Friday, April 20, 2012

ජයසරණංකර

ජයසරණංකර පාරේ තාමත් පහු වෙන්නේ අංක තුන්සිය අසූ ගණන්ය. බල්ලන්ගෙන් ප්‍ර වේසම් වෙනු පුවරුවලින් හැඩ වුන නානාප්‍රකාර හැඩෙන් රුවෙන් විශාලත්වයෙන් ගාම්භීර ලෙස නැගී ඇති ගේට්ටු පියන් එකිනෙකින් පසු කරමින් යන මේ ගමන අංක පන්සිය දහ තුනෙන් දෙක සොයා ගැනුමටය. නැවත ජංගම දුරකතනයේ කෙටි පණිවිඩය පරීක්ෂා කළ සඳුන් ලහිලහියේ ඉදිරියට පා තබන්නට විය.

කළුපාට රේන්ද මෝස්තර පෑන්ටියකින් වැසුනු කොකා කෝලා බෝතල බඳ හා සමරූපි සිරුරක නහය ඇගේ යටිකයේ තදවන තරමින් ලංව සිරකරගෙන බදා ගත් දෑතින්ම ඒ සිනිඳු රේන්ද සහිත යට ඇඳුම කලවා දිගේ පහතට රූටා ඇද දමන සඳුන් ගේ රුව පැතැලි කළු ග්‍රැනයිට් බිත්තියකින් ඔහුටම පෙනී ගියේ අසුරු සැණෙකිනි. ඔහුගේ හදවත හරහා ආකාස ගුන්ඩුවක් ගමන් කළා වැනි වේගවත් විදුලි දහරක කැක්කුමක් එසැණ ඇති විනි. සුරූපි දේහිනියක් සඳුන් එනතුරු මග බලා සිටින්නීය.ඇය හා කායික පාෂයේ යෙදිය යුත්තේ බැල්ලක හා බල්ලෙකු යෙදෙන අයුරින් අපරවයි සඳුන් කල් ඇතුවම සිතා සිටියේය. ඔහුට කවදාවත් ඉටු කර ගන්නට නොහැකි වූ මේ ආශාව තම බිරිඳට කී හැම අවස්ථාවකම ඔහුව පිළිකුලෙන් බැහැර කළ බව ඔහුට මතක් වෙයි. සඳුන්ගේ බිරිඳ අසම්මත ලිංගික චර්යාවක් ලෙස වටහා ගෙන සිටි මේ ඉරියව්ව එසේ නොවේ යැයි පහදා දෙන්නට සඳුන් ට කවදාවත් හැකි නොවීය. ඇය පාසැලේ ඉංගිරිසි උගන්වන්නියකි. ඇය හා දිගින් දිගට මේ ගැන සාකච්ඡා කිරීමේ කිසිදු තේරුමක් සඳුන්ට නැත. මේ ඉරියව්ව මතක් වන හැම මොහොතකම සඳුන්ගේ අතුණුබහන් අස්සෙන් ධමනි රාශියක ලේ කුපිතව පහලට පීඩනය වී යන්නේ නොවේදැයි දැනුණි. ඔහුගේ යටිකය රිදුම් දෙමින් සිටියේ ජීවිත කාලයටම මතක සිටින ලිංගික අත්දැකීමක් අද ලැබිය යුතුමය යන්න තදින් සිතින් කා වද්දමිනි.

ඇය ගේ සුදු පාට සම-රතු පැහැති තට්ටම් යුවල-දම්පාට තනපුඩු මෙකී නොකී සියලු ශෘංගාරාත්මක පෙදෙස් ඔහුගේ සිත තුළ ඇඳෙමින් මැකෙමින් මැවි මැවී යන්නට විය.

ඇගේ නම කුමක් විය හැකි ද? නතාෂා? දිනූෂා? සබීතා? දිල්කි? මල්කි? එහෙමත් නැත්නම් ගංගා? රමණි? ජලනි? පියුමි? කොයික වුණත් කම් නැතැයි සඳුන් ට සිතුණි. ඇගේ අවසරයෙන් නිරුවත් වූ ඇගේ රහසඟ මත මුහුණ හොවා හුස්ම හිර වන තුරු එය උරා බොන්නට ඉඩ ලැබෙන්නේ නම් ජීවිතේ සියළු කම්කටොළු දූරින්භූත වී යනු ඇතැයි සඳුන් ට සිතුණි. ඒත් මේ සුරංගනාවට කුමක් හෝ සමාජ රෝගයක් තිබ්බොත්? නෑ නෑ...දිලිනි ට එහෙම දේවල් නෑ. පියුමිට එහෙම දේවල් නෑ. ඒවා තියෙන්නේ සිරියලතාලට. සුමනවතීලට. පාරවල් ගානේ හැන්දෑකරේ මිනිස්සු දැපනේ දාගන්න ගොන්නුන් ට. පට්ට වේසියන්ට. මරදානේ කඩපිල්වල ටෙලිෆෝන් බූත් අස්සේ ටැග්ගැහෙන තුට්ටු දෙකේ ගොන් බඩුවලට. මේ ඒ ජාතියෙ නොවෙයි.මේ අය පරිශුද්ධ දේවතාවියන්. මනුෂ්‍යයා පිනවන්නට සැදී පැහැදී මිහි මතට සපැමිණි දිව්‍ය අප්සරාවන්. හැමෝටම දෙන්නේ නැති ස්පෙශල් කස්ටමර්ස්ලට විතරක් දෙන මිහිපිට සුර අඟනන්. නිතරම ලේ චෙක් කරගෙන සුපිරි මට්ටමින් රස්සාව කර ගෙන ඉන්න ලිංගික සේවිකාවන්. ඒ අයට ඉහෙන් බහින රෝගයක් නෑ. හෝදං බොන්න පුළුවං කෙල්ලෝ. අංක හාරසිය විසි ගණන්. පැයකට දොලොස්දාහක්.

කළු පාට බලු තඩියෙක් ගේට්ටුවක යටින් ඇති සිහින් තීරුවෙන් තම නැහැය රිංගවා අවට ලෝකය ඉව කරමින් හති හලමින් සිටින අයුරු සඳුන්ට පෙනුණි.

සඳුන් පසු කර සුදු පාට ඇලියොන් මොටෝරථයක් සෙමෙන් ඇදී ගියේ ය. ටින්ටඩ් කරන ලද එම රථයේ ඇතුලේ කවුරුන් සිටියේ දැයි සඳුන්ට දැක ගන්නට නොහැකි විය. තමන් වැනිම ලෝකාස්වාදය සොයා ඇදෙන ධනකුවේරයකු ඒ රථයේ ඉන්නට ඇතැයි සඳුන්ට සිතුණි.

මේ පාරේ මොකා යන්නේ එන්නේත් මේ වගේ වලත්ත වැඩවලටම වෙන්නැති. සඳුන්ට සිතුණි.

සඳුන්ට හොඳ කාර් එකකින් මේ ගමන එන්නට තිබුනේ නම් කොතරම් භාග්‍යයක් දැයි සිතුණි. කාර් එකක් ගැනීමට සිහින මවමින් සිටි සඳුන්ගේ ඒ සිහින හිරු දුටු පිණි සේ වියැකී ගියේ පසුගිය සතියේ වාහනවල බදු ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයත් සමගම ය. ඔහු ඉතාම සැළසුම් සහගතව රුපියල් ලක්ෂ දහතුනක් බැංකුවේ ඉතිරි කර තබා ගත්තේ බිරිඳ ගේ මොටෝරථ සිහිනය සැබෑ කර දෙන්නටය. දැං ඒ ගන්නට හිටි වාහනයේම මිල රුපියල් ලක්ෂ විසි දෙකක් දක්වා ඉහල නැග ඇත. සඳුන් රුපියල් ලක්ෂ දහ තුනක් ස්ථිර තැන්පතුවේ ඉතිරි කරගත්තේ පසුගිය වසර පහළොවක සේවා කාලය තුළ අරපරිස්සමින් වැටුප වියදම් කිරීමෙනි. පියාගෙන් ලද මහ ගෙදර කාමර දෙකක ජීවත් වන සඳුන්ලා සිය සහෝදරියගේ පවුල ද සමගින් උයා පිහා සාමුහික ලෙස ජීවත් වන්නට පුරුදු ව සිටිති. සඳුන්ට අලුතින් ගෙයක් සෑදිමට වඩා බිරිඳට මොටෝරථයක් අරං දීමෙන් ඇගේ සමාජ ජීවිතය තෘප්තිමත් කළ හැකි බැව් පෙනුන නිසාවෙන් ඔහුගේ මොටෝරථ සිහිනය යථාර්ථයක් කර ගනු පිණිස වෙහෙසුනි. බිරිඳ ගෙදර පවත්වන ඉංගිරිසි පන්ති නිසා දිනපතා වියදම ඇය විසින් කළමනාකරනය කරගන්නා බැවින් සඳුන්ට කිසියම් සැහැල්ලුවක් විණි. කුඩා දියණියන් දෙදෙනා ගේ ජාත්‍යන්තර පාසැල් වියදම් මෙන්ම රෝගාතුරව සිටින සිය මෑණියන් ගේ බෙහෙත් වියදම් එන්න එන්නම නරක අතට හැරෙන බැව් සඳුන්ට දැනී දැන් තරමක් කල් ය. දියණියන් දෙදෙනාගේම පාසැල වෙනුවෙන් මාස හතරකට සැරයක් යෙදෙන විශාල වියදම හේතුවෙන් මෑතක සිටි සඳුන් මිතුරන්ගෙන් අතමාරු ද කරගනී. කෙලෙසකවත් මේ චක්‍රෙයන් මිදීමක් නොමැති බැව් සඳුන්ට පසක් වන්නේ නැවත එම ණය ගෙවා දැමූ විගසම මාස හතරක් ගෙවී තවත් කාර්තුවක් ලබන හෙයිනි. දූ දරුවන් පාසැල් ජීවිතෙන් සමුගන්නා සහ තම මෑණියන් ඇගේ ජීවිතයෙන් සමුගන්නා දවසක් වනතුරු සඳුන්ට සැනසිල්ලක් නැත.

අවුරුදු පහළොවක් වන තම විවාහ ජීවිතයේ අත දිග හැර වියදම් කොට දැමූ පාටියක් නැත. ලද විනෝදයක් නැත. පොටෝ ඇල්බම පුරවා දමන්නට තරම් ඡායාරූප ගෙන ඈත දුරක ගොස් සංචාරය කරන ලද පෙදෙසක් ගැන මතකයක් නැත. කා බී ඇඳ වියහියදම් කළා විනා ලැබූ සතුටක් ගැන මතකයක් නැත. බිරිඳ කොයි වේලේත් කණුකුණු ගෑවේ නිවසක් තනාගෙන මහ ගෙදරින් ඉවත් විය යුතු බවයි. එනමුත් සඳුන්ට ඉඩමක් ගෙයක් මිළ දී ගන්නට වත්කමක් නැත. සියළු සංතකේට ඇත්තේ ලක්ෂ දහතුනකි. මේ මුදල උඩටත් නැති පහළටත් නැති අගයකි. ඉඩමක් ගන්නට ද ප්‍රමාණවත් නොවේ. ගෙයක් ගන්නට සිතන්නට ද බැරිය. වාහනයක් ගන්න ට ද දැං බැරිය. වෙන හිතා ගත හැකි සල්ලි කර ගත හැකි වත්කමක් ද නැත. මේ සියළු අඩෝවැඩියාවන් අස්සේ බිරිඳගෙන් තමා පතන සැප ද නොලැබී කල් යයි. ඇගේ බඩ දවසින් දවස ඉදිරියට නෙරා එන අතර සඳුන්ට වඩා වේගයෙන් වයසට යන්නීය. ඇය නොකියා කියන්නේ අපේම ගෙදරකට ගිය දවසක ඈ කාමිනියක සේ සඳුන්ව සංතර්පණය කරන බවයි. ඇය ඒ ගැන බැංකුවේ ඇති තැන්පතුවටත් වඩා ආඩම්බරෙන් සඳුන්ව විශ්වාසයට පත් කරවයි. සඳුන්ට මැවී පෙනෙන්නේ ඇඟ පුරා මස් වැදලි එල්ලා වැටෙන මිචෙලින් ටයර් බබෙක් වැනි තරමට විකෘති වූ සිරුරක් ඇයට තව අවුරුදු හත අටකින් උරුම වන බවය. එකලට එවැනි සිරුරක් සමග ලිංගික තෘප්තිය ලබනු කෙසේ වෙතත් සසර ගමන කෙටි කරගැනුමට භාවනා කරනු පිණිස කමටහනකට ඇය සුදුසු වනු ඇතැයි ඔහු ට සිතෙයි.

පහුගිය සතියේ බැංකු තැන්පතුවේ කල් පිරී තිබුණි.

හදිසියේම ඔහුට මිතුරෙකුගේ කෙටි පණිවිඩයක් ද ලැබී තිබුණි.

"ජයසරණංකර පාරේ අංක පන්සිය දහ තුනෙන් දෙක- සැපේ උපත! පැයට දොලොස්දාහයි- මිතුරන් අතරේ පමණයි!! "

13 comments:

  1. කලකට පස්සේ වෙලකට බැස්සේ!

    ReplyDelete
  2. [[අංක හාරසිය විසි ගණන්. පැයකට දොලොස්දාහක්.]]

    ශෛලිය උපරිමයි. මේවා තමා සිරාම දේවල්. කතාවත් හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  3. [[දූ දරුවන් පාසැල් ජීවිතෙන් සමුගන්නා සහ තම මෑණියන් ඇගේ ජීවිතයෙන් සමුගන්නා දවසක් වනතුරු සඳුන්ට සැනසිල්ලක් නැත.
    ]]

    අන්තගාමි යයි සිතු යෙදුමක්.

    ReplyDelete
  4. කතාව ඇදගෙන යන් පැත්ත උපරිමයි. මේ කතාවම වෙන තැනකිං පටන්ගන්නත් තිබුණා. නමුත් පටංගත්තු තැන නිසා කතාව කියවන්නෙ වෙන එකක් හිතාගෙන. ඒ අස්සෙ ජීවිතේ ආයෙමත් ඔළුවට අනින ටොකු රිදෙනවා නම් තමයි!

    ReplyDelete
  5. මෙහි යමක් ලියැවෙන තුරු මම මාස ගනනක් බලා උන්නා ..ස්තූතිතියි

    ReplyDelete
  6. Supiri kiyanne hondama eka....
    (sorry sinhalen nodammata...)

    ReplyDelete
  7. "මේ මුදල උඩටත් නැති පහළටත් නැති අගයකි"

    මේ වාගේ තැනකට පත්වෙලාම දැනගතයුතු සිතුවිල්ලකි
    දෑත් දෙපය ගැටගසා ගෙල ලඟට වතුරට දැම්මා මෙනි
    මැරෙන්නෙත් නැත - දුකෙහි අඩුවකුත් නැත

    ReplyDelete
  8. කලකට පසු සැබෑ කතා වියන්නා එළි බැස ඇත..,
    ඉතා සතුටින් කියවා පිරියෙන් තබන ලද සටහනකි මේ.
    නැවතත් හකාවතිය නිහඬ කරවනු ඇතැයි නොසිතමි..!
    ජය සතුට සමඟ..!

    ReplyDelete
  9. රොසමල් යහනේ කටුකත්වය.....

    කාලයක් බලා ඉන්න සිද්ද උනා.... සතුටකු නැවත ලියන්න ආරම්භ කිරීම... ජය !!!

    ReplyDelete
  10. නිර්මානය කියවා රස විඳ අදහස් දැක්වූ සහ අගය කළ සැමට ස්තුතියි.

    ReplyDelete
  11. කතාව කියවල හිත රිදුනා.ඒත් මේක නිර්මාණයක් විතරයි.

    උඩටත් නැති පහළටත් නැති බැංකු ගිණුමේ මුදල එන්න එන්නම අඩු වෙලා යාවි දෝ කියලත් හිතුනා.

    පිරිමින් ගැන හිතේ ඇතිවෙලා තිබ්බ සිතුවිල්ලක් තහවුරු කර ගන්නවාද නැද්ද කියලා ආයෙත් හිතල බලන්නත් හිතුනා.

    හකාවතී ,ඔබගේ නිර්මාණ මනුස්ස හිතේ බොහොම සංවේදී වගේම ගැඹුරු තැන් නොදැනීම ස්පර්ශ කරනවා.

    ලියල ලියල තියාගෙන ඉන්න කතා වලින් තව නිර්මාණයක් කියවන්න බලාන ඉන්නවා.

    ReplyDelete