Saturday, November 14, 2009

On Line පාංශුකූල


On Line පාංශුකූල

මහාචාර්යවරයා කුදලාගෙන විත් අඳුරු කුටි‍යකට දමා එහි වූ දැවැන්ත යකඩ දොර වසා දමන ලදී. දින තුනක් ඝණ අන්ධකාරයේ සිටි හෙතෙම හතරවන දිනයේ දී යකඩ දොර හැර බලද්දී මරණාසන්නව සිටියෙන් ඔහුගේ දෙකකුලින් ඇද කුටියෙන් එළියට ගත් වදකයෝ ඔහුව වත්තං කරගෙන ගොස් කොන්ක්‍රිට් බංකුවක් මත හොවා මුහුණට වතුර ඉස බලා සිටියහ.

"කෝ උඹගේ ලියවිල්ල හංගපු තැන? කියපං දැංවත්? "

මහාචාර්යවරයා දෙනෙත් හැර පියා නිසොල්මනේ හිරු දෙස බලා සි‍ටිනායුරින් දෑස් අර්ධයක් දල්වා වික්ෂිප්තව සිටියේය. ඉන් මොහොතකට පසු හෙතෙම අවසන් හුස්ම හෙලූයෙන් ඔහු ලියූ ලියැවිල්ල කිසි දිනෙක කිසිවකු අතට පත්වන්නට ඉඩක් නොමැති බවත් එය අනාවරණය කර ගැනුමට දැරූ අවසන් ප්‍රයත්නයත් ව්‍යර්ථ වූ වග වදකාගාරය භාරකරු වහා ඉහලට දන්වා සිටියේය.

මෙම ලියැවිල්ල ඉන් වසර හතලිස් පහකට පසු විශ්ව විද්‍යාලයේ පැරණි ලිපි ලේඛන සංරක්ෂණාගා‍රයේ බිත්තියක වූ ලෑලි වරිච්චියක් අලුත්වැඩියාවට ගලවමින් සිටිය දී රහසිගත ලෙස සඟවා තිබූ ‍කඩදාසි බම්බුවක් තුළ ‍සුරුණ්ඩු වී තිබුයෙන් වඩුවන් අතට පත් විය.

එම වඩුවන් විසින් පරිස්සම් කර ගෙන මා කරා පැමිණෙන තෙක් මේ ලියැවිල්ල කිසිවෙකුත් විසින් නොකියවා තිබූ බව මම හොඳින්ම දනිමි.

***

විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා වර්තමාන ආර්ථික ව්‍යුහයට නොගැලපෙන්නේ යැයි වසර දෙසිය දහතුනකට පසුව සොයා ගැනීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු පාඨමාලා සංශෝධනය කොට ක්‍රියාත්මක කළ යුතු වගට- පැවතුන අධ්‍යාපන ක්‍රමයට අනුව සාමාන්‍ය පෙළ විෂයන් අටෙන් විෂයන් තුනක් සමත් වී සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වහා චක්‍රලේඛයක් නිකුත් කරන්න වූයෙන් ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පිළිබඳ උපාධි පාඨමාලාව - පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ උපාධි පාඨමාලාව - තුවක්කු සහ වෙඩි උණ්ඩ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ උපාධි පාඨමාලාව ද සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලාව ද ඇතුළුව පන්සිය පනස් පහක් වන නව උපාධි වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධන පාඨමාලා ලෙස හඳුන්වා දීමේ ක්ෂණික අවශ්‍යතාව පැන නැගී ඇති බව මේ පිළිබඳ පර්යේෂණයේ යෙදුනු ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කර තිබූයෙන් එම පාඨමාලා අතරින් සමහරක් ඉගැන්වීම පිණිස දැනට අධ්‍යයන ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු ලෙස යම් යම් දේවල් කරමින් සිටි කිසිදු මහාචාර්යවරයෙකු අසමත් බව ද සොයා ගැනීමෙන් අනතුරුව මෙම පාඨමාලාවන් ඉගැන්වීමට සමත් අයගෙන් ඉල්ලුම් පත් කැඳවීමට විශ්වවිද්‍යාල අමාත්‍යාංශය තීරණය කරන ලදි.

සන්නිවේදනය පිළිබඳ රටවල් දහතුනක දේශණ පවත්වන, ඒ නිසාම චිරප්‍රසිද්ධියට පත් දැනට විදේශගතව සිටි එක්තරා මහාචාර්යවරයෙකු නැවත දිවයිනට ගෙන්වා ගැනීම උදෙසා ඩොලර් මිලියන පහළොවක ඇස්තමේන්තුවක් අනුමත කරවා ගැනීමට අධ්‍යාපන ඇමති කරා පැමිණි විශ්වවිද්‍යාල අමාත්‍යාංශයේ ලේකම් මහතාගේ වැඩ තහනම් කොට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වන්නට සිදුවූයේ එම පාඨමාලාව ඉගැන්වීම උදෙසා රට තුලම ජිවත් වූ ජන සන්නිවේදනය පිළිබඳ කෙළ පැමිණි නිවේදිකාවක් සිය ඉල්ලුම් පත්‍රය ඇමතිවරයා වෙත එක්තරා හිම වැටෙන රටක දී පැවැත්වූ සම්මේලනයක් ආවරණය කරන්නට ගොස් සිටිය දී ඇමතිවරයාගේ ඇ‍ඳේ කොට්ටය යට තබා එන්නට ඇයට හැකි වීමෙන්ය. අවසානයේ ජන සන්නිවේදන පාඨමාලාවට ඇඳක කොට්ටය යට ඉල්ලුම් පත්‍රයක් තබා ඒමේ කෞෂල්‍යය ප්‍රායෝගිකව අත්හදා බලා එම පාඨමාලා හදාරන්නියන් වහ වහා උසස් ජන සන්නිවේදිකාවන් බවට පත් වීමත් සමග විශ්ව විද්‍යාල පාඨමාලා කෙරෙහි පොදු ජන ප්‍රසාදය අතිශය ලෙස ඉහල යන්නට වූයෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් දුප්පතුන්ට මෙවැනි උසස් පාඨමාලා උගැන්වීමෙන් ආර්ථිකයට වන හානිය පිළිබඳ රහසිගත වාර්තාවක් ඇමතිතුමා ලදුයෙන් එම පාඨමාලා සහතික සියල්ලම මුදල් ගෙවා ඇමරිකාවේ කොන්ඩලීසා රයිස් මහත්මියගේ අත්සනින් නිකුත් කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලය ක්‍රියාත්මක වූයෙන් ඉන් පසුව ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම පාඨමාලාව සඳහා සිසුවියන් ඇතුලත් කරගැනීමේ සාර්ථක ක්‍රමයක් අත්හදා බැලුණූ අතර එය අතිශය සාර්ථක වීමත් සමග නිවේදන ක්ෂේත්‍රය කාන්තාවන්ගෙන් බැබළීමත් සමගම පුරුෂාධිකාරය බිඳලන්නට හැකි වීම පිළිබඳ ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ල එකතුව දැවැන්ත මෙගා සංගීත රාත්‍රියක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත් විණි.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණ කලාව පිළිබඳව නිපුණතා පෙන්වූ එකුදු මහාචාර්යවරයෙකු රට තුළින් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඒ සඳහා වහ වහා සී එන් එන් සහ බී බී සි ආයතනවල පළපුරුදු ප්‍රවෘත්ති නිශ්පාදකයන් කණ්ඩායමක් රට තුලට ගෙන්වා ගැනීමට යෝජනා වෙද්දී පිටකොටුවේ මල්වත්ත පාරෙන් ඉදිරිපත් වූ වැන්ඩස්ටාර්ටන් මහතා ඒ සඳහා නිපුණයෙකු වග අමාත්‍යවරයා පෞද්ගලිකව දැන සිටි හෙයින් එම පාඨමාලාවේ අධ්‍යක්ෂ තනතුර ද ගමන් බිමන් සඳහා ත්‍රීවීල් රථයක් ද ලබා දීමෙන් අනතුරුව ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිෂ්පාදනය පිළිබඳ උපාධි පාඨමාලාව ආරම්භ වූයේ අධ්‍යාපන අමාත්‍යවරයාට එංගලන්තයේදී ආචාර්ය උපාධියක් පිරිනමන ආකාරය ඩිජිටල් තාක්ෂණ අනුසාරයෙන් සජීවි ලෙස ප්‍රති නිර්මාණය කර රාත්‍රී අටේ රූපවාහිනි පුවත් මගින් විකාශය කිරීමත් සමගය. එම ප්‍රවෘත්තිය කොතරම් තාත්වික ලෙස ඩිජිටල් ගත කර තිබුනේ ද යත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අත්පොලසන් දෙමින් එහාට මෙහාට යන අයුරුද ඔහුගේ ආරක්ෂකයන් ද ඔහුට අනුව අත්පොලසන් දෙමින් විසිල් ගසමින් සිය කළවා වල හම් පටිවලින් සැදි රහසිගත කොපු තුල සඟවා තබා ඇති දැලි පිහි පවා මතුවී පෙනෙන ආකාරයට නිර්මාණය කර තිබූ හෙයින් ද මෙම ඩිජිටල් ප්‍රවෘත්ති කලාව ගැන තරුණ කොටස් උමතුවෙන් ඉල්ලුම් පත් එවන්නටත් දෙමව්පියන්ට ඇවිටිලි කරන්නටත් වූයෙන් පසුව පැවැත්වූ තරග විභාගයකින් සමත් වන්නන්ට පමණක් ඩොලර් ලක්ෂ තුනක් වාරික ක්‍රමයට ගෙවීමෙන් පාඨමාලාව සඳහා ඇතුලත් කර ගැනුණි.

එම ඩිජිටල් ප්‍රවෘත්තියේ ඇමතිවරයා සිගරට් කොටයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග හුවමාරු කරගන්නා දර්ශනය විකාශ වන්නට නොදී නවත්වා ගත්තේ අනූ නවයෙනි. එය ප්‍රවෘත්තිය විකාශ කිරීමට පෙර පරීක්ෂා නොකළ ප්‍රවෘත්ති වැඩසටහන් අධ්‍යක්ෂක වහාම සිනමා ශාලාවක චිත්‍රපට දුවවන යන්ත්‍රයක වසර හතරක පුහුණුවකට යවන්නට ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා රෙකමදාරු වූ බව ආණ්ඩුවේ ඕපා දූප ජාත්‍යන්තරයට ප්‍රචාරය කරමින් ඩොලර් කෝටි ගණන් උපයන අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන්ව තිබුණි. වැඩි දුරටත් එම දඩුවම ගැන අදහස් දක්වා තිබූ එම අඩවිය පැවසූයේ එම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට චිත්‍රපටි රීල් එකක් වම් ප්‍රොජෙක්ටරයෙන් දකුණට හෝ දකුණෙන් වමට මාරු වන අවස්ථාවේ දී තිරයේ දකුණු කෙළවරේ ඉහළින් පෙනී නොපෙනී යන කුඩා රවුම් ගැන අවධානයෙන් සිට කාලය ගැනීමට පුහුණු වීමෙන් මෙබඳු ප්‍රවෘත්ති විකාශය කරන අතරතුර සිදු විය හැකි දෝෂ වලක්වා ගැනීමට මනා පුහුණුවක් ලැබෙන බවය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තම සමීපතම හිතවතුන්ට පවසා තිබ්බේ පණ බේරී ඔයින් ගියා ඇතැයි කියාය.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පාඨමාලාව හැදෑරු පසු ඒ අය එංගලන්‍තයේ සහ ඇමරිකාවේ විවිධ ප්‍රවෘත්ති නිෂ්පාදන කටයුතු වල යෙදෙන බවත් සිය මවුරට කරා නැවතත් එම ප්‍රවෘත්ති එවීමට තරම් ඔවුන් කාරුණික බවත් එම කෘතිම ප්‍රවෘත්ති සඳහා රාජාණ්ඩුවෙන් ඔවුනට වැඩිදුර අධ්‍යාපනය සඳහා වියහියදම් දරන බවත් ප්‍රචලිත වීමෙන් පසු වැන්ඩස්ටාර්ටන් සිය පෞද්ගලික විශ්ව විද්‍යාලයද විවෘත කරන්නේ අගනුවර අතිශය මිල අධික ඉඩම් සහිත ප්‍රදේශයක අක්කර විසිහතරක භූමියක දැවැන්ත පරිඝනක විද්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමෙන් ය. පුපුරා යන බෝම්බයක් සජීවිකරණය සහ එම අවස්ථාවේ දී මිනිස් සිරුරු කැබලි වන ආකාරය පිළිබඳ දිනෙන් දින ඉතාම නිවැරදි පරිඝණක වැඩසටහන් අනුසාරයෙන් වීඩියෝ පට නිපදවන්නටත් මිනිසුන් කා අතින් වුවද ඝාතනයට ලක් වන සෑම ක්‍රමයක්ම ඉතාම සජීවි ලෙස නැවත නිර්මාණය කිරීමටත් මොවුන් රුසියන් වූහ.මෙම විශේෂඥයන් බො‍හෝ දෙනෙක් ප්ලේ ස්ටේශන් වීඩියෝ ක්‍රීඩාවල පරිණත අයවලුන් වීම ද සුවිශේෂි කාරණයකි. අවශ්‍යතාව අනුව ඕනෑම ආකාරයක වීඩියෝ පට නිර්මාණය කරන්නටත් ඒවා සුරක්ෂිතව අවශ්‍ය වාර්තාකරුවන් වෙත ලබා දීමටත් නැවත එම වීඩියෝ පට වෙනත් අනන්‍යතාවයකින් විකාශන සමාගම් වෙත ලබා දීමේ උපක්‍රමත් මෙම පාඨමාලාවට අයත් විය. මෙමගින් එකම සිදුවීමක් අරභයා විවිධ පසුබිම් විවිධ පුද්ගලයන් අන්තර්ගත පරස්පර ප්‍රවෘත්ති ද එක ලෙසම විකාශනය වීම සාමාන්‍ය දෙයක් බවට ද පත් විය. කිසිවෙකුත් ඒ ගැන මැසිවිලි නොකියන්නට වූයේ මෙම ප්‍රවෘත්ති විකාශ වින්දනාත්මක වැඩසටහන් ලෙස අනෙකුත් ප්‍රසාංගික වැඩසටහන් අතරතුර නරඹන්නට සියල්ලන් සැදී පැහැදී සිටි බැවිනි.

තවද වැඩි ලාභාපේක්ෂාවෙන් මෙම විද්‍යාගාරයෙන් නිපද වූයේ ඇමතිවරුන් මැතිවරණ රැලි අමතා කතා කරන ආකාරයත් ජනතාව අත්පොලසන් දෙමින් ඒවාට හුරේ දමන ආකාරයත් ය. මෙම වීඩියෝ පට එම ඇමතිවරු ඉතා ඉහළ මිල ගණන් ගෙවා වැන්ඩස්ටාර්ටන් ගෙන මිල දී ගෙන තම නායකයාට පෙන්වීමෙන් පෙර කිසි කලෙකටත් වඩා සිය වෘත්තීය කටයුතු ඉමහත් විවේකයෙන් සිදු කරන්නට වීමෙන් අනාගත සියළු මැතිවරණ වලින් පාලක පක්ෂය පරාජයට පත්වන වග දැන සිටි විපක්ෂය ද සිය සංචිත ධනය ආයෝජනය කොට වැන්ඩස්ටාර්ටන් විශ්ව විද්‍යාලයට නොදෙවෙනි විශ්ව විද්‍යාලයක් අගනුවරට බැහැරින් ආරම්භ ‍කලෙන් එම පාඨමාලා සඳහා දුර බැහැර පෙදෙස්වල තරුණ පිරිස් ආකර්ශණය කරගත් හෙයින් ඔවුන ද තම දුෂ්කර ප්‍රදේශවල ජීවන තත්වය ඉතා උසස් ලෙස පෙනෙන වීඩියෝ නිර්මාණ සකසා ඉහළ මිල ගණන් වලට විකුණා වහ වහා අගනුවර ඉඩකඩම් මිල දී ගෙන සිය ගම් පෙදෙස්වලින් සංක්‍රමණය වූයෙන් රටේ නායකයන් අතිශය සංතෘප්තියෙන් මෙම කෘත්‍රිම වීඩියෝ නරඹමින් කාලය ගත කළහ. එමෙන්ම තමන්ට විරුද්ධව වීඩියෝ පට නිර්මාණය වන සියළු අවස්ථාවලදී ඒවා කෘතිමව නිර්මාණය කොට ඇති වගට පර්යේෂණ වාර්තා සකස් කිරීමට ද මෙම තාක්ෂණික විශේෂඥ උපාධිධාරීන්ට හැකි වූයෙන් කොයි අතිනුත් වාසි සහගත ජීවන ක්‍රමයක් ඔවුහු උදා කරගත්හ. මැති ඇමතිවරු සතුටින් කාලය ගත කළහ. ඔවුන් විනෝදයට කළේ බේරේ වැවට ඉහළින් පියාසර කරන කාක්කන් රංචු පිටින් වෙඩි තැබීමය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාවට කිසිදු බාහිර කැඳවීමකින් තොරව විවිධ ශ්‍රේණිවල මහාචාර්යවරුන් සොයා ගැනීමට හැකි වූයෙන් එම පාඨමාලාව අතිශය සාර්ථක වූයෙන් නවීන විචාරකයන් සහ නිර්මාණකරුවන් බුරුතු පිටින් විශ්ව විද්‍යාලවලින් පිට වන්නට පටන් ගත්තෙන් සාහිත්‍ය කලා ආදියේ නැවුම් ප්‍රබෝධයක් හට ගත්තේ, ගමේ කෝපි කඩවල පවා ගැමියන් දාං අදිමින් කතා කරමින් සිටියේ මිචෙල් ෆූකෝ ගැනය නැත්නම් රෝලන්ඩ් බාත් ගැනය එසේත් නැත්නම් සාත්‍රෙ ගැනය. ඩෙරීඩා ගැනද ඔව්හු කතා කළහ. ලැකාන් ගැන නොදත් කිසිවෙකු සොයා ගැනීම උගහට විය. සමහරු ලැකාන් කෝට්ටේ ගියා වැනි යැයි පිරුළු ද එදිනෙදා ව්‍යවහාරයට ගත්හ. හැමෝම රාත්‍රි කාලය ගත කළේ ස්වයංක්‍රීය ගිණි අවි සුද්ද කරමිනි. පොලිෂ් කරමිනි.

විචාරකයන් පොත් කියවීමට කාලය ගත කිරීමට වඩා එම පොත් ගැන අනෙක් විචාරකයන් ලියා ඇති දේවල් සහ අන්තර්ජාලයෙන් උපුටා ගත් කොටස් නැවත නැවත මිශ්‍ර කර අළුත් ලිපි ලිවීමත් තව දුරටත් සිනමා කෘති බවට පත් නවකතා කියවනු වෙනුවට සිනමා පටය නරඹා එම නවකතාව ගැන විචාර ලිවීමේ ක්‍රම ද කිසි ‍දිනෙක නොකියවූ පොත් ගැන සාරාංශ ලියා ඇති පොත් වෙනම ඇති හෙයින් ඒවා පරිශීලනයෙන් තමන් ද එම පොත් කියවා ඇති ලෙස රඟ දැක්වීමේ ක්‍රම ද මෙම උපාධි පාඨමාලාවට අයත් විය. මෙහි විශේෂිතම යෙදවූම වූයේ රටේ පැවති හාරසිය අසූ හතක් වූ ග්‍රන්ථ සම්මාන උළෙලවල් සඳහා පොත් තෝරා සම්මාන පිරිනැමීමේ දුෂ්කරතාවය ජය ගැනී‍මට වෙන් වූ ක්‍රම වේදයන් ශාස්ත්‍රීය ලෙස හදාරා ඉදිරිපත් කර තිබුනු විෂය කොටසයි. එම විෂය කොටස අතිශය ජනප්‍රිය වූයේ මේ නොයෙක් උළෙලවල දී පොත්වලට සම්මාන දීමේ දී ද මුල් පිටු හැටක් පමණ කියවා කාලය ඉතිරි කරගෙන සහ වැඩිම පොත් ප්‍රමාණයක් කියවූ බවට පත්‍රිකා පුරවා ඒ වෙනුවෙන් ගෙවන දීමනා වැඩිපුර ලබා ගැනීම පිණිස කතෘවරුන්ට දුරකතනයෙන් කතා කොට පුස්තකවල අන්තර්ගතය සහ අනෙකුත් සියළු තතු අසා දැනගෙන ඒ ගැන හේතුපාඨ ලිවීමේ කලාව යි. මෙය සියල්ලන්ගේ පැසසුමට ලක්වූ පාඨමාලාවක් බවට පත්වූයේ මේ සියළු හේතු වෙනි. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වන බව සියල්ලන් දැන සිටීම නිසා කිසිවෙකුත් කිසිදු සම්මානයක් ගැන පශ්චාත්තාපයක් නොවන්නට වග බලා ගති. කුමක් හෝ සම්මාන උළෙලකින් තමන්ගේ කෘතියට ද අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන බව සියල්ලන් දැන සිටීම මීට හේතුවයි. සමහරු අනෙකා වෙනුවෙන් සම්මාන උළෙලවල් පැවැත්වූ අතර ඊට කෘතගුණ දැක්වීමක් ලෙස අනෙකා ද මේ සංවිධායක වෙනුවෙන් සම්මාන උළෙලක් පවත්වා දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් සම්මාන එකිනෙකාට දී සාහිත්‍ය වංශ කතාව ඔපවත් කළහ.

මෙබඳු සාර්ථක ක්‍රමවලින් කියවීම සහ හැදෑරීම නමැති ක්‍රමවේදයන් සරල වී මිනිසුන් දැනුම ලබා අතිශය ජනප්‍රියත්වයට පත්වූවන් ආණ්ඩුවේ උපදේශකයන් බවට පත්වී මෙම ක්‍රම තව දුරටත් වර්ධනය කරන්නටත් ප්‍රචලිත කරන්නටත් පටන් ගත්හ. මේ අති නවීන හැදෑරීමේ කෙටි ක්‍රම ප්‍රගුණ කළ සමහර උගතුන්ට පොතක කවරය දැකීමෙන් පවා එහි අන්තර්ගතය ගැන පැය දෙකහමාරක දේශන පවත්වන්නට හැකියාව ලැබුණි.

පසුව දැන ගන්නට ලැබුනේ ‍නෝබෙල් සාහිත්‍ය ත්‍යාගය තෝරන කමිටුවේ බහුතරයක් ද විශාල මුදල් ගෙවා මෙරට පැමිණ මෙම උපාධිය අසමත්ව දුර්මුඛව නැවත සිය රටවල් කරා ගිය බවයි. මෙනයින් උපාධියේ ගෞරවය ඉහළට නැගුනි.

මහා වංශය පරිඝනක ගත වූයෙන් එහි රජතුමා යන වචනය දහතුන්දාස් හාරසිය විසි හතර වරක් යෙදී ඇති බව එක්තරා මහාචාර් යවරයෙකු ප්‍රකාශයට පත් කළෙන් ඉතිහාසය සහ පරිඝනක අතර මෙම අපූරු සම්බන්ධය ලොවට හෙලිකිරීම හේතු කොට ගෙන ලෝක ඉතිහාසය ගැන නොයෙක් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගැනීමට බටහිරයන් ඩොලර් මිලියන් ගණනක් අතින් වියදම් කරන් මෙරටට එන්නට වූයෙන් රට තුළ විදේශ සංචිත අතිශය ඉහළ යෑමකට ලක් වී මැදපෙරදිග ධනවතුන් පවා කුඩා රැකියාවල් සඳහා මෙ‍රටට ඇදී එන්නට පටන් ගත්තෙන් සංස්කෘතික අර්බූද කීපයක් පැන නැගෙන්නට වී වහාම ඔටුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාවය පැන නැගුනෙන් ජාත්‍යන්තර සහයෝගය නොමදව තිබූ බැවින් විදේශ අමාත්‍යවරයා රුපියල් කෝටි හතලිස් පහක් වියදම් කර සිය බාල දියණියගේ උපන් දින සාදයද හවායි දූපතේ පවත්වා එරට සංවර්ධනය කිරීමට ධන සම්පත් පොලී රහිත දීමනාවක් ලෙස ඒ අයුරින් ප්‍රදානය කොට වැඩි දුරටත් උපදෙස් දෙමින් සංක්‍රමණිකයන් පිළිබඳ මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බවට පාලානාධිකාරයට ආඥාවක් නිකුත් කර නැවත දිවයිනට පැමිණියේය.

පසුව ඇමතිවරයා පැවසූයේ එබඳු සශ්‍රීක ආර්ථික ඉතිහාසයක් ඇති රටකට මූල්‍යමය ව‍ශයෙන් උදවු කිරීම සෘජුව කළ නොහැකි නිසා උපන් දින සාදයකට මුවා වී සිය රට‍ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කළ බවයි. මේ අසා ඉමහත් සංතෝෂයට පත්ව හඬ නගමින් සිනාසුන රටේ ධනවත් ජනතාව පසුව වෛද්‍යවරු සොයා ගොස් සිය උදරවල සහ අ‍‍ධෝමුඛවල පැලී ගිය මාංශ පේශි මැහුම් දමා යළි සකස් කර ගත්තෙන් ඉන් පසු ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි අතිශය සන්තුෂ්ටිදායක ප්‍රවෘත්ති මධ්‍යම රාත්‍රියේ පමණක් විකාශ කළ යුතු බවට පාර්ලිමේන්තු පණතක් සම්මත විය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාව අතිශය සාර්ථක වුයෙන් හෝඩිය, නම් පොත, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගද්යහය, සකස්කඩ, නාමාශ්ට ශතකය, පඤ්ච රත්නය, නවරත්නය, ව්යා‍සකාරය හා ප්‍රත්‍යශතකය වැනි පිරිවෙන් පොත් පත් පිටකොටුවේ උණු කැවුම් මෙන් විකිණී‍ ගියෙන් පොත් විකුණන්නන් තවදුරටත් පදික වෙළෙන්‍දෝ නොවූහ. එම පොත්වල පරිවර්තන භාෂා එකසිය පණහකට වැඩියෙන් නොයෙක් රටවල මුද්‍රණය වීමත් සමග පෙන්ගුවින් සමාගම සහ බාර්න්ස් ඇන්ඩ් නෝබල් සමාගම් මෙරට ආයෝජනය කරන්නට තරඟ වැදුනෙන් විදේශ මුදල් මෙරටට ගලා ඒම ගැන සම්මුතියකට එළඹීමට ජාත්‍යන්තර බලපෑම් ද එල්ල වූ අතර රාජාණ්ඩුව කියා සිටියේ එම ග්‍රන්ථ සඳහා කතෘභාග රජයට අයිති බැවින් එබඳු කිසිදු බලපෑමකට තමන් නතු නොවන බවයි. ජාත්‍යන්තර බලවේග නිහඬ වූ අතර සැප්තැම්බරයේ පැවැත්වුනු පොත් සල්පිල සඳහා කොළඹ සිට කතරගම දක්වා වූ රේල් පාර ආවරණය කොට මඩු ගසා පවත්වන්නට සිදු වීමත් විශේෂ බස් සේවා මගින් විදේශිකයන් තමන් කැමති පොත් නැරඹීමට ගමන් පහසුව ලබා දෙන්නට සිදු වීමත් සහ ඔවුන් අධික ලෙස පොත් මිළදී ගැනීමටත් වූයෙන් එම ගමන් මළුවලට ද ප්‍රවාහන පහසුකම් සළසන්නට සිදු වූයෙන් රජයට ඉමහත් අසීරුතාවයකට මුහුණ දෙන්නට සිදු විය. හම්බන්තොට ගුවන් තොටුපලේ සිට විශේෂ බෝට්ටුවලින් ගාල්ලට විදේශිකයන් ප්‍රවාහනය කිරීමෙන් ධීවරයන් අමතර ආදායම් උපයා ධනවත් වූයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසය.

රටේ අවශ්‍යතාවලට වඩා වැඩියෙන් ගිනි අවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් වූයෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය උදෙසා අවශ්‍ය ඉංජිනේරු පාඨමාලා ද හඳුන්වා ‍දීමෙන් තුවක්කුවලින් සෑදු වැල්පාලම් සහ මහා මාර්ගවල අත් ඇඳි වැටවල් නිර්මාණය වූයෙන් අතිරික්ත තුවක්කු වලින් ඉමහත් ප්‍රයෝජනයක් ගන්නට මහා මාර්ග අමාත්‍යාංශයට හැකි විය. ලෝකයේ ප්‍රථම වතාවට වෙඩි උණ්ඩ මගින් විදුලි බල උත්පාදනයට සුවිශේෂ ටර්බයිනයක් නිපදවන්නට හැකියාව ලද්දෙන් කෝටි ගණනක් වූ වෙඩි උණ්ඩ දැවීමෙන් ජලය වෙනුවට ආ‍‍‍දේශකයක් ලෙස ටර්බයිනයේ යකඩ තහඩු ඉලක්ක කර වෙඩි තැබීමෙන් කරකැවෙන මෙම බලශක්ති උත්පාදක යන්ත්‍රය හේතුවෙන් වෙඩි තබන්නට අවකාශයක් නොලත් අතිරික්ත හමුදාවලට සුවිශාල කාර්යභාරයක් පැවරුනෙන් ඔවුනගෙන් ආර්ථිකයට එකතු වූ අමතර මෙගාවොට් ධාරිතාව දිවයිනේ සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකින් සපුරන්නට හැකි වීමත් සමග එම හමුදා විසුරුවා හැරීමේ අවශ්‍යතාව ද වැලකී විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙම නවතම බලශක්ති උත්පාදන ටර්බයිනය දැක බලා ගැනීමටත් එය අධ්‍යයනය කිරීමටත් පැමිණීමෙන් ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුවේ ලේඛන දත්ත ගබඩා පිරී යන්නට ද විදේශ මුදල් දැවැන්ත ලෙස මෙරටට ගලා එන්නට ද විය. ආරක්ෂක කමිටුව සහ බලශක්ති අමාත්‍යාංශය ගණනය කර තිබූ පරිදි මෙම බලශක්ති වැඩසටහන අවුරුදු හාරසියයක කාලයක් දක්වා පවත්වා ගන්නට ප්‍රමාණවත් වෙඩි උණ්ඩ රජය සතු බව එලිදරවු වූයෙන් ජනතාව ප්‍රීති ඝෝෂා තබමින් ඔපෙක් තෙල් හවුලේ පඹයන් පෙට්‍රල් සහ ඩීසල් දමා පුළුස්සා දමමින් විනෝද වූහ. දැවී ගිය උණ්ඩවල ලෝහ කොටස් උණු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වානේ සහ වෙනත් ලෝහ වර්ග නිපදවා ගන්නට සමත් වූයෙන් ලෝපස් සහ යපස් ආනයනය කිරීම නතර කර දැමූ හෙයින් ඒ සඳහා විදේශවලට ඇදී ගිය ඉමහත් ධන සම්භාරයක් රටතුල ඉතිරි වූ අතර ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය ලෝහ සහ වානේ කම්බි වල මිල අතිශය පහළට වැටීමෙන් එම කර්මාන්ත දැවැන්ත ලෙස දියුණු විය. සැමට තට්ටු ගෙවල් සංකල්පය බිහි විය.

උපදින සියල්ලන්ට තම කාලීන අවශ්‍යතා මත සිය දිවි හානි කරගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කළ අයට වුවමනා වූයෙන් රට තුළ සිය දිවි හානි කරගැනීමේ සාර්ථක ක්‍රම පිළිබඳව උද්‍යෝගය වර්ධනය වී ඒ සඳහා වෘත්තීය නිපුණතා ඇති සුදුසුකම් ඇති විද්වතුන් රටට අවශ්‍ය වූයෙන් එබඳු සායන පැවැත්වීමට අධ්‍යාපන මට්ටම් නිර්මාණය කිරීම ‍උදෙසා නව නීති සංශෝධන සහ විශ්ව විද්‍යාල පාඨමාලා බිහි වූයෙන් මිනිසුන්ට සිය සමාජ වගකීම් සහ යුතුකම් ඉටු කර කැමති දිනෙක මිය යාමේ වරප්‍රසාදය භුක්ති විඳින්නට හැකි විය. මෙම නව ක්‍රම යටතේ සමහරු කැමැත්තෙන්ම ද තවත් සමහරු දේශපාලකයන් ගේ සහ බලවතුන් ගේ රෙකමදාරු මත ද සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වූයෙන් විවිධ මල් ශාලාවල විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව සිය දිවි නැසීමේ සායන සමග ඒකාබද්ධ ගිවිසුම් සකස් වූයෙන් විවිධාකාර පැකේජ වෙළඳපොළට එකතු විය. එබඳු එක්තරා සිය දිවි නසා ගැනීමේ පැකේජයක් නොහොත් වැඩ පිළිවෙලක් මගින් යෝජනා වූයේ වඩාත්ම වියදම් අඩුම ක්‍රමය ලෙස ගොවිතැනට පිවිසෙන ලෙසයි. ඉන්පසු බැංකුවකින් ණයක් ගෙන යන්ත්‍රෝපකරණ කුලියට ගෙන බිත්තර වී ගොවිජන සේවාවෙන් මිළ දී ගෙන කුඹුරු අස්වද්දා පලිබෝධනාශක වල්නාශක සහ පොහොර වැනි වගාව සඳහා යන ඒ සියලු විය හියදම් බේරා පසුව අස්වනු නෙලීමෙන් තමුන්ට සිය දිවි නසා ගැනීමට ඉතා පහසුවෙන් තීරණය කරගැනීමට උපකාරී වන බව සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලා සම්පූර්ණ කළ උපාධිධාරීන් විසින් ජනතාවාදී ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දෙන් නගරාශ්‍රිතව සුඛෝපභෝගීව සිටි බහුතර ජනතාව වගා සංග්‍රාමයක් ‍ක්‍රියාත්මක කරනා ආකාරයෙන් නගරයෙන් දූරස් ඈත ගම්බිම් වලට ගොස් මෙම ක්‍රමය අත්හදා බලන්නට වූයෙන් රටේ ආර්ථිකයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දුන් බවට ලෝක බැංකු සංඛ්‍යාන වාර්තා ඉදිරිපත් වී ඔවුනගේ මෝක්ෂගත ජීවිතයට පිං පිණිස අතිශය දැවැන්ත සොහොන් පිට්ටනි රටපුරා ඉදි විය. පාංශුකූල දීම සඳහා රටේ ශාසනය ප්‍රමාණවත් නොවූයෙන් බුරුමයෙන් ආනයනය කළ රහතුන් පිරිසක් විසින් රටපුරා පාංශුකූල දීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට රජයට අතුරු අයවැයක් සම්මත කරවා ගන්නට වූයේ බුරුම රහතුන් දෙසන බණ පාලියට සහ සිංහලට පරිවර්තනය කරන්නට අවශ්‍ය පරිවර්තකයන් ද බොහෝ පිරිසක් ගෙන්වන්නට සිදු වූයෙනි. සමහර දුෂ්කර ප්‍රදේශවල පාංශුකූල දීම අන්තර්ජාලය ඔස්සේ ද දුරකථන ඔස්සේ ද සිදු වූයෙන් ඈත ගොවි බිම්වල අතිශය දැවැන්ත ඇන්ටනා කුළුනු -ප්‍රකාශ තන්තු ජාල සහ ජංගම දුරකතන ජාලද ව්‍යාප්ත විය. ඔන් ලයින් පාංශුකූල දීමේ ක්‍රමයේ ආරම්භය මෙසේ විය.

මේ අයුරින් ර‍ටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ආර්ථිකය පෙර නොවූ විරූලෙස සංවර්ධනය විය.

***

පසු සටහන්

මෙ‍ම කඩදාසි රෝලේ තිබූ අපහැදිලි සටහන් කීපයක් ද ඔබගේ කියැවීමට මෙසේ ගොනු කරමි.

සටහන් අංක 1

මේ නෝට්පෑඩ් එකේ සිංහලෙන් ලියද්දි සමහර වෙලාවට ටයිප් කරන අකුරු පිස්සු කෙලිනවද බලන්නයි මේක ලියන්න ගත්තේ. ඇත්තටම ගත්තම සමහර වෙලාවට මේකෙන් ලියන්න බැහැ. ඉස්පිලි කොම්බු පාපිලි පැනල දුවනවා අකුරු අතැරලා. හරියට ඉර හඳ දිවුරල ආදරෙන් ඉඳපු අය පස්සේ වෙනස් වෙලා වෙන් වෙලා යනවා වාගේ. අදහන්න බැරි විදියට. ජලනි ට මම දවසකුත් මේ කතාව මෙහෙමම කීවා වගේ මතකයි.

යුනිකෝඩ් වල හැටි ‍එහෙම තමයි. ඒක හදල තියෙන්නෙ පුළුවන් තරම් හොඳින් වැඩ කරන්න වුනත් බිල් ගේට්ස් සිස්ටම් එක හදවල තියෙන්නේ ඊට වෙනස් විදියකට දුවන්නයි.

කරන්න දෙයක් නැහැ.

කොහොම හරි තටමලා ලියන්න ඕන පරිඝනකයේම තමයි. නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මට දැන් අකුරු මතකත් නැහැ. කයන්න ලියන්න ගියාම ලියවෙන්නේ තයන්න. පයන්න ලියන්න ගියාම ලියැවෙන්නේ වයන්න. අනේ මන්දා ...කයනු තයනු කත....පයනු වයනු පව... තමයි...

සටහන් අංක 2

...හරියට රාවණා වගේ. යුනිකෝඩ් සහ රාවණා එකම කාසියේ දෙපැත්ත වගේ. සිස්ටම් එකට ගැලපෙන්නේ නැත්තේ මොකද්ද කියල අපට තේරුම් ගන්න බැහැ. ඉස්පිලි පාපිලි වගේ ඉඳපු අයත් එලවල දානවා. කුම්භකර්ණයා සහෝදරයා වුණත් වැඩකට නැති කොම්බු ගෙනත් පාපිලි අස්සේ දමා ගන්නවා. එතකොට කියන්න යන කතන්දරේ සේරම වෙනස් වෙනවා. වෙන කතන්දරයක් කියවෙනවා. මම ලියල දෙන දේ නොවෙයි එයා අන්තිමට කියවන්නේ. වෙන දෙයක්. පස්සේ මා සොයාගෙන නිල් වෑන් එකක් එයි. ඒ මොකට ද ? මම ඉන්නේ කාටත් පේන තැනක. එතකොට ආරක්ෂාවයි. මේවා ප්‍රබන්ධ කියල මමම කී වතාවක් ජලනි ල එක්ක කියල ඇද්ද? නැහැ ඒවා ප්‍රබන්ධ නොවෙයි... මම ගයනු කිත්තක් වගේ ඉන්න ඕන. ජලනි ඔයා යංසයක් වගෙයි. මට මේ උපදේශක කම් එපා වෙලා ජලනි...

සටහන් අංක 3

අද ජලනි ආවෙත් නැහැ තීසිස් එක ලියන්න. මොකද දන්නේ නැහැ. මට හරිම පාළුවක් දැනෙන්නේ මොකද මන්දා. කන්නාඩියෙන් බැලුවම ඇයි මට මාවම පේන්නේ අවුරුදු දහයකින් තරුණ වෙලා වගේ? මැරෙන්න කිට්ටු වුනාම සමහරු ලස්සන වෙනවලු...

මේ සටහන් කවුරු හරි කවද හරි කියවයිද දන්නෑ...ඒත් මට මොකෝ මම එතකොට නැහැනේ...‍කො‍‍හොමත් මිනිස්සු දන්නවා අපි කරන්නේ රඟපෑමක් කියලා...අපිත් මිනිස්සු...

අනික සටහන් ලියන්න ඕනත් නැහැනේ කාටවත් ඒවා කියවන්න ඕන නැත්නම්...

ලිවීමේ මහාද්වීපය සොයා ගත්ත එක ගැන පම්පෝරි ගහ ගහ හිටිය හැටි මතක් වෙනවා දේශනාගාර වල...

කිසි තේරුමක් තිබ්බද මේ කරපු ලියපු එක ඉළවුවකින් වත් මේ ලෝකෙට?


සටහන් අංක 4

දයාබර ජලනි

මේක ලියන්න ම ඕන කතාවක් ඒකයි මේ තකහනියේ ලියන්න කියල වාඩි වුනේ. ඉතිං කියවන්න පටං ගන්න අර සිසිරයේ රැයක මගියෙකු නම් කියවන්න සූදානම් වෙනවා වාගේම හරිබරි ගැහිලා. ඒක මම ආයෙම විස්තර කරන්න යන්නේ නැහැ මොකද ඉටැලෝ කැල්විනෝ ඒක විස්තර කළ යුතු නියම රසවත් ආකාරයටම විස්තර කරල ඉවර නිසා. ලියපු දේවල් ආයෙම ලියන එක කාටවත් තරම් වෙනව ද? හරිබරි කීවම මතක් වෙන්නේ හරිජනයා ගෙන ගිය අරගලය ඉන්දියාවේ නමුත් ඒකයි මේ ලියවිල්ලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ නමුත් හරිබරි ගැහෙන්නේ කො‍‍හොමද කියලා හිතාගන්න උත්සාහ කරද්දි මේ හරිජන ප්‍රශ්නෙ ඔලුවට ආවා. .........

........ඩොක්ට ෂිවාගෝ කියවද්දි ඇස ගැටුන පැස්ටනාර්ක්ගේ කවියක් ඇතුලේ ඉටිවැටිය දැල්වී යන්නා සේම මගේ පෑනේ තීන්ත ටික වෑහිලා ඉවර වෙන්නත් පුළුවන් රටේම තියෙන දේවල් මේ කතාව ලියද්දි ලියන්න ගියොත්...මගේ ජීවිතය වගේම...මතක ඇතුව රෝසා ලක්සම්බර්ග් කියවන්න ජලනි...අපට මග ඇරුන දේවල් බොහොමයි...

..... ඒ හින්දා අන්ධ ගායකයෙක් දෑස් අඳුරු කන්නාඩියකින් වසාගෙන ගීත ගායනා කරන්නා සේ මා දන්නා ගායනාව තාලයකට ලිවීම බැවින් වැඩිමනත් ලෝකය පෙනීමෙන් මගේ සිතුවිලි කැළඹීම නතර කරගන්නට සියුම් අඳුරු කන්නාඩියක් ලෙස ගලා එන වචන වලට පෙරහණයක් දමා ගන්නවා මේ මොහොතේ සිටම නැත්නම් මට වෙන්නේ ස්ටිවී වොන්ඩර් වගේ නොපෙනෙන ලෝකය දිහා දෑස් දල්වන් වටපිට හිස කරකවමින් ගායනා කරන්නා සේම මේ ලියැවිල්ල හුස්මක් කටක් ගන්නේ නැතිවම ලියං ගිහින් මහ විසාල අතරමං වීමකට ඔබව තල්ලු කරදමා මට ඕන ඔවුන් අතට පත් වන්නටයි. හැම ලියැවිල්ලකම මට මෙතුවක් සිදු වුනෙත් ඒකමයි. .....

ජලනි...

.......හැම ලියවිල්ලක්ම අසම්පූර්ණ සටහන් ගොඩක් වෙලා වචන කඳුගොඩ ගැහෙන්නේ මේ අනවරත වරද නිසා යැයි මම වටහා ගන්නෙම රාත්‍රියේ ලියැවුනු දේ පහන් එලියෙන් වුවද හිරු එලියේ දි කියවද්දීම එහි රැස් දහරේ කිදී කිමිදී යද්දී කොතරම් වෙනස් හැඟුම් ජනිත කරන්නේ දැයි මම ම සොයා දැනගත් බැවිනි. මෙහෙම ලීවට මම ඉතාම සැලකිලිමත් වෙනවා මේ කතාව මට ඕන දේවල් ටික ගොනු කරගෙන සංවිධානාත්මක රචනයක් විදියට ඔබට පිළිගන්වන්නට. නමුත් මේ කන්නාඩි හැම කන්නාඩියක් වගේම මට පෙන්වන්නේ කන්නාඩියෙන් සඟව ගත් සූක්ෂම ‍ස්ථරයක් වසා දමලා නිසා මේ දැනටමත් මම ලියාගෙන යන දේවල් අතර මහ හිදැසක් ඔබට දැනු‍නොත් ඒ වරද මගේ නොවන වග තේරුම් ගන්නට දැං ඔබ සමත් වනු නොඅනුමානයි.

දැනටමත් මම කියන්න ඕන සියල්ල කියා අවසන් යැයි මට හැඟේ.

මමත් ඒ කාලකන්ණි කමිටුවේ හිටියා ජලනි!

දැං ජලනි ඔයා දුවන්න ඕන...ගොඩාක් හයියෙන්...


සංස්කාරක සටහන

මේ මීට වසර හතලිස් පහකට පෙර අප රටේ සැබෑ චින්තනය ලෝකයා හමුවේ තබන්නට මෙම මහාචාර්යවරයා විසින් සැකසූ‍ ලියැවිල්ලයි.

මෙම ලියැවිල්ල එදා පාලකයන් අතට පත් වූයේ නම් කිසිවක් වෙනස් නොවන්නට ඉඩ තිබුනි.

දැනට හැටහත් හැවිරිදි විශ්‍රාම ලත් ජනාධිපතිනිය මීට වසර තිහකට පෙර පැවති මිලිටරි ජුන්ටාව පෙරලා දමා නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රජයේ ප්‍රථම ජනාධිපතිවරියයි. ඇය විසින් පිළිගත් මේ ලියැවිල්ල ඇය සතු හඩ පටයේ ම ලියැවිල්ල බව සනාථ කළාය.

11 comments:

  1. මේක කියවන කොට මතක් වෙන්නේ බර්ටි බී කුඩාහෙට්ටි ගෙ 'සමනල්ලු සහ මැෂින් තුවක්කු (1979).

    ReplyDelete
  2. ඇත්තම කියනවා නම් මට මේක ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ.. හකාවතී ඇත්තටම අපිව ගොළු කරනවා.

    ReplyDelete
  3. නියමයි නියමයි..! ඔහොම යං..
    හැබැයි මැජිකල් රියැලිස්ම් පැත්තට යනවනම් තවත් හොදයි..!

    ReplyDelete
  4. ප්‍රශ්න කරනවා , විශ්ලේෂනය කරනවා මුළු system එකම...

    ReplyDelete
  5. marayi machan?
    meka liyana oya kawuda manda
    but this is simply brilliant........

    ReplyDelete
  6. හෂිත වෙත

    මම ඔබ සඳහන් කළ පොත කියවලා නැහැ. ඒ ගැන කිසිම සැසඳීමක් කරගන්න මට බැහැ. නමුත් ඒ පොත සොයා ගෙන කියවන්නට මේ ලියැවිල්ල නිසා මට මග පෑදුන නිසා සතුටු වෙමි. ස්තුතියි හෂිත.

    malee_msg වෙත
    ඒ කියපු දේ මැදැ! හිනා
    ස්තුතියි මලී

    Palitha වෙත
    මමත් එහෙම හිතලා ලියවිලි වර්ග කරලා ඊමේල් එකක් දමලා මට හිතවතෙක් කීවේ ඒක තීරණය කරන්න විචාරකයන්ට තියලා මගේ ලියන වැඩේ කරන් යන්න කියල. ඒක ඇත්තක් බව මටත් වැටහුන නිසා මම දැන් ‍ඔය වර්ගීකරණ පදනමින් ඈත් වෙලා ලියන්න උත්සාහ කරන්නේ. මේ‍ ලියැවිල්ලේ වුනත් තියෙන්නේ ප්‍රායෝගික නොවන බො‍හෝ දේ උත්ප්‍රාසයට නැගීමක් කියල නැවත කියවද්දි මට හැඟී ගියේ. ඒ ගැන මීට වඩා කිසිවක් මා මෙතන ලිවීමේ අරුතක් නැතැයි ද කියා මට සිතේ. ස්තුතියි පාලිත.

    Vasilissa වෙත
    ‍සුරංගනා කතාවක් කියවන්න සුරංගනා චරිත ඇවිත් වගේ කියල එක පාරටම මට සිතුනා වසිලීසා දැක්කම. මේක සුරංගනා කතාවක් නොවන වග මට විශ්වාසයි. ස්තුතියි වසිලීසා.

    BUNTI වෙත
    මචං මට ලියපන් කවුද කියල දැනගන්න ඕනම නම්...
    ස්තුතියි බන්ටි!

    ReplyDelete
  7. මෙම මහාචාර්යවරයා තම පී.එච්.ඩී. එක කරන්නට ඇත්තේ ඉතා දිගු වාක්‍ය ලිවීමේ කලාව පිළිබඳව වියයුතු යැයි මට හැඟේ.

    කතන්දර කාරයා

    ReplyDelete
  8. මේිව උන්ට කියවන්න දෙන්නේ කොහොමද?

    ReplyDelete
  9. අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
    අපූරුයි. :)

    අර වාක්‍ය දිගවැඩිකතාව නම් මටත් හිතුනා.

    ReplyDelete
  10. අනර්ඝයි. දිගටම ලියන්න

    ReplyDelete
  11. ආසාවෙන් කියෙවිව.

    ReplyDelete