Wednesday, September 8, 2010

පාසාණ යන්ත්‍ර මහා භාණ්ඩාගාර සූත්‍රය

රාජෝත්තමයාණන් වහන්සේ රාජ භාණ්ඩාගාරය සංචාරය කරනු පිණිස වීදියට බට හොත්තේ දහසකුත් හස්තීන් පිට නැගි දිගු දුර මෙහෙයුම් බලකායේ න්‍යෂ්ටික අවි හිස දරාගත් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් අලි ඩීඑන්නේ සහ මකර ඩීඑන්නේ මුහුකර නිමැවුනු හෝමෝසේපියන් ජාතික මිනිසුන් දහසක් සමග පූර්ණ ආරක්ෂාව යටතේය. භාණ්ඩාගාරය පිහිටා තිබුණේ හිමාලයට නොදෙවෙනි මහා ගිජිකුළු පව්වේ හුදකලා ගිනි කන්දක් පාමුල යොදුනක් යටින් වූ උමගක කෙළවරය.

භාණ්ඩාගාරය ට ඇතුළු වන මාර්ගය දෙපස පොලිස් මුර යොදා තිබුණේ මිලි මී‍ටරයෙන් මිලි මීටරය සන්නද්ධ කුළු පොලු හෙල්මට්ධාරී ජල විහිදුම් උපකරණ පොම්ප අතැති ලෝහ සන්නායක පැළඳ ගත් මුරකාවල් පවුරක් සේ දිස්වන පරිද්දෙනි.


රජතුමා භාණ්ඩාගාරයට ඇතුළු වත්ම ආකාශය පැරා ආලෝකයෙන් දිදුලන්නට විය. හෙලිකොප්ටර දෙසිය පණස් හයක් අහසේ කුරුළු රෑනක් සේ ඉහලටත් පහලටත් හරහටත් යනාදී වශයෙන් මැහි මදුරු කෝඳුරුවකුටවත් පියඹා යන්නට බැරි තරමින් ආරක්ෂක විධිවිධාන පවත්වන අතරතුර රජතුමා රාජ භාණ්ඩාගාරයේ සෙමෙන් සෙමෙන් පියවර තබන්නට විය.


රාජ භාණ්ඩාගාරයේ පොළව දූවිල්ලෙන් වැසී බිත්ති පුරා මකුළු දැල් සහ ඝණට වැඩුණු හරිත වර්ණ පෙඳ පාසි සහ දිය සීරාවල් සිඟිති දිය ඇලි මෙන් ගල් බිත්ති මතුපිට උතුරා හැලෙමින් පැවතුනි.
භාණ්ඩාගාර සැළසුමේ නැති දැවැන්ත දෝනාවක් භාණ්ඩාගාර මධ්‍යයේ හෑරි තිබුනෙන් එම අඳුරු අගක් මුලක් නොපෙනෙන කුහරය ගැට්ටේ රජ නතර විය.


"එම්බා භාණ්ඩාගාර ඇමතිය. කුමක් ද මේ ‍අගක් මුලක් නොපෙනෙන ආගාධ දෝනාව? මම මින් පෙර කිසි කලෙකත් මෙබඳු දෝනාවක් භාණ්ඩාගාරයේ නොදුටුවෙමි. වහා මේ දෝනාව කිමැයි පහදව?"

"රජතුමනි. මේ දෝනාව ඔබ රජධුරන්දර උත්සව දිනයේ දීත් පැවතුනි. මෙය ඔබගේ පිය රජුන්ගේ කාලයටත් පෙර පැවතුනි. නමුත් ඒ කාලයේ මේ දෝනාව ඉතා කුඩාවටත් පැවත කාලයාගේ ඇවෑමෙන් මෙය මේ තාක් විශාලව ඇත්තේයැ."


"මොනවා? කාලයාගේ ඇවෑමෙන්? කවුරුන් විසින් හාරන ලද්දක් මේ ? මට කිසිවක් නොවැටහේ මන්ත්‍රී?"

"රජතුමනි. මෙම දෝනාව හාරන්නේ කිසිවෙකුත් නොවේ. මෙය ඉබේම හෑරෙන්නකි. අපගේ භාණ්ඩාගාරයේ වස්තුව හිඟ වූ විට අප අසල රාජ්‍ය දනව්වලින් ණයට ගත් ධන සම්භාරය හේතුවෙන් මේ දෝනාව දැන් ඒ තරමටම විශාල වී ඇත්තේය."

"ඉතිං ඇමතිය අප රාජ්‍යය නිපදවන මේසා විශාල ධනය මෙහි පිරවූ කල්හි කුමක් වන්නේ ද? මට පෙනෙන්නේ ඒ සියල්ල මේ දෝනා කටින් අප රාජ්‍යයෙන් පිටුවහල් වන බවයි."

"එසේය ස්වාමීනි. මේ දෝනාව මුව විටක් නොපුරවා අපගේ ධනය මෙහි රඳවා ගත නොහැකිය. අප රාජ්‍ය උපයන වාර්ෂික මුළු සේසතම මෙහි ගෙනත් තැන්පත් කළද මේ දෝනා කට නොපිරෙයි. දමන දමන තරමක් සියළු ධනය මෝය ක‍ටේ පොල් ලෙලි දමන්නා සේ අතුරුදන් වන්නේ මේසා විශාල ණය බරක් අප රාජ්‍යයේ ඇති බැවිනි රජතුමනි."

"අහා! මුදල් මන්ත්‍රී මට වැටහුණි. කැඳවනු වහා අග්‍ර පුරෝහිත මෙහි. වහා විසඳුම් ඇවැසියැ මේ දෝනා කට පිරෙන්නට ධනය දමා අපගේ ණය බරින් නිදහස් වී රාජ්‍ය කරගෙන යාමට ඇවැසි ධනය ඉතිරි කර මාගේ රටවැසියන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට වහා සැළසුමක් සකස් කරව."

මුදල් මන්ත්‍රී වහා සැළලිහිණියකු ගෙන්වා උන් පාමුල පණිවිඩ පත්‍රයක් රෝල් කර ගැට ගසා ලිහිණි අධෝ මුඛයට අහස් ගුණ්ඩුවක් ගසා පත්තුකර අත හැරීය.

පුරෝහිත වහා පරිසර හිතකාමී දඩු මොණරයෙන් ආකාශ ගංගාව තරණය කර රාජභාණ්ඩාගාර මස්තකප්‍රාප්තව රජුන් ඉදිරියේ රුසියන් ජිම්නාස්ටික් ක්‍රීඩකයකු මෙන් බල්ටි කීපයක් ගසාගෙන පැමිණ එකත් පස්ව හිට ගත්තේය.
"පුරෝහිත නුඹගේ නුවණින් මාගේ භාණ්ඩාගාරයේ ඇති මේ පිටිවහල් දේශ දේශාන්තරවලට අප රාජ්‍යයේ ධනය ගලා යන මේ භයංකර දෝනා කුහරය පුරවා ලන්නට ශූර අදහසක් ඇවැසිය. වහා කල්පනා කර මට උපදෙස් දෙව. මෙය නම් හෙට ඉර පායන්නටත් මත්තෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් බව හිතට ගෙන වහා ක්‍රියාත්මක වෙය. "

පුරෝහිත වහාම තමන්ගේ ඉනේ තිබූ ලැප්‍ ටොප් යන්ත්‍රය ගෙන එයට දුම්මල අල්ලා එහි ප්ලගය ගස් බෙනයකට ගසා ඔන්ලයින් ගොස් ගූගල් සෙවුම් යන්ත්‍රයට වැදී විශ්වය හතරදිග්බාගයේ ඇති සියළු තොරතුරු ඉරබටු තරුව මතුවන තුරුම සොයා බලා ඉමහත් වෙහෙසකාරීව උර තල පද්දමින් රජතුමා අභියසට වහා පැමිණියේය.

"රජතුමනි. කුඹුරු අස්වැද්දීමෙන් වුවද ලබන්නා වූ ධනයෙක් වෙද ඊට කන්නයක් බලා සිටින්නට වන්නේය. අල ලබු වගේද ගෝවා ආදී හේන් වගාවෙන් ලබන ආදායම් දෙස බලාපොරොත්තුවක් තැබිය නොහැක්කේ තෙත් කලාපය සහ වියලි කලාපය දැන් සිතියමේ එහේ මෙහේ පැන දුව හැංගි මුත්තන් කෙළීමක් හේතුවෙන් වැසි දිය ලැබුම අවිනිශ්චිත බැවිනි. පස්ගෝ රස යනාදී සත්ව කර්මාන්තයෙන් ද එහෙමකට ආදායමක් ලදුවත් එය මේ ආගාධය නොව මේ පයට පෑගෙන පාපිස්ස වසා දමන්නට හෝ ප්‍රමාණවත් නොවන්නේය. "

"ඉතිං පුරෝහිත තොප දැං අර ලැප්ටොපය ගස් බෙනයක ගසාගෙන වරුවක් පමණ කඹුරා ආවේ කළ නොහැකි දේවල් දෙසා බාන්ට ද? මට ඇවැසි මේ ආගාධය පුරවා දමන ක්‍රමයක් විනා තොපගේ නොහැකියාවන් පිළිබඳ අඩොවැඩියාවන් ඇසුම නොවේ."

රජතුමා ඉණ බැඳි ලේසර් කිරිච්චිය නොකියා මොබයිල් මාලය අස්සෙන් එළියට ඇද්දේය.

"රජතුමනි. කලබල වන්නට කාරි නැත. අප රටේ මිලියන් විස්සක් වන ජනපදිකයන් සියල්ලටම හස්තපෝන් ඇත්තේයැ. ඒ පෝන් වලින් රජයට මෙතෙක් ලද ආදායම් නම් ඉතා සුළුයැ. මාගේ අදහස නම් මේ පෝන් වලින් කතා කරනවා වැනි පෞරාණික වැඩ දිගින් දිගටම කරන්නට යෑමෙන් අප රජයට ඇති ආදායමක් නැත්තේයැ. එබැවින් මේ පෝන් වලින් එක එක විජ්ජා මවා පා එම විජ්ජාවල් වලට ජනපදිකයන්ගේ කැමැත්තෙන් එක එකාගෙන් නොදැනෙන තරමේ සුළු මුදල් එකතු කරගන්නට සැළසුම් කළොත් නම් මේ ආගාධය පමණක් නොව අසල් දනව්වල ආගාධ පවා පුරවා ලන්නට ධනය රැස් කෙරෙනවා නොඅනුමානය."

"පුරෝහිත නොකෙරෙන වැඩ පවසමින් මාගේ අනතහ්පුර‍යේ ගත කළ හැකි වටිනා කාලය කා නොදමව. කියව කියන දෙයක් තේරෙන ආකාරයෙන්. "

රජතුමා සිය කුරහන් සහ වානේ ෆියුෂන් කොට තැනූ මඟුල් කඩුවේ සේ‍ෆ්ටි කැච් එක ගලවන්නට විය.

"රජතුමනි. මම උදාහරණයකින් ම කියන්නම්. දැං අර රූපවාහිනි අංජන රේඛා වල පැවැත්වෙන හැටහුටහමාරක් කුප්පස්ටාර් තේරීම් වල දී මෙන් ජනපදිකයන්ගේ කැමැත්තෙන් ඉතා සුළු මුදල බැගින් අපගේ මේ භාණ්ඩාගාරයට වැටෙන පරිදි කුමක් හෝ අංගමාලයක් පටන් ගත යුත්තේයැ. එවිට රජතුමනි එකෙක් රුපියලක් අපට වැටෙන පරිදි හස්තපෝන් ජාලා සමග ඇති කරගන්නා ඇසැම්මෙස් ගිණුමකින් අපගේ භාණ්ඩාගාරය දවසකට රුපියල් මිලියන විස්සකින් තැන්පත් ධනය ‍වැඩි වෙන්නාහ. එවැනි ජෝගි හතරක් පහක් සංවිධානය කළ හොත් එක රැයින් මේ භාණ්ඩාගාරය පිරෙන්නට ජනපදිකයන්ගේ මුදල් එකතු වන්නාහ. රජතුමනි මේ ජනපදිකයන්ට දවසකට රුපියල් දෙතුන් සීයක් වුවද මේ බඳු ආතල් වැඩසටහනක් වෙනුවෙන් වැය කිරීම සුළුම සුළු දෙයක් බැව් සමීක්ෂණ වාර්තා තහවුරු කර ඇති හෙයින් දැං ඉතිං කළ යුත්තේ කුමක්දැයි වැටහෙන්නට ඇති නොව මහ රජතුමනි?"

"අහා! කදිමයි පුරෝහිත! නුඹගේ නුවණ කදිමයි! නුඹට එක අතකට ලැප්ටොපයක් දී මෙහෙම නම් කකුල් දෙකටත් වම් අතටත් ලැප්ටොපයක් බැගින් දීමෙන් තව කුමන ආශ්චර්යමත් නුවණ ක්‍රියාත්මකව මේ නුවර ධනයෙන් පුරවා ලන්නට හැකි වන්නේ ද? මුදල් මන්ත්‍රී වහාම ජපානයට කතා කොට අප පුරෝහිතට තව ලැප්ටොපයන් තුනක් ගෙන්වා දෙව‍. හෙට රාජ අණබෙරයක් රූපවාහිනි අංජන රේඛාව හරහා වහා විකාශ කරනු. අපගේ අභිලාෂ හෙලි නොවන අයුරින් මේ සියළු කටයුතු සංවිධානය පිණිස ඌරුවරිගෙලාගේ ප්‍රාණපුත්‍රයා කැඳවා යස ‍රූපවාහිනි අංජන රේඛාවක් නිමවා නාඹර කැකුළියන්ගේ ලැම -නාභිය- දෙවොටර හා නිතඹ ආදී දේ පැහැසරව උලුප්පා දැක්විය හැකි රාගනීශ්‍රිත ලයිව් වැඩසටහනක් අරඹවා එහි උසස්ම ප්ලාස්ටික් සර්ජරි කර ප්‍රතිව්‍යුහගත වූ නාරිදේහය ඇත්තිය තෝරා ගන්නට ඇසැම්මෙස් බණවා අපගේ භාණ්ඩාගාරයේ දෝනා කුහරය පුරවා ලන්නට තරම් ධනය එක්රැස් කරවන්නට කටයුතු කරව!"

ප්‍රාණපුත්‍රයා එවිටත් දිනකට රුපියල් පන්සීය බැගින් ගෙවමින් කම්කරුවන් දෙ‍ළොසක් යොදවා කරිජ්ජ මංගල්‍යයෙන් උපයා ගත් ධන සම්භාරය කහවණු දහසේ පොදිවලට බඳීමින් දිවා රාත්‍රී තුනක් සිය මිදුලේ ගත කරමින් උන්නේ රාජ අණ ලද්දෙන් වහා කුරුබිලියෙන් රාජ මන්දිරයට රිංගා ගියේය.

21/08/2010

11 comments:

  1. එළැමය...බොහෝ කොට ප්‍රීතී වීමි..

    ReplyDelete
  2. මල් හතයි.ප්‍රාණපුත්‍රයාට තව තව කහවණු.

    ReplyDelete
  3. නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete
  4. හරිම අපූරුයිනෙ..

    ReplyDelete
  5. මේ ලිපිය නම් අපූරුයැ
    බොහෝම අපූරුයැ
    පට්ට සිරායැ . . .
    මූනු පොතේ පල කොරන්ට අවසර දෙන්ට කියා ඉල්ලා සිටින්න කැමැතියැ. . ..

    ReplyDelete
  6. අදහස් දැක්වූ සැමට තුති!

    @දුකා

    ඇවැසි තැනක පළ කරන්නට අවසර ද ඇවැසි නැත.
    ස්තුතියි.
    :)

    ReplyDelete
  7. බොහෝ අගේ ඇති අපුර්ව පරිකල්පනාවකි.

    ReplyDelete
  8. මේ කතාව හරිම අපූරුයි
    කියවන්න ආසයි

    ReplyDelete