Monday, October 12, 2009

‍අත්‍යවශ්‍ය සටහනක්


‍අත්‍යවශ්‍ය සටහනක්

මා අනාගත ලේඛකයකු විය හැකියැයි කිසිවකු වරදවා වටහා ගනිතැයි ම‍ට සිතුනි. මන්ද යත් මගේ අනාගත ලේඛන දිවිය උදෙසා ඔවුහු මට උපදෙස් ආචාර ධර්ම සහ ඥාණය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බැවිනි. අයෙක් මට අක්ෂර වින්‍යාස ගැන ද තවෙකෙක් ව්‍යාකරණය ගැන ද මට ආද‍රයෙන් ද හාසයෙන් ද අපහාසයෙන් ද උපදෙස් දෙති. තවත් අය ප්‍රතිචාර සමාචාර කිරීමේ වත්පිළිවෙත් ගැන සිය ඥාණ කෝෂ්ඨාගාරය කලතමින් විග්‍රහ කතෝපකථන කරුණාවෙන් ද දයාවෙන් ද සෝපාහසයෙන් ද ඉදිරිපත් කරති. පරිශීලනය කළ යුතු පොත් පත් ඇදුරන් ගැන ලිඛිත දේශන පවත්වති. තවත් අය තවත් දේ කරමින් සිටිති. මේ සියල්ල දැන් ම‍ට මහත් සියොළගම දවා හළු කරන්නට තරම් බියකරු ලෙස දැනෙන ගින්නකි. ඒ බව මේ ප්‍රඥාසම්පත්තියෙන් ආඨ්‍ය වූවන්‍ට නොතේරෙන්නේ නොවෙයි. ඒ ඒ අයගේ ක්‍රමය ය. ඒ අය සතුරන්ට පහර දෙන‍්නේ මිතුරු උපක්‍රමයෙනි. මට මේ ගිනි රස්නය දැනෙන්නේ මේ දෙන උපදෙස් නිසාවෙන් නම් නොවේ. මේ උපදෙස් දෙන්නන්ගේ වාග් විලාසයන් අස්සෙන් සියුම්ව මතු වෙන ඔවුන් දැඩි ලෙස ලොවින් වසං කොට හංගාගෙන සිටින වෛරයේ ගින්නේ රස්නය නිසාවෙනි.

වඳුරෙකු කීබෝඩ් එකක ඇඟිලි ඔබමින් අනන්ත කාලයක් ගත කළ හොත් ඔහු විසින් සසම්භාවී ලෙස ටයිප් කරන අක්ෂර සංකේත සංකරණ සහ සංයෝජන සියල්ල අතර භගවත් ගීතාව වුවද ප්‍රතිරචනය වීමක් විය හැකි බව සම්භාවිතා ගණිතය කෙළ පැමිණි ප්‍රඥාවන්තයින් පවසා ඇත. මෙහි ප්‍රායෝගික සත්‍ය කුමක් වුවත් න්‍යායිකව නම් සිදු විය හැක්කකි.

මෙලෙස ම මම ද එබඳු වඳුරෙකු ලෙස නමුත් වෙනස් වඳුරු ක්‍රමයකට විවිධ වචන වාක්‍ය සහ අදහස් තැනින් තැනින් සොරකම් කොට සසම්භාවී ලෙස එකට තබා කිසිවක් අමුණා මෙතැන තබමින් සිටිමි. ඒ කිසිදු ලේඛන උපාංගයක් මගේ නොවේය. මගේ අතැඟිලි වල අගින් යතුරු ලියවෙන මේ සියල්ලේ මුල් පිටපත් මා සමග සම්බන්ධ වන්නේ ඉතාම සංකීර්ණ ආකාරයකට ය. ම විසින් කියවන අසන සහ සිතන ලද බහු විධ විකාර සහ ඒවාට තුඩු දුන් සමාජ සිදුවීම් අධ්‍යයන ආයතන සහ පුස්තකාල නැමති දැනුමේ බලාධිකාරයන් වල යාන්ත්‍රික කොපි මෙලෙස මා අතින් ඡායාපිටපත් බවට පත්‍ වීම ලේඛන කලාවක් නොවේ. මවිසින් කිසිදු අලුත් අදහසක් හෝ ලිවීමේ ප්‍රාතිහාර්යයක් සිදු කර හෝ කරමින් ඉන්නේ ද නැත. මම කිසිදු අලුත් වචනයක් නිමවා නැත. මා විසින් ප්‍රයෝජනයට ගන්නේ ද අනිත් බොහෝ අය කල්ප කාලාන්තරයක් තිස්සේ අදහස් උදහස් කියා පෑමට යොදා ගත් වචනම ය. එහෙයින් ඒවා සම්බන්ධව මට අයිතියක් ඇත්තේ ද නැත. මේ වචන පුරුද්දා හදන වැකි සමහර විට අරුතක් ජනනය කළ ද බො‍හෝ විට එවැනි දෙයක් ද නොවෙන වග කාට වුවත් පැහැදිලිය. එනයින් අලුත් අදහස් නිර්මාණය කිරීමක් ද නොවේ. මේ කියවන වැකිය පවා ඔබ මී‍ට පෙර කොහේ දී හෝ කියවා ඇති බවට නොඅනුමානය. මේ සියළු අදහස් වෙනත් කවුරුන් හෝ මින් පෙර ද පවසා ලියා ඇත. එක අතකින් වියරණ බිඳී ගොස් හෝ ලිවීමෙන් මා කරන්නේ ඒ අදහස් ම බිඳුනු වියරණයකින් නැවත කීමක් විය හැකිය.

දැන් කීමට ඇත්තේ ලිවිය යුතු සියල්ල මට පෙර ලිවීම නමැති කාර්ය සාධිතයන් අතින් ලියැවී හමාර වී ඇති බවය.

සියළුම අදහස් මට පෙර සිටි අයගේ හිස් මතින් උත්පාත වී මහ පොලොව වෙත සපැමිණ පොත් පත්වල ලියැවී මුද්‍රණය වී ඇත.

සිතන්නට දැන් අලුතෙන් කිසිවක් නැත. සියල්ල සිතිය යුතු අය සිතා අවසන් කර ඇත.

බිඳුනු වියරණයකින් පරණ දෑ නැවත කියවන්නට ලැබීම ඔබේ අභාග්‍යය විය හැකිය.

මා දැන් කළ යුත්තේ වියරණ බිඳීම පමණි.


ප.ලි.

එහෙයින් මා විසින් මෙහි ලියා තබන ඕනෑම දෙයක අයිතිය ඔබ සතුය. ඒවා නැවත ලිවීම නැවත විකෘති කිරීම සහ නැවත නැවත තැන් තැන් වල ලියන්නට හෝ තමන් කැමති අකැමැති ඕනෑම දෙයක් මේ ලියවිලි වලට කරන්නට ඔබට සියළුම බලය සහ අයිතිය ඇත්තේය.
මේවා ලියා ඇත්තේ ඔබට ද මා මෙන්ම ලෝකයේ ලියා ඇති සියළු දේ විකෘති ලෙස කියවා ගැනීමට ඔබට සහ මට ඇති අයි‍තියේ නාමයෙනි.

4 comments:

  1. ලැජ්ජාවේ සංතෝසේ බෑ...

    ReplyDelete
  2. I guess this is your attempt to show that you can avoid all typos and grammar errors if you want. Let me tell you that you have been extremely successful here.

    In my Kathandara blog - I use a writing style that I feel is the one that fits. A couple of months back I saw an eMail advising people to not use such style and use Amaawathura(*) a la Gurulugomi style. I did not worry at all.

    -KK

    (*) Not Amaawathura Koappaya style

    p/s: You are an excellent writer, mate. Take my word for it.

    ReplyDelete
  3. වියරණ බිඳීම ඉතා ගැඹුරු යෙදුමෙකි. වියරණ බිඳීම දැන කළෝ නව වියරණ බිහි කළෝය. ඔවුහු ගියේය යනු වැරදි වියරණයකි. ඇවැසි තැන එසේ කීමෙන් ඔවුහු නම් සර්ව නාමයෙන් හැඳින්වුණු කර්තෘ අප්‍රාණවාචී කළ හැකිය. ලංකාවේ මහජනතාව අප්‍රාණවාචී නොවේද? ඔබේ වියරණ බිඳිම එබඳු නිර්මාණශීලී එකක් වේවා!

    ReplyDelete
  4. මෙතෙක් කල් ඉංග්‍රීසි භාශාව උගත් අයට පමණක් විවරව තිබූ මේ කෂේත්‍රය සිංහල පටකයන්ට විවුර්ත කිරීම ගෑන මගේ ප්‍රණාමය. සමහරෙකුට ( මතුපිටින්) කුනුහරු ලෙස පෙනෙනෙන, ඒත් මෙතරම් ගෑබුරින් හිතන්න යොමුකරවන වෙනත් සිංහල වෙබ් අඩවියක් නොදෑක්කෙමි, යයි කීම අතිශයෝක්තියක් නොවේ යෑයි සිතමි.

    ReplyDelete