනාධිපතිවරියයි. ඇය විසින් පිළිගත් මේ ලියැවිල්ල ඇය සතු හඩ පටයේ ම ලියැවිල්ල බව සනාථ කළාය.

Tuesday, October 27, 2009

බිත්ති හරහා පෙරටම...


බිත්ති හරහා පෙරටම...

මැජික් ශිල්පියාගේ ගෙලට තොණ්ඩුව දමා මුහුණ කළු ‍ආවරණයකින් වසා දමද්දීද ඔහුගේ දෑස් දීප්තියෙන් බබළමින් තිබූ බවත් පෝර‍කයේ යටි තට්ටුවේ හරි මැද්දෑවේ ඔහු සිටුවා අත පය බැඳ සෘජු කාය විලාසෙන් සිටිනු තමන් හොඳින්ම දුටු බවත් ලීවරය ඇද ඔහුගෙ සිරුර මළ පුඩුව තද වී එල්ලුම් ගහේ කඹය රැඳි කුඹගසේ මුදුනතේ එල්ලී කඹයේ දැඩි බව කුඹයට දැනෙද්දී ඔහු පොළවට සිරස්ව අවලම්බාකාරයෙන් දෙපසට වැනෙමින් හුන් බවත් නැවත නැවතත් කියා පෑමෙන් අධිකරණ වෛද්‍යවරයා ඔප්පු කරමින් සිටියේ අට්ටාලය මත හොවා ඇති මැජික් ශිල්පියාගේ සිරුර සුදු පරෙවියන් රංචුවකට රූපාන්තරණය වී අවකාශයට පියඹා ගොස් ඔහුගේ අවසන් මොහොතේ සිරුරේ එතී තිබුන වස්ත්‍ර පමණක් ඉතිරි වී තිබීම තමන්ට කිසි සේත්ම පිළිගත නොහැකි කාරණයක් බවත්ය. වෛද්‍යවරයා නිර්ජලීය කොපර් සල්ෆේට් කැට වලින් තැනු ප්‍රතිමාවක් මෙන් වික්ෂිප්තව කතා කරන්නට විය.


මැජික් ශිල්පියාගේ මරණ දඩුවමට සාක්ෂිය ට පැමිණ සිටි සියල්ලන් භීතියෙන් ද විශ්මයෙන් ද මුසපත් ව එකෙනෙහිම විවිධාකාර වූ ප්‍රබන්ධයන් ද හොල්මන් කතා ද ගුප්ත කතා ද කට කතා ද ගොතන්නට වූයෙන් අයෙක් කීවේ මැජික් ශිල්පියා හිර ගෙදර බිත්ති හරහා ඇවිද යනු ජේලර්වරයෙකු දුටු බවත් ඔහුගේ මරණයට හෝරා කීපයකට පෙර එම ජේලර්වරයා ලේ වමනය කරමින් මිය ගිය බවත් තවෙකෙක් ‍කී‍වේ මැජික් ශිල්පියා දූමාරයක් බවට පත්වී සිර ගෙදර ඉතා කුඩා කවුළුවකින් පාවී එළියට ගිය බවත් එය දුටුවෙකු ගොලු වී ඇති බැවින් වැඩි විස්තරයක් දැන ගැනීමට බැරි වූ බවත්ය. කෙසේ වුව ද හිර ගෙදර බිත්ති සහ කුඩා කවුළු වලින් පිටතට පියඹාගත නොහැකි වූ සුදු පරෙවියන් සිවු දෙනෙකු දැල් දමා අල්ලා ගන්නට සමත් වීමෙන් අනතුරුව සියලු පර්යේෂණයන් මේ කුරුල්ලන් කෙරෙහි යොමු වීමෙන් සිර ගෙදර මුරකාවල් ලිහිල් වූයෙන් මැජික් ශිල්පියා සැඟව සිට පැන යන්නට ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශය හදිසි චක්‍රලේඛයක් එවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් එකසිය විසි හතර දෙනෙකුගේ සේවා තහනමකට ලක් වූයෙන් ඔවුහු වික්ෂිප්තව සිය ‍නිවෙස් කරා ආසන්නතම දුම්රිය ස්ථානවලින් එවෙලේ සූදානම්ව තිබූ දුම්රිය වෙත නැගී අන්ත්‍රස්දාන වූහ. ඔවුන් නිදි වර්ජිතව රාත්‍රීන් තිහක් ගත කිරීමෙන් පසු රාජකාරි සඳහා වාර්තා කළ දිනයේ සේවකයන් එකසිය විසි දෙනෙකුට නැවත ලෙඩ නිවාඩු දමා රෝහල් ගත වන්නට වූයේ ඔවුනගේ ඇස් වසා ගැනීමට පවා නොහැකි ලෙස ඇහිපිල්ලම් නලලට තද වී තිබීම‍ හේතුවෙන් ඔවුනගේ ඇස්වලින් දිගින් දිගටම කඳුළු ගලා ඒමටත් කහපාටින් කොළ පාටින් කබ ජාතියක් ගලා ඒමත් නිසා දරුණු වසංගතයක් බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වළක්වා ලනු පිණිසය.

කෙ‍සේ වුවද පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් ආරච්චි විසින් බැවින් එම වාර්තාවට අනුව මැජික් ශිල්පියා සිරගෙදර බිත්තියක් තුලින් යාමට සිය සෙවණැල්ල පාවිච්චි කර ඇති බවත් එම සෙවණැල්ල බිත්තිය මත පතිත වූ එම උදෑසන තදින් හිරු පායා ඇති බවත් එම හිරු එළිය සිර කුටියේ කවුළුවෙන් පර්යාලෝකය වී ඇති බවත් අක්ෂාංශ සහ දේශාංශ මැන ගෙන සූර්ය ස්ඵුටය නිවැරදිව ගණනය කර බැලූ විට එම රශ්මිය මැජික් ශිල්පියාගේ සිරුරේ වූ කාබන් අංශු සෙවණැල්ල දිගේ බිත්තියේ ප්‍රක්ෂේපිත වර්ගඵලයේ සංචිතව පැවති එම බිත්ති තැනූ ශ්‍රමිකයන්ගේ ශ්‍රමය හා මුසුවී ඔහුගේ සිරුර නිරුපද්‍රිතව සිරගෙයි බිත්තිය හරහා එළියට ගොස් ඇති බවයි. මෙම වාර්තාවෙන් කුපිත වූ අධිකරණ ඇමති වරයා වහාම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගත්තේ මින් ඉදිරියට හිරගෙවල් තැනීම සඳහා කම්කරු ශ්‍රමය භාවිතා කිරීම අහෝසි කළ යුතු බවටත් එම බිත්ති තැනීම සම්පූර්ණයෙන්ම රො‍බෝ යන්ත්‍රවලට පැවරිය යුතු බවත් කිසිදු හේතුවක් නිසාවෙන් කම්කරුවෙකු හෝ එම ක්‍රියාදාමයට සම්බන්ධ කර නොගත යුතු බවත් කෙටුම්පත් ගත කෙරුණි.
රොබෝවරුන් යොදා විවිධ බන්ධනාගාර නිර්මාණය කිරීමේ දී විශාල වශයෙන් අරමුදල් ජාත්‍යන්තර රොබෝ ආයතන සමග ගනුදෙනු කරන්නට යෙදුනෙන් ඒ හා සම්බන්ධ ඇමතිවරු කීපදෙනෙකු ගේ පෞද්ගලික වත්කම් ඉහළ යාම ඉවසාගත නොවූ වෙනත් පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමක් මේ කැබිනට් පත්‍රිකාවට සිය විරෝධය පා රාජ උදහසට ලක්ව, සිරගතව, එහි සිට උද්ඝොෂණයක් ක්‍රියාත්මක කරන්නට වූයෙන් සිරකරුවන් විශාල ප්‍රමාණයකට ඉමහත් අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදුවූයෙන් ඔවුන ද ඇතුලුව රාජකීය මන්ත්‍රී කණ්ඩායමම වීරයන් ලෙස, සිරගත නොවී සිටියවුන් සලකන්නට වූයෙන් වහා ජනතා හඬට කන් දුන් රාජාණ්ඩුව ඔවුන් සියල්ලන් නිදහස් කළ අතර මෙලෝ හසරක් නොදත් අපරාධ කරු‍වෝ වහා ලද අවසරයෙන් සිය දෛනික කටයුතු ආරම්භ කරන්නට වූහ.


මේ හදිසි තීරණය හේතුවෙන් ඉන් ඉදිරියට කම්කරුවන් යනු කුමන ආකාර ගන්නා වූ අයවළුන් දැයි විවාදයක් පාර්ලිමේන්තුවේ ගොඩනැගුනු අතර බො‍හෝ අය කීවේ තමන්ට කම්කරුවන් ගැන කිසිදු අවබෝධයක් නැති හෙයින් පිරිසිදු කම්කරුවෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ව්‍යවච්ඡේදනය කර ඔවුන් අන් අයගෙන් වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණ කවරේදැයි පර්යේෂණ කළ යුතු බවයි. සමහර මන්ත්‍රීවරු කීවේ කම්කරුවන්ට උණ්ඩුක පුච්ඡයක් නැති හෙයින් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි බවයි. නමුත් උණ්ඩුක පුච්ඡය දැක ගැනීමේ ක්‍රමය එම මන්ත්‍රීවරු සභාවට ඉදිරිපත් නොකළ හේතුවෙන් පළමු යෝජනාව ස්ථිර විය. මින් උද්‍යෝගයට පත් ආණ්ඩුවේ උපදේශකයන් පුවත්පත් වල මහ විශාල දැන්වීම් පළ කොට කම්කරුවෙකු සොයා වෙ‍හෙසෙන්නට වූයෙන් කිසිවකුත් තමා කම්කරුවෙකු යැයි කීමට නොහැකි වූහෙයින් ද ඉදිරිපත් නොවූ හෙයින් ද සියල්ලෝ නිෂ්පාදන බලවේගවල අයිතිකරුවන් වශයෙන් සමාජයේ සියළුම ජන කොටස් හඳුනා ගන්නට හැකි වීමෙන් පසු කම්කරුවෙකු සොයා එවන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය හරහා පණවිඩ යැවූව ද ඔවුනට එකදු කම්කරුවෙකු සොයා ගත නොහැකි වීමෙන් රජාණ්ඩුව කණස්සල්ලට පත් විය. නිෂ්පාදන බලවේග ලෙස බහුතරයක් හඳුන්වා තිබුනේ අනාගත දිනෙක දී තමන් කුමන හෝ ආකාරයක නැවුම් නිර්මාණයකට දායක වීමට පූර්වාභ්‍යාසයේ යෙදෙන බවත් ඉන් සමහරක් කවි නිෂ්පාදනය කරන බවත් තවත් සමහරු අදහස් නිෂ්පාදනය කරන බවත් තවත් සමහරු විහිළු නිෂ්පාදනය කරන බවත් යනාදි වශයෙන් ඔවුනගේ නිෂ්පාදන හැකියාවන් ද එම හැකියාවන් විසින් අනාගතයේදී තමන්ට අත්වන ප්‍රාග්ධනය හේතුවෙන් තමන් නියත වශයෙන් ම ධනපතියන් බවට පරිවර්තනය වන බවත් ඉතාම උද්‍යෝගයෙන් පවසන්නට වූයෙන් සමාජයෙන් කම්කරුවෙකු සොයා ගැනීම සරල කාරණයක් නොවන වග මෙම විශේෂ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට පත් වූ පාර්ලිමේන්තු කමිටු‍වට වහාම වැටහුණි.


වෛද්‍යවරු, තමන් අති විශාල වැටුප් වලට හිමිකම් කියන හෙයින් ද සුඛෝපභෝගි වාහන වාරික ගෙවා පාවිච්චි කරනා බැවින් ද ක්‍රෙඩිට් කාර්ඩ් වැනි උසස් සමාජය පරිහරණය කරන දෑ භාවිතා කරන හෙයින් ද රුපියල් දෙදහස් පන්සීයක වැටුපට වැඩකාරියක් ගෙදර වැඩට ඉන්නා හෙයින් ද නිෂ්පාදන බලවේගවල හිමිකම් වශයෙන් දරුවන් සෑදීමේ හැකියාවෙන්ද පෝෂිත බැවින් තමන් කිසිදා ශ්‍රමය වගුරා වැටුප් ලබන කම්කරුවකු වශයෙන් වර්ගීකරණයට අයත් නොවන වගත් එබඳු සමාජ තලයන් හි වැජඹෙන කිසිවකුත් කම්කරුවකු ලෙසට හඳුනා ගැනීම නීති විරෝධි බවත් එය කිසිසේත්ම වෘත්තිකයන්ගේ ආත්මාභිමානයට හොඳක් නොවන පරිහාසයක් බව ද කීයෙන් ඔවුන් මෙන්ම ඉංජිනේරුවරුන් ගණකාධිකාරිවරුන් නීතිඥයන් මිනින්දෝරුවන් ව්‍යවසායකයන් ද ගුරුවරු ද යනාදී මෙකී නොකී සියළු වෘත්තිකයන් පෙළ ගැසී එකට සිටියෙන් ඔවුනගේ ශ්‍රමය බන්ධනාගාර බිත්ති සමග සම්බන්ධ කරන්නට තැත් කරන්නන් ට සිය කිසිසේත්ම අවකාෂය්ක නොදී සිය තර්ක හකු‍ලා ගෙන යන්නට තරම් බලගතු වෘත්තී සමිති ක්‍රියාමාර්ග දියත් වූයෙන් මෙම පාර්ලිමේන්තු පර්යේෂණය උදෙසා කම්කරුවෙකු සොයා ගැනීමේ අර්බූදය ජාත්‍යන්තරය කරා යොමු විය. තවද එතුවක් කල් බොහෝ අය දැන නොසිටි නිෂ්පාදන බලවේගයක් ලෙස වර්ගයා බෝ කිරීමේ හැකියාව පිළිබඳ සත්‍ය අනාවරණය වීමත් සමගම පිරිමි සංහතියම ධනපතියන් බව අවධාරණය කර ගත්තෙන් සියළුම පිරිමින් ඉන් අමන්දානන්දයට පත්ව සිය නිෂ්පාදන බලවේගය ප්‍රදර්ශනය කරමින් මිදුල්වල පාරවල් වල සහ සඳළුතල වල ගැවසෙන්නට වූයෙන් කාන්තාවන් ද සිය නිෂ්පාදන බලවේගය ගැන සංවාදයකට පැමිණෙන්නට වූයෙන් මහා කාලගෝට්ටියක් රටපුරාම ඇති වන්නටත් කාන්තාවන් හර්තාල් කරන්නට ද පටන් ගත්තෙන් මේ පිළිබඳව අනවරතයෙන් මැදිහත් වන්නට රාජාණ්ඩුවට සිදු විය.

කාන්තාවන්ගේ සටන් පාඨය වූයේ පිරිමින්ට මෙන් ප්‍රසිද්ධියේ තම නිෂ්පාදන බලවේගය එළි දැක්වීමට සුදුසු පරිදි සිය ගර්භාෂය සිරුර තුළින් පිටත මල්ලක ස්වරූපයෙන් සකස් කර දිය යුතු බවත් එය කැන්ගරු ආකෘතියකින් තමන්ට පහසු ආකාරයට පසු පසින් තිබීමෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමට ද බාධාවක් නොවන බවත් මෙය කඩිනමින් විසඳා තමන් ද පිරිමින් මෙන්ම ධනපතියන් ලෙස පිළිගත යුතු බවත්ය. මේ ගැටළුව කෙරෙහි අවධානය ලක් කළ රාජකීය සභාව මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධ විද්‍යාඥයන්ට දන්වා යැවීමෙන් අනතුරුව නොබෙල් ත්‍යාගලාභි භෞතික විද්යායඥ ගුරුවරයෙකු වාෂ්ප එන්ජිමේ ආකෘතියකට පුරුෂ සහ ස්ත්‍රී ප්‍රජනන අවයව පුරුද්දා නිර්මාණය කල චිත්ත පර්යේෂණ වාර්තාවකට අනුව මෙයාකාරයෙන් ගර්භාෂය විස්ථාපනය කිරීමෙන් ප්‍රජනන ක්‍රියාවලිය සාර්ථක කරගනු පිණිස පියයුරු වල පිහිටීම ගණනය කර පෙන්වා තිබුනේ ඒවා හිස මත ස්ථානගත කළ යුතු බවයි. මෙම අදහස ප්‍රසිද්ධ වීමත් සමගම සියළු සටන් කාමිනියන් සිය සටන අතහැර දැමූ අතර එම වාර්තාව සකස් කළ මහාචාර්යවරයාට කොණ්ඩා මෝස්තරකාරිනියන්‍ ගේ සංගමය විසින් සිය කෘතඥතාවය පළ කළේ තම වෘත්තීයට එරෙහිව ආ කුමණ්ත්‍රණය පරාජය කිරීමට ඔහුට හැකි වූ බව ප්‍රීතියෙන් දන්වමිනි.

සිය නිෂ්පාදන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් කාන්තාවන්ට නොවූයෙන් සිය කැමැත්තෙන් ඔවුන් නිර්ධනයින් ලෙස සංස්ථාපිත වීමට එකඟ වූයෙන් රූපලාවන්‍ය කෙරෙහි පැවති ඔවුනගේ අතිමහත් උනන්දුව හේතුවෙන් ඔවුන්ගේ පන්තිමය අවශ්‍යතාවක් ලෙස එය වටහා ගත් පාලක පක්ෂ විසින් ප්ලාස්ටික් සර්ජරි සහ විලවුන් ආලේප වර්ග සහ රූපලාවන්‍යයට අදාළ සියළු දේ ගැසට් නිවේදනයකින් අත්‍යවශ්‍ය ‍ද්‍රව්‍ය ලෙසද ඒවා මත පනවා තිබූ සියළු බදු ඉවත් කිරීමෙන් ද ඔවුනගේ පන්තිමය වශයෙන් ගොඩනැගී තිබූ හීනමානය සනසා ලන්නට කටයුතු කළ හෙයින් පිරිමි සිය සිතැඟි ලෙස කාන්තා රූ සපුව දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩයක් ලෙස තහවුරු කරගත්තෙන් ලෝකයේ ප්‍ර‍ථම වතාවට කාන්තා සිරුරේ නග්න රූප රැගත් ප්ලේබෝයි සඟරා උණු කැවුම් මෙන් වෙළඳපොල ආක්‍රමණය කළ අතර එම ඡායාරූපවලට පෙනී සිටීමෙන් කාන්තාවන් සිය නැති වූ ධනපතිභාවය උපයා ගත්තෙන් ඔවුන් පිරිමින්ට නොදෙවෙනිව සිය නිෂ්පාදන බලවේගය ලෙස සිය සිරුර ප්‍රදර්ශනය කිරිමට පටන් ගත්තෙන් සියළු මනුෂ්‍ය ප්‍රජාවම ධනපතියන් බවට එක රැයින් පරිවර්තනය විය.

එලෙස සඟරාවලට සිය සිරුර ඡායාරූප ගත කිරීමට ඉඩක් නොලද කාන්තාවන් විවිධ ආකාරයට පිරිමින් වසඟයට ගැනීමෙන් නිළියන් ගායිකාවන් නාටිකාංගනාවන් නිරූපිකාවන් සහ ගණිකාවන් වැනි විවිධ ධනපති රැකියා නිර්මාණය කරගත්තේ සිය ප්‍රාග්ධනය වූ රූ සපුවේ ආනුභාවයෙනි. එම රැකියා නිර්මාණයෙන් පසුවද ඉතිරි වූ සමහර කාන්තාවන් බිරිඳ නමැති ස්වයංරැකියාවට යොමු වීමෙන් අනෙකුත් සියල්ලන් සම්පූර්ණ වශයෙන්ම කැපවී සිදු කරන රැකියා සියල්ලම මද මද වශයෙන් කරන්නට පටන් ගත්තෙන් අනෙකුත් රැකියාවල නියුතු වූවන්ගේ පැවැත්ම වඩාත් තහවුරු විය. සියළුම අවස්ථා වලදී පිරිමින්ට සිදු වූයේ සංසන්දනාත්මකව ගැහැණුන්ගේ ක්‍රියාකලාපයන් ඉවසා සිටීමටය. සෝම පානයෙන් මත්වන පිරිමින් එකිනෙකා හා වාද කරගත්තේ ගැහැණුන්ට ගර්භාෂය සම්බන්ධව ඇති අවුල හේතුවෙන් තමන් හා ධනපතියන් ලෙස සම තැන ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් අධික ලෙස මෝඩකම් කරමින් පිරිමින්ගේ අවධානය ගැනීමට වලිකන බවය. මළ ගෙවල්වල රාත්‍රීන් ගෙවා යන තවත් අයගේ ප්‍රසිද්ධ සංවාදයක් වූයේ කාන්තා සිරුර ප්‍රති නිර්මාණය කිරීමේ න්‍යාය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමක් බවත් ඔවුනට තවත් වැඩි පුර පියයුරක් ලබා දීමට හැකි නම් එම වැඩපිලිවෙලට පක්ෂව සිය ඡන්දය දෙන බවත්ය. මේ පිළිබඳව පර්යේෂණ පවත්වන්නියන් කියා සිටියේ දැනට තියෙන පියයුරු වලින් පවා සිය සිරුරේ ගුරුත්ව කේන්ද්‍රයට අනවශ්‍ය බලපෑමක් වන බවත් මේ යෝජිත ප්‍රතිසංස්කරණ මගින් සිය සමාජ ස්ථාවරය වර්ධනය වුවත් සිය කැට් වෝක් සඳහා භාවිතා වන රිද්මයන් කෙරෙහි අවදානමක් ඇති විය හැකි බැවින් පවතින ආකෘතිය වඩාත් සමතුලිතතාවයක් ඇති කරන බවත්ය.

මේ අයුරින් ජනතාව සංයමයකින් දෛනික කටයුතු කරගෙන යන්නට වූයෙන් රාජ්‍යය ඉතා බලවත් විය. හාමතේ මියැදුන මිනිසුන් ද මන්ද පෝෂණයට ලක් වූ දරුවන් ද දූෂණයට ලක් වූ කාන්තාවන් ද සිය අවසන් හුස්ම හෙලන්නට මත්තෙන් ඔවුන් මෙතුවක් කල් ධනපතියන් ලෙස හෝ ධනපතියන් බවට පත්වෙමින් සිටි අය බවට සිහි කැඳවන්නටත් එම විශේෂ පණිවිඩය ඇසීමෙන් සිය චිත්තාභ්‍යන්තරයන් ආලෝකමත් වී මරණින් පසු ද මේ ක්‍රමයටම අනුගතව යළි උපදින්නට ඔවුන් පොරොන්දු කරවා ගැනීමෙ විශේෂ රාජ්‍ය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූයෙන් ඔවුනගේ භූමදාන කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත් වුණි.

මේ සියළු සිදුවීම් මේ ආකාරයෙන් ගලා යද්දී මැජික් ශිල්පියා සිරගෙයින් පැන ගිය බව සියල්ලන්ටම අමතකව ගිය හෙයින් හෙතෙම ඈත වනගත පෙදෙසක නොදියුණු ග්‍රාමයක සිය මැජික් සංදර්ශණ පවත්වන්නටත් ආධුනික මැජික් ශිල්පීන් බිහි කරන්නටත් පටන් ගෙන තිබුනි. අහම්බෙන් ඔහු හමු වූ ධර්මසේන නම් වූ පුද්ග‍ලයෙක් ඔහුගේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟපාන්නට මෙම මැජික් ශිල්පියාට ආරාධනා කළෙන් එම සිනමා පටය තිරගත වීමත් සමග නැවත මැජික් ශිල්පියා ගැන මතකය රාජාණ්ඩුවට ඇති වේයැයි මැජික් ශිල්පියාගේ අත් උදවුකරු මතක් කළ හෙයින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඉතා කුඩා දර්ශනයකට පමණක් වෙස්වලා ගෙන සහභාගි විය.

අදටත් අහස් ගවුව චිත්‍රපටයේ ඉතා කුඩා ජවනිකාවක පෙනී සිටින්නේ එම මැජික් ශිල්පියා බව මේ වනතුරු කිසිවෙකුත් නොදැන සිටීම පුදුමයක් නොවේ.

Sunday, October 25, 2009

බීට් රූට් ලේ

බීට් රූට් ලේ

ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූ‍යේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග‍ ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරැ කළේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප්‍රති‍‍‍ඵලයක් ලෙසය.

දිගින් දිගටම සිහින තුල සහ අන්තර් සිහිනමය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප්‍රක්ෂේපනය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ‍ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය‍. එසැන සියල්ල නිවී ගියේ එය සිහිනයක් බව ඒත්තු ගන්වමිනි. ඇය පියවි සිහිය ලබද්දී දැනගත්තේ ඈ අවසිහියෙන් බවය.

චන්ද්‍රාණි නින්දෙන් පිබිදී ඇතත් ඇය තවත් සිහිනයකට ඇතුළු වෙමින් සිටින බව නොදැන සිටියෙන් ඇයට කාමරයේ සීලිම පෙනුනේ බීට් රූට් ඉස්ම ගලා හැලෙන ඉරි තලා ගිය වැහි බර අහසක් මෙනි. බිත්ති දිගේ ගලා හැලෙන බීට් රූට් තැම්බූ වතුර ක්‍රමයෙන් පොලව දිගේ ඇය ගේ දෙපතුල් අසලට ගලා එන්නේ යැයි සිතුනි. එම බීට් රූට් තැම්බූ වතුර ඇගේ සිරුර යට කරමින් ගංවතුරක් මෙන් නැගී ඈ එමත පාවෙන්නට පටන් ගති. ඉපිලුම් නියමය සත්‍ය වශයෙන් යෙදෙන්නා වූ සිහිනයක් බැවින් ඇගේ පරිමාව විස්ථාපනය කළ බීට් රූට් ඉස්ම ඇගේ රුධි‍රයේ ඝණත්වය ට සම වීමෙන් ඇය බීට් රූට් තැම්බූ වතුරේම කොටසක් බවට පත් විය.

"මට දියවැඩියාව! මට දියවැඩියාව!! දෙයියනේ මට දියවැඩියාව!!! "

ඇය මහ හයියෙන් කෑගැසුවාය. බිත්තියේ පහලට බඩගාමින් හුන් හූනෙක් වහාම සිවිලිම දෙසට වේගයෙන් බඩගා එහි වූ පැල්මකින් අතුරුදහන් විය. ඈ පමණක් තනිවම නවාතැන් ගෙන හුන් බෝඩිං කාම‍රයේ කැරපොත්තන් මීයන් හූනන් සහ ඇමීබාවන් හැර වෙන කිසිවෙකුවත් ඇයගේ ලතෝනිය අසන්නට නොවුයෙන් ඇය වහාම ඇඳෙන් බැස රාත්‍රී ගවුම පිටින්ම බෝඩිමෙන් පිටතට පැමිණියාය. ඇය බෝඩිමේ ගේට්ටුව අසලට පැමිණ බෝඩිමට වැටී ඇති මහ පාරෙන් වූ අතුරුපාර දෙස එක දිගට ඇස් යොමු කළ ද කිසිවෙකු පෙනෙන්නට නොවූයෙන් ඇය මිදුලෙන් ගේට්ටුව විවෘත කර පාරට ආවාය. පාර දිගේ තාර වෙනුවට බිට් රූට් ඉස්ම හැලි ඇති අයුරක් පෙනී නැවත තාර පාටින් පාර පෙනෙන්නට පටන් ගත්තෙන් ඇය පා ඉක්මන් කළාය. ඇය එක එල්ලේ ඉදිරියට ඇදෙන්නට විය.

"දෙයිය‍නේ මගේ ඇඟ සේරම බීට් රූට් ඉස්ම ගලනවා නහර ඇතුලේ... මෙහෙම ගියොත් මගේ මුලු සරීරෙම තියෙන වතුර ටික මේ බීට් රූට් වල තියෙන සීනි වලින් උරා‍‍ගෙන විජලනය වෙන්න ගන්නවා... දන්නවද අඩුවෙන් වතුර තියෙන තැං වලට වැඩියෙන් වතුර තියෙන තැං වලින් ‍උරා ගන්නවා කියලා? දෙයියනේ දැනටමත් මගේ ඇස් ගෙඩිවල තිබ්බ වතුර සේරම මේ බීට් රූට් ඉස්ම උරාගෙන උරාගෙන යනවා ‍‍‍... මට තව ටික වේලාවකින් මේ ලෝකේ බීට් රූට් ඉස්ම නිසා අන්ධ වෙන පළවෙනිම ගැහැණිය වෙන්න වෙනවා... මට දියවැඩියාව හැදිලා...මට දැනෙන්නේ මම සීනි ගෝනියක් වගේ ඇත්තම කියනවා නම් බීට් අල තම්බපු වතුර බාල්දියක් වගේ... "

"ඔයා කොහොම ද ඒක දැනගත්තේ? "

"මම හීනයක් දැක්කා... "

"මොකද්ද ලමයො දැක්ක හීනේ? "

"මම දැක්කා අපේ දොස්තර නෝනා බීට් රූට් තම්බපු වතුරෙන් ලේ දෙනවා මිනිස්සුන්ට. ඒ මිනිස්සු සේරම ටික වෙලාවකින් හරිම සන්තෝසෙන් මැරිල ගිහින් ස්වර්ගේ ඉපදෙන්න පටන් ගත්තා. ස්වර්ගෙට දරා ගන්න බැරි තරම් මිනිස්සු කන්දරාවක් ගිහින් එකපාරටම එහේ ඉපදෙන්න ගත්තා. ටික ටික ස්වර්ගලෝකය බර වැඩි වුනා...ඒක කොළඹට පාත් වුනා...කොළඹ දිව්‍යලෝකයක් වෙලා තිබ්බා...‍මෙහෙම හීනයක් පේන්න නම් එකම හේතුව මට දියවැඩියාව නිසාම තමයි... "

"අයියෝ මේ විකාර හීනයක් නිසාද මේ කල‍බලේ? කොළඹට දිව්‍යලෝකේ පාත් වුන එක ගැන සතු‍ටු වෙන්නයි ඕන...ඔය බීට් කතාව වැඩක් නැහැ... "

"ඒක ‍එහෙම වෙන්නේ කො‍හොමෙයි? මට වැදගත් මෙතන මේ බීට් කතාව තමයි...ඉස්සෙල්ලම තේරුම් ගන්න මේ සංඥා ගැන. රතු රුධිරාණුවලයි සුදු රුධිරාණුවලයි සංකලනයෙන් තමයි අපේ මේ ලේ හැදිල තියෙන්නේ ...තව පට්ටිකා කියල ජාතියකුත් එක්කල...මතක නැද්ද ඉස්කෝලේ සෞඛ්‍යය පාඩම? බීට් අල තැම්බුවම ඒ වතුර අපේ ලේ වලට ආදේශ කරන්න පුළුවන් කියල මට හීනෙන් කීවේ අපේ දොස්තර නෝනා...ඒක ඇත්තක් නොවුනට ඒ දොස්තර නෝනා මට මීට සති දෙකකට විතර ඉස්සර හීනෙන් පෙනිලා කීව දෙයක් මට දැන් වගේ මතකයි...එයා කීවේ ලේ ජාති වෙනස් වෙන්නේ රීසස් සාධකයෙන් විතරක් නොවේය කියලා. හැබැයි මම ඒ කතාව කාටවත් කියන්න ගියේ නැහැ. දැං තමයි මම මේ ඔයාට උනත් කියන්නේ... "

"මොකද්ද රීසස් සාධකය කියන්නේ? "

"මම දන්නේ නැහැ බං...ඒත් ලේ වර්ග කරද්දී ඒ බී ඒබී සහ ඕ කියල කියන්නේ අන්න ඒ වගේ ලේ වල තියෙලු මොකක් හරි ගුණයක් ඒවා වෙනස් වෙනවලු කතා කරන බාසාව අනුවත්...මොකද කතා කරන බාසාව හැදෙන්නේ මොළය ඇතුලේ නිසා මොළය හරහා ලේ හැමතිස්සෙම ගමන් කරන නිසා අපි කතා කරන හිතන පතන බාසාවෙ දේවල් ලේවලට ඇතු‍ළු වෙනවලු..මේක හරිම රහසක් ලු... "

"ඇත්ත ද බං? එහෙම වෙනව ද? "

"ඔව් බං දැං බලපං හොඳ කෙනෙක් ගේ ලේ නරක කෙනෙකුට දුන්නම නරක කෙනා හොඳ වෙනවලු...බුද්ධිමත් කෙනෙක්ගේ ලේ මන්ද බුද්ධික කෙනෙකුට දුන්නම එයත් බුද්ධිමත් වෙනවලු...ඔන්න ඔය වගේ කතා බං ... ඕවා ඇත්ත ද කියන්න මම දන්නේ නැහැ...ඒත් ඒවා වෙන්න බැරි ද? "

"වෙන්න බැරි නැහැ... වෙන්න බැරි නැහැ... "

"ඒක තමයි මම කියන්නේ මේ ලේ වලට සිතුවිලි මුහු වෙනව නම් ඒ සිතුවිලි නිසා ලේවල රසායනය වෙනස් වෙනව නම් ඒ කියන්නේ කතා කරන බාසාව හිතන පතන බාසාව නිසා ලේ වල රසායනික සංයුතිය පොඩිත්තක් හරි වෙනස් වෙනව නම් මම කියන්නේ ලේවල සිද්ධ වෙන වෙනස් කමක් වුනත් ආයෙම මොලේ ඇතුලෙන් යද්දි අපි හිතන මතන තැන් වලින් ඒ වෙනස හඳුන ගෙන අපිට හීන නිර්මාණය කරනවා වෙන්නත් ඕන...සිතුවිලි නිර්මා‍ණය කරනවා වෙන්න ඕන...ඒ කියන්නේ ලේවල සීනි වැඩි වුනාම ‍ඒකත් මොළයට දැනිලා අපිට හීනයක් විදියට අනතුරු අඟවනවා වෙන්න පුළුවන් කියන එකයි... "

"අම්මෝ උඹ හිතන දුර...මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ...ඕනම නං උඹ බ්ලඩ් චෙක් කරගනින් අර නවලෝකෙට ගිහින්... "

"මට එහෙම ඕන නැහැ. මට හිතෙන දේ තමයි මගේ ලේ වල සීනි ගතිය වැඩිය කියන එක...දැං බලන්න මේක මට වෙන්න ගත්තේ මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත දවසෙ ඉඳලම නේ...මේ විදියේ හීන පේන්න ගත්තෙම මේ අලුත් භාෂාව ඉගෙන ගන්න පටං ගත්තු දා ඉඳලමයි. ඉතිං ඒකයි මේකයි අතර කෙලින්ම සම්බන්ධයක් තියෙන්නේ ...ඒ හින්දා ලේ චෙක් කරන්න ඕන නෑ..."

"මට පේන්නේ උඹේ ලේ විතරක් නොවෙයි මොලෙත් පෙන්ව ගන්න‍ වෙයි වගේ මනෝ විශේෂඥයෙකුට...මට තේරෙන්නේ නම් ඒකයි...උඹ මොකද හදිසියේ දෙමළ ඉගෙන ගන්න පටං ගත්තේ? "

"ඔන්න ඔන්න උඹලට ඉතිං හැමදාම ඔහොම තමයි...කවුරු හරි විශේෂඥයෙක් කියන්නම ඕන ඕනම දෙයක් පිළිගන්න...අපි කොක්කුනේ...දෙමළ ඉගෙන ගන්නේ ඇයි කියලද ඇහුවේ ?? "

චන්ද්‍රාණි සිය දෑතින් මුහුණ පිස දමා ගත්තාය. ඇයගේ දෑසේ පතුලේ සුමියුරු රහසක් සැඟව ඇතැයි ඇගේ යෙහෙලියට සිතුනි.

හැන්දෑවේ ඥාණලිංගම් වැඩ ඇරී බෝඩිමට පැමිණ කාමරයේ ජනේලය ඇර දැමුවේය.
වෙනදා මෙන් අල්ලපු ගෙදර බෝඩිමේ චන්ද්‍රාණි පේන්නට හිටියේ නැත.

Saturday, October 17, 2009

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය


"මට කවි පැටියෙක් හදා ගන්න ඕන! "

කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වණ රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ක්ෂණයකින් කවියාගේ මවගේ රෙද්ද කඩා දැමූ හෙතෙම ඇයව උස්සා ගස් දෙබලක හිර කරගෙන සිය යටි කයෙන් පහර දෙන්නට වූයෙන් අසමතුලිත වූ ගස් දෙබල පොලව දෙසට බර වීමත් සමගම ඇයගේ යටි කය ඉහලට එසවී තිබිය දී හිස මහ පොලව මත ගැටී මත් සමගම ඇගේ අතට අසු වූ මැටි ගලක් දෑතින් ම ඔසොවා ඇති හැකි උපරිම වීරියෙන් ඔහුගේ හිස මතට දමා ගැසීමත් සමගින්ම ඇ‍යගේ ගැබ් ගෙල අසල උණු සීරාවට ඔහුට මෝචනය වීමත් සිදුවනු දැනෙද්දී ඔහුගේ නිසල කය සහ සුනු විසුනු වී ගිය මැටි ගල් පස් ද ඇගේ සිරුර මතටම බැර විය‍. කවි‍යාගේ පියා කවියා සංසේචනය වීමට පැය හතරකට පෙරම මළවුන් අතරට ගිය අතර ඇය රෙද්ද ගසා දමා නැවත ඉණවට තද කර හැඳ ගෙන වණ රොදින් එලියට ආවාය. මිය ගිය මිනිසාගේ ධාතු ද සමග ඇය විහාර ගෙට ගොස් පංචසීලය සමාදන්ව ‍බෝධියට පැන් වඩා අලුත් මල් පූජා කළ ගැටිස්සියකගේ අතෙහි වූ තෙල් බෝතලයෙන් ස්වල්පයක් දොලොස්මහේ පහනට දමා පහනෙන් ඇඟිල්ලට පොඟවා ගත් තෙල් බිංදුවක් සිය හිස කෙස් අතර උලා ගත්තාය.

කවි පැටියා පන්සලේ ඝංඨාරය සිවු වරක් නාද දෙද්දී අව පක්ෂයේ සඳ හතරවැනි කලාවේ නැංගුරම් ලද්දී සිය ආත්මය සංසේචනය වෙමින් පැවති යුක්තාණුවේ මයිටකොන්ඩ්‍රියා අසලින් වූ ක්රෝමසෝමයක දැවටී මවගේ හදේ රිද්මයෙන් ඔංචිලි පදින්නට විය. පී එච් අගය මෙන්ම ඩීසීඑච් හෝමෝන වල සාන්ද්‍රණ ද අඩු වැඩියෙන් සමාකලනය වූයෙන් යුක්තාණුව යහමින් ගර්භාෂයේ බිත්තිය මත නැංගුරම් ලෑයෙන් ඔංචිලිවාරම් නවතා කවියා අත පය හකුල ගෙන හෘදය හැදෙන තුරු දිවා රාත්‍රි විසි අටක් බලා සිටියේය. පුෂ්ප මංජරියකින් එක පුන් මලක් පූදින්නා සේ පිපී ආ හෘද මාංසය සමගින් ඉතා සිහිනිව මවගේ ලබ් ඩබ් ආකාර වූ හෘද ස්පන්දනයේ ම අනුකාරක හඩක් යම්තමින් නැගෙද්දී කවියා සිය ජීවිතයේ පළමු විරිත හඳුනා ගනිමින් සිටියේය.

කවියාගේ මවට එක් උදෑසනක සිය මුඛයෙන් මුළු ලොවම ප්‍රාදූර්භූත වන්නා සේ ද සිය ඛේට ග්‍රන්ථි වලින් අනවරතව ගලා ආ උණු ලෝ දිය දහර ගිනි රස්න ජල සීරාව රාවණා ඇල්ල කඩා හැලෙන්නා සේ හකුපාඩා අතරින් දැනෙන්ට ද වූයෙන් ඇය ගෙයි පිළිකන්නට දුවගොස් ඔක්කාරය කරන්නට වූයෙන් ඇයට තව දුරටත් ග්‍රාම වාසය නොහොබින්නේ යැයි ඒත්තු ගිය හෙයින් වහාම එදා උදැහැනැක්කේම සෙයිලම බලා ඇදෙමින් තිබූ මිරිස් ලොරියේ රියැදුරා හා එකතුව ලොරියේ ඉදිරිපෙල අසුනේ වීදුරු කන්නාඩිය අසලින් වාඩි වී හතරවරම් දෙවිවරුන්ගේ ඡායාරූප දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටිමින් හැන්දෑකරයේදී නවගමුව හන්දියෙන් හැරී රියැදුරාගේ බාල නංගිලැයි දිහා ගියාය. කවියා ගැස්සිලි බැස්සිලි මැද්දෑවෙන් මේ යන ගමන විශ්වයේ ගන්ධබ්බයෙකු ලෙස ගමන් කළ ඒකාකාරී වේග රිද්ම ආකාරයට වඩා කොතරම් මනරම් පරිමන්දිත චලිත රිද්මයක් මහ පොලොව මත චලනය වීමේ දී හට ගන්නේ දැයි විපරමින් සිය ජලාබූජ ජීවන කාලය උන්මාදයෙන් ගත කලේය.
අවසිහියෙන් රැප් සංගීතයකට නටන්න‍කු මෙන් ඔහු අර්ධ ක්ලාන්තව හුන්නෙන් රියැදුරා රාත්‍රියේදී කවි‍යාගේ මවගේ සයනයට පැමිණීම පිළිබඳ කිසිදු නිනව්වක් නොවීමේ හේතුව මැකී යන්නේ කවි‍යාගේ මව සිය දත් කූටු කාගෙන ඔහු වෙත හෙමින් සහ සැරෙන් "කොරගන්න දෙයක් හෙමින් කොරගනින් මිනිහෝ!.. මගේ බඩේ දරුවෙක් ඉන්නෝ..." යැයි කීම ඇසුනෙන් පමණි.

එදින සිට මාස දෙකක් යනතුරු විඩෙන් විඩේ කවියා ඉමහත් තෙරපුමක ආස්වාදයක් ලබමින් සිටිද්දී දිනක් ඇය කීවේ මේ උපදින්ට ඉන්න එකා කොහේ හෝ කාගේ හෝ ඇඟේ ගසා නැවත මුකලානට යා යුතු බවය.

කී පරිද්දෙන්ම කවියා ඇගේ කුස සැප සේ ගත කරමින් හුන් කාලයේ අවසානය ලං ව ඇති බව දැනුනේ අපස්මාර රෝගියකු මෙන් ඇය විලි රුදා විඳිමින් ප්‍රසව තරංගයෙන් සිය යහන් ගබඩාව භූමි කම්පාවකට ලක් වෙමින් සිටි මොහොත උදා වූ දිනයේ ය.

වැල මදුලකින් ඇටය පනින්නාසේ ඉමහත් ආශ්වාදයෙන් සිය සිරුර ඇගේ රැහැණින් මුදා මෙතුවක් ජල තරංග ඔස්සේ පමණක් ඇසි අවට ‍ලෝකයේ සියලු ශබ්ද පියවි කනින් ඇසීමටත් පළමු වතාවට තම හදවත ගැහෙන රිද්මය තම කනින් අසා ගැනීමටත් මෙතුවක් දස මසක් තිස්සේ අනවරතව අසා සිටි සිය මවගේ ලබ් ඩබ් ශබ්ධාවලියට සමු දීමටත් කවියාට සිදු වූයෙන් පුර පසලොස්වක කුජ නවයේ සැරිසරන ගුරු කන්‍යා රාශියට පත් වන හෝරාවේ කැති නැකතේ තුන්වන පාදයේ සඳු ගමන් කරද්දී කටක ලග්නයෙන් මෙලොව එලිය දුටු කුමරු යැයි කිසිවකු විසින් සිය ජන්ම පත්‍රය නමෝ විත්තියෙන් සාදනු ඇතැයි කවියා සිතුවද ඒ කිසිවක් පොත පතක සටහන් වන්නට පෙර ඉස්පිරිතාල ඇඳෙන් අමාරුවෙන් බැස ගත් කවියා‍ගේ මව ඔහුව ඔතා සිටි සුදු පැනල් රෙද්ද පිටින්ම ගෙන තාප්පයෙන් පැන මහ මගට වන්නීය. කැනල් පාරේ නිශාචරයින් අතරින් ඇය කඩිමුඩියේ පා තබා මීට පැය හතරකට පෙර දරුවකු වැදූ ගැහැණියක ලෙස නොව සිපිරිගෙයින් පැන ‍යන්නා වූ සොර මුලක නාය‍කයෙකු බඳු වේගයෙන් දරු ගොට්ට ද කිහිලි රුවා ගෙන දුව ගොස් ප්‍රථමයෙන් ම හමු වූ කසල බාල්දියට කවියා දමා ඈ නොපෙනී ගියේ සර්වලෝක විනාසාය යනුවෙන් හැඳිනිය හැකි මේ ලෝකයේ කිසිවකු නොදත් භාෂාවකින් මන්තරයක් මතුරමිනි.

එතැන් සිට ගත වූ පැය අටක කාලයක් කවියා සිය උප්පත්ති කේන්ද්‍රයේ සඳු ලැග හුන් රාශියේම සෙනසුරුද වූයෙන් උපන් ජන්ම ඒරාෂ්ටක අවස්ථාවෙන් ඉපදීම කරණ කොට මියෙන්නට තරම් ප්‍රභල දුර්ගන්ධ වූ කැලි කසල මධ්‍යයේ නිරුපද්‍රිතව ජීවය අකාලයේ මියෙන්නට වූ අවසාන හෝරාව පන්නා ගෙන ගොස් ජීවත් වීමේ තවත් උත්ප්‍රේරණයක් සලසා ගත්තේ හිරු සමගින් කැලි කසල ගොඩ වෙත පියඹා ආ සෙනසුරුගේ වාහනය වූ ද කපුටන්ගේ අනවරත කරච්ච‍ලයේ රිද්මය රස විඳිමෙනි.

චන්ද්‍රයා සිය අකාෂ පථයේ සහචර සෙනසුරා සමග වූ සංයෝග වූ අවස්ථාව ක්‍රමයෙන් දිය කර ශනිට වඩා වේගයෙන් තව දුරටත් සිය ගමනේ යෙදුනෙන් ජන්ම ඒරාෂ්ටකය පහවී කවියා නගරයේ කැලි කසල හමුදාව භාරයට පත් වූයෙන් වහාම පත්‍ර වාර්තාකරුවන් රොත්තක් මැද්දේ ඔවුනගේ කැමරාවල සැනෙලි මැද්දෙන් සිය මුව අයා කිරි ඇබින්දක් දෙන නිරිඳෙක් ඇත්දෝහෝයි අසන්නාක් මෙන් හෙලූ බැල්ම විජයග්‍රහණය වීමත් සමගම අලුත උපන් ළදරුවන්ට දෙන කිරි මිශ්‍රණ සොයමින් යන්නට කිසිවකු නොවූයෙන් කැලි කසල එකතු කරන ස්ථානය අසල වූ බුලත් කඩය කරමින් වෙළහෙලදාමෙන් ජීවත් වූ ඇගි අක්කා වහා සිය හැට්ට බොත්තම් විවර කොට සිය වමත් තන පුඩුව දුන්නෙන් එහි ඇති කිරක් නොවූවද ඇති තාක් වූ උණුසුම මධ්‍ය‍යේ කවියා සිය පළමු මව ලෙස ඇය සිහියේ ඇඳ තබා ගත්තතේය.

එතැන් පටන් කවියා කපුටු බෝ රුක අසල ටියුබ් ලයිට් හපා කන කලු ගල් කැට වතුර සමග බී ගිලින මැජික් කාරයාගේ දිවා සහ සැන්ඳෑ සංදර්ශනය ද ඇගි අක්කා සමග දවල් දවසේ ම බුලත් මිටි බඳින හැන්දෑවෙද්දී ඉහ මුදුනට කර හවරිය ඔතා කෙස්ස බැඳගෙන විලවුන් නාගෙන පාරට බසින ප්‍රෙමක්කා ද අතර කාලය ගෙවී සියල්ලන්ටම නොදැනී මහ පාරේ තාප්ප මත අලවා ඇති අටකලම්පන්නයක් වූ පෝස්ටර ද පාරේ ඉබා‍ගාතේ යන් වහු කුණු බල්ලන් ද උන්ගේ ඇඟවල් මත වැස හුන් මැක්කන් ද කඩමින් ලොකු විය. කවියා කිසි විටෙකත් තමාගේ මව හෝ පියා හෝ නොදැන සිටීමෙන් ඔහුගේ සිත ඉමහත් සැහැල්ලුවෙන් පැවතුන අතර කළු ගල් ගිලින මිනිහා දිනක් කවියාගේ රත්තරන අතින් අල්ලා බලා කළ පරීක්ෂණය ඇවෑමෙන් සිය පියා මෙලොව කොහේ හෝ ඉන්නා බවත් ඔහු තමන් මෙන්ම වෙනත් මැජික් කාරයෙකු ගේ සංදර්ශණ බලමින් ද වෙනත් ප්‍රේමක්කා කෙනෙකු ගේ ලැම පෙදෙස හොරැහින් බලමින් ද ඉන්නවා විය යුතුය යන්න කවියා එකහෙලා තීරණය කරන විට නගරසභාවේ හැන්දෑවේ හතරට පිඹින නලාව නාද වූයෙන් මෙලොව කිසිවෙකුත් නොදන්නා ඒ ඔහුගේ නව වන උපන් දින සාදය අහසේ හිරු ගමන් ගත් පථයේ සලකුණු වී තිබුණි.

කවියා කුණු වලට දමා යාමට ප්‍රථම කවියාගේ මව මැතිරූ මන්තරයක් වූයෙන් ද එය ඔහුගේ දෙසවන් මත රැව් පිළිරැව් දෙන්නට වූයෙන් ‍දිනක් මැජික් සංදර්ශකයා සිය කාසි එකතු කරන ටින් එකේ රැඳුනු කාසි ගණන් කරන වේලාවක් බලා හෙතෙම ළං වී ඇසුවේ තමා කොහෙන් මේ ලෝකයට පැමිණියේ දැයි කියාය.

උඹ ආවේ මේං මේ ගල් ගෙඩි බඩෙන් එන්නා වාගේම ය

කවියා සතුටට පත් වූයෙන් එතැන් සිට තමන් මෙලොව පැවතීම පිළිබඳ සියලු සැක සංකා හිරු දුටු ‍පිනි මෙන් ද උදෑසන ලූ කෙළ පිඩක් මෙන් ද සිය සිතින් අකාමකා දැමූයෙන් මැජික්කාරයාගේ ප්‍රථම ගෝලයා බවට පත්වීමේ වරම ද උදා කරගත්තේය. දින කීපයකින්ම ටියුබ් ලයිට් අතින් ගසා කුඩු කිරීමටත් කුඩා ගල් කැබලි හොඳින් ගිල දැමීමටත් කුඩා රබානක් ගෙන විරිඳු කියන්නටත් කකුලෙන් චිත්‍ර අඳින්නටත් කවියා පුහුණු වූයෙන් උත්පත්ති අවස්ථාවේ සිකුරා ලග්න ගතව සිටීමේ සියළු ගති සොබා පහළ වූයෙන් කවියා චිත්තාකර්ෂණීය රුවින් ද පළල් දෙවුරින් ද කඩවසම් ශෝභාමත් සිරුරින් ද අසාහාය කාය ශක්තියෙන් ද වර්ධනය ව මහළු මැජික් ශිල්පියා වෙනුවෙන් සංදර්ශණ තනිවම පැවැත්වීමට තරම් පළපුරුද්ද අත් කරගත්තෙන් දිනක් පෙට්ටියකට දමා වැසූ තරුණියක් දෙකට කපා පෙන්වීමෙන් පසු තරු පහේ හෝටලයක නිත්‍ය මැජික් පෙන්වන්නා බවට පත් වීමත් සමග සිය විංශෝත්තරී දශා චක්‍රයේ සිකුරුට අදාල වසර විස්සේ පළමු වර්ෂය ගෙවා යන්නට පටන් ගත්තේය‍‍‍.

කවියා සිය මැජික් හැකියාවෙන් පොහොසතුන් වශී කරගන්නට සමත් වූයෙන් සිය දුප්පත් මිතුරන් අතරට එකතු වූ නවීන පන්නයේ අරුමෝසම් විලාසිතා වැළඳ ගත් සුඛෝපභෝගී ජීවන ක්‍රමයෙන් ආලිප්ත වූ අලුත් ධනවත් මිතුරන් ද සිය ආශ්‍ර ආශ්‍රමයට පත් වූයෙන් දිනක් මැජික් සංදර්ශණාවසානයේ දී එබඳු ධනවත් තරුණ කණ්ඩායමක ආරාධනයෙන් කවියා සිය මැජික් ශිල්ප දක්වන්නට ඔවුනගේ මන්දිරයට ගියේය.

ඒ යන ගමනාතුර එක්තරා රටක වෛද්‍ය විද්‍යාව හදාරනු පිණිස ගොස් සිටි ධනවත් තරුණියක් පුරුෂාණු වෙනුවට අබ ඇට ගර්භාෂගත කර දරුවන් උපදවන ක්‍රමයක් කෙරෙහි පර්යේෂණයේ යෙදී සිටියා ය. ඇය සිහිනයෙන් දකින්නේ ද සැබෑ ලොව සිදුවන තතුම බැවින් ඇය අනාගත වාක්‍ය කියන්නියක ලෙස ද ප්‍රකටව සිටියාය. ඇය ‍මීට වසර හතකට පෙර සිය ප්‍රථම උපාධි නිබන්ධයේ දී ප්‍රකට කර සිටියේ ආකාෂ වස්තු වල චලිතයේ පවතින අක්‍රමිකතාවයක් නිසා පොළවේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක උපදින මැජික් ශිල්පියකු විසින් මුළු ලෝකය ම පාලනයට ගන්නා බවය. එමෙන්ම ඇය සිය උපාධි නිබන්ධයට විවිධ වර්ගයේ කවි සහ කතා ද බොහෝ ප්‍රමාණයක් අමුණා තිබූයෙන් ඇයට උසස් සාමාර්ථයක් දී නැවත උපන් ගම්පලාත වෙත වෛද්‍යවරියක් ලෙස බලගන්වා එවා තිබුණි.

ඇය ද සහභාගි වූ මෙම මැජික් සංදර්ශණය අවසානයේ දී ඇය විසින් ඒ කවියා රැගෙන ආ කණ්ඩායමේ කෙනෙකුට කීවේ තමා විසින් මින් පෙර අනාවැකි කියන ලද මැජික් ශිල්පියා මේ විය යුතු බවයි.

පෙට්ටියක ලූ ගැහැණියක් පණ පිටින් දෙකට කපන්නට සමත් මිනිහෙකුට මේ ලොව ඕනෑම දෙයක් කළ හැකි බව මෙම වෛද්‍යවරිය එම කණ්ඩායමට සිය ශල්‍ය වෛද්‍ය විද්‍යා දැනුමෙන් ඒත්තු ගැන්වූවාය.

මින් කුපිත වූ ධන කුවේරයන් මෙතුවක් තමන් අමන්දානන්දයට පත් කළ කවියා අල්ලා රජයේ මහාමාත්‍යාදීන්ට චෝදනාභිමුඛව පෙන්වා සිරගත කරන්නට වැඩකටයුතු කළෙන් සිය සිකුරු දසාවේ රාහු අන්තර් දශාව උදා වී ඇති බව කවියා දැන නොගත්ත ද එය රාත්‍රි අහසේ තාරුකා පංති අතර සටහන් ව තිබුනේය.

සිරගතව හුන් කවියා දිනක් සිර මැදිරි බිත්තියේ කලකට පෙර සිටියවුන් විසින් ලියා තිබූ වැකියක් කියවමින් සිටියදී සිරගෙදර ජේලර්වරයෙකු නිරීක්ෂණ සටහනක් ලොග් පොතේ දමා ගොස් තිබුනේ කවියා නොතේරෙන භාෂාවකින් නොයෙක් දේ සිරගෙදර බිත්ති මත ලියන බවත් ඒවා වහාම පරීක්ෂාවට ලක් කළ යුතු බවත් ය.

එනයින් ඉන් පසුවදාම හිරගෙදරට වන් අක්ෂර විශ්ලේෂණ මහා ප්‍රාඥයන් පිරිසකගේ නිර්දේශයෙන් වහා කැඳවූ මහාධිකරණ බලතල සහිත ඒක පුද්ගල කමිටුවක තීරණය වූයේ කවියා විවිධ ජනතා නැගිටීම් වලට තුඩු දෙන අපභ්‍රංෂ විප්ලවවාදී කවි විශේෂයක් ලියා ඇති බවත් ඔහු දේශ ද්‍රෝහියකු බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි ප්‍රථම එල්ලා මැරීමේ සංදර්ශනයේදීම එල්ලා මරා දැමිය යුතු බවත්ය.

මැජික් ශිල්පියා කවියෙකු ලෙසත් විරෝධාර විප්ලවවාදී විමුක්තිකාමියකු ලෙසත් සුජාත පුත්‍රයන් අතින් මිය ගියේ එසේය.

Monday, October 12, 2009

‍අත්‍යවශ්‍ය සටහනක්


‍අත්‍යවශ්‍ය සටහනක්

මා අනාගත ලේඛකයකු විය හැකියැයි කිසිවකු වරදවා වටහා ගනිතැයි ම‍ට සිතුනි. මන්ද යත් මගේ අනාගත ලේඛන දිවිය උදෙසා ඔවුහු මට උපදෙස් ආචාර ධර්ම සහ ඥාණය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බැවිනි. අයෙක් මට අක්ෂර වින්‍යාස ගැන ද තවෙකෙක් ව්‍යාකරණය ගැන ද මට ආද‍රයෙන් ද හාසයෙන් ද අපහාසයෙන් ද උපදෙස් දෙති. තවත් අය ප්‍රතිචාර සමාචාර කිරීමේ වත්පිළිවෙත් ගැන සිය ඥාණ කෝෂ්ඨාගාරය කලතමින් විග්‍රහ කතෝපකථන කරුණාවෙන් ද දයාවෙන් ද සෝපාහසයෙන් ද ඉදිරිපත් කරති. පරිශීලනය කළ යුතු පොත් පත් ඇදුරන් ගැන ලිඛිත දේශන පවත්වති. තවත් අය තවත් දේ කරමින් සිටිති. මේ සියල්ල දැන් ම‍ට මහත් සියොළගම දවා හළු කරන්නට තරම් බියකරු ලෙස දැනෙන ගින්නකි. ඒ බව මේ ප්‍රඥාසම්පත්තියෙන් ආඨ්‍ය වූවන්‍ට නොතේරෙන්නේ නොවෙයි. ඒ ඒ අයගේ ක්‍රමය ය. ඒ අය සතුරන්ට පහර දෙන‍්නේ මිතුරු උපක්‍රමයෙනි. මට මේ ගිනි රස්නය දැනෙන්නේ මේ දෙන උපදෙස් නිසාවෙන් නම් නොවේ. මේ උපදෙස් දෙන්නන්ගේ වාග් විලාසයන් අස්සෙන් සියුම්ව මතු වෙන ඔවුන් දැඩි ලෙස ලොවින් වසං කොට හංගාගෙන සිටින වෛරයේ ගින්නේ රස්නය නිසාවෙනි.

වඳුරෙකු කීබෝඩ් එකක ඇඟිලි ඔබමින් අනන්ත කාලයක් ගත කළ හොත් ඔහු විසින් සසම්භාවී ලෙස ටයිප් කරන අක්ෂර සංකේත සංකරණ සහ සංයෝජන සියල්ල අතර භගවත් ගීතාව වුවද ප්‍රතිරචනය වීමක් විය හැකි බව සම්භාවිතා ගණිතය කෙළ පැමිණි ප්‍රඥාවන්තයින් පවසා ඇත. මෙහි ප්‍රායෝගික සත්‍ය කුමක් වුවත් න්‍යායිකව නම් සිදු විය හැක්කකි.

මෙලෙස ම මම ද එබඳු වඳුරෙකු ලෙස නමුත් වෙනස් වඳුරු ක්‍රමයකට විවිධ වචන වාක්‍ය සහ අදහස් තැනින් තැනින් සොරකම් කොට සසම්භාවී ලෙස එකට තබා කිසිවක් අමුණා මෙතැන තබමින් සිටිමි. ඒ කිසිදු ලේඛන උපාංගයක් මගේ නොවේය. මගේ අතැඟිලි වල අගින් යතුරු ලියවෙන මේ සියල්ලේ මුල් පිටපත් මා සමග සම්බන්ධ වන්නේ ඉතාම සංකීර්ණ ආකාරයකට ය. ම විසින් කියවන අසන සහ සිතන ලද බහු විධ විකාර සහ ඒවාට තුඩු දුන් සමාජ සිදුවීම් අධ්‍යයන ආයතන සහ පුස්තකාල නැමති දැනුමේ බලාධිකාරයන් වල යාන්ත්‍රික කොපි මෙලෙස මා අතින් ඡායාපිටපත් බවට පත්‍ වීම ලේඛන කලාවක් නොවේ. මවිසින් කිසිදු අලුත් අදහසක් හෝ ලිවීමේ ප්‍රාතිහාර්යයක් සිදු කර හෝ කරමින් ඉන්නේ ද නැත. මම කිසිදු අලුත් වචනයක් නිමවා නැත. මා විසින් ප්‍රයෝජනයට ගන්නේ ද අනිත් බොහෝ අය කල්ප කාලාන්තරයක් තිස්සේ අදහස් උදහස් කියා පෑමට යොදා ගත් වචනම ය. එහෙයින් ඒවා සම්බන්ධව මට අයිතියක් ඇත්තේ ද නැත. මේ වචන පුරුද්දා හදන වැකි සමහර විට අරුතක් ජනනය කළ ද බො‍හෝ විට එවැනි දෙයක් ද නොවෙන වග කාට වුවත් පැහැදිලිය. එනයින් අලුත් අදහස් නිර්මාණය කිරීමක් ද නොවේ. මේ කියවන වැකිය පවා ඔබ මී‍ට පෙර කොහේ දී හෝ කියවා ඇති බවට නොඅනුමානය. මේ සියළු අදහස් වෙනත් කවුරුන් හෝ මින් පෙර ද පවසා ලියා ඇත. එක අතකින් වියරණ බිඳී ගොස් හෝ ලිවීමෙන් මා කරන්නේ ඒ අදහස් ම බිඳුනු වියරණයකින් නැවත කීමක් විය හැකිය.

දැන් කීමට ඇත්තේ ලිවිය යුතු සියල්ල මට පෙර ලිවීම නමැති කාර්ය සාධිතයන් අතින් ලියැවී හමාර වී ඇති බවය.

සියළුම අදහස් මට පෙර සිටි අයගේ හිස් මතින් උත්පාත වී මහ පොලොව වෙත සපැමිණ පොත් පත්වල ලියැවී මුද්‍රණය වී ඇත.

සිතන්නට දැන් අලුතෙන් කිසිවක් නැත. සියල්ල සිතිය යුතු අය සිතා අවසන් කර ඇත.

බිඳුනු වියරණයකින් පරණ දෑ නැවත කියවන්නට ලැබීම ඔබේ අභාග්‍යය විය හැකිය.

මා දැන් කළ යුත්තේ වියරණ බිඳීම පමණි.


ප.ලි.

එහෙයින් මා විසින් මෙහි ලියා තබන ඕනෑම දෙයක අයිතිය ඔබ සතුය. ඒවා නැවත ලිවීම නැවත විකෘති කිරීම සහ නැවත නැවත තැන් තැන් වල ලියන්නට හෝ තමන් කැමති අකැමැති ඕනෑම දෙයක් මේ ලියවිලි වලට කරන්නට ඔබට සියළුම බලය සහ අයිතිය ඇත්තේය.
මේවා ලියා ඇත්තේ ඔබට ද මා මෙන්ම ලෝකයේ ලියා ඇති සියළු දේ විකෘති ලෙස කියවා ගැනීමට ඔබට සහ මට ඇති අයි‍තියේ නාමයෙනි.

Monday, October 5, 2009

ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි


ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි

මේ අහන්න කෆ්කා. දැන් ඔයා අත්දකින දේ තමයි හුඟාක් ග්‍රීක ශෝකාන්තවල ගරු අරුත වෙලා තියෙන්නේ. මනුස්සයා තමන්ගේ ඉරණම තෝරා ගන්නේ නැහැ. ඉරණමයි මනුස්සයා ව තෝරා ගන්නේ. ඒකයි ග්‍රීක නාටකයේ මූලික ලෝක දර්ශනය. එ‍තකොට ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචක අර්ථය එන්නේ ප්‍රධාන චරිතයේ නරක ගුණයක් නිසා නොවෙයි. යහපත් ගුණයක් නිසා. ඒක යි උත්ප්‍රාසය. මං මේ කොතනටද එන්න හදන්නේ කියලා දන්නවා ද? මිනිස්සු ඛේදවාචක ඇතුළේ තව තව එරෙන්නේ ඒ ගොල්ලන්ගේ දෝසයක් නිසා නෙවෙයි. ඒ ගොල්ලන්ගේ සුචරිතයක් නිසා. හොඳම උදාහරණය සොෆොක්ලීස්ගේ ඊඩිපස් රෙක්ස්. ඊඩිපස් ඛේදවාචකයට මුහුණ දෙන්නේ එයාගේ කම්මැලිකමක් හරි ගොබ්බකමක් හරි නිසා නෙවෙයි. එයාගේ තිබිච්ච වීරකම සහ අවංකකම නිසා. අන්න ඒකෙන් තමයි අනිවාර්ය උත්ප්‍රාසය උපදින්නේ.

කෆ්කා මුහුදු වෙරළේ-හරුකි මුරකමි -පිටුව 286
ගාමිණි වියන්ගොඩ පරිවර්තනය

ජිනදාසට නගරයේ කිසිදු ඩිස්පැන්සරියක නිදි පෙත්තක් මිළ දී ගන්නට නොහැකි විය. කිසිදු තැබෑරුමක මත් පැන් පොදක් නොවීය. නිදි පෙති මෙන්ම මත් පැන් ද සියල්ල විකි‍ණී අවසන්ව තිබූයෙන් සමහරු ඕඩිකොලොන් බෝතල් සහ වයින් ස්පිරිතු මෙන්ම ටර්පන්ටයින් වැනි රසායනික ද්‍රාවණ සොයා කඩ සාප්පු පීරමින් යන්නට වූහ. පොල් ගස් කරටි වල අමුණා බැඳ තැබූ කුඩා මැටි මුට්ටි වලින් සෑම පොල් ගහකම මුදුන් හැඩ වී තිබුනි. කිසිදා මදින්නට යොදා නොගත් පොල් ගස් ද රා මැදීමට යොදා ගෙන ඇති අයුරැ හාත්පස දකින්නට ලැබුනි. සමහරු පළතුරු වර්ග බැරල් වල දමාගෙන ඒ මතට ඊස්ට් ඉස පැසවන්නට උත්සාහ ගනිමින් සිටියහ. කිසිදා සයිඩර තාක්ෂණය නොදත්තවුන් සිය ගෙමිදුල් වල කසිප්පු- සීනි කරිංඤ්ඤං- සයිඩර් යනාදී මෙකී නොකී හැලි අරක්කු තරගයට මෙන් පෙරන්නට වූහ.

මේ සියල්ලන්ට මත් වන්නට ඇවැසි වූ මොහොතයි.

ජිනදාස අවසානයේ කළුකඩකාරයෙකු මුණ ගැසී අරක්කු බෝතලයක් මිල දී ගන්නට සිය සේසතම දුන්නේය. ඔහුට මේ බෝතලය මෝය කටේ ගිය පොල් ලෙල්ලක් මෙන් දැනුනි.

මිනිසුන් ට අවශ්‍යව තිබුනේ ඒ විපත්තිදායක මොහොතේ අවසිහියෙන් සිටීමටය. ඒ තවත් පැය දොලහකින් මහ පොලොව මත පතිත වන ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථිවිවාසී සියල්ලන් දැවී විනාෂ වී යන්නට නියමිත වූ බැවිනි. මුළු නගරයම ‍මුළු රටම මෙන්ම මුළු ලොවම කැළඹී සිය අවසාන මොහොත තත්පර ගණනින් ගණන් කරමින් හිඳිනා අවසන් වරුව එය විය. අහසේ පායා තිබූ සඳ මෙන්ම ඊට මදක් කුඩාවට දිලිසි දිලිසි හුන් ඇස්ටරොයිඩය මහ පොලොව ඉලක්ක කර ගෙන එමින් සිටින මොහොතේ එය දර්ශනය වන අර්ධ ගෝලයේ රටවල්වල වැසියන් හට කාලය ගෙවුනේ ඉමහත් නොසන්සුන් බවකිනි.

මෙන්න එසැනින් සැන පුවත්. එසැනින් සැන පුවත් ඔබ වෙත ගෙන එන්නේ ආකර්ෂා ය. දයාබර ‍හිතවතුනි. තවත් ලෝක විනාෂයට ඇත්තේ පැය එකොලහකුත් විනාඩි තිස් හයකුත් තත්පර පනස් දෙකකි. නාසා ආයතනය ප්‍රකාෂ කරන පරිදි ග්‍රාහක අංශුව පෘතුවියේ ඝට්ඨනය වන්නේ උත්තර අක්ෂාංශ විසි දෙකයි තිස් දෙකයි අතර සහ නැගෙනහිර දේශාංෂ එකසිය එකොලහයි එකසිය විසි තුනයි අතර කළාපයට ය. දැනට ගණනය කර ඇති නිරවද්‍යතාවය අනුව මේ මොහොතේ අහසේ දිස්වන පූර්ණ චන්ද්‍රයාගේ ආපාතන කෝණයට සමාන ලෙස ඇස්ටරොයිඩයේ ආපාතන කෝණය සම වන මොහොතේ සිට විනාඩි තුනක කාලයක් ඇතුලත එය පෘථිවිය මත ගැටෙන්නට නියමිතය. මේ ගැටුමට පූර්වයෙන් පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විනාඩියක කාලය තුල වායුගෝලයේ උෂ්ණත්වය සූර්යයාගේ උෂ්ණත්වයෙන් අර්ධයකට පත්වන හේතුවෙන් ඇස්ටරොයිඩයේ ගමන් පථයේ ඡේදන ලක්ෂ්‍යය වන ඉහත දැක්වූ අක්ෂාංශ සහ දේශාංශ කේන්ද්‍ර කරගත් අරය කිලෝමීටර පන්දහසක් වන සී‍මාවේ සියළු ගොඩබිම් සහ සාගර ප්‍රදේශවල සියලුම දේ වාෂ්ප වී යන අතර එමගින් විශාල තාප ප්‍රමාණයක් මුදා හැරෙන හෙයින් එම මොහොතේ සිටම පෘථිවිය මත සියළුම ජීව ක්‍රියා සහිත සත්ව සංතතිය විනාෂ වන්නට ක්‍රමයෙන් පටන් ගන්නා බවත් ප්‍රථම තත්පර දහය ඇතුලත පෘථිවිය මත සියළු ජීවින් පිලිස්සී යන බවත් නාසා ආයතනයේ ප්‍රකාෂ‍කයෙක් මීට ස්වල්ප වේලාවකට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාෂ කොට ඇත. දැනට ඇමරිකා එක්සත් ජනපදය සිය උපරිම තාක්ෂණය භාවිතා කො‍ට මෙම ග්‍රහක අංශුව විනාෂ කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති අතර දැනට ඇති තාක්ෂණික සීමාවන් හරහා ඉතිරි වී ඇති පැය එකොළහ තුල ක්‍රියාත්මක කළ හැකි කිසිදු ක්‍රියාදාමයක් නොමැති බව ඇමරිකානු ආරක්ෂක සේවය නිල නි‍වේදනයක් නිකුත් කරමින් ප්‍රකාෂයට පත් කර ඇත.

සියල්ලෝ ළඟ ළඟ එන මරු දකිමින් වික්ෂිප්තව සිටියහ. ඇස්ටරොයිඩයේ ගැටුම ස්ථිර ලෙසම ප්‍රකාෂයට පත්වූ මීට වර්ෂයකට පෙර සිටම පෘථිවිවාසීන් එම අවස්ථාවට මුහුණ දීමට බොහෝ අමාරුවෙන් සිත් සාදා ගන්නට පටන් ගත්තේ ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාලය විසින් නිරන්තරයෙන් නිකුත් කළ මෙම ව්‍යසනයේ නොවැලැක්විය හැකි හේතූන් කෙරෙහි හට ගත් විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වන්නට වූයෙනි. මුලින්ම ලෝකවාසීන් විශ්වාස කළේ ඇමරිකානුවන් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ චීන ජාතිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යාවකාෂගත අධිබල පරමාණු බෝම්බ රැගත් අභ්‍යවකාෂ යුධ යානා එය මත පතනයන් හේතු කොට ගෙන මෙම ඇස්ටරොයිඩය එහි ගමන් මගේදීම විනාශ කිරීමට සමත් වනු ඇතැයි කියාය. එවැනි ක්‍රියාන්විතයන් කීපයක්ම අසාර්ථක වූ බව මීට පෙර මාස ගණනාවක් තුලම ප්‍රවෘත්ති සේවා මගින් අනාවරණය කළෙන් සියල්ලෝ මහ පොළොවින් සමුගැනීමට එකාවන්ව තීරණය කළහ. සමහරැ කල් තියාම සිය දිවි හානි කරගන්නට යොමු වීමත් සමග ලෝකයේ සියළු තැන්හි පෙර කිසි කලෙක නොවූ විරෑ ලෙස ශෝකජනක ආරංචියෙන් පිරී ගියේය. බොහෝ ධනවත් අය ඇමෙරිකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති අභ්‍යවකාශයට පැන යාමේ මෙහෙයුම් වලට මුදල් බැඳීමට යොමු වූහ. එම මුදල් ප්‍රමාණයන් ඩොලර් බිලියන ගණනින් වූයෙන් ලංකාවෙන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට යා හැකි වූවෙකු ලෙස වාර්තා වී සිටියේ රජ පවුලේ අයෙකු පමණි. කෙලෙස හෝ පෘථිවි වාසී පවුල් හතරක් මෙම අභ්‍යවකාශය කරා පැන යාමේ දුලබ අවස්ථාව උදා කර ගෙන තිබුනි. ඔවුන් පෘථිවිය හැර යන්නට ගත්තේ මීට හරියටම මාස හතකට පෙරය. ඔවුන් නැවත පෘථිවිය කරා පැමිණීමට නියමිත වන්නේ මෙම විනාෂයෙන් අවුරැදු පහකට පසුය. කෙසේ වෙතත් පවුල් හතරකට අවුරැදු පහකට ජීවත් වන්නට තරම් ආහාර පාන සහ අනෙකුත් පහසුකම් අධිතාක්ෂණික උපක්‍රම යනාදිය තිබුන ද පෘථිවියේ යළි පැමිණ ජීවත් වන්නට කිසිදු ලෙසකින් ඔවුනට අවකාෂයක් නොවන වග විද්‍යාඥයන් තිර ලෙසම ප්‍රකාශ කළ ද ඔව්හු මෙම ව්‍යසන‍ය හැබැහින් දැක හැකි තරම් කාලයක් ජිවත්ව මිය යන්නට තිර ලෙස අදිටන් කරගත්තෝය. බිල් ගේට් ද ඔවුනතර විය. සැබැවින්ම මෙම ඇස්ටරොයිඩ ගැටුමෙන් පසු අවුරුදු විසිපන්දහසක් යන තුරැ පෘථිවි පෘෂ්ඨයේ හිරු ආලෝකය ‍පතිත නොවන බවත් අධික විකිරණයන් හේතුවෙන් කිසිදු ජීවියෙකුගේ පැවැත්ම වලංගු නොවන වගත් විද්‍යාඥයන් හෙලිදරව් කර ඇත. මෙම සියලු සිදුවීම් මධ්‍යයේ සුපුරුදු ලෙස ‍සිය ගුවන් විදුලි විකාශ පවත්වන පෞද්ගලික එෆ් එම් නාලිකා තම සේවාදායකයන්ගේ ලෝකාවසාන පණිවිඩ නිකුත් කරමින් සිටින්නට විය.

"ලෝකාවසානය තෙක් අප හා විශ්වාසයෙන් ගනුදෙනු කළ ගනුදෙනුකාර භවතුන් ට අපි තිර ලෙසම ඊළඟ අත්භවයේද මෙම මහ පොලොව මතම ඉපදී මෙම ව්‍යාපාර ඒ ආකාරයෙන්ම පවත්වා ඔබ සියළු දෙනා සමග නැවතත් එක්වන්නේ යැයි ද එතෙක් අප හා ආ ගමනට මෙසේ තුති මල් කුසුම් පුදන බව සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරය ප්‍රාර්ථනා කර සිටියි."

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...

"ලෝකයේ අවසානයට ලං ව ඇති මේ මොහොතේ ඔබගේ දෙපා අනාදීමත් කාලයක් තිස්සේ සුරැකි ඩී එස් අයි සමූහ ව්‍යාපාරය මෙලෙස අප සියල්ලන් උපදින මතු අත් භවයක ද මේ ආකාරයටම දෙපා ලබා අපගේ විශ්වාසනීය පාවහන් මිළ දී ගෙන සමුර්ධිමත් නව ලොවක් තනන්නට අප හා එක්වන්නට වරම් ලැබේවා කියා මේ ප්‍රාර්ථනා ගෙනෙන්නේ ඩී එස් අයි සමූහ ව්‍යාපාරය!"

අවකාෂයේ
නිමක් නැති වූ
අඳුරෙන්
ආ වූ හිරැ කිරණයෙන්

නැගී...

පාවී ...

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...
පම් පම් පම් පම් පම්...

"මේ ලොව අවසාන හෝරා කීපයේ දී අප මේ සූදානම් වන්නේ අපගේ මකරා ලකුණ දරණ ඇස්බැස්ටස් ෂීට් පාවිච්චි කර හිසට සෙවණක් තනා ගනිමින් අපගේ ව්‍යාපාර කෙරෙහි ඉමහත් විශ්වාසයක් තැබූ ගනුදෙනුකාර භවතුන්ට ලබන්නා වූ මේ ලෝක විනාශයෙන් මතු උපත ලබන ලෝකයේදීත් අප හා එක්ව මේ ආකාරයෙන්ම ගනුදෙනු කරන්නට වරම් ලැබේවා කියා පැතුම් ගෙන එන්නටය. පැතුම් ගෙන එන්නේ මකරා ඇස්බෙස්ටොස්! ලෝකය විනාශ වුවත් මකරා ඇස්බැස්ටොස් ඉතිරි වේ!! "

කාලාත්‍රයේ...

කාලාත්‍රයේ...
පසු යාමයේ
රස පොලොවේ
ඇස ගැටී රත්හැල් රස වැටී
රත්හැල්ලේ රසවැටී
කය නැති හිත ගල් වී

ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...

"සූරූපී ලළනාවනි, ළඳුනි , වනිතාවනි මේ... ලොව විනාශ වන්නට පෙර ඔබ අත්විඳින අවසන් නිමේෂයයි. ඔබගේ පෙම්වතා ස්වාමියා අවසන් වරට ඔබ දකින්නේ මේ හෝරා කීපයේ දීයි. එම අවසන් හෝරා කීපය ඔබේ පෙම්වතාගේ ස්වාමියාගේ දෙනෙතට රසඳුනක් වන්නට මෙන්න වික්ටෝරියා සීක්රට් ලාංජරි දැන් ‍ඔබට ඉතාම පහසු මිලට! දෙකක් මිලදී ගත් විට නොමිලේ තුනක් ලබා ගැනීමට හැකි ස්ථාන... මාතලේ ෆැන්සි හවුස් -බුත්තල සාරි මන්දිර්- අගුණකොලපැලැස්සේ තමරා එන්ටර්ප්‍රයිසස්- දික්වැල්ලේ පමු‍ණුව ස්ටෝර්ස්- හාලි ඇල නිව් චින්තා ට්‍රේඩර්ස්....පිටකොටුවේ මනමෝදීනි විලාස් යනාදී දිවයින පුරා ශාඛා විසි හතකින් ... වික්ටෝරියා සීක්රට් සමගින් සුන්දර ලෝකාවසානයක්!"

පම් පම් පම්
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
පම් පම් පම් පම් පම්

ගුවන් විදුලි යන්‍ත්‍රයේ නිමක් නැති ලෝකාවසාන පණිවිඩ ප්‍රචාරයන්ට නොදෙවෙනිව රූපවාහිනී සේවා ද ලෝකාවසාන මොහොත ගැන විද්වත් සාකච්ඡා සහ විනෝද වැඩසටහන් මෙහෙය වන්නට උනන්දු වී ඇත්තේ සමස්ථ ජනප්‍රජාවගේ අවසන් හුස්ම පවා සැහැල්ලුවෙන් හෙලන්නට හැකි වන පරිදිය.

එක්තරා රූපවාහිනි චැනලයක් හදිසියේම ප්‍රචාරය කරන්නට ගත්තේ ලංකාවේ සිටින ධනවතුන් විසින් දුප්පතුන් කෙරෙහි ලෝකාවසානයේ දක්වන්නට යෙදුනු සිය අනුකම්පා සහගත සද්කාර්යයක් ගැනය. එනම් එම රූපවාහිනි වැඩසටහනට ඉදිරිපත් වන අයගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් ජයග්‍රහණය කරන්නන්ට ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්නට මෙම ධනකුවේරයන් සූදානම් වී ඇති බවයි. එම වැඩසටහනට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ඉඳුරුව ප්‍රසන්න ජයලත් නම් වූ විසි හතර හැවිරිදි තරුණයාගේ ඉල්ලීම වූයේ සිය පවුල සමග බකිංහැම් මාලිගාව බලන්නට යන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. වහාම ක්‍රියාත්මක වූ ධනකුවේරයෝ ඔවුනට පළමු පංතියේ බ්‍රිතාන්‍ය ගුවන්සේවා ටිකට් පත් ලබා දී ලෝකාවසානයට පෙර තිබූ අවසන් ගුවන් ගමනට එකතු කර එම සිහිනය සැබෑ කරගන්නට ඉඩ ඇරියහ . එම තරුණයා ඇතුළු පවුලේ සැම ඇඳිවතින්ම බ්‍රිතාන්‍ය බලා පිටත් වූයේ පවුලේ සියල්ලන්ම අන්දුන් කුන්දුන් තත්වයේ සිටියදී මය.

තවත් අයෙකු එම වැඩසටහනින් ජයග්‍රහණය කොට ඉල්ලා සිටියේ ජැක් ඩැනියෙල් ලීටර හතරේ බෝතලයකි. ඉතාම අපහසුවෙන් සිංගප්පූරුවෙන් වහාම ඩීඑච්එල් කර ගෙන්වා ගත් එම බෝතලය දැකුමෙන් කොස්වත්තේ සේනාරත්න සිහි විසංඥ නොවූවා පමණි. සත්‍ය වශයෙන්ම හැලි අරක්කු පෙරීමෙන් හෙම්බත්ව සිටි හෙතෙම ඉතිරි පැය දහය සිහි විසංඥ වනතුරු බොන්නේ යැයි කියා රූපවාහිනි විකාශ මධ්‍යස්ථානයෙන් පිටව සිය මිතුරන් සමග මග දිගට මධුපානය කරමින් කොස්වත්තට සේන්දු විය.

තවත් ජයග්‍රාහිකාවක් සිය ඉල්ලීම ලෙස ඉදිරිපත් කලේ රංජන් රාමනායක මහතා සමග ලෝකාවසාන සැන්දෑව ගත කරන්නට අවශ්‍ය බවය. එම ඉල්ලීම ඉටු කිරීමට කෙසේ හෝ උත්සාහ කළ යුතු වූයෙන් රංජන් රාමනායක සම්බන්ධ කරගැනීමට යෙදූ සියළු උපක්‍රමයන් අසාර්ථක වූ බැවින් සියළුම ධනකුවේරයන් ලජ්ජාවට පත්වී ඇගෙන් වෙනත් ඕනෑම වරමක් ඉල්ලන ලෙස බැගෑපත් වීමෙන් ගැටළුව සිවු ගුණයකින් වර්ධනය විය. මෙවර ඇය ඉල්ලා සිටියේ ශිහාන් මිහිරංග සමග සැන්දෑව ගත කිරීමට අවශ්‍ය බවයි. මෙයින් ද කැළඹුනු ධනකුවේරයෝ කරකියා ගත හැකි කිසිවක් නොවූයෙන් වැඩසටහන අතරමග නතර කර දමා දුප්පතුන් බයිට් කිරීමේ ලෝකාවසාන සංදර්ශනය ද නිමාවට පත් කළහ.

එම සුප්‍රසිද්ධ නාලිකාව සිය වැඩසටහන අතර මග නතර කර දැමුවද අනිකුත් තරගකාරී නාලිකා සිය වැඩසටහන් අඛණ්ඩව පවත්වන්නට යෙදුනෙන් සිය ඡායාරූපය මුද්‍රණය වූ රුපියල් දහසේ නෝට්ටු ද පාර්ලිමේන්තුවේ සෙංකෝලය හැරමිටියක් ලෙස ඇණ ඇණ යන්නට සිතැඟි වූ පරණ සමසමාජකාරයෙකු ද සිය සිහිනය සැබෑ කරගත්තේය. තවත් පශ්චාත් නූතනවාදියෙකුගේ ඉල්ලීමක් වූයේ සිය ජීවිතයේ අවසන් ඉල්ලීම ලෙස රාජාසනයේ වසුරැ හෙලන්නට ඇවසි බවයි. එම ඉල්ලීම ඉටු කරන්නට ඔහු සමග පිටත් වූ රූපවාහිනි කණ්ඩායම ලෝකාවසානයට පෙරම මරු දුටු බව එම රූපවාහිනියේම අවසන් පුවත් නිවේදනයේදී විකාශ විය.

බොහෝ අය පිරිත් සජ්ජායනා -සාමුහික බයිබල් සහ කුරාණ කියවීම් සහ ආගමික වතාවත්වල යෙදී සිටිය ද ගෝල්ෆේස් පිටිය පුරාම දක්නට ලැබුනේ විවිධ ලෝකාවසාන සංදර්ශනයන්ය. සන්ෆ්ලවර්ස්ලා ඉදිරිපත් කළ යුගන්ධර රාත්‍රිය සියල්ලන්ගේ චිත්තාකර්ෂනයට ලක්විය. සෑම ගීතයක් අවසානයේම අති විශාල අහස් වෙඩි දැවීමෙන් ලෝකාවසානයට අරුතක් එකතු කරන්නට ඔවුන් බොහෝ මුදල් වියදම් කර තිබුනි. සමහරුන් සාගරයේ නොගැඹුරු පෙදෙස්වල කුඩා බෝට්ටුවල නැගී සිටියේ එමගින් ලෝකය ගිනි ගෙන දැවෙන අවස්ථාවේ දී මුහුදට පැන එම ගිනි නිවා ගන්නට හැකිය යන විශ්වාසයෙනි. තවත් සමහරු විශාල බෝක්කු තුල ගුලි වී සිටියේ එමගින් තම දිවි රැකෙතැයි විශ්වාස ‍කළ හෙයිනි. සමහරක් වයෝවෘද අය මේ කිසිවක් ගණනකට නොගෙන එදිනෙදා කටයුතු වල යෙදී සිටියහ. ගෝල්ෆේස් පිටියේ තැන් තැන්වල තරුණ තරුණියෝ සිය සිතැඟි ලෙස අවසන් කාලය ගෙවමින් සිටියහ. ඔවුන් සමහරු බලාගත් අත බලාගෙන සිටි අතර සමහර ජෝඩු උමතුවෙන් මෙන් ඔවුනොවුන් සිප වැළඳ ලෛංගික අභිචාරයන්හි යෙදී සිටියහ. කිසිවෙකුත් කිසිවෙකු කෙරෙහි ද්වේශයක් වෛරයක් ඉරිසියාවක් නොවුනෙන් ඉමහත් සැනසිල්ලකින් ඔවුන් සියල්ලෝ සිය ජීවිත වල මෙතෙක් රැඳි ව්‍යාජ සළුපිලි උණා දමා අන්‍යොන්‍ය ප්‍රේමයෙන් වෙළී සිටියහ.‍

ගෝල්ෆේස් වෙරළ තීරයේ එක කෙලවරක අති දැවැන්ත එල්සීඩී තිරයක වි‍ශාල ඉලක්කම් වලින් ඉතිරිව ඇති කාලය තත්පර ගණන් වලින් දිස් වෙමින් තිබුනි. ඉඳහිට එම තිරයේ සටහන් වූයේ මෙම දැවැන්ත තිරය එම්ටීවී මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් සුවහසක් ලෝකාවසාන සංදර්ශන හිතකාමීන්ගේ පහසුව පිණිස තබා ඇති බවයි.

එදා රාත්‍රී අහසක් නොවීය. හරියටම ගණනය කර තිබූ වේලාවටම අහසේ සඳු පෙනුන මානයේ එතරම්ම විශාල ලෙස කහ පැහැති බෝලය දිස් වන්නට විය. ඒ සමගම මුළු අහසම රක්ත වර්ණ විය. ගිනි දළු දසත පැතිරෙන්නට විය.

තව අරක්කු බෝතලයක් මිළ දී ගන්නට සල්ලි සොයා බැංකුවක් කඩමින් හුන් ජිනදාසගේ ගෝනියේ වූ සල්ලි කොල ඔහුට පෙර අළු විය.


[විශේෂ ස්තුතිය උපුටා ගත් වර්ණ ගීතය වෙනුවෙන් නදීක ගුරුගේට නදීක ගුරුගේ/ඉන්ද්‍රචාප ලියනගේ/කසුන් කල්හාර යන අයවලුන්ට The Romantic Opera සීඩී තැටියට]

Wednesday, September 2, 2009

මහා ජල පාතනය


ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.
භාෂාවේ තර්ක ශාස්ත්‍රය ඉපදෙමින් සිටි සමයයි‍.

කාලය මැනීම පිළිබඳ අදහසක් කිසිම ප්‍රාණියෙකුට නොමැති වූයෙන් දරැවන් ද දෙමව්පියන් ද එකිනෙකා මතක නොතබාම ජීවත් විය. පරම්පරා අතර වෙනසක් ගැන ද කිසිවෙකුට කිසිම අවබෝධයක් නොවුනෙන් ‍පියවරැන් සමග දියණියෝද සහෝදරියන් සමග ස‍හෝදරයෝ ද පුතනුවන් සමග මව්වරැ ද අහඹු ලෙස උදා වූ සීතල රාත්‍රීන් හි අඳුරැ වන පෙත්වල අත්හැර දමා ඇති ගල්ගුහා වල සහ කිසිවෙකුත් විසින් නොලැග හුන් ගස් බෙනවල ද එකිනෙකාගේ උණුසුමේ දි සංවාස ගත වූහ‍. ඔවුනොවුන්ගේ ජනකාණුවල පැවැති ජීව රසායනික ගති ගුණ හේතුන් කරණ කොට ගෙන සුදුසු පරම්පරා පවතින්නට ත් නුසුදුසු විකෘති පරම්පරා සූන්නද්ධුලි වන්නට ද වූයේ චාල්ස් ඩාවින් ඉපදෙන්නටත් අවුරැදු මිලියන ගාණකට පෙරය. වැඩකට නැති එවුන් වඳ වී ගොස් වැඩකට උචිත එවුවන් පවතින්නට ද එය පසුකාලීනව නියමයක් වන්නට ද පටන් ගත්තේය. මිනිසුන් එකිනෙකා කිසිවෙකුගේ මුහුණක් මතක තියා ගන්නට උනන්දු නොවුනෙන් කිසිවෙකුත් කිසිවෙකුට ප්‍රේම නොකරන්නට වූයෙන් දරැවන්ට පියවරැන් මේ යැයි අදහසක් හෝ දරැවන්ට මව්වරැන් මේ යැයි අදහසක් නොවීය. ආහාරයට ගත යුතු‍දේ ගැන හෝ නොගත යුතු දේ ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නොවුනෙන් සමහරැන් පස් ගල් වැලි දැව සහ අසූචි ද අනුභව කලෙන් විවිධ අසාත්මිකතාවන්ට ගොදුරැව මි‍යැදුනේය. ඒ මළකඳන් එම ආහාර පාන පරිභෝජනය කළ තැන්වලම රැඳුනු අතර ඒවා කාබනික ප්‍රතික්‍රියා වලට ගොදුරැ වන්නට විය. ඒ අතර වන ළඳුවල තැනිතලාවල ගල් තලා මත මිනිසුන් හුදකලාවේ මියැදෙන්නටත් මියැදෙන මිනිසුන් ගේ කුණු වූ සිරැරැවලින් ගලා ගිය ඕජාවලින් සහ වායූන්ගෙන් පරිසරයම දුර්ගන්ධයෙන් වැසී යන්නටත් වූයෙන් සමහර මිනිසුන් අලුත් බිම් සොයා ඉබා‍ගාතේ සැරිසරන්නටත් ජලය ආශ්‍රිත ගං දෑලවල නැවතී ගිමන් හරින්නටත් වූයෙන් කුඩා මිනිස් කණ්ඩායම් සහිත ජනපද බිහි වන්නට විය. ඒ එක ජනපදයක ගැහැණියකගේ මුහුණුවර මතක තියා ගත් එක් මිනිසෙක් නැවත නැවත එම ගැහැණිය ම සංවාසයට ගන්නට වූයෙන් වෙනකෙකු හා එම ගැහැණිය සංවාස ගත වීම දකිනු නොරිසි වූ ඔහු ඇය රඳවනු වෙනුවෙන් සාමුහිකව වැටී හුන් ජනපද ගල් ගුහාවෙන් වෙන්ව සිය දෑත් භාවිතා කොට තනා ගත් නිවෙසක් ගස් දෙබලක නිර්මාණය කරගැනීමත් සමගම මිනිස් සංහතිය තර්ක ශාස්ත්‍රය අර්ථ ශාස්ත්‍රය සමගම ජ්‍යාමිතිය මෙලොවට ගෙන එන ලද්දේය. එයින් නොනැවතුනු ඔව්හු පොල්කට්ටක දිය පුරවා එම ජලය එහි රැඳී ඇති ආකාරය ගැන පරීක්ෂා කර මහ මුහුදේ ජ්‍යාමිතිය සසඳා තමන් ජීවත් වන මෙම පොලෝ තලය පොල්කට්ට්ක් මෙන් ගැඹුරක් ඇති පැතැලි බේසමක් යැයි තීරණය කලෙන් වෙන කවරදාකටත් වඩා සැහැල්ලුවෙන් ඔවුහි නින්දට වන්හ.

එක වගේ මුහුණු තිබූ සියළු මිනිසුන් විවිධ මුහුණු ඇති අය බවට ඉන් පසුව වෙනස් වන්නට පටන් ගත්තෙන් ද මතක තියා ගැනීම ආශ්වාදනීය චමත්කාරයක් බවට ඔවුනොවුන් පසක් කර ගනිමින් ද අනිත් අතින් ඔවුනොවුන්ගේ මුහුණුවල තිබූ විකෘතිතා නිසා එකිනෙක නොරැස්සන්නට ද තමන්ගේ යැයි පෞද්ගලික සීමාවක් පළමුවෙන් තම සිරැරෙන්ද දෙවනුව තම සිරැරට මදක් ඔබ්බට ද බල පවත්වන්නට ඔවුන් උත්සාහ ගත්තෙන් මිනිසුන් තමන්ට මරණය යැයි අදෘශ්‍යමාන දෙයක් පවතින බවත් එය කල් දමා ගැනීම යනු ජීවත් වීම බවත් තේරැම් ගත්තේය. වයසට යෑම යනුවෙන් දෙයක් එකිනෙකා ගේ රමණ උද්දාමයන් ක්ෂය වීමත් සමග ඔවුන් ක්‍රමයෙන් හඳුනා ගනී. රමණ උද්දාමයන්ගේ වෙනසට හේතුව අ‍හසේ විටින් විට පායා එන අතපානු දුරක නොවු ආලෝකමත් වස්තුව හේතුවෙනැයි ද එම වස්තුව නිසා කාලය උපදින බව ද ඒ කාලයේදීම මිනිසුන්ගේ ඔලුවෙන් එලියට බට දෙවිවරැ ගස් බඩ ගා රැක් දේවතාවන් බවට පත්වී මුහුණු වෙනස් වූ මිනිසුන් ගෙන් ගරැ බුහුමන් ලබන්නට ද පටන් ගත්තෙන් දෙවිවරැ යැයි සෝබනීය මුහුණු ඇති පිරිසක් ගස් උඩට වී පහල සිටින මිනිසුන් දෙස නිරන්ත‍‍රයෙන් බලා සිටින බවත් නොබෝ කලකින්ම සියලු මිනිසුන් විසින් තර්කාණුකූලව තේරැම් ගත්තේය. කාලය බොහෝ ඉක්මනින් ගෙවී යාමත් සමග ඔවනොවුන් හඳුනා ගැනීමට නම් භාවිතයට ඒමෙන් සියළු දේ සඳහා නිර්ලෝභී ලෙස නාම පද ලැබෙන්නට වූයෙන් ජ්‍යාමිතියේ පිහිටෙන් පොළව බෙදා ගැනීමේ අවශ්‍යතාවය ඇති විය. පොලවේ ඇසට අසුවන මායිමේ සියල්ලටම නම් සහ ගම් දෙන්නට සියල්ලෝ නොපසුබට වූහ. ගංගාවක් දෙගොඩතලා යද්දී සිය ගම් බිම් පමණක් නොව වගා කටයුතු කළ බිම් කට්ටි ද එතුවක් කල් සංවාසයට වෙන් කරගත් ගැහැණු ද නැවතත් තමන් සතු කර ගැනීමටත් වගා කළ ඉඩම් පොළව මත නැවත සළකුණු කරගැනීමට ඔවුන් කල්පනා කළ හෙයින් සිය සිරැරැවල තරමට ගැලපෙන ඇඳුම් ද ඉඩම් ද සකස් කරගත්තේය. හදිසියේ වනයෙන් එලියට ආ මොහොතක හිරැ අහසේ මුදුනේ දීප්තිය දෙමින් බබලන බව දර්ශනය වූවෙන් එදෙස නොබලන්නටත් බලනවා වෙනුවට ඊට හිස නමා සිටීමටත් ඔවුන් පුරැදු වූයෙන් ගස්වල ඉන්නා දෙවියන්ගේ ලොක්කා අහසේ ඉන්නා හිරැ බවත් හඳුනා ගන්නට අප්‍රමාද විය. සියල්ලට අධිපති හිරැ හෙයින් සැන්දෑවේ ඔහු විවේක ගන්නේ යම් සේද මේ මිනිසුන් ඔහුව අනුකරණයට නිර්ලෝභී වී නිදා ගැනීම සඳහා රාත්‍රිය වෙන් කරගත්තෙන් වඩාත් සැපසේ නිදිසුව විඳින්නටත් එම නිද්‍රාගත අවස්ථාවේ මැජික් දකින්නටත් ඔවුන් ප්‍රිය වූහ. මේ මැජික් වලට සිහින යැයි ඔවුන් නාමකරණය කලේ මිනිසා දුටු ප්‍රථම හීනයෙන් අවුරැදු ලක්ෂ ගාණකට පසුවය.

කාලයාගේ ඇවෑමෙන් ගේට්ටු තනන්නෙකු ජනේල සාදා එකිනෙකාගේ වත්කම් සමග හුවමාරැ කරගත්තෙන් ජනේල මිනිස් අවශ්‍යතාවක් බවටත් සියල්ලන් ශ්‍රමයෙන් උපයා ගත් සියළු දේ එම ගේට්ටුතනන්නා වෙතට එක් රැස් වීමටත් පටන් ගත්තෙන් ගේට්ටුතනන්නා ජනෙල් හිමියන් අස්වසනු වස් කාලය ගත වීමෙන් ශරීර වයසට යෑම මිථ්‍යාවක් බවත් සදාකාලික යෞවනෝදයේ රහස සිරැර පාවිච්චියෙන් තොරව පවත්වා ගැනීම බවත් කල්පනා කිරීමේ දි කායික ශ්‍රමය වගුරනවාට වඩා සිය දහස් ගුණයකින් ශරීරය පීඩාවට පත්වන බවත් පෙන්වා දීමෙන් පසු තමන් විසින් නිපදවන ලද ජනේල දිහා මුළු කාලයම යොදවා කල්පනා රහිතව බලා සිටීමෙන් සදාකාලික ජීවනයේ රහස තමන්ට අත් දකින්නට ලැබෙන බව කීමෙන් පසු එතුවක් ලෝකය පැතලි වස්තුවකැයි සිතා සිටි‍ මිනිසුන් මේ තමන් ජීවත් වන වස්තුව මතුපිට ගෝලාකාර බවත් මේ ගෝලාකාර බව හේතුවෙන් ලෝකය පුරාම තඹ කම්බි අතුරා මකුළු දැලක් නිර්මාණය කළ හැකි බවත් ඔප්පු කරගත් අතර ගේට්ටුතනන්නා ඉන්පසු මේ මකුළු දැල වියා සිය අධිරාජ්‍යය ස්ථාපිත කරගත්තේය. බහුතරයක් මිනිසුන් ඔහුට අනුව හුදකලාව අලස සුව විඳිමින් කල්පනා රහිතව කාලය ගත කිරීම තෝරා ගත්තේය.

ලෝකය ගෝලාකාර බව ව්‍යවස්ථාගත වූයෙන් කැළඹුනෝ සෑම ගංගාවක් අසලම ගොඩනැගුනු ජනපදවල සිටියෙන් ඔවුන් ඒ මොහොතේ සිට ඉමහත් භීෂණයක් ලොව පුරා පතුරන්නට කුරැල්ලන් අතේ සංදේශ ලියා යැවූහ. එම සංදේශයේ මෙලෙස ලියැවී තිබුනි.

ලෝකය මෙතුවක් කල් සමතලා වූ‍ හෙයින් ද එය මිනිස් වාසයට ආරක්ෂා සහිත ස්ථානයක් ව පැවතුනේය. එනමුත් අප කෙරෙන් දුරස්ථ වාසයේ ඉන්නා ගේට්ටුකාරයා විසින් ලෝකය ගෝලයක් බවට පත්කරන ලද්දෙන් මෙතුවක් ලෝ කුහරයේ රැඳී තිබූ මේ මහා සාගර ජලය කිසියම් මොහොතක මෙම ගෝලයෙන් ගලා ඉවතට යන බවත් එම අවස්ථාවට සූදානම් වන්නට නෝවා නම් පුදගලයෙක් සාදා ඇති නැවට සියල්ලන් එකතු විය යුතු බවත්ය.

මෙම මහා ජල පාතනයට හසුවන්නන් අභ්‍යවකාෂයේ ඈත අඳුරැ කෙළවර සදාකාලිකව සිරගත වන බවත් ඔවුනට යළිත් තම නෑ මිතුරන් දකින්නට වන්නේ මේ මහ පොලොව යථා පරිද්දෙන් පැතැලි වූ දිනයක බවත් වැඩිදුරටත් ‍එම සංදේශයේ කියැවුනි.

මෙය කියවීමෙන් සියල්ලන් භීතියට පත්විය. ඔවුහු කඳුමුදුන් සොයා සංක්‍රමණය වන්නට විය. ඔවුන් එතුවක් පාවිච්චි කරමින් හුන් ජනේල තැන තැන අතැර දමා වැටී තිබෙනු දක්නට හැකි විය. මින් ගේට්ටුකාර‍යාගේ ආදායම මන්දනය වීමෙන් ඔහු කුපිත වන්නට ගත්තේය. ඔහු සිය දියණියන් හට ගුගුලේය. දියණියන් වහා නෞකාවල නැගී සිවු දෙසට මුහුදු රකුසන් කෙරෙහි ගොදුරැවනු වස් සාගරගත විය.
මෙම ජල ගැල්මෙන් ගැලවීමට නෝවා ගේ සමතල ලෝක නැවට යනවාට වඩා ගෝලාකාර ජනේල ලෝකයේ හුස්ම හිරවී මැරීයාම ශ්‍රේෂ්ඨ බව කණ්ඩායමක් ස්ථිරව තීරණය කලෙන් ඔව්හු ජල ගැල්මට ඔරොත්තු දෙන බංකර විශේෂයක් අත් හැර දමන ලද ජනේල එකතු කර තනාගත්තෙන් නෝවාගේ නැවේ සාක්කිකරැවන්ට අතිශය ලජ්ජාවට පත් කරමිනි.

නෝවගේ සාක්ෂිකරැවෝ වහ වහා ළඟ එන ‍මේ ලෝක මහා ජල පාතනය ඔප්පු කරන්නට පර්යේෂණයක් සංවිධානය කළහ. ලෝක ගෝලයේ අනුරැවක් තනා එයට ජල බාල්දියක් වක්කිරීමෙන් සියළු ගංගා සහ කඳුමුදුන් දිය වී යන අයුරත් එනමුත් නෝවාගේ නැව එම ජල කඳමත පාවෙමින් ආරක්ෂා වන අයුරැත් පෙන්වා දීමෙන් අනතුරැව නිවුටන් හැර අන් සියල්ලෝම නිවුටන් අතැර නෝවාගේ සාක්කිකරැවන් අතරට එකතු විය. එම පර්යේෂණයේ සාක්කිකරැවන් ඔල්වරසන් දුන්නේය. ඔවුනට ලොව වටා රවුමක් යාමට ද මෙම ජලපාතනයත් සමග නොමිලේ අවස්ථාව උදාවන බව කීමෙන් සියල්ලෝ තම තමන් රැචි ආහාර ද්‍රව්‍ය තම්බා වියලා බෝතල් කරගත්තේ මෙම අපුරැ ලෝක සවාරියේදි හපා හපා යන්නටය. ඔව්හු සිතා සිටියේ තමන් වගා කරමින් හුන් ගංගා ද්‍රෝණි යනු මේ ලෝකයේ එකම වාටිය ලෙසය. දැන් වාටි අතුරැදහන්ව ඇති හෙයින් සියළු සාගර ජලය ඉවත් වීමෙන් යම් දිනෙක ඔවුනට ජීවිත කාලයටම කන්න අවශ්‍ය ආහාර භවබෝග එකවර වගා කර නිස්කලංකයේ ඉන්නට හැකි වනු ඇති බව නෝවාගේ නැවේ දිනපතා සූදානම් කර තිබූ සංදර්ශණයේදී වාමනයකු ලෙස වෙස්වලාගත් නරයකු රඟ දැක්වීය.

ඉන්පසු හුදකලා නිවුටන් අතිශය දුෂ්කර කාලයක් ගත කර සාගරවල මුහුදු ජල මට්ටම් මැන බලා එම මුහුදු මට්ටම ක්‍රමයෙන් ඉහල යන වග දැනුනෙන් ව්‍යසනය අත ළඟබව වටහා ගත්ත ද නෝ‍වා ගේ නැවට නැගීම ප්‍රතික්ෂේප කළේය.

බංකර පිහිටා ඇති සමහර තැන් හඳුනා ගත හැකි කෘතිම බුද්‍ධියෙන් යුත් චන්ද්‍රිකාවක් හදිසියේම කඩා වැටුනේ මේ ආකාරයට තමන්ගේ ඉඩම් කට්ටි නැවත සොයා ගනිමින් බිම් මිනුමෙහි යෙදී හුන් ගංගාවාසී කණ්ඩායමක් සිය උපකරණ අටවං හුන් තැනිතලා පෙදෙසකටයි.

ඔවුන් ගේ කණ්ඩායම පස්දෙනෙකුගෙන් සමන් විත වූයෙන් ඔවුනට ආහාර ජලය සහ බෙහෙත් ලෙස ගත හැකි ද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් වූයෙන් මෙම කඩා වැටුනු යන්ත්‍රය කෙරෙහි ඔවුනගේ අවධානය අවම විය. ඔවුනට යම්තම් ප්‍රමාණවත් වූ ආහාර තවත් කෙනෙකුට බෙදා ගැනීම උදෙසා ප්‍රථමයෙන් විරැද්ධ වූයේ නිවුටන් ය.

චන්ද්‍රිකාවේ අභ්‍යන්තරයේ වූ යන්ත්‍රය සිය සූර්යබලයෙන් ක්‍රියාත්මක වන අඩු පඩු විහිදා මරණාසන්න මිනිසෙක් මෙන් හොෂ් හොෂ් ගා හඩතලමින් ඒමේ අත වැනෙන්නට විය. නිවුටන් ඔවුන්ගේ ආහාර ගබඩා කර තබන ලද පොට්ටනි දෑතින් හැරෑ වලවල් තුලට ක්ෂණිකව ඔබා එමත වැලි අසුරන්නට විය. මැටි පුවරැවක සටහන් වු පිඹුරක් බලමින් හුන් ඇනසිගෝරස් ගෞතමදාස තවත් සගයෙකු වූ පෛතගෝරියානු නිමලසේන ට අතින් සංඥා කලේ සිටවා තිබූ ලී පොලු අතරින් ඇස් තබා එල්ලය ගෙන තවත් එබඳුම ඉන්නක් සිටවනු පිණිස ය.

ලෝක සාගර ජල පාතනය පිළිබඳ පර්යේෂණ කරමින් ලෝ වටා සංචාරය කළ මහාචාර්යවරයෙකු කුඩා දේ ලොකු කර බලන කණ්ණාඩියක් රැගෙන වෙරළ දිගේ ඇවිද ගිය අතර පොලවේ සිටවූ ඉන්නක් දුටුයෙන් ඒ නයිල් වාසීන් ගේ වටිනා බිම් මිනුම් උපකරණයක් බව සිය සටහන් පොතේ සටහන් කර ගත්තේය.

පොළව මත හිට වූ ඉන්න රැගෙන ගිය හෙතෙම එය කෞතුකාගාරයේ තැන්පත් කළ අතර සිය කලබලය නිසා තැනිතලාවේ දමා ආ කාචය සොයාගත් මිනුම්දොරැවන් එය සවිකර ආකාෂවස්තු නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් නිපදවා ගත්තෙන් තමා ව‍ටකර ඇති ලෝකය අති විශාල බවත් බිම් මැනීම නිරර්ථක ක්‍රියාවක් බවත් පසක් කර ගත්තේය.

මිනින්දොරැවන් ගේට්ටුතනන්නා ට අභියෝග කරමින් පොලවේ මහ හිලක් සාදා සියළු සාගර ජලය එතුලට දමා ආරක්ෂා කරගැනීමේ වැඩපිලිවෙලක් රහසිගතව ක්‍රියාත්මක කළ බැවින් හදිසියේ පොලව කැණීම් මධ්‍යයේ කළු දිය දහරක් මතුවීමෙන් සියල්ලන් පොලව කැනීම නවතා දමා එම කළු දිය දහර අධ්‍යයනය කරන්නට ගත්තේය.

වැඩිහිටියකු කීවේ එම කළු දිය දහර දෙවියන්ගේ අසූචි බවත් එය ශුද්ධ දෙයක් ලෙසත් කවදා හෝ ගේට්ටුතනන්නා මේ දීපංකරයට පැමිණ මෙය අයිතිකර ගන්නා බවත් මේ දෙවියන්ගේ දෙය මිල කළ නොහැකි බවත්ය.

කොලු ගැටයකු බාල්දියක් පුරවා ගත් දෙවියන්ගේ අසූචි එම මහල්ලාගේ හිස මත හෙලීමෙන් සියල්ලෝ ඔල්වරසන් දී එම බොර‍ තෙල් ස්නානයට පටන් ගත්හ.

විශ්වයේ කෙළවර තමාට යා නොහැකි තැනක සියළු සත්‍ය සැඟවී ඇති බවත් එය කවදා හෝ තමන් හෙලි කරගන්නා බවත් කියමින් මිනින්‍ ‍දෝරැවන් තරගයට මෙන් අහස නිරීක්ෂණය ට අර දුරේක්ෂය භාවිතා කළ අතර ඔවුන් තමන් සිටි තැන සිට නුදුරින් දුටු කන්දේ මුදුන විශ්වයේ කේන්ද්‍රය බව වටහා ගත්හ. තවද සාගර ජල පාතනයෙන් නෝවා ගේ නැවේ ඉන්නා අයට ලොව වටා රවුමක් යන්නට ලැබුන ද අර සියළු සත්‍ය සැඟවී ඇති විශ්වය කෙළවරට යාමට කවදාවත් අවකාෂයක් නොලැබෙන බව දැන ගත්තෙන් ජලපාතනයට මුහුණ දීමට ඔවුහු උද්යෝගී වූහ. සියළුම රාත්‍රීන් හිදී අහස සියුම්ව නිරීක්ෂණය කළ ඔවුහු සාගර ජල මට්ටම් ඉහල යන්නේ විශ්වයේ සිට ජලය මහ පොලවට කාන්දු වන හෙයිනැයි ද නිගමනය කරමින් එම කාන්දුව සිදුවන අහසේ ඉම සොයන්නට වන්හ. තව ද ඉහට උඩින් පේන තරැගොන්නේ එක තරැවක් කවදාවත් සෙලවුනේ නැති හෙයින් එය එල්ලේ දෙවියන් සිටින බවත් එය කන්ද උඩින් පෑයූ බවත් එයට උතුර තරැව යයි කියන්නට ද ඔවුන් සියල්ලන් එකඟ විය. කඳු මුදුන ආශ්චර්යමත් ස්ථානයක් බවට පත් විය. එය නැරඹීමට කඳු තරණය කර යාමට කාලය වෙන්කර ගත් ඒ උදවිය ඉන්පසු එහි හිරැ දෙවියන් ද වර්ෂයකට දින හැටපහක් ද ඇති වග සොයා ගත්තේය.

ඉන්පසු කැලැන්ඩරය මිහිමත සෑම ගහක වැලක කොලයකම ලෙල දෙන්නට විය. කාලය වෙනදට වඩා වේගයෙන් ගෙවෙන බව කාටත් වැටහුනි.

කැලැන්ඩරය ලැබීමත් සමග මිනිසුන් හඩන්නට ද සිනහ සෙන්නට ද පුරැදු විය‍.

හඩන්නට වූයේ කිසිම ඉතිරියක් නොකර ම දින ගෙ‍වී යන බව තේරැම් ගිය හෙයිනි.

සිනහ සෙන්නට වූයේ ඊළඟට ඔවුන් ඔරලෝසුව නිපදවන බව දැන සිටි හෙයිනි. කාලය සූක්ෂමව මනින්නට වූ තරමටම තමන් ගේ ආයුෂ වැඩිවන්නේ යැයි තර්කාණුකූලව ඔව්හු වටහා ගත්හ.

ඔවුන් දෙපිලම බලාපොරොත්තුවෙන් හුන් මහා සාගර ජල පාතනය තවමත් සිදු නොවීම ගැන දෙගොල්ලන්ම වික්ෂෝභ විය. කාලය මැනීමට පරමාණු ඔරලෝසුද නිර්මාණය කරගත් ඔවුහු නැව වෙනුවට ආකාෂ යානා තනා ගෙන කල් බලමින් සිටින්නට වූහ.


030909

Saturday, August 29, 2009

ඊවා ලූනා සහ අනුර

ඊවා ලූනා සහ අනුර


මරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද?

නැත. කවදාවත් අවශ්‍ය නැත.

හොඳයි මේ කතාව අහන්න.

අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දි‍යට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය කකුලක් රොට්ටි වෙච්ච සුගන්ධිකා කවුරැත් පිට වෙලා ගියාට පස්සේ හෙමින් හෙමින් තාත්තා බයිසිකලෙන් එනතුරැ පංතියේ ළමයි ශ්‍රමදානෙන් හදාපු පොල් අතු පැලළි බස් හෝල්ට් එකට පියනගමින් පාරේ ඈත බලාගෙන ඉද්දි. සුගත් සර් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ ආර්ථික විද්‍යාව උගන්වන්න, ඒත් වැඩිපුරම ළමයි ආකර්ෂණය වුනේ සර්ගේ කලිසම් ෂර්ට් වලට ගැලපෙන විදියටම පාවිච්චි කරපු කාර් නිසා සහ සර්ගේ බිරිඳගේ වෛවාරණ අඩ නිරැවත් යැයි කොල්ලන්ට තේරැණ විලාසිතා එක්ක පංතියෙ ඉවර වෙද්දී ෂොපිං යන්න එයාගේ වැඩකාරි එක්ක සර් එලියට එනකම් පංතිය දොරකඩට වෙලා කොක්හඩ ලලා බලං ඉන්න එක බලන්නත් එක්කයි. කෙල්ලො සර් ගේ වාහන වලට ආකර්ෂණය වෙද්දි කොල්ලෝ සේරම, සර්ගෙ පංතියකදිම සර්ට මුණ ගැහුණු ශිෂ්‍යාවක වූ, කාමුක දෙවඟනට- ඊළඟට සර්ගේ නීත්‍යානුකූල බිරිය බවට පත්වූ නාඹර ඈ රෑ සිරියත් -අර්ධ මමියක් සේ දිස්වන සර්ගේ රෑප අසෝබාවත් හෙයින් කිසියම් මොහොතක මේ පංතිවල ඉගෙන ගන්නට එන කජුකිරි කොල්ලෙකුට ඈ පෙම් කරන්නට පටන් ගනු ඇතැයි යන සැකයෙන් මුසපත් වෙති. ඇය දැක ගැනීමේ සාංකාවෙන් පංති ඇරෙන තුරැ සිටියත් කිසි දිනෙක ඇය පැමිණියේ කිසියම් රටාවකට නොවීම කොල්ලන් අතර රහසිගත ඔට්ටු ක්‍රීඩාවකට මග පෑදුවා. සුගත් සර්ගේ පංතියට අනුර එකතු වුනේ කවද හරි සර්ගේ පන්තියේ ටික්කා රස්සාව වත් ලබා ගන්න හිතාගෙන වුනත් පුළුවන් තරම් දවසක් ටික්කන්ගේ පස්සපාරේ වැටිලා කාඩ් නොගෙන පංතියට රිංග ගන්නට අනුර බො‍හෝ මාසවල දී සමත් වූයෙන් ටික්කා රස්සාවට අදාල තමන් වැනිම තවත් අනාගතේ බිහිවිය හැකි එවුන් ගැන මතක් වීමෙන් ඒ රස්සාවේ අමාරැකම ද වටහා ගනිමිනි. සුගත් සර්ට ටිකට් මාර්ක් කරන්න ටික්කෝ හත්දෙනෙක් හිටියා වුනාට එවුන් එකෙක්වත් සුදුසුකමක් තිබ්බ නම් ඒ ඒ වැඩේට අදාලව නම් නොවන වග අනුර ගොඩක් කල් ඉඳලා නිරීක්ෂණයෙන් පසු උන් වැඩියෙන් දක්ෂ වුනේ කෙල්ලන්ගේ පස්සවල් දිහා බලන්නට යැයි ලොකු අකුරෙන් ටික්කන්ගේ මුර කූඩුවේ චෝක් කෑල්ලකින් ලියා තබන හැටි අනුර හැමදාම හීනෙන් දැක්කා. ඒ අයට අලුත්ම මෝටර් සයිකල් තිබ්බා. ඒවායේ නැගලා ටික්කෝ පන්ති පටන් අරං පැය බාගෙකින් සර්ගේ කෑම බීම සහ අනෙකුත් පන්තියේ ළමයින්‍ට බෙදන ටියුට් මිටි- ෆයිල් මිටි අරං එන්න කඩිමුඩියේ යන හැටි අනුර පංතියේ ලෑලි අස්සෙන් බලං හිටියේ වාඩි වෙන තැන හරියටම බංකු පේලියේ කෙළවරක වූ නිසා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවට වඩා ආර්ථික විද්‍යාව උගන්වන ගුරැතුමාගේ වැටුපට වැඩ කරන ටික්කෙක් වීම උචිත බව අනුර කල්තියාම තීරණය කරල තිබ්බා. කොහොමත් වහල දාලා තිබ්බ විශ්ව විද්‍යාලවලට ගියා යැයි කියා මොන තරම් කාලයක් රස්තියාදු වෙවී ඉන්නට සිදුවන්නේ දැයි කනින් කොනින් නිතරම අසන්නට ලැබුනු නිසාවෙන් ඒ ගැන අනුරට හාංකවිසියක වුවමනාවක් නොතිබ්බේය.

අනුර ගෙදර ආ ගමන්ම කලේ නවත්තපු තැනින් නවකතාව කියවන්න ගත්ත එක, ඒ මොකද වෙන කිසිම දෙයක් කරන්න හිත නොදුන්න නිසා සහ නවකතාවේ තිස් හත වැනි පිටුවෙන් පස්සේ විස්තර වුන සෑම සිදුවීමක්ම දෑස් අභියස මැවී පෙනෙන්නට පටන් ගැන්ම නිසා ගෙදර වෙන කිසිම වැඩක යෙදෙන්න ගිය සෑම වෙලාවකම අම්මාගෙන් බැනුම් අහන්නට සිදු වුන නිසා. එදා රාත්‍රියේ කතාව නැවතුන තැනින් ...පටන් ගත්තා.

"පිඟන් මැටියෙන් කළ පෙට්ටි පුළුන් පිරැවූ සත්තු බෝනික්කන් සහ ඇගේ විවේක කාලයේ දී ඈ එම්බ්‍රොයිඩර් කළ කොට්ට විනෝදාංශයක් වශයෙන් ඈ එකතු කළාය. ඇගේ මුළුතැන් ගෙය නා නා ප්‍රකාර ආම්පන්න ප්‍රදර්ශනය කළ ප්‍රදර්ශනාගාරයක් බඳු විය‍. ඒ හැම ආම්පන්නයක්ම ඈ පාවිච්චියට ගත්තාය. ඈ මස් මාංසයෙන් වැළකුණත් හාවකු සේ කෑවේ ස්වල්පයක් වුවත් ඉවුම් පිහුම් කිරීම ඈට ආස්වාදයක් විය. සත්ත්ව මසක් ඈ සැලකුවේ මාරාන්තික වස විසක් සේය. එය මහා සෘෂිවරයා ගෙන් ඈ උගත් බො‍හෝ පාඩම් වලින් එකකි. මේ මහා සෘෂිවරයා ගේ ඡායාරෑපය ඇගේ විසිත්ත කාම‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ඇගේ ජීවන මඟ වූණේ ඔහුගේ දර්ශනය යි. ගණිතය මාර්ගයෙන් දේවාලෝකය ලැබූ සාන්තුවරයකු වූ ඔහු සිනාසෙන මුත්තකු බඳු විය. විශ්වය -ඊටත් වඩා ජීවින් -පාලනය කෙරැණෙ ඉලක්කම් වල බලයෙන් බව පයිතගරස් ගේ සිට අද දක්වා ඇති කරගත් සක්වළ ඥානයේ ධර්මතාවන් ගෙන් බව ඔහු පෙන්නුම් ‍කළේය. කෙසේ වෙතත් අනාගත වේදය හැදෑරීමට පළමු වරට අංක විද්‍යාව සංඛ්‍යානය භාවිත කළේ ඔහුය. "

අනුර පොත වසා දමා හිස ඔසොවා බලත්ම මිමී ඔහු අසලින් වූ ඇඳේ වාඩි වී බලා සිටියාය. දේව මායාවක් දැයි මොහොතකට සිතෙන තරමට ඇය රෑමත්ය. කාමරයේ අන්ධකාරය තුල මේසය මත වූ කඩදහි කෝප්පයකින් ආලෝකය මන්දනය කර ආවරණය කළ ඉටිපන්දම් හතලිහේ මේස ලාම්පුව හැර වෙන යම් ආලෝකයක් නොවූයෙන් මේ ඉන්නා ගැහැණිය මායාවක් ද හොල්මනක් ද සැබෑවක් ද යනුවෙන් ස්ථිරව බලා ගැනීමට ප්‍රමාණවත් නොවූවෙන්, තැති ගැන්මෙන් ද සිය පිරිමිකම හේතුවෙන් හඩා දොඩා යටි ගිරියෙන් කෑ ගසා හූ කියා මුළු ගෙදර දෙවනත් කරන්නට ද නොහැකියෙන්, අනුර ඇසිපිල්ලමක් නොසොල්වා මිමී දෙසම බලා ඉන්නට විය.

"ඔයා ඇයි මාව ඊවාගෙන් වෙන් කළේ? "

මිමී ඉතාම පහත් ස්වරයෙන් තූෂ්ණිම්භූතව සිටින අනුරගෙන් ඇසුවාය. අනුරට මේ කිසිවක් වටහා ගැනීමේ පියවි සිහියක් නොවුනි. අම්මා රාත්‍රී පාඩම් කරන වේලාවට සාදාගෙන එන තේ කෝප්පය මේ දැන් කොයි වේලේ හෝ කාමරයට රැගෙන එනු ඇති වග ඔහුට මතක් වූයෙන් මේ සුරෑපි නළඟන දැකුමෙන් විය හැකි අලකලංචිය එකවරම සිහියට ආවෙන් මිමී යනු තව දුරටත් පොත ඇතුලේ චරිතයක් නොවන වග සාක්ෂාත් කරගත්තේය.

"මම ඔයා‍ව කාගෙන්වත් වෙන් කළේ නැහැ. දැං ආයෙම පොත ඇතුලට යන්නේ කොහොම ද? මෙහෙම හිටියොත් අපේ අම්මා දකීවි. මහ විනාසයක් වෙනවා සත්තයි... ඔයා‍ ඇත්තටම කතා පොතෙන් එලියට ආවේ කොහොම ද? මම කියව කියවා හිටියේ ඔයා ගැන තමයි... ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම පොතෙන් සැබෑලෝකයට ඔයා‍ ඒවි කියලා. හපොයි! මම කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලත් නැහැ... මේ දැනුත් මම ඉන්නේ පියවි සිහියෙ හොඳ එකෙන්... මට කියන්න ඔයා මායාවක් ද? නැත්නම් හොල්මනක් ද?"

"මම මායාවක් වත් හොල්මනක් වත් නොවෙයි. ඔයා දන්නවනේ මහා සෘෂිවරයා කියල තිබ්බ විශ්ව රහස් විදියට ඕනෑම ‍පොතක් කිසියම් නිශ්චිත වාර ගණනක් කියැවුනාට පස්සේ එන ඊළඟ කියවීමේ දි මේ චරිත වලට සැබෑලෝකයට එන්නට වරම් ලැබෙනවා. ඒක විශ්ව රහසක්...ඒක දන්නේ මහා සෘෂි විතරයි... "

මිමී දෑස් පුංචි කරගෙන දිගටම කතා කරගෙන ගියා. ඇය පවසන ආකාරයට සෑම පොතකම පළමු පරිච්ඡේදයේ පළමු වැකියේ පළමු වචන හත තුල ඇති විශ්ව රටාවට අදාල සංඛ්‍යා විශේෂයක් නිවැරදිව හඳුනා ගැනීමෙන් එම සංඛ්‍යාවට සමාන වාර ගණනක් පොත කියවීමට ලක් වූ විට එම පොතේ චරිත වලට සැබෑ ලෙසම ජීවය ලබන බවත් ඒ ජීවය ලද චරිත අත්‍යවශ්‍යයෙන්ම එහි කතුවරයාගේ සිතේ මැවුන ආකාරයේම අයවලුන් බව ද ඇය දීර්ඝ ලෙස පැහැදිලි කළා.

"හොඳයි ...මට නම් මේක විශ්වාස කරන්න හරිම අමාරැයි...ඒත් කවුද මේ පොත කියවන වාර ගණන සටහන් කරන් ඉන්නේ ...හරියට උඩ ඉන්න දෙයියෝ අපි කරන කියන දේවල් බලං ඉන්නවට අමතරව කවුරැන් හෝ ලියා පළ කළ පොත් කී වාරයක් ලෝකයේ වෙනත් අය කියවනව ද කියලා වාර්තා පවා තියා ගන්නව ද? මට නම් හිතා ගන්න බැහැ...මහ විශාල දත්ත ගබඩාවක් ඕන වෙනවා ඒ තරම් ‍තොරතුරැ එක් රැස් කරන්න... "

මිමී ඊට පිළිතුරැ දීම වෙනුවට අම්මා පැමිණියොත් පළා යන්නේ කොහෙටදැයි විමසන්නට විය. එමෙන්ම තමා වැනි වූ ලිංගවිපරිතයන් හඳුනා ගැනීමට පරිපූර්ණ ගැහැ‍ණියකට මහ වෙලාවක් ගත නොවන වගත් ඈ අනුරට අවධාරණය කළා.

"කලබල වෙන්න එපා. ඔයා දැං ඔය පොත් කබඩ් එක පිටිපස්සට වෙලා ඉන්න. හෙට උදෙන්ම අම්මා වැඩට ගියාට පස්සේ මා එක්කල එලියට යමු... ඒක නොවෙයි දැං ඔයා විතර ද ඉන්නේ ? මෙහෙම සැබෑ‍ ලෝකයට ඇවිත් මොනවා කරන්න ද සූදානම? ඒ ගැනත් සෘෂිවරයා කියල තියෙනව ද? කතන්දර ප්‍රබන්ධවල ඉන්න අය සැබෑ ලෝකයට ඇවිත් ජීවත් වෙනව ද? එහෙම ආව අය තව ඉන්නව ද? මට හරිම පුදුමයි! "

"මිනිස්සු පොත් ලියන්නේ මොනවට ද? පොත් ලියන්නේ ඒවායේ එන පරමාදර්ශී චරිත හරහා යම් දිනෙක යථාලෝකයෙදි මේ ලෝකය උත්තර මිනිසුන්ගෙන් පුරවාලන්න අවශ්‍ය දිරිය සහ ශක්තිය ගෙනෙන්නයි...දැං මේ කතාවේ ඊවා තමයි ඔයා...ඊළඟ පරිච්ඡේදය කියවන්න ගියොත් ඔයා ගැහැණියක් වෙනවා...ඒ තමයි ඊවා. "

"මොනවා? මම ගැහැණියක් වෙනවා? දෙයියනේ...! මම තවත් මේ කතාව කියවන්නේ නැහැ. මට ඊවා වෙන්න බැහැ. ඇයි දෙයියනේ මම මේකට ගෑවුනේ? මම අහිංසකයෙක් මිමී...මට ලොකු හීන නැහැ...මම හිටියේ කවද හරි ටික්කෙක් වෙන්න. ඊවා කෙනෙක් වෙන්න නොවෙයි...බැරි වුනාද මේ තරම් බලසම්පන්න විශ්ව රහස් ක්‍රමයට අඩු ගානේ ඒ නිවැරදි සංඛ්‍යාව එලඹෙද්දී ඒ කතාව කියවන්න ඊවගේ වයසට ගැලපෙන කෙල්ලක් අතට මේ පොත පත් කරන්න? මට ඊවා වෙන්න නම් මේ කපේදී බැහැ. මම අනුර! සුගත් සර්ගේ අනාගත සුවච කීකරැ ටික්කා- අනුර!! "

"දැං ඔයා පොතේ ඉන්න ඊවා වෙන්නත් අකමැති නම් සේරම කනපිට තමයි සිද්ධ වෙන්නේ...
ඔයා දැනටමත් බෝම්බ පාර්සල් හිරගෙදරට සපයලා ඉවරයි අනුර... ඔයා දැං කොහොමත් පරිස්සම් වෙන්න ඕන. කොයි මොහොතක හරි රාජ්‍ය හමුදා ඇවිත් ඔයාව කුදලං යනවා ඒකාන්තයි!"

"හත්වලාමේ! මම මේ කතාව කියෙව්වා තමයි...ඒත් කවදාවත් මම ඔය දේවල් වලට කිසිම සම්බන්ධයක් නැහැ...ඔයා දන්නව ද මිමී මේක ශ්‍රී ලංකාව...ඔයාගේ මහා මැවුම්කරැ ඉසබෙලාගේ ලතින් අමෙරිකාව නොවෙයි...මෙහේ සිද්ධ වෙනවා විප්ලවයක් වගේ දෙයක්...ඒත් මළ ඉළව්වේ මම ඒකට කිසිම සම්බන්ධයක් නැහැ...මම උසස් පෙළ විභාගයට ලැහැස්ති වෙනවා විතරයි...හැම තැනම මිනිස්සු ඝාතනය වෙනවා... මොන මොන පැත්තෙන්ද කියන්න දන්නේ නැහැ...හැමදාම හැම ගංගාවකම ඉදිමෙච්ච මළකඳන් පාවෙලා යනවා...රාත්තිරිය එලිවෙන්නේ ගම් බිම්වල බිහිසුනු ඝාතන සිද්ධ වෙලා...මිනී ඔලු වැටවල් වල ගහලා...දඩුවම් විඳලා ලෙයින් ජීවි‍තයෙන්... මිනිස්සු ටයර් සෑයවල්වල ගිනි බත් වෙලා ...බලු කපුටන්ට ගිය මළ කඳන් තැන තැන...ඒත් මිමී මම ඔය කිසි දේකට සම්බන්ධ නැහැ...දෙවියනේ දැං මම බෝම්බ ගෙනිහිං දීල ද?"

මිමී දෑස් දල්වන් අනුරගේ කතා අසා සිටියාය. ඇයට අබිසරැලියන්ගේ කැරැල්ල මතක් විය.


"ඔව් ...අනුර ඔයා එක්කෝ කතාවේ ඉතිරි ටික කියවලා රොල්ෆ් කාලේව මුණ ගැහෙන්න... "

"ඒ මොකට ද? එයාට මගේ දෛවය වෙනස් කරන්න පුළුවනි ද? මම දන්නේ රිචඩ් ඩි සොයිසා විතරයි එහෙම මාධ්‍ය වේදියෙකුට...ඒත් ඒ මනුස්සයට ‍මොනව වෙයිද කියල කියන්න දන්නෙත් ඔයාගේ මහා සෘෂිවරයා වගේ කෙනෙකුට විතරයි...මේ තමයි 1988 ... බියකරැම යුගය ලංකාවේ!"

"ඇයි දෛවය වෙනස් කරන්නේ ? ඊවා ලූනා අහුවෙන්නේ නැහැ නේ හමුදා අතට...?? නමුත් ඔයාට පුළුවනි මැරෙන්න ඉස්සර එක වතාවකට හරි ඔයාගේ කතාව කවද හරි මිනිස්සු අතරට ගෙනියන්න රොල්ෆ් කාලේ හරහා...ඒ වගේ මාධ්‍යවේදීයෙක් හරහා"

"මිමී ඔයාට හොඳටම පිස්සු...මිනිහෙක් වෙලා කාලයක් ජීවත් වෙලා ගැහැණියක් වුනාම ඔයාට ඔය වගේ දේවල් හිතෙනවා වෙන්නැති...නමුත් මිමී ...මම කවදාවත් ඊවා ‍ලූනා වෙන්නේ නැහැ නැහැමයි...ඒක ප්‍රබන්ධයක්...අනිත් අතට මේක ලංකාව...මම ඔය බෝම්බ වැඩේට සම්බන්ධ නම් දැං මගේ වළ කපා ගන්න එකයි කරන්න ඕන...ගැලවීමක් නැහැ...මම කො‍හේ කියල හැංගෙන්න ද? මේක පුංචි රටක් මිමී...අනිත් එක සෙල්ලමටවත් මම විප්ලවවාදියෙක් නොවෙයි! "

"ඒත්... මේ බලන්න අනුර...මේ පොතේ පිටු අඩුයි... "

"ඔව්. මේක මම ගත්තේ මහජන පුස්තකාලෙන්...කරන්න දෙයක් නැහැ...පොත් කියවල පිටු ඉරා ගන්න නපුංසකයෝ තවත් එකෙක් ගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැහැ...උන් මේ පිටු ඉරා‍ නොගත්ත නම් මට තව දවසක් හරි ජිවත් වෙන්න තිබ්බා...කමක් නැහැ...පොත්වල පිටු ඉරන නපුංසකයන් බංග වේවා! මම මරණයට සූදානම්!! "