Sunday, April 22, 2012

විනෝදය

ජනේලය අද්දර මේසයේ රෝස පාට මේස රෙද්දේ වාටියේ සුදු පාට රේන්ද සැරසිල්ල මේසය වටා කිරිබත් කැට පළුවක හැඩයෙන් තරංගාකාර රටාවක් පරිමිතිය ඔස්සේ පැතිරී ඇත්තේ ලැප්ටොප් පරිගනකය යට සායක්  ඇඳ මේසය මධ්‍යයේ බැබලෙන පරිද්දෙනි. ජනේලයේ මල් වීදුරු රටාවේ කිරිබත් කැට අස්සෙන් උදා හිරු කිරණ පොදක් කාමරයට වෑස්සී ඇත.
සුගතදාසගේ සුරතල් ලැපයේ සිට ඔහු සැතපෙන සුව යහනට දේදුන්නක් වැටී ඇත. දේදුන්නේ වර්ණාවලියෙන් ආලෝකවත් වක්‍රාකාර දිස්න කදම්බයේ ඉතා කුඩා දූවිලි අංශු රාත්‍රී අහසේ තාරුකා සේ දිස්න දෙමින් අනවරත අහඹු චලිතයක යෙදේ. (බ්‍රව්නීය චලිතයක්!)

සුගතදාස දෑස් අපරිමිත දුෂ්කරතාවයෙන් හැර ගන්නට තැත් දරමින් සිය හිස අසල වූ ජංගම දුරකතනයේ තිරය දල්වා එහි සටහන් වේලාව බලන්නට විය.

6.28 am

"මම තව දවසක් වෙනුවෙන් පණ පිටින් ඇහැරිලා! "

සුගතදාස අනන්ත සිහින මැද්දේ කිසිදු සිහිනයක් මතක් කර ගත නොහැකි ගොළුවෙකු සේ සිය ගෙවී ගිය රාත්‍රියේ චමත්කාරය ආවර්ජනය කර ගැනීමට දුර්වල උත්සාහයක යෙදුනේය. දෑස් සම්පූර්ණයෙන් හැරුණු මොහොතේ දේදුන්නේ ආලෝක ධාරාවන් අතරේ ඇති වර්ණාවලිය ඔහුට දිස් වෙයි. එහි සැඟවෙන්නට තැත් දරන සමනල රෑනක් මතු වෙයි.

"මා වියපත් බවට සාක්ෂි සපයන පරණ සිහින අමතක වේවා! අලුත් සිහින අරං ඔබ සපැමිණේවා!! වෛවර්ණ අලුත් දේදුන්නක්...!!! "

සුගතදාස දේදුන්න දිගේ පරිගනක මේසය වෙත හබල් ඔරුවක හබල් ගසන්නා සේ දෑත් රටාවකට චලනය කරමින් පාවී ගියේය. ඔහු පසුපසින් සමනල රෑනක් තටු ගසමින් ඇදී ගියේ රිදී කැන් දහරක් විහිදුවමිනි. දිනපතා පාන්දර පරිගනකයෙන් වෑහී සිය යහන් ගබඩාවට ඇතුළු වන මේ රහස් දේදුන්න සුගතදාස එලාම් තබා ඇති ඕනම වේලාවකට මිනිත්තු දෙකකට පෙර වැටේ.

අනේ බලනුව වර්ණාවලිය
යමහලකි මා කවි සිත
ඇවිලී දැවී යනු ඇති අබතුර
නුඹ හැර වෙන කවුරු
ඉසිත් සුළු දිය අහස මුදුන සිට?

-සුගතදාස වලිමුනි

හනි හනිකට මුහුණු පොතේ කවි පිටුවට ඇතුළු වූ සුගතදාස දවසේ වැඩ අරඹනු වස් දේදුන්නට ලයාන්විත කවි වදන් පෙලකින් පිළිතුරු බැන්දේය.

දේදුන්න අතුරුදන් විය! එතෙක් අහස ගැබ්බරව හුන් ආදර වැහි වළාකුලෙන් වට වැස්සෙන් මුළු ලොවම තෙමී යන්නා සේ සුගතදාසට දැනුණි. හදවතේ හඩ මේඝ අකුණු සේ ලබ් ඩබ් හඩින් මුර ගාන්නට විය.

"ආදරයට තැනක් අවකාශයක් නැත. කාලයක් නැත. මායිමක් සීමාවක් නැත. වයසක් නැත. පරණ වන්ට වන්ට වයින් රසය! "

දැන් කාමරයේ දොර පියන් හැර දමා නිදහසේ කුටුම්බ ලෝකය හා සබැඳී ජීවිතය පටන් ගැනුමට හැකිය.

"මෙතරම් සුන්දර ප්‍රායෝගික ආදරයක් මා වෙත ළඟා කර දුන් දෙව් සමිඳානනි- මා ඔබගේ ඇකයේ... මුහුණු පොතේ තුරුලේ නැලවෙමි! වාසනාව නම් විසි එක් වැනි සියවසේ අවසානය වනතුරුත් මිනිස් හිතේ හඩ නැගෙන මේ සිතුවිලි වෙනත් කිසිවෙකුට අසාගත හැකි චිත්ත-චෞර යන්ත්‍රයක් තවමත් නිපදවා නොතිබීම යි. දෙයියන්ගෙ නාමෙට එබඳු යන්ත්‍රයක් මගේ ජීවිත කාලෙ තව ඉතිරි වසර දහ දොළහට පෙර නම් නොනිපදේවා!! දෙවියන්වහන්සේ ඒකට ඉඩ නොතබන සේක්වා!!! ඔබවහන්සේ ගේ අත්වරදකින් හෝ එබන්දක් නිපදවන්නට මිනිසා සමත් වූ දවසක අවසන් වන කාරණා දෙකක් ඇත. එකක් මා වැනි සුන්දර තක්කඩියන් කවි ලිවීමය. අනෙක ගෙදර බිරිඳට නොදැනී අන් අඹුවන්ට පෙම් කිරීමය! මේ දෙකම මට මහා අසිරියකි. මේ දෙකම නොපවතින්නට මා ද නොපවතිනු ඇත. දොරගුළු ලා ලැපය ඉදිරියේ වාඩි ගත් සෑම විටකම මගේ විනෝදය කිසිවෙකුටත් සොරා ගත නොහැකිය. දෙවියනි ඔබ පමණි මාගේ විනෝදය දන්නේ."

අදේවවාදියෙකු වූ සුගතදාස මොහොතකට නිහඩව සිතින් දෙවියන් යාඥා කරන්නේ මේ ප්‍රාර්ථනාව සඳහා පමණි. දෙවියන් විශ්වාස නොකරන හෙතෙම දෙවියන් විශ්වාස කරන අනෙකුත් අය නිසාවෙන් වැරදීමකින් හෝ තමන් වැරදි නම් විය හැකි ආපදාවකට කල් ඇතුව සූදානමක් ලෙස මෙලෙස රහසිගත යාඥාවක යෙදීම දැන් කලක සිට කරගෙන යයි.

එකවර දෙදෙනකුට පෙම් කළ හැකිද? නොහැක. නමුත් ඒ එකම විදියට පෙම් කරන්නේ නම් පමණි. වෙනස් විදිවලට පෙම් කරන්නේ නම් දෙදෙනකුට නොව ඕනෑම තරමකට පෙම් කළ හැකිය. රහස වන්නේ පෙම් කරන විදිය එකිනෙකට වෙනස් වීමයි! ඵලය ප්‍රේමයමයි!!

දිනක් සුගතදාස සිය දින සටහන් පොතේ එවැනි සටහනක් තැබීය. පසුව එය කවියක් ලෙස මුහුණු පොතේ කවි පිටුවේ පළ කර දින සටහන ඉරා පුළුස්සා දැම්මේය.

එකවර දෙදෙනකුට පෙම් කළ හැකිය!
දෙවිදියකට පෙම් කළ යුතුය සිහියෙන්

බිත්තර දෙකක්
දෙවිදියකට කෑ හැක
එකක් තම්බා
අනෙක බුල්ෂයි

බහිස්‍රාවී ඵලය
එකම තීව්‍රතාවෙන්
දුර්ගන්ධය!

-සුගතදාස වලිමුනි

ඩයමික්‍රොන් එම් ආර් මිලි ග්‍රෑම් තිහේ පෙති යුගල කටට හලා ගත් හෙතෙම විනාඩි විස්සකට පසු උදෑසන ආහාරයට සූදානම් විය යුතු බැවින් යහනින් නැගී කාමරයෙන් එළියට ඇවිද ගියේ මුළුතැන්ගෙය වෙතය.

සුගතදාසට දැං ප්‍රශ්නයකට ඇත්තේ තම සෞඛ්‍යය පමණි. දූ දරුවන්ට සියළු යුතුකම් ඉටු කොට ඇති හෙයින් ද ඔවුන් නැවත ලංකාවට ඒමක් සිදු නොවනා බැවින් ද ඔහුට සිතීමට කාරණා ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. එතරම් සැහැල්ලුවක් වුව ද ජීවිතයට දරා ගනු නොහැකිය. ජීවත් වීමට කිසියම් බරක් ඇවැසිය. හඹා යාමක් ඇවැසිය. මරණය තෙක් ඒ බර රැගෙන යායුතුය. හඹා යා යුතුය.

සුගතදාස වලිමුනි සිය සැන්දෑ සමයේ ලේඛන වෘත්තියට වන් මල් සාප්පු හිමියෙකි. ඔහුගේ බිරිඳත් අගනුවර ප්‍රසිද්ධ කාන්තා විදුහලක උප විදුහල්පතිනි ධූරයට පත්ව විශ්‍රාමිකව සිටින්නියකි. ඇය නිතරම තම අත් බෑගය සකස් කරමින් සිටින්නී කොයි ගමනක යන්න යෙදුනත් තම සාරියට ඇඳුමට ගැලපෙන ලෙස අත්බෑගයක් තෝරා ගැනීමටත් ඒ තුළට ඈ නිරන්තරයෙන් ළඟ තබා ගන්නා තමන්ට ඇවැසි යැයි හැඟෙන සියළු අඩුමකුඩුම තැන්පත් කරන්නටත් පැය භාගයක කාලයක් වෙන් කරන්නියකි. ඇගේ මේ අත්බෑග් හුටපටය වලිමුනිට ඈ සමග විවාහ වූ කාලයේ පටන්ම පවත්නා නොතේරෙන පුරුද්දකි. කොයි ගමනක් යන්න සූදානම් වුවත් ඇය හැඩවැඩ වී තම අත්බෑගයේ ද්‍රව්‍ය තැන්පත් කරන්නට ගන්නේ ඊට පෙර ඒවා අසුරා තිබූ අත්බෑගයෙනි. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නාමාවලිය කාලයෙන් කාලයට වෙනස් වූ නමුදු දැං ඇය ඒවා බැංකු පොත්-ටෙලර් කාඩ්-කරාබුනැටි පිරවූ කුඩා කුප්පියක්-ඕඩිකොලොං කුප්පියක් -සිද්ධාලේප බඳුනක්-පැරසිටමෝල් කාඩ් එකක්-ලේන්සු කීපයක්-පෑනක්-කුඩා සීවලී දිනපොතක්-ධම්ම පදය පොත් පිංචක්-ජංගම දුරකථනයක්-මුහුණ පිසින තෙත් කඩදාසි කීපයක්-ගමන් බලපත්‍රය-ජාතික හැඳුනුම්පත-මාරු කාසි සහ රුපියල් දෙතුන්දහසක මුදල් නෝට්ටු යනාදී දේවලට පමණක් සීමා කර ඇත.

වලිමුනි සහ බිරිඳගේ දූවරු දෙදෙනාම දැන් කැනඩාවේ පදිංචිව පවුල් වී ඒ රටවලම ජීවිතය ගෙවන්නට පෙළඹුනු අය වෙති. වසරකට සැරයක් පමණ වලිමුනි සහ බිරිඳ කැනඩාවට යන්නේ මාස කීපයක් කල්ගත කරන්නට ද සූදානමිනි. දූවරුන්ගේ දරුවන් උපන් අලුත නම් වලිමුනිලාට නොයෙකුත් ආකාරයේ ගැටළු පැන නැගුනේ මුනුපුරන් මිනිපිරියන් හදා වඩා ගැනීමට දූවරුන්ට උදව් උපකාර කරන්නට නිරන්තරයෙන් කැනඩාවට යන්නට එන්නට සිදු වීමෙනි. මාස කීපයකින් වීසා අලුත් කරගන්නටත් නැවත ඒවා නීත්‍යානුකූල කරගන්නටත් එහෙට මෙහෙට දුව පැන ගත කළ ඒ කාලය තරම් දුෂ්කර වූ අමිහිරි යුගයක් ඔවුන් දෙපලගේ ජීවිත කාලවලම නැත. ඔවුන් ඒ කාලය සිහි කරන්නේ ද ඉමහත් පීඩනයකිනි. දැං දරුවන්ගෙ දරුවන් ලොකු මහත් නිසා ඒ අපල කාල ගෙවී ගොස් සැබෑ නිස්කලංක ජීවිතයක් ඔවුනට උදා වී ඇත. මල් සාප්පුව බද්දට දී ඇති හෙයින් වලිමුනිට සැඳෑ සමයේ ආර්ථිකය පිළිබඳ කිසිදු ගැටළුවක් නැත. යලට මහට දූවරුන් ද ඩොලර් කීපයක් වලිමුනිලගේ බැංකු ගිණුම් වෙත බැර කරති. වලිමුනි වඩාත් කැමති කැනඩාවේ සිට ලංකාවට එද්දී අතේ ඩොලර් අරන් එන්න බැවින් ඩොලර් මාරු කරගැනීම වැනි දේ ද ඔහුට ඉඳහිට කරගන්නට සිදු වෙයි. ඒ දේවල්වලින් වලිමුනි අසීමිත තෘප්තියක් ලබයි.

සුගතදාස මල් සාප්පුවේ ආදායමින් දූවරු දෙදෙනාටම කැනඩාවට ගොස් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලැස්සුවේ මීට වසර දහයකට දොළහකට පමණ පෙරය. ඒ යුගය අද මෙන් අන්තර්ජාල පහසුකම් සරුවට ව්‍යාප්තව නොතිබූ හෙයින් ගුවන් තැපෑලේ පිහිටෙන් සහ දුරකථන ඔස්සේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනුණි. අධ්‍යාපනයේ කඩඉම් එකින් එක පසු කරද්දී ඔවුනට ඇවැසි ලෙස තම ජීවිත සකස් කර ගැනීමේ නිදහස ද ඒ ආකාරයෙන්ම ලැබුණෙන් ඔවුන් සිය ජීවන සහකරුවන් ලෙස තෝරා ගත්තේ කැනඩා පුරවැසියන් මය. මේ කාලයේ දී සුගතදාසත් බිරිඳත් නිරතුරුවම දූවරුන්ට තම සිතැඟි ලියා යවන්නට උත්සුක වූවෝය. මුල දී කිසියම් අහේතුක භීතියකින් ඔවුහු පෙළුන ද පසුව කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ තේරීම ඔවුනගේ යහපතට හේතු වනු දැකීමෙන් සතුටට පත් වූහ. ඔහු මල් වලට කොතරම් ආදරය කළාද එතරම් ම සිය දියණියන්ට ද ආදරය කළේය. මල් පරව යන්නට නොදී කල් තබා ගැනීමේ සාත්තු සප්පායම් කදිමට දන්නා ඔහු එසේම දියණියන්ට ද නිරන්තර අවවාදයෙන් ඔවුන් යහපත් දරුවන් ලෙස සමාජයේ ජීවත් විය යුතු ආකාරය මල් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සුක විය. ඒ කාලයේ විශේෂයෙන් සුගතදාස නිරතුරුවම දූවරුන් දෙදෙනාට ලියුම් ලියා යැවීමටත් නොයෙක් උපදෙස් සරලව විස්තර කරන්නටත් ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඔහුගේ ලේඛන හැකියාව සියුම්ව දියුණු වන්නට ගත්තේ ඔහුගේ ද නොදැනීමෙනි. වරක් දූවරු සුගතදාසට දන්වා එවූයේ ඔහු එවා ඇති සියළු ලියුම් ඔවුන් එකතු කර තබා ඇති බවත් ඒවා සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරන්නට තරම් ඒවා සාරගර්භ බවත් ය. මේ අදහසින් කැළඹුනු සුගතදාස එතැන් පටන් ලේඛනය ගැන සිය අවධානය දැඩිව යොමන්නට පටන් ගත්තේය. ඔහු ජීවිතයේ සෙවූ බර ඔහුට හමු වීමේ දොරටුව විවෘත වූ බැව් ඔහුට දැනුණි. නිකම්ම නිකම් මල් සාප්පු හිමියෙකු ලෙස මිය යනවාට වඩා යමක් ඔහු මියැදීමෙන් පසු ලෝකයාට ශේෂ විය යුතුයැයි අදහසක් මෙලෙස සිතේ හටගත්තේය.

මල් ශාලා හිමියෙකු ලෙස සුගතදාසගේ ජීවිතය ඇරඹෙන්නේ සිය පියාගේ ව්‍යාපාරය පවත්වා ගන්නට සමත් වූ පවුලේ එකම පිරිමි දරුවා වූ හෙයිනි. සුගතදාසගේ අක්කා වෛද්‍යවරියක් වන අතර නංගී නීතිඥවරියකි. තමා ඔවුන් මෙන් සමාජයේ පිළිගත් රැකියාවක නියුතු නොවීම පිළිබඳ සියුම් කනස්සල්ලක් ද සුගතදාස වෙත ඒ කාලයේම රෝපණය වුණි. එනමුත් ව්‍යාපාරිකයෙකු වූ හෙතෙම මුදලින් බලයෙන් ඔවුන් අභිබවා සමාජයේ ජීවත් විය. සුගතදාස වලිමුනි කාලයක් හේවුඩ් කලායතනයේ සංගීතය හැදෑරු නමුත් ඉන් ඉදිරියට යෑමක් ඔහුගෙ පියා බලාපොරොත්තු නොවූයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා සිය කාලය යොදවන්නට සිදු වූ නමුදු ඔහු නිරතුරුවම දැනුම පිපාසයෙන් හෙම්බත්ව සිටි බැව් නොරහසකි. පාසැල් අධ්‍යාපනය ද ඉතාම සාර්ථකව අවසන් කරන්නට ඔහු සමත් වුව ද රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යාපනයක් ගැන සිතන්නට ඉඩක් නොවීය. දිනක් සුදු පැහැති මලකට කහපාට සහ රතු පාට වර්ණ දියර මල් නටුවෙන් උරා ගන්නට අමුතු විදියකට සැලැස්වීමෙන් මල් පෙතිවල වර්ණ අපූරු ලෙස වෙනස් කරන්නට සුගතදාස කොලු ගැටයාට හැකි විය. ඉන් පසු ඔහුට පියාගෙන් ගැලවීමක් ලැබුණේ නැත.

ලේඛකයෙකු වීමේ සිහිනය හදිසියේම මනසේ සංසේචනය වූයෙන් ඔහු නැවත ඉපදුනාක් මෙන් සිය ජීවිතය දිහා බලන්නට උත්සුක විය.

ඔහු සිය බිරිඳගේ කුඩා පුස්තකාලයට වැදී එහි ඇති පොත් පත් වැඩි අවධානයකින් පරිශීලනය කරන්නට ගත්තෙන් ඔහුට ද පෞද්ගලික පුස්තකාලයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගුනු බව දැනුනෙන් වහා ඒ සඳහා ක්‍රියාත්මක විය. ඔහු නිර්මානාත්මක ලේඛනයට වඩාත් සුදුසු බැව් දියණියන් පැවසූයෙන් ඒ අරභයා ලාංකික ලේඛකයන්ගෙ කෘති මිලට ගන්නට එතැන් සිට පෙළඹුනි. ඔහු සිත්ගත් ලේඛකයා වූයේ අජිත් තිලකසේනය. මුල් දවස්වල අජිත් තිලකසේනට කැමති වීමේ හේතුව ඔහු තම සමීපතම මිතුරන්ට කීවේ අජිත්ට ද සාහිත්‍ය හෝ භාෂාව ගැන අබමල් රේණුවක තැකීමක් නැති බැවින් ඔහු අනුගත් මග ගැනීම තමන්ට ද සුදුසු යැයි යනාදී වශයෙනි. ඒ කාලයේ ඒ වැනි අපරිණත කතා සුගතදාස කීවද දැන් ඒවා කියන්නේ නැත. දැං කියන්නේ කාටවත් නොතේරෙන අමුතු හේතු කීපයකි. කොටින්ම අජිත් තිලකසේන තියා කිසිවෙකුගේ නමක් තම මුඛයෙන් ප්‍රකාශ නොකරන්නට ප්‍රවේසම් වෙයි.

අද කාලයේ ලේඛකයකු වීම යනු එක්තරා විදියක තක්කඩියෙකු වීම යැයි ඔහුට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. පුවත්පත්වල නිර්මාන පළ කරගන්නට දත්මිටි කාගෙන වැර වෑයම් කළ මුල් කාලේ ඔහුට පත්තර යාලුවන් විශාල ප්‍රමාණයක් ඇති කරගන්නට හැකි වීමෙන් සුගතදාස සීඝ්‍රගාමී ලෙස ලේඛකයකු බවට පත්කරවීම එම සංස්කාරක-විචාරක මහත්තුරුන්ගේ ද ප්‍රමුඛ ම ව්‍යාපෘතියක් බවට නිතැතින් පත් විය. සුගතදාසට බෝතල් පාටි සඳහා අතමිට දිග හැර වියපැහැදම් දැරීමට හැකි වීම ඔවුනට ආශිර්වාදයක්ම විය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූවා සේ නිහතමානී ලෙස හැසිරීම සුගතදාසට එතරම් කනස්සල්ලක් ගෙන නොදුන්නේය. එම ගුණය විශ්මිත ලෙස පත්තර මිත්‍රයන්ගේ අමන්දානන්දයට ද හේතු විය. ඔවුන් සියල්ලම සුගතදාස දිරි ගැන්වූයේ ඊළඟ වසරේ ජාතික කවියා බවට රාජ්‍ය සම්මානයට පාත්‍ර වන බව නොඅනුමාන බවයි. එබඳු විටක දී දුප්පත් පත්තර යාලුවන් අමතක නොකළ මැනවැයි ඔවුහු නිතර සුගතදාසට පින්සෙණ්ඩු වූහ.

සුගතදාසගේ කවි කීපයක් ගීත බවට පරිවර්තනය කර තරුණ ගායක කණ්ඩායමක් ලවා රැප් කර ගායනා කරවා බොහෝ ඉක්මණින් ජනප්‍රිය තලයේ පදරචකයෙකු බවට පත් කරන්නට ව්‍යාපෘතියක් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සේවය කළ අලුත හමු වූ මිතුරෙකු ගෙන් යෝජනා විය. ඒ වෙනුවෙන් බ්ලැක් ලේබල් බෝතල් කීපයක් කඩා සංග්‍රහයක් ද සුගතදාසගේ නිවසේ දී පැවැත් වුණි. රුපියල් මිලියන කීපයක් ඒ වෙනුවෙන් වියදම් කරන්නට සිදු වන බැව් ඇසීමෙන් එය පසුවට කල් තබන්නට සුගතදාසට ගනදෙවි නුවණ පහල විය. ඇඟපත සුරුබුහුටි ඇහැට කණට පේන ගැටිස්සියකට නම් එබඳු පද රචනා ජනප්‍රිය කරගැනීමට වෙහෙස වීමට ඇවැසි නොවන බවත් ඒවා තනු දමා ස්වේච්ඡාවෙන් ගායනා කරන්නට කොලු රෑන් සංගීත ලෝකයේ සිටිනා බවත් සුගතදාස වැනි අයට එබන්දක් ඉටු කරගැනීමට ලෝස් නැතිව සල්ලි විසි කරන්නට සිදු වන බවත් වැඩිදුර පැහැදිලි කෙරුණි. එවැනි මාකටිං වැඩ කරගැනීමට ඕනෑම තරාතිරමක අය මේ මාධ්‍ය ලෝකයේ ඉන්නවා නේදැයි දැනගැනීම ම සුගතදාසගේ ඉමහත් සංතෝෂයට හේතු වූවා සැක නැත.

තවත් ඉංගිරිසි පත්තර මිත්‍රයෙකු යෝජනා කළේ මේ වසරේ දී හොඳම කවියා බවට පත් වී ඊළඟ වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට සම්මාන ලබා ඊළඟ වසරේ දී හොඳම නවකතාවට ද සම්මාන ලබා ගැනුමට සැළසුම් සහගතව වැඩ කටයුතුවල යෙදිය යුතු බවයි. ඇවැසි නම් මේ වසරේ ලක්ශාන්ත අතුකෝරලගේ එලිදැක්වීමට නියමිත කවි පොත ප්‍රමාද කිරීමට පවා තමන්ට හැකි බැව් ඔහු විස්තර කරන ලදී. මේ සියළු ජයග්‍රහණ සඳහා ලිවීමට වඩා වැදගත් වන්නේ සම්බන්ධතා වර්ධනය කරගැනීම බැව් ද සම්මාන ලබා ගැනීමේ අදෘශ්‍යමාන උපක්‍රම ද ඇති බැව් නොවළහා හෙලි කරන්නට ඔහු සමත් වූයෙන් සාහිත්‍ය අම්බරයේ සුපර්නෝවාවක් වීමේ සිහිනයක් හදිසියේ සුගතදාසගේ සිතේ පහළ වීම ඔහු මැඩ ගත්තේ ඉමහත් වැර වෑයමිනි.

"මේ වයසට ඔච්චර දේවල් ඕන්නැහැ ඕං" යැයි කියා බොහෝ සුහද ලෙස පිටට තට්ටුවක් දමා සුගතදාස එම පත්තර මිතුරා හරවා යැව්වේ රෙඩ් ලේබල් බෝතලයක් ද අත පත් කරමිනි. ඉංගිරිසි පත්තරවල සංස්කාරකවරු රෙඩ් ලේබල් බොන්නට ඔතරම් ගිජු මන්දැයි සුගතදාසට සිතා ගත නොහැකි විය.

මේ වන විට අනෙකුත් කලා ක්ෂේත්‍රවල සුපර්ස්ටාර් තරග මේනියාවක් හටගත්තෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය ද එබඳුම ක්ෂණික කෙටි ක්‍රම ඔස්සේ සාහිත්‍යවේදීන්, නවකතාකරුවන්, කවියන් බිහිකරමින් සිටිනා බැව් සුගතදාසට සෙමින් වැටහිනි. ඇඟ පත කෙට්ටු-ස්ලිම්-පොත්ත රතු-මිටි කෙල්ලන් ලියන කියන දේවල් අතිශය විශිෂ්ට සාහිත්‍ය හා කලා නිර්මාන ලෙස සමාජගත වීම ද ජනප්‍රිය වීම ද එක්තරා අයුරක අභියෝගයක් ලෙස සුගතදාසට පෙනුණි.

කෙසේ වුවද සැබෑ ලේඛකයකු වීමේ පරමාර්ථයෙන් ඔහු අනවරතව නිර්මානකරනයේ යෙදෙමින් සතතාභ්‍යාසයේ නිමග්නව සිටිනා කාලයේ කුප්‍රකට සාහිත්‍ය විචාරක උපදෙසකින් සීසේරියන් ක්‍රමයට කෙටිකතා පොත් කීපයක් එකවර බිහි කර ඉන් නොනැවතී අන්තර්ජාලයේ කවි කෙටිකතා ලියා පළ කරන්නට යොමු වීමත් සමග ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්ම මාවතකට අවතීර්ණ විය.

උදෑසන ආහාරයට මුං ඇට තම්බා ඇත්තෙ යම්තමට තෙම්පරාදු කරය. ආහාර ගැනුමෙන් අනතුරුව සිය කාමරයට වැදී මුහුණු පොතේ කවි පිටුවට අවතීර්ණ වන සුගතදාස නැවත රාත්‍රී අට නවය වන තුරු දැක ගන්නට හැකි වන්නේ හවස හතරට පමණ දිවා ආහාරයට කාමරයෙන් එලියට එන විට පමණි. ඒ අතරතුර බිරිඳ පිලියෙල කර දෙන තේ කෝප්ප නිවී ඇල්වී යන බැවින් ඇය ඒවා ඉවත් කරමින් අලුත් තේ කෝප්ප කාමරය අසල ආලින්දයේ මේසය මත තබා යන්නී නොබී ඇති සෑම කෝප්පයක් පාසාම තුටු වන්නීය. මිනිහෙකුට මේ තරම් කාර්යබහුල විය හැකිදැයි ඇයට සිතා ගත නොහී තුටු වනු හැර අන් විකල්පයක් ඈ වෙත නැත. ඈ ප්‍රිය කරන්නේ තම අත්බෑගයේ අඩුමකුඩුම පිළිවෙලට සකස් කර සූදානම් කර තැබීමටය.

සෑම කෑම වේලකට පසුවම ග්ලූකෝමේට් මිලිග්‍රෑම් පන්සීයේ පෙති දෙකක් සුගතදාස පානය කරයි. දිනපතා විනාඩි තිහක් වේගයෙන් ඇවිදීම කළ යුතු වුවත් දියණිය ලැප්ටොප් යන්ත්‍රය ගෙනැත් දුන් මීට වසර තුනකට පමණ පෙර යම් දිනෙක සිට ඒ ව්‍යායාම ගැනීම සදහටම නතර විණි. ඔහු වෙනුවෙන් ව්‍යායාම කිරීමට ඕනෑම වෙලාවක සැදී පැහැදී ඇති ඕර්බිට්‍රැක් යන්ත්‍රයක් යහන්ගබඩාව කෙළවරේ තාවකාලික ඇඳුම් එල්ලනයක් ලෙස භාවිතා වෙයි. කලාතුරකින් දිනක දී ව්‍යාඝ්‍රා පෙත්තක් බීමෙන් පසු මුහුණු පොතේ කවි පිටුව වෙත යන සුගතදාස ලියන ශෘංගාරාත්මක පෙම් වෑහෙන කවි නිසාවෙන් වයස් බේදයකින් තොරව කිවිඳියෝ සිහිසුන්ව තරගයට පිළිතුරු වැල් කවි ලියන්නට පෙළඹෙති. වචන අස්සේ වල්කම් හංගා උපමා රූපක සමායෝජනය කිරීම කොතරම් කවි කමක්දැයි සුගතදාසට දැන් දැන් තේරෙන්නේ මිනිසුන් ගැහැණුන් මතුපිටින් පෙන්වනවාට වඩා කොතරම් ස්වාභාවික ලෙස වචන ඔස්සේ කෙරෙන වලත්තකම් වලට ප්‍රිය කරන්නේ ද යන්න අත්දැකීමෙන් දැනීමෙනි.

මේ දැනුම ම සාහිත්‍ය නොවේදැයි නොදන්නේ මී හරකුන්ය! සුගතදාස එසේ සිතයි.

බිරිඳ සමග කතා නොකරන කවි බසක් දේදුන්නෙන් එන සමනලියන් හා මුණු මුණු ගෑ හැකි බැව් අත්දැකීම මුහුණු පොතේ විනෝදය බව සුගතදාසට සිතෙයි. පත්තර කඩමාලු වල පළ වූ දහස්ගණනක් කවි නිර්මාන වලින් සුගතදාස නොලත් ප්‍රහර්ෂය මුහුණු පොතේ ලියැවෙන අද වැසිබර අහසකි යන වැකියෙන් පවා උන්මාද වන කාව්‍යක්කාර සමනලියන්ගේ ඇඟිලි තුඩු අගින් වෑහෙන කවි බවට ක්ෂණයකින් පත් වනු දැකීම නියම සම්භෝග ප්‍රහර්ෂයකි. සිකුරු ධාතුව උතුරා පිටාර යාමකි. ක්ෂණික කවි මෝචනයකි.

සෑම උදෑසනකම දේදුන්නක පැටලී පෙම් කවියට සුපෙම් කවිය ලියමින් සිටින සුගතදාස ගෙදර බිරිඳගේ ඇණවුමෙන් ඉඳහිට මිදුලට ගොස් පිරිසිදු වාතාශ්‍රය ලබා ගනී. ජීවිතය ගෙන යෑමට ඇවැසි ප්‍රමිතිගත බර මේ දේදුන්නෙන් සුගතදාසගේ සැහැල්ලු ජීවිතයට ලැබේ. සුගතදාස වඩාත් සතුටු වන්නේ මේ දේදුනු හුටපටය සිය බිරිඳ නොදන්නේ යැයි සිතීමටය. ඇය එබන්දක් දන්නේ නම් මීටත් වඩා ප්‍රමෝදයක් මේ රහසිගත ප්‍රේමයෙන් නො-උපදීයැයි කවරෙකුට කිව හැකිදැයි ඔහුට සිතෙයි. අතිශය ක්ෂුද්‍ර වූ හෝ ළාමක මෝඩකමක් හෝ රහසක් මොන තරම් පරිණත වූ මිනිසෙකුට හෝ ජීවත් වීමට තිබිය යුතු යැයි ඔහුට සිතෙයි. ඔහුට ජීවිතයේ සිතැඟි මල්ඵල ගන්වනු රිසි රහසිගත ඇණවුම් ලැබෙන්නේ වරදකාරී කවි සිතෙනි.

ලේඛනයට අත්හදා බැලීම් කළ මුල් දවස්වල බටහිර දර්ශනවාද පොතපතින් කියවා හැදෑරූ සුගතදාස "මම සිතමි එනිසා මම පවතිමි" යන ඩේකාට්ගේ අදහස ඉතා චමත්කාරජනක නොවේදැයි සිතුවේය. ඊටත් වඩා චමත්කාර අදහසක් දැන් ඔහුට පහල වී ඇත්තේ මුහුණු පොතේ ඇරඹුනු ජීවිතයත් සමගමය.

"මම මුහුණු පොතේ සිටිමි-එනිසා මම පවතිමි! "

දැන් දැන් සුගතදාසගේ පෙකනිවැල මවුසයේ කෙළවරින් ඇරඹී ඇත්තේ දෝයි සැක සිතෙන තරමට ජීවිතය සයිබරීකරණය වී ඇත.

බිරිඳට මෑතක සිට සුගතදාස ගේ දෙනෙත් තුළ ජීවත් වන තරුණ කොළු ගැටයා සැනසිල්ලකි. සතුටකි.

කැනඩාවෙන් එන දුරකතන ඇමතුමක ඇසෙන්නේ සුගතදාසගේ දියණියකගේ හඩය.

"අම්මී ... මොනාද තාත්ති කරන්නේ? කිසිම සද්දයක් නෑනේ... ස්කයිප් ආවත් වන් මිනිට් වගේ ඉන්නේ... "

සුගතදාසගේ බිරිඳ ලෝකයක් දිනා ගත් අයෙකු මෙන් දියණියට පිළිතුරු බඳින්නීය.

"අනේ දුවේ... පිරිමින්ගේ විනෝදේ ඕක තමයි...උදේ ඉඳං රෑ වෙනතුරු වැඩ කරන එක. කෑමක් බීමක් නෑ..."

ඇය මදක් කල්පනා කර...

"ඓතිහාසික නවකතාවක්ලු ලියන්නේ..."



ප.ලි.
සුගතදාස වලිමුනි ගැන ඓතිහාසික කෙටි කතාව හකාවතී මේ දැන් ලියා හමාර කර ඇත.

ප.ප.ලි.
සුගතදාස වලිමුනි ගේ අතාත්වික කාව්‍ය සහකාරිය සහ පෙම් දේදුන්න වන සන්ධ්‍යාරාණි ගුලවිට ගැන ද කියවීමට කතාවක් ඇත. එය සුගතදාස වලිමුනි යන නාම පදය සන්ධ්‍යාරාණි ගුලවිට යන නාම පදයෙන් විස්ථාපනය කොට මෙම කතාව නෙගටිව් පටලය ලෙස ගෙන මෙහිම පොසිටිව් පටලය නිර්මානය කරගැනීමෙන් කියවා ගැනීම අභ්‍යාසයක් ලෙස පාඨකයාට බාරය. සුදුසු තැන්හි පුරුෂ ලිංග නාම පද ස්ත්‍රී ලිංග නාම පද බවට හැරවීමෙන් ඔබට කැමති ලෙස එම ප්‍රබන්ධය හසුරුවා ගත හැකිය. උදාහරණයක් ලෙස කාන්තා අත් බෑගයක් වෙනුවට පොසිටිව් පටලයට ප්‍රක්ෂේප කරගන්නට සුදුසු වන්නේ පිරිමි කාර්යාල බෑගයකි.

ප.ප.ප.ලි
අනෙකාගේ විනෝදය කිමැයි සොයමින් ලතවන්නෝ කුහකයෝ ය. කාලකන්නියෝය. තම තමන්ගේ විනෝදය සොයා ගෙන ජීවත් වන්නෝ ලෝකය දිනන්නෝය.

6 comments:

  1. ඉතාම ලස්සන රචනාවකි.

    ReplyDelete
  2. මට නං අජිත් තිලකසේනගේ පොත් කියවන්නම බෑ. අකුරු වෙනස් නිසා නිකං වෙනත් භාෂාවක් වගේ.

    ReplyDelete
  3. මේක කියවන පෙළක් පෙළක් ගානේ , ෆේස් බුකියේ ජීවත් වෙන නියම වලිමුනු කෙනෙක් මයෙ හිතෙ ඇදිලා නැති වෙලා ගියා

    ReplyDelete
  4. මම ඔබේ නිර්මාණ රස විඳින්නෙක් . මේ නිර්මාණය සහ මහාමාරියේ කුමාරයා කියල ඔබ නම් කරපු නිර්මාණයට මම ඉතාම කැමතියි . ඒවා ඔබේ විශිෂ්ඨතම නිර්මාණ ද නැත්ද වගේ ප්‍රශ්න මට අදාළ නැහැ . ඒ මම හුදෙක් රසවිඳීම කරන කරගෙන මෙහි පැමිනෙන්නෙක් නිසා . ඔබේ ලිවීමේ කර්තව්‍යයට ජය පතනවා !

    ReplyDelete
  5. Dear Dawson,

    The short story “Vinodaya” is a nice piece of work which reflects the reality of the modern society and tell us how badly the people, not only the young crowd but also the matured people are poisoned by the social networks such as face book. According to the point of view of mine the main character ,’Sugathadasa Walimuli’ has no proper background as an intellectual writer despite the fact that he has been writing since his retirement and encouraged by his own children in Canada. Further I feel that he is not a bona fide writer who demand his own creativity through master pieces or has self-confidence; and it is the common truth too, because nowadays most of the certificates and awards are, matters of few bundles of money, sexual bribery or few bottles of whisky.

    Face book is one of the applications of the modern cyber world as a social network, it is true that it makes people engaged to overcome anxiety of millions of the people at this movement in the world, but is not the only way to be socialized. But when you are cheaply available to a unknown society all the time, consequences are unpredictable, people do not know where they fly or land, that is why the main character of the story, ’Sugathadasa Walimuli’ is hidden from the real society where he actually live, in a room, most of the time in the day at least without speaking to his own daughter dialing from Canada. When an elderly person’s path of life is deviated by such huge angle by these social networks, how do we value the cost of the damage done to the immature younger generation, merely they get lost in the society without identifying black and white; finishing with unsuitable relationships extended up to marriages followed by tragic ends very soon when they happen to step on soil with bare foot.

    And I feel this story as a good example to understand the emptiness covered by the socially excepted fake values; even the retired deputy principal cannot understand what has happen to ,’Sugathadasa Walimuli’ she thinks that he is writing a historical story spending most of his time before the lap top, but he in the face book. It is because wife thinks the cyber connections are too prestigious and being used for very important purposes by very important people. Finally it is the story of our society made of shiny, colorful porcelain but clay inside.


    Janake Gunathilake
    00 968 92008318

    ReplyDelete