Sunday, October 25, 2009

බීට් රූට් ලේ

බීට් රූට් ලේ

ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූ‍යේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග‍ ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරැ කළේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප්‍රති‍‍‍ඵලයක් ලෙසය.

දිගින් දිගටම සිහින තුල සහ අන්තර් සිහිනමය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප්‍රක්ෂේපනය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ‍ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය‍. එසැන සියල්ල නිවී ගියේ එය සිහිනයක් බව ඒත්තු ගන්වමිනි. ඇය පියවි සිහිය ලබද්දී දැනගත්තේ ඈ අවසිහියෙන් බවය.

චන්ද්‍රාණි නින්දෙන් පිබිදී ඇතත් ඇය තවත් සිහිනයකට ඇතුළු වෙමින් සිටින බව නොදැන සිටියෙන් ඇයට කාමරයේ සීලිම පෙනුනේ බීට් රූට් ඉස්ම ගලා හැලෙන ඉරි තලා ගිය වැහි බර අහසක් මෙනි. බිත්ති දිගේ ගලා හැලෙන බීට් රූට් තැම්බූ වතුර ක්‍රමයෙන් පොලව දිගේ ඇය ගේ දෙපතුල් අසලට ගලා එන්නේ යැයි සිතුනි. එම බීට් රූට් තැම්බූ වතුර ඇගේ සිරුර යට කරමින් ගංවතුරක් මෙන් නැගී ඈ එමත පාවෙන්නට පටන් ගති. ඉපිලුම් නියමය සත්‍ය වශයෙන් යෙදෙන්නා වූ සිහිනයක් බැවින් ඇගේ පරිමාව විස්ථාපනය කළ බීට් රූට් ඉස්ම ඇගේ රුධි‍රයේ ඝණත්වය ට සම වීමෙන් ඇය බීට් රූට් තැම්බූ වතුරේම කොටසක් බවට පත් විය.

"මට දියවැඩියාව! මට දියවැඩියාව!! දෙයියනේ මට දියවැඩියාව!!! "

ඇය මහ හයියෙන් කෑගැසුවාය. බිත්තියේ පහලට බඩගාමින් හුන් හූනෙක් වහාම සිවිලිම දෙසට වේගයෙන් බඩගා එහි වූ පැල්මකින් අතුරුදහන් විය. ඈ පමණක් තනිවම නවාතැන් ගෙන හුන් බෝඩිං කාම‍රයේ කැරපොත්තන් මීයන් හූනන් සහ ඇමීබාවන් හැර වෙන කිසිවෙකුවත් ඇයගේ ලතෝනිය අසන්නට නොවුයෙන් ඇය වහාම ඇඳෙන් බැස රාත්‍රී ගවුම පිටින්ම බෝඩිමෙන් පිටතට පැමිණියාය. ඇය බෝඩිමේ ගේට්ටුව අසලට පැමිණ බෝඩිමට වැටී ඇති මහ පාරෙන් වූ අතුරුපාර දෙස එක දිගට ඇස් යොමු කළ ද කිසිවෙකු පෙනෙන්නට නොවූයෙන් ඇය මිදුලෙන් ගේට්ටුව විවෘත කර පාරට ආවාය. පාර දිගේ තාර වෙනුවට බිට් රූට් ඉස්ම හැලි ඇති අයුරක් පෙනී නැවත තාර පාටින් පාර පෙනෙන්නට පටන් ගත්තෙන් ඇය පා ඉක්මන් කළාය. ඇය එක එල්ලේ ඉදිරියට ඇදෙන්නට විය.

"දෙයිය‍නේ මගේ ඇඟ සේරම බීට් රූට් ඉස්ම ගලනවා නහර ඇතුලේ... මෙහෙම ගියොත් මගේ මුලු සරීරෙම තියෙන වතුර ටික මේ බීට් රූට් වල තියෙන සීනි වලින් උරා‍‍ගෙන විජලනය වෙන්න ගන්නවා... දන්නවද අඩුවෙන් වතුර තියෙන තැං වලට වැඩියෙන් වතුර තියෙන තැං වලින් ‍උරා ගන්නවා කියලා? දෙයියනේ දැනටමත් මගේ ඇස් ගෙඩිවල තිබ්බ වතුර සේරම මේ බීට් රූට් ඉස්ම උරාගෙන උරාගෙන යනවා ‍‍‍... මට තව ටික වේලාවකින් මේ ලෝකේ බීට් රූට් ඉස්ම නිසා අන්ධ වෙන පළවෙනිම ගැහැණිය වෙන්න වෙනවා... මට දියවැඩියාව හැදිලා...මට දැනෙන්නේ මම සීනි ගෝනියක් වගේ ඇත්තම කියනවා නම් බීට් අල තම්බපු වතුර බාල්දියක් වගේ... "

"ඔයා කොහොම ද ඒක දැනගත්තේ? "

"මම හීනයක් දැක්කා... "

"මොකද්ද ලමයො දැක්ක හීනේ? "

"මම දැක්කා අපේ දොස්තර නෝනා බීට් රූට් තම්බපු වතුරෙන් ලේ දෙනවා මිනිස්සුන්ට. ඒ මිනිස්සු සේරම ටික වෙලාවකින් හරිම සන්තෝසෙන් මැරිල ගිහින් ස්වර්ගේ ඉපදෙන්න පටන් ගත්තා. ස්වර්ගෙට දරා ගන්න බැරි තරම් මිනිස්සු කන්දරාවක් ගිහින් එකපාරටම එහේ ඉපදෙන්න ගත්තා. ටික ටික ස්වර්ගලෝකය බර වැඩි වුනා...ඒක කොළඹට පාත් වුනා...කොළඹ දිව්‍යලෝකයක් වෙලා තිබ්බා...‍මෙහෙම හීනයක් පේන්න නම් එකම හේතුව මට දියවැඩියාව නිසාම තමයි... "

"අයියෝ මේ විකාර හීනයක් නිසාද මේ කල‍බලේ? කොළඹට දිව්‍යලෝකේ පාත් වුන එක ගැන සතු‍ටු වෙන්නයි ඕන...ඔය බීට් කතාව වැඩක් නැහැ... "

"ඒක ‍එහෙම වෙන්නේ කො‍හොමෙයි? මට වැදගත් මෙතන මේ බීට් කතාව තමයි...ඉස්සෙල්ලම තේරුම් ගන්න මේ සංඥා ගැන. රතු රුධිරාණුවලයි සුදු රුධිරාණුවලයි සංකලනයෙන් තමයි අපේ මේ ලේ හැදිල තියෙන්නේ ...තව පට්ටිකා කියල ජාතියකුත් එක්කල...මතක නැද්ද ඉස්කෝලේ සෞඛ්‍යය පාඩම? බීට් අල තැම්බුවම ඒ වතුර අපේ ලේ වලට ආදේශ කරන්න පුළුවන් කියල මට හීනෙන් කීවේ අපේ දොස්තර නෝනා...ඒක ඇත්තක් නොවුනට ඒ දොස්තර නෝනා මට මීට සති දෙකකට විතර ඉස්සර හීනෙන් පෙනිලා කීව දෙයක් මට දැන් වගේ මතකයි...එයා කීවේ ලේ ජාති වෙනස් වෙන්නේ රීසස් සාධකයෙන් විතරක් නොවේය කියලා. හැබැයි මම ඒ කතාව කාටවත් කියන්න ගියේ නැහැ. දැං තමයි මම මේ ඔයාට උනත් කියන්නේ... "

"මොකද්ද රීසස් සාධකය කියන්නේ? "

"මම දන්නේ නැහැ බං...ඒත් ලේ වර්ග කරද්දී ඒ බී ඒබී සහ ඕ කියල කියන්නේ අන්න ඒ වගේ ලේ වල තියෙලු මොකක් හරි ගුණයක් ඒවා වෙනස් වෙනවලු කතා කරන බාසාව අනුවත්...මොකද කතා කරන බාසාව හැදෙන්නේ මොළය ඇතුලේ නිසා මොළය හරහා ලේ හැමතිස්සෙම ගමන් කරන නිසා අපි කතා කරන හිතන පතන බාසාවෙ දේවල් ලේවලට ඇතු‍ළු වෙනවලු..මේක හරිම රහසක් ලු... "

"ඇත්ත ද බං? එහෙම වෙනව ද? "

"ඔව් බං දැං බලපං හොඳ කෙනෙක් ගේ ලේ නරක කෙනෙකුට දුන්නම නරක කෙනා හොඳ වෙනවලු...බුද්ධිමත් කෙනෙක්ගේ ලේ මන්ද බුද්ධික කෙනෙකුට දුන්නම එයත් බුද්ධිමත් වෙනවලු...ඔන්න ඔය වගේ කතා බං ... ඕවා ඇත්ත ද කියන්න මම දන්නේ නැහැ...ඒත් ඒවා වෙන්න බැරි ද? "

"වෙන්න බැරි නැහැ... වෙන්න බැරි නැහැ... "

"ඒක තමයි මම කියන්නේ මේ ලේ වලට සිතුවිලි මුහු වෙනව නම් ඒ සිතුවිලි නිසා ලේවල රසායනය වෙනස් වෙනව නම් ඒ කියන්නේ කතා කරන බාසාව හිතන පතන බාසාව නිසා ලේ වල රසායනික සංයුතිය පොඩිත්තක් හරි වෙනස් වෙනව නම් මම කියන්නේ ලේවල සිද්ධ වෙන වෙනස් කමක් වුනත් ආයෙම මොලේ ඇතුලෙන් යද්දි අපි හිතන මතන තැන් වලින් ඒ වෙනස හඳුන ගෙන අපිට හීන නිර්මාණය කරනවා වෙන්නත් ඕන...සිතුවිලි නිර්මා‍ණය කරනවා වෙන්න ඕන...ඒ කියන්නේ ලේවල සීනි වැඩි වුනාම ‍ඒකත් මොළයට දැනිලා අපිට හීනයක් විදියට අනතුරු අඟවනවා වෙන්න පුළුවන් කියන එකයි... "

"අම්මෝ උඹ හිතන දුර...මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ...ඕනම නං උඹ බ්ලඩ් චෙක් කරගනින් අර නවලෝකෙට ගිහින්... "

"මට එහෙම ඕන නැහැ. මට හිතෙන දේ තමයි මගේ ලේ වල සීනි ගතිය වැඩිය කියන එක...දැං බලන්න මේක මට වෙන්න ගත්තේ මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත දවසෙ ඉඳලම නේ...මේ විදියේ හීන පේන්න ගත්තෙම මේ අලුත් භාෂාව ඉගෙන ගන්න පටං ගත්තු දා ඉඳලමයි. ඉතිං ඒකයි මේකයි අතර කෙලින්ම සම්බන්ධයක් තියෙන්නේ ...ඒ හින්දා ලේ චෙක් කරන්න ඕන නෑ..."

"මට පේන්නේ උඹේ ලේ විතරක් නොවෙයි මොලෙත් පෙන්ව ගන්න‍ වෙයි වගේ මනෝ විශේෂඥයෙකුට...මට තේරෙන්නේ නම් ඒකයි...උඹ මොකද හදිසියේ දෙමළ ඉගෙන ගන්න පටං ගත්තේ? "

"ඔන්න ඔන්න උඹලට ඉතිං හැමදාම ඔහොම තමයි...කවුරු හරි විශේෂඥයෙක් කියන්නම ඕන ඕනම දෙයක් පිළිගන්න...අපි කොක්කුනේ...දෙමළ ඉගෙන ගන්නේ ඇයි කියලද ඇහුවේ ?? "

චන්ද්‍රාණි සිය දෑතින් මුහුණ පිස දමා ගත්තාය. ඇයගේ දෑසේ පතුලේ සුමියුරු රහසක් සැඟව ඇතැයි ඇගේ යෙහෙලියට සිතුනි.

හැන්දෑවේ ඥාණලිංගම් වැඩ ඇරී බෝඩිමට පැමිණ කාමරයේ ජනේලය ඇර දැමුවේය.
වෙනදා මෙන් අල්ලපු ගෙදර බෝඩිමේ චන්ද්‍රාණි පේන්නට හිටියේ නැත.

9 comments:

  1. හඳ එළියට (චන්ද්‍රාණි) පිස්සු හැදිලා..

    මේ හකාවතී, රීසස් ගැන පොඩි සමරියක් දෙන්නකෝ...

    ReplyDelete
  2. There are four general categories of blood: A, B, O, and AB. Each blood type is further labeled as positive or negative, which is a reference to the Rhesus factor of the blood. People with the Rhesus factor, that is, people with the antigen present in their blood, are Rh-positive. So a person who has a blood type of A and has the Rhesus factor is said to have A-positive, or A+, blood. More than 85% of people are Rh-positive. People without the Rhesus factor, that is, people that don't have the antigen in their blood, are Rh-negative.

    http://www.wisegeek.com/what-is-the-rhesus-factor.htm

    ReplyDelete
  3. wenada wagema amuthuyi...
    rahayi....

    ReplyDelete
  4. නියමයි . . . සමර විජේසිංහගේ කෙටි කතා වගේ . . . උඹත් කතාවේ කෑල්ලක් ලියලා ඉතිරි සම්පූර්න කතාවම අපිට හිතෙන් ගොතාගන්න ඉඩ සලස්වලා . . . වෙනස් ශෛලියක් . . . ඒත් නියමයි . . .

    ReplyDelete
  5. වෙලාවකට හිතෙනවා හකාවතීගේ කතා තේරුම් ගන්න මං පැහිලා මදි කියලා.!

    ReplyDelete
  6. කූඹියා

    කිරිමාමා

    මලී

    බොහොම ස්තුතියි කියෙව්වට සහ ලිව්වට. මලී කියන කතා වලට මට හරිම හිනහයි.

    දුකා

    මේවා කොහෙත්තම සමර මහත්තයාගේ කතා අසලින් වත් තියන්න බැහැ කියලයි ම‍ට හිතෙන්නේ. හිතන්න දේවල් ඉතිරි වෙන එක ගැන නම් මටත් එකඟ වෙන්න වෙනවා නේද ?

    ReplyDelete
  7. මායාකාර බවක් එක්ක, ඒ අස්සෙන් ගලන පුදුමාකාර ගැලපීම් වගයක් තියෙනවා...!
    සතුට ඉහළ යාම, සීනි වැඩිවීම, ස්වප්න ලොව කරක්ගැසීම්, මේ හැමදේම එක්ක චන්ද්‍රානි ගේ චෛතසික දියවැඩියාව, මේ හැමදේම හකාවතී අවසානයට එක්කාසු කරනවා දෙමළ ඉගෙන ගැනීමෙන්.
    රුධිරය, බීට් රූට්, රතුපාට, මේ ඔක්කොම එක්ක අන්තිම ට ම තිත් පේලියකුයි කොමාවකුයි එක්ක ප්‍රශ්නාර්ථයක් මෙන්න අපි ඉස්සරහ චන්ද්‍රානි තියලා....!

    හකාවතී මේ පූර්වාපර සන්ධි ගැලපීම හරිම අරුමක්කාරයි.........!

    ReplyDelete
  8. maara style ekak meka num.... very nice

    ReplyDelete