Monday, March 1, 2010

මහාමාරි‍යේ කුමාරයා

මහාමාරි‍යේ කුමාරයා ”මිනිස්සු නොපෙනෙන්න පටන් ගත්තම මම මේ රට පාලනය කරන්නේ කොහොම ද? අඩුම තරමින් රටේ පාලකයා වශයෙන් මම වත් රටේ මිනිස්සුන්ට පේන්නේ නැත්නම් කොහොමද මිනිහෝ මම මේ රට පාලනය කරන්නේ? මමවත් නොපෙනී යාමෙන් වලක්වා ගන්නට ක්‍රමයක් නැද්ද?”

රාජ්‍යයේ මුහුදු බඩ ප්‍රදේශ වල වාසය කරන මිනිසුන්ගේ අත්වල සහ පාවල නියපොතු මැකී යාමක් හදිසියේ සිදුවූයෙන් ඉමහත් ත්‍රාසයට පත් ගැහැණුන් සහ පිරිමින් ගෙන් රෝහල් පිරී යාමත් සමග තත්වය උණුසුම් වී පැය විසිහතරක් ඇතුලත ඔවුන්ගේ නියපොතු පමණක් නොව ඇඟිලි වල මුදුන් වලින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි ද නොපෙනී යන්නට පටන් ගත්තෙන් ඊයේ පෙරේදා සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බවට තිබූ එකම සාක්ෂිය වූ වම් අතේ සුළැඟිල්ල මුළුමනින්ම අතුරුදහන් විය. ඉන් පසු සැමටම සිතීමට සිදු වූයේ තම තමන් දුන් ඡන්දය වෙනුවෙන් උසාවි ගානේ ගොස් ඡන්ද පෙත්සම් වෙනුවෙන් පෙන්වා සිටින්නේ කුමන ඇඟිල්ලද යන්න කෙසේ වුවත් ඔවුන්ගේ සිරුරෙන් ඉවත් වෙමින් පවතින අවසාන කොටස මෙය නොවිය හැකි යැයි ඇති වූ කුකුසෙන් මත්ව සියල්ලෝ අලුත් ආණ්ඩුව දෙස බලාගත් වනම ඉන්නට වූයෙන් රජය ඉමහත් අසීරුතාවයට පත් වීමෙන් වලකා ගැනීම උදෙසා රාජ්‍යයේ සිටි ඉහළම විද්වතුන් මහා සම්මේලනයක් කැඳවා මීට පිළියම් සොයන්නට කටයුතු කරන්නට පටන් ගත්තේ රජවාසලේ සිවු දෙසට හමුදා බල ඇණි විස්ස බැගින් ද ඇණියකට සෙබළුන් හාරසියක් එකතු කොට අට දහසක් භටයන් යොදවා වටකර සන්නද්ධ කරවා ආරක්ෂාව තර කර වාසලාභ්‍යන්තරයේ පැවැත්වූ දින දහ හතරක අඛණ්ඩ පිරිත් සජ්ජායනාවසානයේ ය. පිරිත් සජ්ජායනය අතරතුර ද එහි වැඩ සිටි භික්ෂූන්ගේ පවා අතැඟිලි ක්‍රමක්‍රමයෙන් මැකී ගියද ඔවුහු එය නොතකමින් පරිත්‍රාණ දේශනය අඛණ්ඩව පවත්වන්නට වූයෙන් හමුදා බලකුරු මැද්දෙන් මෙම සිරුරු මැකී යාමේ අභිරහස් වෛරසය හෝ බලවේගය රිංගා ගියේ කෙලෙසක දැයි කිසිවෙකුටත් දැන ගැනීමට නොහැකි වූයෙන් බොහෝ පිරිමි අය සුළු දිය කටයුත්තකට ඉතාලියානු වැසිකිළි පෝච්චි වෙත සිය ශිෂ්ණය මුදන්නට බලද්දී එය ද මධ්‍යය ඉක්මවා නොපෙනී යාමට පට‍න් ගෙන ඇති බව දැනුනෙන් වහා අතිශය විශාල උදරයන් සහිත මැති අමාත්‍යවරු තම ලේකම්වරු ලවා තමා‍ට නොපෙනෙන තම රහසඟ මැකී යාමේ රෝග‍යට තමන් ගොදුරු වූයේ දැයි යුහුසුළුව සොයන්නට ගත්තෙන් පිරිතේ මධ්‍යය පසු වූවාත් සමගම රජ වාසල බිහිසුනු‍ වසංගතයක පැතිරුමක සේයා මවමින් මහාමාත්‍යාදීන් තම මළානික සහ මරාන්තික බිය මුසු මුහුණු වසං කොට ගෙන සජීවි විදුලි කම්බි වැටවල්වල පැටලී හුන් හේන් පාළු වල් අලියන් මෙන් පැද්දෙමින් ද හුරුවන් බාමින් ද එකත්පස්ව රජු අභියස පෙළ ගැසී ඉන්නට විය.
පිරිත අවසානයේ මහ රජුන් ගඳකිලියට හැරෙද්දී සියළු මැති ඇමැතිවරු සීරුවෙන් ඔහු දෙස බලා සිටින්නට විය.

“මොන විද්‍යඥයොද කියන්නේ මේ කතා? ගෙන්වනවා අර පොන්න... පොන්න... කවුද බං අර අපේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයා .... බැසිල් පොන්නම් පෙරුම නේද?”

“රජතුමනි බැසිල් පොන්නම්පෙරුම නොවෙයි සිරිල් පොන්නම්පෙරුම.”

“හරියට හරි! මිනිහව ගෙන්වනවා ඉන්න මොන ලෝකෙකින් හරි. මේවා කතා කරන්න ඕන උඹල වගේ මී හරක් එක්ක නොවෙයි ඒ විෂය දන්න මිනිහෙක් එක්ක. දන්නවනේ මගේ හිත අවුල් කරන්න එපා. මගේ හිතේ හැටියට හැම දෙයක්ම වෙන්න ඕන. තේරෙනව නේද? මගෙන් එක එක ප්‍රශ්න අහල හිත කරදර කරවන්න එපා. සේරම වැඩ මගේ හිතේ හැටියට වෙන්න ඕන. භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. ඒවා වියදම් කරල මගේ හිතේ හැටියට වැඩ කරපල්ලා. මගේ හිතේ නිස්කලංකේ නැති කරන්න එපා. හැමදේම මගෙන් අහන්න එපා. දැං යනවා. ගිහිං අර යෝධයව අඩගහං එනවා. මේ නොපෙනී යන මළදානේ පටන් ගත්තේ කවද්ද? මගෙත් නියපොතු මැකිල යාවිද ? එහෙම වෙන්න දෙන්න බැහැ. දුක්ගන්නාරාළට කියපං ඔය යන ගමන් මගේ මන්දිරේ වටේට ආරක්ෂක වළලු තව හතරක් දමන්ට කියලා.”

රජුගේ විධානයෙන් වහා ක්‍රියාත්මක වූ අයි ටී යුනිට් එක වහාම ගූගල් කර චීන විශේෂඥයකු සොයා ඔහුට ඊමේලයක් යවා සිරිල් පොන්නම්පෙරුම මහතාගේ මොන අල ගෙඩියක් හෝ සොයා දෙන මෙන් රාජාඥාවක් එච්පී ප‍්ලොටරයෙන් මුද්‍රණය කර රජතුමාගේ කණ අත්සන හදිසි අවස්ථාවකදී ලබා ගැනුමට රබර් මුද්‍රාවකට පරිවර්තනය කොට ආරක්ෂා සහිතව වීදුරු පෙට්ටියක වූයෙන් එම පෙට්ටිය බිඳ දමා එම රබර් මුද්‍රාව ගෙන තීන්තේ පොඟවා මුද්‍රිත ආඥාවේ තබා ස්කෑන් කර නැවත චීන විශේෂඥයාට ඊමේල් කර තත්පර කීපයක් ගත විය.

“රජතුමනි සිරිල් පොන්නම්පෙරුම මහත්තයා සොයා ගත්තා. දැං මොකද කරන්නේ?”

“අරං වරෙව් කුදලං ඕකව. මේක හදිසි අවස්ථාවක් බව දන්නේ නැද්ද? විගහට අරං වරෙල්ලා.”

ජපානයෙන් ගෙන්වන ලද වෙඩි නොවදින කුණු බිත්තර වැදුනු විට ඔම්ලට් බවට පත් කර නැවත එම කුණු බිත්තරය හමා ආ පථය පරිගනකයෙන් ගණනය කර එම පථය ඔස්සේම නැවත ප්‍රක්ෂේප කරන්නට සමත් රථයක් වූයෙන් රජතුමා මෙම වාහනයේ යද්දී සාමාන්‍ය ජනතාව ඔම්ලට් ලබා ගැනීම පිණිස පුරුදු පුහුණු වූයෙන් එම රථය හන්තානට පැයට කිලෝමීටර එකසිය විස්සට විදගෙන යද්දී පවා මිනිසුන් ක්ෂණික ඔම්ලට් කුඩු ලබා ගත්තේ මැකී යන සිය ශරීර කොටස් පිළිබඳ කිසිදු මතකයකින් තොරවය.‍ සමහර මිනිසුන් ඔම්ලට් කෑමට ඇබ්බැහි වී සිටි හෙයිනි.
විනාඩි විස්සක් ඇතුලත සිරිල් පොන්නම්පෙරුම මහතා රජවාසල විශේෂ කුටියක දේව පූජාවක් පවත්වමින් හුන් රාජ්‍යයේ ඉහළම අත්දැකීම් ඇති බ්‍රිතාන්‍යයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයෙන් හදවත් නැත්තන්ගේ හදවත් ක්‍රියාකාරිත්වය පිළිබඳ උපාධි හතරක් රජත සම්මාන සහිතව ඉහළින් හදාරා විශ්වප්‍රාප්ත වූ ද හෘද වෛද්‍යවරයා අභියස මළානිකව වැතිරී හුන් රජතුමා ඉදිරියේ සැලෙන ගතින් සහ ග්ලවුස් පැළැඳි දෑතින් යුතුව බලා සිටින්නට විය.

“මොකද මේ මළ මිනියක් ව‍ගේ අත්වැසුම් දාගෙන? ඕවා අවශ්‍ය නැහැ. මගේ මාළිගාවේ එක බැක්ටීරියාවක් එක වෛරසයක් නැහැ. වෛරස තියා අභ්‍යවකාශෙන් එන අන්තරීක්ෂ කිරණයක් වත් මේක ඇතුලේ නැහැ. මේක වට කරල ඉන්නේ රාජ්‍ය සේනාංක වල ඇසින් මිදිල ක්වාක් අංශුවකටවත් ඇතුල් වෙන්ට බැහැ. ඔබතුමා බය වෙන්න එපා....”

“ඒ බව මම දන්නවා රජතුමනි. ආපු කාරණයට බැස්සොත් ... මේ අදිසි රෝගය හෝ අදිසි විශ්ව ක්‍රියාකාරිත්වය ගැන නම් මගෙන් කිසිවක් ඇසීමෙන් ඵලක් වෙන්නේ නැහැ. මොකද මේ ගැන මා කිසිවක් දන්නේ නැහැ. මගේ විශේෂඥතාවය තියෙන්නේ රසායනික පරිණාමය ගැන නොව? මට මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ. විද්‍යාඥයෙක් වශයෙන් කිව හැක්කේ මේ ගැන වැඩි දුර පර්යේෂණ කළ යුතු බව පමණයි. ඒ සඳහා විවිධ විෂයයන් ට අදාල විද්වතුන් කණ්ඩායමක සාමුහික අධ්‍යයනයක් ව‍ශයෙන් ....”

“මොනවා? මේ තරම් ලෝකයේම ජනාදරයට පත් වෙච්ච ඔබතුමාට බැරිද මේක විසඳන්න? දෙයියනේ මම කාට කියන්න ද ? මට කියන්න ඉන්නේ ඔබ තුමා විතරයි. ඔන්න නොකිව්වයි කියන්න එපා මේ මුළු රටම මගේ දිහා බලං මගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. අම්මපා මම මේ රටේ මිනිස්සු ඉල්ලුවොත් අප්පච්චි ගහේ බැඳලා හරි දීලා දානවා මොකද මම කියන්නේ මේ රට...මම ය කියන්නේ මේ මුලු රට! ‍ රට කියන්නේ මට!! කරුණාකරල රටට ද්‍රෝහිකම් විතරක් කරන්න එපා. මම මේ කතා කරන්නේ රට වෙනුවෙන්. තේරුණාද?”

“මට තේරෙනවා රජතුමනි. ඒත් මම මේ ප්‍රශ්නේ දන්නේ කිසියම් පැත්තක් පමණයි. මට එකහෙලා මේ ගැටළුව පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක තමයි මගේ අවංක අදහ...”

“මොනවා???? නයාට ගහල පොල්ල වරද්ද ගත්ත නේද? කවුරුවත් කීවේ නැද්ද මී හරකෝ මාව මුණ ගැහෙන්න එද්දි මා ඉස්සරහ හැසිරෙන්න ඕන විදිහ? මම කවදාවත් කාගෙන්වත් ඔහොම කතා අහන්න සූදානම් නැහැ. මේක කෙරෙන්න ඕන ...වහාම මට වාර්තාවක් දෙනවා පැය දෙකක් ඇතුලත. මේක මළ හත්තිලව්වක් නේ...‍රටේ සල්ලිවලින් ඉගෙන ගෙන අඩුම තරමින් අර ගාල්ලේ මූලික පාසැලට හරි ගියා නම් තමුන් රටේ නිදහස් අධ්‍යාපනෙන් නෙව ඒ ටික හරි කරගත්තේ? හරි ද? රටට සේවයක් කරන්න සූදානමක් නැති හැටි?? දන්නව ද එලියේ නීති තියෙනවා ඕන පදං...මට පුළුවන් ඔය ඕනම නීතියක් එක්ක හැප්පිලා තමුන්ව අත් අඩංගුවට අරං සේරම ටයිටල් ගලවල දමලා කුක්කෙක් වගේ තියල තියන්න...තේරුණා ද?”

“හොඳයි මම වාර්තාවක් දෙන්නම්.”

වි‍ශ්වයේ අපරිමිත ‍වූ විවිධාකාර වූ ප්‍රදේශ ඇත්තේය. අප ජීවත් වන මෙම ග්‍රහ මඩුල්ල ද ඇතුලත් අපගේ චක්‍රාවාටය ද මෙම මහත් වූ විශ්වයේ මිනිස් ගණනය කිරීම්වලින් අතෘප්ත නොහොත් අගණිත වේගයෙන් එක්තරා දිශාවන් වෙත අපරිමිත ලෙස චලනය වෙමින් පවතී. එම චලිතය හේතුවෙන් පෘථිවිය ඇතුලත් අප චක්‍රාවාටය ඇතුළු වී ඇත්තේ එවැනි වූ විෂම භෞතිකයන් ගෙන් සමන්විත වූ කලාපයකටය. මෙම කලාපය තුල ඇති භෞතිකය කෙසේ ද යත් එය පරමාණු සැකසුම්වල ලිහිල්ම මට්ටම්වලින් පටන් ගෙන වඩාත් තද ආකෘති කරා යද්දී එම පරමාණු සැකසුම් තුළ පවතින ආලෝකය අංශු පිට කිරීමේ හැකියාවන් සහ පරාවර්තනය කිරීමේ හැකියාවන් නතර කරනු ලබන- ෆෝටෝන අංශුවලට වඩා අතිශය කුඩා නමුත් ෆෝටෝන අංශුවලට ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් සහිත අංශු විසින් ෆෝටෝන අංශු චලනය නතර කරන බැවින් ඉතාම ලිහිල් පරමාණුක සැකසුම් ඇති ජීව සෛල වල පටන් ගෙන ක්‍රමක්‍රමයෙන් වඩාත් තද පරමාණු ආකෘති දක්වා ගොස් මෙම ෆෝටෝන අංශු පිට කිරීම අවහිර කරන බැවින් මෙලෙස ආරම්භයේ දී මිනිස් සිරුරු සහ අනෙකුත් ජීව ශරීරවල බාහිරින්ම පිහිටි කොටස් මෙලෙස ආලෝකය විහිදීම බාධා වීමෙන් නොපෙනී යන්නට පටන් ගන්නා අතර කාලයත් සමග වඩාත් තද කොටස් ද නොපෙනී යන්නට පටන් ගන්නා බැවින් අවසානයේ දී වඩාත් තද ලෝහ වැනි ද්‍රව්‍ය පවා නොපෙනී යාමට නියමිතය. මේ සංසිද්ධිය විශ්වයේ‍ මෙබඳු කලාපයකට අප ද ජිවත්වන චක්‍රාවාටය ඇතුලු වීමෙන් මුහුණ පාන්නට සිදු වී ඇති තවත් ස්වාභාවික උපද්‍රවයක් වන අතර මෙම නොපෙනී යාමේ තර්ජනයෙන් අප දැනට ජීවත් වන්නා වූ අපට විශය වූ විශ්ව ප්‍රදේශයේ සියලුම ආලෝක තත්වයන් තුල පෙනී යන වස්තු මැකී යන බවත් එය වලක්වා ගැනීමට මිනිස් සංහතියට කළ හැකි කිසිවක් නොමැති බවත් මෙම වාර්තාවෙන් දක්වා සිටින්නට කැමැත්තෙමු.

මෙම වාර්තාව දැකීමෙන් සිය යහන අභියස දේව පූජා පවත්වමින් හුන් හෘද ශෛල්‍ය වෛද්‍යවරයාගේ දෙපරන්දයට පහර දුන් රජතුමා වහාම සිය ඇඟිලි දෙස බලා ඒවා නැවත දැක ගැනීමට හැකි ලෙස නාට්‍ය වේශ නිරූපණ ශිල්පියෙකු ලවා තීන්තෙන් ඇඳ ගත්තෙන් මනමේ නාටකයේ වැදි රජ හා සමාන පෙනුමකින් පත්තිරිප්පුව වෙත ගොස් අර්ධ ව‍ශයෙන් නොපෙනී යමින් සිටි ජනතාව අමතා මෙම නොපෙනී යාමේ ව්‍යාධියෙන් රට වැසියා ගලවා ගැනීම තමාගේ පරම යුතුකම බවත් ඒ සඳහා සිරිල් පොන්නම්පෙරුම නොව මහා බ්‍රහ්මයා සමග වුව විවාදයකට තමන් සූදානම් බව ටෙලිප්‍රොම්ටරයෙන් බලා සියළු ජනතාව වෙත සපථ කර දිව්රා පොරොන්දු විය. සියල්ලෝ සතුටින් නැති ඇඟිලි එක්කොට මුවට දමා විසිල් ගසා විසිර ගියහ.

ඉන්පසු සිරිල් පොන්නම්පෙරුම මහතා ගැන ආරන්චියක් නැති වූයෙන් ඔහු අවසන් වරට දම්පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇඳ හන්තාන මූලික අධ්‍යයන ආයත‍නයේ සිට මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය දක්වා එක් දිනක පැමිණි බවත් පසුව සිය දුරකතනයෙන් කීප දෙනෙකුට අමතා ඇති බවත් එම දුරකතනයේ සිම් කාඩ් පත පරීක්ෂා කර ඇති පොලිස් පරීක්ෂකයන් එම සන්නිවේදන ජාල වලින් ලබා ගත් වාර්තාවලින් එලිදරවු වී ඇත්තේ එතුමා කීර්ති තෙන්නකෝන් නමැති රසායන විද්‍යාඥයෙකු හමු වීම‍ට ඇපොයින්මන්ට් දමා ඇති බවත් එංගලන්තයට දුරකතන ඇමතුම් දෙකක් දී ඇති බවත් චන්ද්‍රා නම් වූ තරුණියකට කතා කර ඇති වගත් ඉන් ස්වල්ප මොහොතකට පසු ඇය විසින් එංගලන්තයේ සිට සාර්ස් වෛරසය පිළිබඳ ලියැවුනු වාර්තාවක් සිරිල් මහතා වෙත ෆැක්ස් මගින් එවා ඇති බවත් ඉන් පසු කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවත්ය.
එකදහස් නවසිය අනූ හතරේ දෙසැම්බර් මාසයේ හෘදයාබාධයකින් මියෙන තුරු එතුමා ට ඉන්පසු සිදුවූයේ කුමක් දැයි කිසිම වාර්තාවක් හෝ සටහනක් දැනට සොයා ගෙන නැත. මෙම සිදුවීම පිළිබඳ කිසිදු සටහනක් අඩුම තරමින් තම පෞද්ගලික දිනපොතේ වත් නැති වීම හේතුවෙන් එකළ රාජ්‍ය පාලකයා කුමන සූක්ෂම අන්දමින් සිය බලතල පාවිච්චි කරමින් සිටියේද යන්න ඉන් සියවස් මිලියන කීපයකට පසුව පවා ඉතිහාසඥයන්ගේ මවිතයට හේතු වී ඇත්තේය.

රජතුමා ගේ අවයව නොපෙනී යාම පිළිබඳව වගකිව යුතු වූ සියල්ලන්ට විවිධාකාර වූ දරුණු දඩුවම් ලබා දෙන්නට වූයෙන් ප්‍රථමයෙන්ම පෞද්ගලික වෛද්‍යවරු තුන්දෙනාගේම ප්‍රජා අයිතීන් තහනම් වූයෙන් ඔවුහු ත්‍රිකුණාමලයේ තනා ඇති එක්ටැම් ගෙවල් තුනක රඳවන්නට රජවාසල දුක්ගන්නාරාළ තීරණය කලෙන් ඔවුන් වෙනුවෙන් එක්ටැම් ගෙවල් කොන්ත්‍රාත් ක්‍රමයට සාදාලන්නට භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන තිහක් වියදම් කළ අතර රජතුමාගේ අභිමතය පරිදි ‍එම වෛද්‍යවරුන්ට බාහිර ලෝකයේ ඇමීබාවකු සමග හෝ තමන් දුටු දේ හෝ අත්දැකි කිසිවක් කියා ගන්නට‍ නොහැකි වන ලෙස සීල් තබා සිර කරන ලදී. අතිශය විශාල ලෝහ සන්නායක කුඩයක් වැනි ඇන්ටනාවක් යෙදීමෙන් මුලු ත්‍රිකුණාමලයම විදේශීය චන්ද්‍රිකා තරංගවලින් ආරක්ෂා කරගැනීමට තවත් බිලියන පන්සීයක් වියදම් කළ අතර රජතුමා සුළු දිය පහ කිරීමේ දී සිදුරු කළ කොන්ඩමයක් භාවිතා කරන බව සුප්‍රසිද්ධ විපක්ෂ පුවත්පතක් වාර්තා කළ අයුරු ගැන පරීක්ෂණ පවත්වන්නට ජපානයෙන් බිලියන අසූහාරදාහක් වියදම් කොට රො‍බෝ යන්ත්‍ර තුනක් ආනයනය කළ අතර එම රොබෝ යන්ත්‍ර විසින් රජවාසල වෙත කේප්ප වස්සෙකු සහ වල් බල්ලෙකු ඩැහැගෙන අරං ආ අතර ඔවුන් මස් කර රජතුමාගේ රහස දැන ගත්තේ කෙසේ දැයි සොයා ගන්නට රාජ්‍ය රස පරීක්ෂකයන් සමත් වූයෙන් එම රොබෝ යන්ත්‍ර තුනට තවත් එක් යන්ත්‍රයක් ගෙන්වාගෙන එකතු කර එම යන්ත්‍ර හතර රජ වාසල හතර පැත්තෙන් තබා ඒ අවට කිලෝ මීටර දසදහසක් තුල එකිනෙකා රහසින් මුමුණන වදන් පවා අසා පටිගත කරන්නට වූයෙන් එම දෙබස් අසමින් සිටි රහස් පොලිස් අංශයේ ප්‍රධානියා තමන්ගේ අවයව මැකීගොස් ඇති බව ද අමතකව නො‍යෙක් ආවේගයන් මත්තෙන් සිය බිරිඳ සමග අසැබි ලෙස බහින්බස් වීමෙන් එක්තරා සිකුරාදා දිනෙක රාත්‍රි එකොළහ පසුවී විනාඩි විසි පහේ ගත වෙමින් පැවති ශනි හෝරාවේම මරු වැළඳ ගත්තේ රටම භීතියට පත් කරවමිනි.

ඉන්පසු උදා වූයේ අඳුරුතම යුගයයි. රටේ කිසිවෙකුට කිසිවෙකුත් නොපෙනුන අතර ස්වරාලවල ද නොසිතු නොපැතූ පරමාණුක වෙනසක් සිදුවීමෙන් කිසිවෙකුටත් කතා කර ශබ්ධ උපද විය නොහැකි වීමත් සමග සියල්ලෝ සන්නිවේදනය උදෙසා සිය ඇඳුම් පමණක් යොදා ගන්නට සිදු විය. ඇඳුම් ද එකිනෙකාට පෙණුනේ ස්වල්ප වේලාවකට පමණි. නැවත ඒවා ගලවා විසි කොට අලුත් ඇඳුම් සොයා ඇඳ ගත් විට එකිනෙකා පෙනෙන්නට ගත්තෙන් ඇඳුම් ලොව ඇති අතිශය වටිනාම දේ බවට පත් විය. මේ නිසා ඇඳුම් කර්මාන්තය එහි උපරිම වේගයෙන් ඇඳුම් නිර්මාණය කල අතර කැමති අය කැමති ඇඳුම් කැමති මිල ගෙවා ඇඳ ගන්නට පටන් ගත්තෙන් ලෝකයේම මිනිසුන් ඇඳුම් වලින් සිරුර වසා ගෙන තම නොපෙනී ගිය කොටස් මතු කර දක්වන්නට උනන්දු වීම නිසා ඇඳුම් පැළඳුම් පමණක් නොව තීන්ත වර්ග පවා අතිශය දුර්ලභ දේ බවට ඊළඟ මොහොතේ පත්විය. මිනිසුන්ගේ සියලු හැසිරීම් සහ සංස්කෘති වෙනස් වී අමුතුම ලෝකයක් බවට එම ලෝකය පත් විය. තීන්ත ගෑම අනවර‍තයෙන් කළ යුතු වූයේ ගෑ තීන්ත ස්වල්ප වේලාවකින් නොපෙනී ගිය බැවිනි. අවශ්‍ය වේලාවට පමණක් ගැනීමට තීන්ත ගබඩා කර තැබීමට ද නොහැකි වූයෙන් අවශ්‍ය වේලාවට පමණක් ඒවා ඇතිල්ලිය යුතු විය. ඇඳුම්වල තත්වය ද මීට නොදෙවෙනි විය. කොයි ක්‍රමයකින්වත් කිසිදු දෙයක් වැඩි වේලාවක් පෙනෙන තත්වයේ පවත්වා ගන්නට නොහැකි වූයෙන් මිනිසුන් ලැගි ලැගි තැන්වල හොල්මන් සේ කාලය ගත කළහ. රජවාසලට විශ්ව ඉතිහාසය තුළ මනුෂ්‍යයෙකුගේ අසරණකම ගැන හෝඩුවාවක් දැනෙන්නට ගත්තේ මේ යුගයේ දීය.

එකල රජතුමාගේ පුත්‍රයාගේ මංගල්‍ය අවස්ථාව ද උදා වූයෙන් නිසි කල් බලා ඉතිරි කරගත් ඇඳුම් ආයිත්තම් කීපයකින් ඔහුව හැඩ කර අතිශය සුන්දර ගස් කීපයක් පමණක් අරටුව සහ මුල් වශයෙන් ඉතිරිව තිබූ එක්තරා ශක්තිමත් ගස් ජාතියක් නිසා සුප්‍රසිද්ධව තිබූ ජනපදයකින් කුමරියක් ගෙන්වා ඇය සරණ පාවා දීමේ චාන් උත්සවය සඳහා රුපියල් බිලියන කෝටියක් වියදම් වූයෙන් සල්ලි ගණින මැසිම බලා ගැනීම සඳහා ස්ප්‍රේ ගන් එකකින් තීන්ත ගැසීමට පමණක් රුපියල් මිලියන හතලිහක් වියදම් කොට තිබුණි. මෙවැනි දේ කිරීමේ හැකියාව තිබ්බේ රජවාසලට පමණි. අනෙක් කිසිවෙකුත් කිසි දෙයක් නොදැක හිස් අවකාෂය දෙස නෙත් දල්වා සිටියහ. පොලවේ යපස් තිබූ ප්‍රදේශ විශාල වීදුරු ගෝලයක අභ්‍යන්තරයේ ලූ පාසි මෙන් පෙනෙන්නට වූයෙන් ඒවා ද දිනෙන් දින ක්ෂය වෙමින් දෘෂ්ඨි පථයෙන් ඉවත් වී ගියේය. මංගලෝත්සවය සංකේතීය විය. රජතුමා වුවද ඉතාම අපහසුවෙන් සිය ඇහි බැම පමණක් පෙන්වා ගන්නට සමත් වූයේ විශේෂයෙන් ඇහිබැම තීන්තක් නිර්මාණය කරවා ගන්නට ඩියුලක්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා කාරුණික වූයෙනි.

මංගල රාත්‍රිය කොහේ පැවැත් වූයේ දැයි කිසිදු වාර්තාවක් නැති වුවද සාමාන්‍ය මිනිසුන් බියෙන් භ්‍රාන්තව සිටියේ එම දෙපළ කොයි මොහොතක හෝ දෙපා පැටලී තමන් වැතිරී සිටින ස්ථානයකට පතිත වී තමුන්ට මරණ දඩුවම් ලබන්නට සිදු වේ යැයි සිතමිනි.

මෙලෙස මංගල රාත්‍රියේද ඉන්පසු උදා වූ අනෙකුත් සියළු රාත්‍රීන් හිදී ද සිය රහසඟ සොයා ගැනීමටත් ප්‍රදර්ශනය කිරීමටත් රමණ ක්‍රියාකාරිත්වයේ පවත්වා ගැනීමටත් ක්ෂණිකව නිපැයූ අලුත්ම කොන්ඩම අවශ්‍ය වූයෙන් එම රජ පරම්පරාවට ඉන් පසුව වර්ගයා බෝ වූයේ නැත.
එනයින් චක්‍රාවාටය සිය දුර්දසා සම්පන්න භෞතිකයන් ගෙන් පීඩා විඳි ක්ෂේත්‍රයෙන් අවුරුදු මිලියන ගණනකට පසුව මිදී නැවත ලෝකයේ ආලෝකය මුදා හරින තත්වයන් උදා වූ කළ පෙර කිසි කලෙකත් නොවූ තරම් ලෝකය සුන්දර බව ඉතිරි වී සිටි මිනිසුන් කීප දෙනෙකුට දැක ගන්නට ලැබී ඇත.

ඉන් පසු සයිමන් නවගත්තේගම අපූරු නවකතාවක් ලියා තැබුවේය. ඒ සාපේක්ෂණී ය. එහි එන පහත සඳහන් උපුටනය පරීක්ෂා කරන විට මෙම කතාවේ එන රජකුමාරයාගේ මංගල රාත්‍රිය පිළිබඳ රහසිගත වාර්තා සයිමන් අතට පත් වූයේ කෙලෙස දැයි සොයා ගැනීම ඔබ සතු වගකීමකි. මක් නිසාද යත් සයිමන් විසින් මේ ප්‍රතිනිර්මාණය කොට ඇති ප්‍රබන්ධය ඔහුගේම මනසින් සිදු වූ දෙයකැයි සිතන්නට ඉඩක් නොතබන්නේ ඔහු‍ට බොහෝ කළකට පෙර මෙම සිදුවීම් මෙම භූමි තලය මත වසර මිලියන ගණනකට පෙර සිදු වී ඇති හෙයිනි.

ඇය යහන පාමුල දණ ගැසුවාය. ඔහුගේ කය වටා දෑත යැවුවාය. ඉතාම මෘදු ව ඔහුගේ වස්ත්‍රය ගැලෙව්වාය. දෑස පියාගෙන දෙතොල හයා ඔහුගේ රහසඟ දෙතොලින් බදා ගන්නට එළඹුනාය.

ඊ ළඟ මොහොතේ දී විවෘත වූයේ විස්මය ජනක දෑසකි. ඈ ඔහුගේ මූණ දිහා විස්මයෙන් බලා සිටියාය. ඔහුට ඇගේ මුහුණ බැලිය නොහැකිය. ඇ‍යගේ මුහුණ තල්ලුකොට ගෙන නැගී සිටි ඔහු කවුළුව වෙත ගියේය. කවුළුවෙන් ඈත බලා සිටි මොහොත කල්පයක් දිග මොහොතක් විය.

අන්තිමේ දී ඔහු කවුළුවෙන් පිටත බලාගෙනම මෙසේ කීවේ ය. එය පහත් හඩින් ඉතා ගැඹුරුව කරන ලද්දා වූ රහස් ප්‍රකාශනයකි.

“මම චෞර නායකයෙක්. කැරලි නායකයෙක්... ඒ ජනපදයේ රාජ පුරුෂයෝ මට දඩුවම් වශයෙන් මගේ රහසඟ ජේදනය කළා.”

ඉන්පසු ක්ෂණයකින් ආ පසු හැරුණු ඔහු දැඩි කෝපයෙන් කෑ ගැසුවේය.

“ඔව්, මගේ පෞරුෂත්වය ඡේදනය කළා... මේ රජ පෙළපතට ඕන වීර පුරුෂයෝ නොවෙයි... උන් කැමති නෑ යෞවන වීර පුරුෂයන්ට! නපුංසකයෝ ඉන්න තරමට උන්ට හොඳයි!”

සාපේක්ෂණී

සයිමන් නවගත්තේගම

12 comments:

  1. හිතට පොඩි සැකයක් තිබ්බා ආයි හකාවතී මේ අඩවියට පාද තියයිද කියලා. කිව්ව වගේ ම මෙන්න මහාමාරියේ කුමාරියෙක් එක්කගෙන ඇවිත්.
    ඔය සිරුරු කොටස් මැකෙන ලෙඩේ අපේ සියල් සපිරි සිරි මවු බිමට ඒවි යැයි මට නම් බියක් නෑ. මොකද මේ වන විටත් "ජහමනයා" ඇතුලු සියල්ලගේ ම අනන්‍යතාවය මේවන විටත් නශ්ට වෙලා තියෙන නිසා.

    ReplyDelete
  2. මවිත වෙමි.. විස්මිත වෙමි... මට සයිමා සිහිවෙයි...

    විශ්ව විද්‍යාලයේ විභාග අස්සේද, රස්සාවේදී වැඩ අධික විටද මට සයිමා සිහිවෙයි.. සයිමා යෝද අඩිතබා හිල්ඩා ගහ අසලට ඇවිද එනු මට පෙනෙයි.. සයිමා ගේ සුකුමාර අතේ වටිනා සිගරැට්ටුවකි.. මට සයිමා සිහිවෙයි... මාර්ස් කන්ද පාමුල කහ රොබරෝසියා ගහේ මල් පිපුණු විට එහි පාමුල නිදා සිටින සයිමා හමු වෙතැයි භ්‍රාන්තියක් ඇති වෙයි... මට සයිමා සිහිවෙයි.. වලේ සුබ හා යස බලා රෑ බෝ වී ආපසු එන විට මැග්නෝලියා ගහේ සුවඳ අස්සෙන් සයිමා මතුවෙතැයි මට සිතුනි... මට සයිමා සිහිවෙයි..

    කොටින්ම මට සයිමා අමතක නොවෙයි...

    ReplyDelete
  3. kiyanna wachana naha... pissu hadenawa machan
    pissu hadenawa........

    ReplyDelete
  4. amuthuwen kiyanna deyak na, uparimai. habai samahara wakkya digawadi wage,

    ReplyDelete
  5. සයිමා තැනක කියා තිබුනා පේරාදෙනියේ ගහක් ගහක් ගානේ තමන්ගේ "ආදර සටහන්" තියෙනවා කියලා.

    ReplyDelete
  6. සමහර වාක්‍ය වල ඒවායේ අනවශ්‍ය දිග නිසාම උක්ත ආකා්‍යාත අවුල් වී ඇත.

    ReplyDelete
  7. maaaarai hakaawathee . . . pissu hadenawa . . .. . meka kohoma diro gandada kiyala mata taama hitaa ganna baha . . . anargai . . .. !

    ReplyDelete
  8. හුහ්, උක්ත ආක්කියාත අපේ ආච්චිගෙ චීත්තෙ. කියන දේ අපට තේරෙනවා නං, අන්තර්ගතය වටිනවා නං, තව ඕකට වෙන ආක්කියාත මොකටෑ, ආයිබෝං.

    ReplyDelete
  9. උපරිමයි.
    විශිෂ්ඨයි.
    අදීන නිර්මාණකරුවෙකුගේ කාරිය ඉහලින්ම ඉටුකර තිබෙනවා

    ReplyDelete
  10. මට කියවන්න ලැබුන විශිෂ්ඨම බ්ලොග් නිර්මාණයක්..

    ReplyDelete
  11. Sihina EkathukarannekJuly 9, 2011 at 1:43 AM

    හකාවතී - කතන්දර කියන්නා . ටෙරාකි - ජපානයේ සාම්ප්‍රදායික සුපවේදය ආහාරය ප්‍රණීත මිහිරි රසැති ආනමක ගිල්වා පිරිනමන . හකාවතී ටෙරාකි !!!!

    ජයෙන් ජය පතනවා නුඹට .

    ReplyDelete