Wednesday, July 28, 2010

ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය


"මම උඹව දික්කසාද කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපං."

ඔහු දුරකතනය විසන්ධි කළේය. ඩිස්පෙන්සරියේ දොරගුළු ලෑවේය. මෝටර් රථය තුළට වන්නේය.රිය පණ ගැන්විණි.
මොටෝරිය සීඩී ධාවකයේ තැටිය මතින් සීටී ප්‍රනාන්දු සිය මධුර ස්වරය අවදි කරයි. තාර පාරේ අඳුරු වාටි අස්සෙන් සීටී ගේ රුව මතුවෙයි. සුමධුර හඩ රිය ඇතුළ සනීප කුෂන් මතුපිට හැපෙමින් කන් පුරවයි.

"මා කුඹුරේ සිට මුළු දවසේ
දෑත දෙපා වෙහෙසී
පැලට යන්නෙමි මම මගේ
සැන්දෑ වුනා සුහදේ "


ගීතය මාරු වේ.

"සාගරිකා ඔයා අද ඩියුටි ද? ඔන් කෝල් ද ආ...නැද්ද? හරි....ආ එහෙනම් ඔයා එන්න ෆුඩ් සිටි එකට. මම එනවා එතනට. මට විනාඩි හතලිස් පහක් දෙන්න..."

සැන්දෑව අහසේ දළුලමින් වැඩෙයි.

"අමතන්නට හැකි බසක් සොයා
හැඟුම් කියන්නට වදන් සොයා
ඇවිදින විටදී දිවි කතරේ
ඊයේ දුටු ලොව වෙනස් වෙලා

බාල වියේ දුටු කුරුල්ලන් කෝ
බාල වියේ දුටු හඳ තරු කෝ
ඒවා කොතැනක සැඟවී දෝ
මා සිත රන් රූ කෝ"

"මචං ජීවිතේ මට එපා වෙලා... කිසිම දෙයක් කරගන්න හිතට නිදහසක් නැහැ. අරකි අදත් ෆෝන් එකෙන් වලි. ඩිවෝස් ඉල්ලනවා... බලහං මගේ එක්සෑම් එකත් ඇනිලා ...කවද මේ කරුම විභාග ඉවර කරගන්නද මචං... මම පීපී එකත් වහල දැම්මා. ලෙඩ්ඩු බලන්න තියා මට හිටගෙන ඉන්නවත් පණක් නැහැ...ඔළුව ඔද්දල් වෙලා... අද රෑට මම එනවා උඹේ ක්වාටස් එකට...සාගරිකා එක්ක ... අවුලක් නැහැනේ...? හා ... එහෙම ද ... හොඳයි මම ඇවිත් යන්නම්...හරි හරි..."

"සියොතුන් නැහැ තවමත් ඇහැරී
ගී හඩ යන්නේ නැහැ පැතිරී
ගංගා නැවතී කඳුරැලි වියලී
සැමරුම් සිතුවම් ඇත තනි වී"

සැන්දෑ අහසේ අවසන් හිරු රැස් දහර මුහුද මත පුපුරා යයි. තාර පාර ඔහුගේ ද්‍රෘෂ්ටි සීමාවේ පසුපසට අනවරතයෙන් ඇදී යයි.

ලයිට් කණු... ලයිට් කණු.... ලයිට් කණු....


ලයිට් කණු පෙළින් පෙළ පසු පසට පැයට සැතපුම් හැටක වේගයෙන් ඇදී යයි.

""
මට දොස්තර කෙනෙක් වෙන්න බැහැ අම්මේ...මම ආස ලියන්න......මට ආට් කරන්න දෙන්න...මට මේ ලෝකය වෙනස් කරන්නයි ඕන...කවද හරි මම දොස්තර කෙනෙකුට වඩා මිනිස්සුන්ට උදව් කරන උන්ගේ අසනීපවලට බෙහෙත් කරන මිනිහෙක් වෙන්නත් පුළුවන් තාත්තේ...ප්ලීස් මට බයෝ කරන්න බල කරන්න එපා අම්මේ....මට ලේඛකයෙක් වෙන්න දෙන්න..."
"බයෝ බයෝ බයෝ බයෝ .... හා......හාාාාාාාාාාාාාාාාාාාා"

"දහසක් මිනිසුන් ඇත ගොළු වී
මග පෙන්වන එළි ඇත මැලි වී
සංකා උපදී බියකරු දිවියේ
උණුසුම් සැනසුම් නෑ මතුවී"

මේසය මත වූ චිත්ත පීඩනයේ ප්‍රතිවිෂ හෙවත් ප්‍රති-චිත්ත සහනය රැගත් නිල් පැහැති ක්ලෝප්‍රොමයිසින් පෙති අහුරු මත අඩක් වැසුනු ජනේලයේ විවරයෙන් බිඳී ආ වැහි වතුර ජල කැට වැටීමෙන් අර්ධ ලෙස දියවී නිල්ල සොයා අක්වක් ගමනක යෙදුන ගංගාවක් ඇඳී තිබුනි. එම නිල් දියර ගංගාව කුඩා කැබිනෙට්ටුවට පහතින් වූ තෙපාවක් මත රැඳි හීරෝ තීන්ත කුප්පියකට බිංදුවෙන් බිංදුව වෑස්සේ. වැස්සට පසු අහසේ කාන්තිමත් දීප්තිය මල් වීදුරු ඵලකය මත සූක්ෂම හිරු තරු දහසක දිස්න දේ. හිරු රැස් කෙඳිති අරීයව විහිදෙයි. ආලෝක කේතුවක් අස්සෙන් ඇස නාභිගත නොවන ලක්ෂ්‍යයක් මැවී යයි.

ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය පිරී යයි.

පැරණි ලේඛකයාගේ සියළු සිතුවිලි තීන්ත කූඩුවේ නීල වර්ණිත ද්‍රාවණයේ දියව පැවතුණි. ඒවා උල්පත් පෑනෙන් මතුවී කඩදාසි මත ඉහිරීමෙන් ඔහුගේ මනසේ ඇදුම් දුන් ආතති, තීන්ත රේඛා ඔස්සේ කඩදාසි මතුපිට හෑරී ගියේය.
වසර දහස් ගණනකට පසු, වසර මිලියන ගාණක් තිස්සේ ගංගාවක් පෘථිවිය මතුපිට ඇදී යාමෙන් ගංපතුල සේදී අඛණ්ඩව පාංශු ඛාදනයට ලක් වීමෙන් මහ පොලොව දෙබෑ වී, ටෙක්ටෝනික් පිඟන් තල පිපිරී- ඉරිතලා- කඩතොළු වී ගංගාව අතුරුදන් වෙද්දී හෙතෙම එම පොලෝ කුස්තුරයෙන් නැගිට්ටේය.

ඔහු මතුවන විටදිත් තාර රේඛීය ලකුණු වලින් සහ එම තාර ලකුණු ඔස්සේ කොන්ක්‍රිට් කණුවලට ගැට ගැසුණු විදුලි කම්බි ජාලා විසින් මහ පොලොව බෙදා ඉරි ගසා තිබුණි. අහසට නැගුනු විට එය එකම එක මකුළු දැලක් මෙන් ඔහුට දිස් විය. ඔහුට එම තාර රේඛා ඔස්සේ ඇවිද යන්නටත් තාර රේඛා ඔස්සේ දුව යන යකඩ ගොඩවල් දැක ගැනීමටත් හැකි විය. එම යකඩ ගොඩවල් නැගූ හඬ මෙන්ම නොයෙක් ආම්පන්න විසින් නිමැවූ විවිධ සංඛ්‍යාත පරාසයන් හි විහිදුනු ශබ්දවලින් වායුගෝලය පිරී ගොස් තිබුණි. ඒ හඬවල් හැර වෙන කිසිදු හඬක් ඔහුට අසන්නට නොහැකි විය. යකඩ ගොඩවල් අනවරත චලිතයක යෙදුනේ කිසිවකුගේ දැනුමකින් අතපෙවීමකින් තොරවය. එබඳු යකඩ ගොඩවල් පසුගිය අවුරුදු දහස් ගණනක් තිස්සේ දුම් පිට කරමින් එම තාර මං පෙත්වල ගමන් කිරීමේ හේතුවෙන් එම ද්‍රව්‍ය නුවණක් ලබා තිබුණි. ද්‍රව්‍ය ඥානය අත්කර ගෙනි තිබුණි. ඔහු මෙන්ම සිතීමේ හැකියාව නමැති රෝගයෙන් එම යකඩ ගොඩවල් ද පෙළුණේය.

පදාර්ථයේ සූක්ෂම තත්වය ඇතුලේ පැවතුනේ හිස්කම බැවින් ඒ හිස් අවකාශ අතර "තනිකමේ විෂ" පැතිරීමෙන් ඔහුගේ හිසෙහි තනිකම දළුලන්නට විය. තනිකම නම් වූ විෂ විශ්වයේ ඈත කෙළවරත්, මෑත පදාර්ථය ඇතුළතත් සිය ප්‍රමාණයේ හැකිළුම සහ ප්‍රසාරණය නම් වූ ජාති ගතිගුණය හේතුවෙන් සමතලව පැතිරී තිබුණි. කිසිදු හිතන දෙයකට ඉන් ගැලවීමක් නොවුනි. යකඩ ගොඩවල් තාර මතුපිට පෙරළි පෙරළි, තනිකම නිවා ගැනීමේ අපරිමිත තාපයෙන් සහකරුවකු සොයා යාමේ චලිතයේ අඛණ්ඩව යෙදුණි. ඉන් සමහරක් මුහුද ආශ්‍රිත තැනිතලාවල මළකඩ නමැති පෙම්වතියන් හමුව ඔවුනොවුන් ප්‍රේමයෙන් වෙලී එකිනෙකා ගිලගනිමින්- දිරා යමින්- ජරාවට පත්කරගනිමින්- සියදිවි හානි කරගැනීමේ ප්‍රීතියෙන් මත්ව වැතිර සිටියහ. ගස්වලින් උනා, පීඩන අච්චු අස්සේ තෙරපී, හැඩව, කම්බි වයර් කෂේරුකා ද වෘත්තාකාර අස්ථිපංජරද ලත් රබර් ටයර්, මළකඩ හා පෙමින් බැඳීමෙන් එකිනෙකා හා එතුවක් බැඳී හුන් සහකරුවන් සොයා යාමේ ඒකායන පරමාර්ථ අමතකව ගොස් ඇති යකඩ ගොඩවල් දෙස, සුසුම් හෙලමින්, උන්ගේ අයෝමය ශාරීරික මෛථුනයන් විසින් උපදවන ලද කම්පන දරමින් පොලොවේ පස් කාගෙන වැළපෙමින් උන්හ.
ඔහු ඇවිද යන්නට විය.

හිරු බැසීමක් හෝ නැගීමක් නොවීය. සඳ වතුර ගලා යන රාත්‍රිය හෝ නොවීය. ඒවා අහසේ දිරාපත් වෙමින් පැවතුනි. අනන්ත කාලයක් ති‍ස්සේ ආකාශයේ එකිනෙකා ලුහුබඳිමින් හුන් ඉරත් හඳත් එකතු වී නශ්ටකාමයෙන් පරිපීඩිතව, ඔවුනොවුන් අතරක් නැති සර්වකාලීන ආශ්වාදයක් සොයමින් අනංග රංගනයේ යෙදුනි. අහස මැද අනඟ සක්වලක් කරගත් සූර්ය දිව්‍ය රාජ තෙමේ ක්ෂීරපථය වැසී යන තරම් ශුක්‍රාණු වගුරමින් අහස් ගංගාවෝ ඉවුරු දෙ‍දරවමින් අභ්‍යාවකාශය පුරා නන්නත්තාර කරවමින් හැසිරෙනු සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මේ සියල්ල සාක්ෂි වීම පිණිස පමණක් ඔහු නැවත පෘථිවි තලයට එවා ඇත. අසරණ ලේඛකයා ඇවිද යන්නට විය.

පාර අද්දර නාම පුවරුවකි. ඔහු එතැන මොහොතකට නතර විය.

ඔහුට පරිගනකයක් සහ නමක් ලැබුනි. පරිගනකය ඔහු වෙනුවෙන් සිතීමටත් , නම ඔහු වෙනුවෙන් පෙනී සිටීමත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. වචන වලට ජීවය තිබුණි. ඔහුගේ කා‍ලයේ දී මෙන් වචන වල සංයෝගයේ උපරිමය කාව්‍ය වූව ද මේ යුගයේ දී එහි නිම්වළලු පුළුල් කර සිය ශක්තිය අපරිමිත ලෙස වර්ධනය කරගෙන තිබූ බැව් ඔහුට ක්ෂණයකින් පසක් විය. වචන මැතිරීමෙන් ද්‍රව්‍යය ද ද්‍රව්‍ය පිරිමැදීමෙන් වචන ද උපදින බැව් ඔහු වටහා ගත්තේය. අධික ශක්තිය උපදවන යමහල් න්‍යශ්ටික බලාගාර බවට පත්කොට තිබුනේ වචනවල බලමහිමයෙනි. සාගර පතුලේ සැඟව ගිය මිනිස් අත් කිසිදා පහස නොලැබූ ලෝකයේ අවසාන මහා තෙල් සම්පත් ගොඩ ගැනීමට තාක්ෂණය නිපදවා ගත්තේ වචන භාවිතයෙනි. වචන භාවිතයෙන් හිරු අසලින් ගමන් කරන ආලෝකය නැමී ගමන් කරන බවත් ගුරුත්වය කියා දෙයක් නොමැති බවත් පවතින්නේ අවකාශයේ වක්‍රවීම් බවත් පෙන්වා දුන්නේය. අවුරුදු සිය ගණනකට නොසෙල්විය හැකියැයි පුරසාරම් දෙඩු රජ පරම්පරාවක් අවුරුදු හයකින් මිහිපිටින් වඳ කරන ලද්දේද වචන වල තිබූ අනුහසිනි. ලේඛකයාට මහා විශාල ආඩම්බරයක් දැනුනි. පයට පෑගෙන තෘණ පත් ගල් බොරළු පවා ඔහුට අමතන්නටත් සිය අතීත කතා- අත්දැකීම් දෙසන්නටත් විය.

කලකට පෙර ඔහුගේ සියළු සිතුවිලි විදුලි කම්බි දිගේ ඉහල පහල යමින් කම්‍පනයේ යෙදුනි. ඒවා පරිගනකයේ අකුරු පුවරුවේ ඇඟිලි තුඩු මතින් ගිලිහී ගිය සූක්ෂම පීඩනයන් ඔස්සේ විදුලියෙන් කිතිකැවී තිරය මත සටහන් වෙමින් ඔහුගේ මනසේ රසායනික ගැටුම් ඔස්සේ හටගත් විදුලි සංඥා- මල් වෙඩි -පික්සල් ලාංඡන- අවසානයේ බයිට් ශ්‍රේණි බවට පරිණාමය විය. එවා පදාර්ථයේ සියුම් අංශු අස්සේ සැඟවුනි. පදාර්ථ සිතීමේ ක්‍රියාවලිය මෙනයින් උගත්තේය.
ඔහුට කුසගිනි දැනුනි. යකඩ කැබැල්ලක් තුනට හතරට නැවී කුඩා අලගෙඩියක අසමමිතික හැඩයක් ලබාගෙන ඊළඟ මොහොතේ ගෝලයක් ලෙස දිස්න දී රතුපාට ගෙඩියක් බවට පත්වූයෙන් ඔහු එය වහා හපා කෑවේය.

"ඔව් ඒ ඇපල්ම තමයි!"

ඔහු රතට රතේ ඇපල් ඇටයක් චරස් ගා හපා බැලීය.

ජීවය සහ අජීවය අතර බෙදුම් රේඛා වියැකී ගොසිනි. ජීව දේ අජීව දේ බවටත් අජීව දේ ජීව දේ බවටත් එකිනෙකා පරිවර්තනය කර ගැනීමේ හැකියාවෙන් එම සියළු ද්‍රව්‍ය දියුණු තත්වයට පත්ව සිටියි.
අවසානයේ මේ ඛේදනීය රස පොලොව මත මනුෂ්‍ය පෙණහැල්ලකින් වාතය අපවිත්‍ර කරමින් හුන් එකම වස්තුව ඔහු නොවීය.

ඔහුට ගොළුවකු හමු විය. ඔහුට කිසිදු භාෂාවකින් ආමන්ත්‍රණය කළ නොහැකි විය. ගොළුවා පරිගනකයේ බොත්තම් ඔබමින් ඔහු හා කතා කරන්නට සූදානම් විය. ගොළුවා මීට පෙර අවස්ථාවේ එතැනින් ඇවිද ගෙන යද්දී ගල් කුළක් වී සිටි බව ඔහුට මතක් විය. ශෛලමය පාෂාණයක් බවට වෙස්වළා සිටි ගොළුවා ඔහුගේ ලංවීම හේතුවෙන් ප්‍රකම්පනය වූ ගුරුත්වය හේතුවෙන් මිනිස් වෙස් ගෙන සිටියේය.

ගොළුවා සෙමෙන් සෙමෙන් යම් යම් දේ යතුරුපුවරුවෙන් සටහන් කරයි. බොහෝ කල්පනාවේ නිමග්න වෙයි. "හා හරි" කියන්නා සේ අභිනයක් පා කිසිවක් මතක් වූවා සේ යළිත් යතුරු පුවරුවට නැඹුරු වෙයි. පරිගනකයේ සංකේත ලේඛකයාට නුහුරුය. ඒ කිසිදු සංකේතයක් මින් පෙර දැක නැත. ගොළුවා එක දිග‍ට බොහෝ දේ යතුරුලියමින් සිටියි. ඒ කිසිවක් ඔහුට නොතේරෙයි. ඔහු ගොළුවා දෙස බලා සිටින්නට විය. ගොළුවා ඔහු දෙස බලා පරිගනක තිරය දෙස බලා මුවින් ඉඟි කළේ එම සංඥා කියවන ලෙසය. ඔහු දෙපසට හිස වනා තම නොහැකියාව පැවසූ විට ගොළුවා අහස දෙස බැලීය.

ඔහු ද අහස දෙස බැලීය. දෙදෙනාම අහස දෙස බලාගත් වනම ටික වේලාවක් කල්පනාවේ නිමග්න වූහ. අහසේ හිරු තවත් රමණයකට සූදානම් වනු දකින්නට ලැබිණ.

ඔහු ගොළුවාගේ අත්ල සියතින් අල්ලා ලංකර ගත්තේය. එම අත්ලේ සියුම්ව ඇඟිලි තුඩ මෙහෙයවා රහසිගත භාෂාවකින් මෙන් "අ"යන්න ලියා ගොළුවාගේ මුහුණ දෙස බැලීය. ගොළුවා සිනහ පා නැවත ඔහුගේ අත්ල ගෙන එමත "අ"යන්නක් පිළිතුරු ලෙස ලිවීය.

දෙදෙනා ඉමහත් සංතෝෂයට පත් වූහ. ගොළුවා ද සිංහල දනී. ලේඛකයා ද සිංහල දනී. එනමුත් ලේඛකයාට වචන මතක නැත. ඔහුට ගොළුවාට කීමට කිසි දෙයක් ඉතිරිව නැත. ඔහු හැමදේම ලියා අවසන් කොට තිබුණු හෙයින් ඔහුට තව දුරටත් ලිවීමට හෝ කීමට කිසිවක් ඉතිරි වී නොතිබුණි. ඔහුට ප්‍රත්‍යක්ෂ වූ මුළු විශ්වයම එකම හිස් තැනක් සේ හැඟුණි.

ලේඛකයා එතුවක් ලියා ඇති දෑ කොතරම් විගඩම් දැයි නැවතත් මේ ලෝකයේ ප්‍රාදූර්භූත වීමෙන් හෝරාවක් යන්නට මත්තෙන් ඔහුට සාක්ෂාත් වන්නට විය. ගොළුවා කථනයෙන්- සිතීමෙන් බැහැරව වල්පල් පරිගන‍කයේ ලියමින් සිටින්නේ යැයි ලේඛකයාට සිතුණි.

මේ තාක්ෂණික හරඹ සිදුවී ඇති යුගයේ ගොළුවකු ගේ පැවැත්ම ඔහුට අදහන්නට ද බැරි විය. ලේඛකයා අමුතුවෙන් වචන සොයා ගෙන මේ දුරවබෝධ කාරණා ගොළුවා ගෙන් විමසන්නට විය. ඔහු ගොළු වීමේ හේතුව ඔහුගේ පැවැත්මට කිසිදු වචනයක භාවිතයක් නොතිබීම හේතුවෙන් ඔහු ඒ සියල්ල පන්සලකට පූජා කිරීමේ නිසාවෙනි. පසුව ඔහු දැනගත්තේ ගොළුවා බෞද්ධයකු බවත් ඔහු නිවන් මගට අවතීර්ණව ඇති හෙයින් සංඥා පද්ධති කිසිවක් ඔළුවට දාගැනීමෙන් සිය මොළයේ පදාර්ථයන් ඇතුලේ අනවශ්‍ය රසායනිකයන් හට ගැනීමෙන් තමන් උපදවා ගත් ධ්‍යාන නම් වූ අවම රසායනික ප්‍රතික්‍රියා පවතින මොළයේ ජීවමය කොටස් ඒවායෙන් පිරී යාමෙන් එම ධ්‍යාන හානි වන බවත්ය. ඔහු ඇස් ඇරීම පවා මුලින් ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ බලවත් පෙරැත්තයෙන් ඔහු එක ඇසක් විවර කර ඔහු හා කිසියම් අවම සංඥා අනුක්‍රමයකින් මේ අදහස් හුවමාරු කරගත්තේය. ඒ වන විට පරිගනකය අකර්මන්‍ය වී පාද රාශියකින් යුතු හැකරැල්ලකු බවට පත්වී සිටියේය. ඒ අතරතුර ඔවුන් වඩාත් සන්නිවේදනයේ යෙදුනේ සිය සිරුරු මතුපිට ස්පර්ශයෙනි. ශරීර මත ලියා ගැනීමෙන් අදහස් හුවමාරු කර ගැනීම විප්ලවවාදී කුඩා කණ්ඩායම් විසින් "දෙනුවන් වැසූ රාත්‍රියේ සිර කුටියේ" ලද පුහුණුවකුත් "සුවඳක් ලෙසින් පැටලී එන්න මේ මඳ සුළඟේ" යනාදී වූ බලවත් වචන එක්තැන් කිරීමෙන් නිපදවා ගත් මන්ත්‍ර සිතින් උච්ඡාරණයෙන් ලද අසහාය ශාස්ත්‍රයකි.

ගොළුවා කවදාවත් කතා නොකර සිටි හෙයින් ඔහුට කීමට සියල්ල ඉතිරි වී තිබුණි. ඔහුට විශ්වය මහා දෙයකි. මහ පොලොව එහි මතුපිට දැකිය හැකි සියළු දේ විස්මයෙන් පිරී පැවතුනි. ඔහු සියළු දේ සඳහා නාම පද ලියා ඒවා අයත් වස්තු මත සටහන් කර තිබුනි. ඒ කිසිවක් සිය මතකයට නොගන්නට වෑයම් දරා තිබුණි. නමුත් ලේඛකයා හමු වීමත් සමග ඔහුට ඔහුගේ හදිසිය නිසා තමා සතු වූ සියළු වාග් කෝෂය පන්සලට පූජා කිරීමෙන් ඔහුගේ සිත හිරිවැටී ඇති බව දැනුණි. නිර්වාණය අද්දර මෙතරම් හිස් යැයි ඔහු කිසිදිනෙක සිතා සිටියේ නැත. ලේඛකයා ගොළුවාගේ සිරුර මත සිය ඇඟිලි තුඩු මෙහෙයවමින් තව තවත් සංවාදයේ යෙදෙමින් ඉන්නට විය. විශ්වයේ සියළු රහස් ඔහු වෙත එමින් පැවතුනි. වචන නැති තැන සියළු දේ පවතී යැයි ඔහුට සිතුනි.

කොග්ගල ආසන්නයේ මුහුද අද්දර කළු ගලක් අසල දෙදණින් වැටී එම පර්වතයට සිය වෙද නලාව තබමින් එහි පෙණහළු පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයා ගාලු පාරේ එම මොහොතේ ගමන් කරමින් සිටි බොහෝ අය දකිමින් සිටි අතර ඔවුන් අතරින් කීප දෙනෙක් මේ ඔවුන් නිතර යන පුද්ගලික ඩිස්පැන්සරියේ දොස්තර මහතා බව දැන වහා ඔහුගේ මිතුරු වෛද්‍යවරුන්ට පණිවිඩ යැවීමට උත්සුක වූයෙන් එතැනට පැමිණි ගාල්ල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ඔහුව වත්තං කරගෙන ඔවුන්ගේ වාහනයට දමා ගෙන පි‍ම්මේ රෝහල වෙත යන්න විය.

"මාව අතෑරපියව් යකෝ... උඹල හිතං ඉන්නේ ඒක කළු ගලක් කියලද?"

4 comments:

  1. හ්ම්ම්ම්.... කවුරු නමුත් මගේ ජීවිත කතාවෙන් කොටසක් ලියුවා සේ සිතුනා... (කොටසක්) .... ?? >> >>??
    වචනයක් කතා කරගැනීමට පෙර මෙය තව සිය වතාවක් වත් කියවිය යුතු බව තමයි මේ මොහොතේ මට දැනෙන එකම දේ....
    වි ශි ෂ් ට යි.... ! එපමනක් කියා මම යන්නම්...

    ReplyDelete
  2. kata hari gahapu madak, owa balu weda

    ReplyDelete
  3. හකාවතී, කතාව මරු. මේ කතා ශෛලිය බොහොම හුරුයි. මම වැරදි නැත්නම් ඔබට අපි කිවුවේ විශ්වනාථ කියල. ඉහත කතාව හරි නම්, ඔබ ලේසියෙන්ම මාවත් හඳුනා ගනී.

    ReplyDelete
  4. හකාවතීට ලියන්න- widurad@gmail.com

    ReplyDelete