Saturday, October 17, 2009

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය


"මට කවි පැටියෙක් හදා ගන්න ඕන! "

කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වණ රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ක්ෂණයකින් කවියාගේ මවගේ රෙද්ද කඩා දැමූ හෙතෙම ඇයව උස්සා ගස් දෙබලක හිර කරගෙන සිය යටි කයෙන් පහර දෙන්නට වූයෙන් අසමතුලිත වූ ගස් දෙබල පොලව දෙසට බර වීමත් සමගම ඇයගේ යටි කය ඉහලට එසවී තිබිය දී හිස මහ පොලව මත ගැටී මත් සමගම ඇගේ අතට අසු වූ මැටි ගලක් දෑතින් ම ඔසොවා ඇති හැකි උපරිම වීරියෙන් ඔහුගේ හිස මතට දමා ගැසීමත් සමගින්ම ඇ‍යගේ ගැබ් ගෙල අසල උණු සීරාවට ඔහුට මෝචනය වීමත් සිදුවනු දැනෙද්දී ඔහුගේ නිසල කය සහ සුනු විසුනු වී ගිය මැටි ගල් පස් ද ඇගේ සිරුර මතටම බැර විය‍. කවි‍යාගේ පියා කවියා සංසේචනය වීමට පැය හතරකට පෙරම මළවුන් අතරට ගිය අතර ඇය රෙද්ද ගසා දමා නැවත ඉණවට තද කර හැඳ ගෙන වණ රොදින් එලියට ආවාය. මිය ගිය මිනිසාගේ ධාතු ද සමග ඇය විහාර ගෙට ගොස් පංචසීලය සමාදන්ව ‍බෝධියට පැන් වඩා අලුත් මල් පූජා කළ ගැටිස්සියකගේ අතෙහි වූ තෙල් බෝතලයෙන් ස්වල්පයක් දොලොස්මහේ පහනට දමා පහනෙන් ඇඟිල්ලට පොඟවා ගත් තෙල් බිංදුවක් සිය හිස කෙස් අතර උලා ගත්තාය.

කවි පැටියා පන්සලේ ඝංඨාරය සිවු වරක් නාද දෙද්දී අව පක්ෂයේ සඳ හතරවැනි කලාවේ නැංගුරම් ලද්දී සිය ආත්මය සංසේචනය වෙමින් පැවති යුක්තාණුවේ මයිටකොන්ඩ්‍රියා අසලින් වූ ක්රෝමසෝමයක දැවටී මවගේ හදේ රිද්මයෙන් ඔංචිලි පදින්නට විය. පී එච් අගය මෙන්ම ඩීසීඑච් හෝමෝන වල සාන්ද්‍රණ ද අඩු වැඩියෙන් සමාකලනය වූයෙන් යුක්තාණුව යහමින් ගර්භාෂයේ බිත්තිය මත නැංගුරම් ලෑයෙන් ඔංචිලිවාරම් නවතා කවියා අත පය හකුල ගෙන හෘදය හැදෙන තුරු දිවා රාත්‍රි විසි අටක් බලා සිටියේය. පුෂ්ප මංජරියකින් එක පුන් මලක් පූදින්නා සේ පිපී ආ හෘද මාංසය සමගින් ඉතා සිහිනිව මවගේ ලබ් ඩබ් ආකාර වූ හෘද ස්පන්දනයේ ම අනුකාරක හඩක් යම්තමින් නැගෙද්දී කවියා සිය ජීවිතයේ පළමු විරිත හඳුනා ගනිමින් සිටියේය.

කවියාගේ මවට එක් උදෑසනක සිය මුඛයෙන් මුළු ලොවම ප්‍රාදූර්භූත වන්නා සේ ද සිය ඛේට ග්‍රන්ථි වලින් අනවරතව ගලා ආ උණු ලෝ දිය දහර ගිනි රස්න ජල සීරාව රාවණා ඇල්ල කඩා හැලෙන්නා සේ හකුපාඩා අතරින් දැනෙන්ට ද වූයෙන් ඇය ගෙයි පිළිකන්නට දුවගොස් ඔක්කාරය කරන්නට වූයෙන් ඇයට තව දුරටත් ග්‍රාම වාසය නොහොබින්නේ යැයි ඒත්තු ගිය හෙයින් වහාම එදා උදැහැනැක්කේම සෙයිලම බලා ඇදෙමින් තිබූ මිරිස් ලොරියේ රියැදුරා හා එකතුව ලොරියේ ඉදිරිපෙල අසුනේ වීදුරු කන්නාඩිය අසලින් වාඩි වී හතරවරම් දෙවිවරුන්ගේ ඡායාරූප දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටිමින් හැන්දෑකරයේදී නවගමුව හන්දියෙන් හැරී රියැදුරාගේ බාල නංගිලැයි දිහා ගියාය. කවියා ගැස්සිලි බැස්සිලි මැද්දෑවෙන් මේ යන ගමන විශ්වයේ ගන්ධබ්බයෙකු ලෙස ගමන් කළ ඒකාකාරී වේග රිද්ම ආකාරයට වඩා කොතරම් මනරම් පරිමන්දිත චලිත රිද්මයක් මහ පොලොව මත චලනය වීමේ දී හට ගන්නේ දැයි විපරමින් සිය ජලාබූජ ජීවන කාලය උන්මාදයෙන් ගත කලේය.
අවසිහියෙන් රැප් සංගීතයකට නටන්න‍කු මෙන් ඔහු අර්ධ ක්ලාන්තව හුන්නෙන් රියැදුරා රාත්‍රියේදී කවි‍යාගේ මවගේ සයනයට පැමිණීම පිළිබඳ කිසිදු නිනව්වක් නොවීමේ හේතුව මැකී යන්නේ කවි‍යාගේ මව සිය දත් කූටු කාගෙන ඔහු වෙත හෙමින් සහ සැරෙන් "කොරගන්න දෙයක් හෙමින් කොරගනින් මිනිහෝ!.. මගේ බඩේ දරුවෙක් ඉන්නෝ..." යැයි කීම ඇසුනෙන් පමණි.

එදින සිට මාස දෙකක් යනතුරු විඩෙන් විඩේ කවියා ඉමහත් තෙරපුමක ආස්වාදයක් ලබමින් සිටිද්දී දිනක් ඇය කීවේ මේ උපදින්ට ඉන්න එකා කොහේ හෝ කාගේ හෝ ඇඟේ ගසා නැවත මුකලානට යා යුතු බවය.

කී පරිද්දෙන්ම කවියා ඇගේ කුස සැප සේ ගත කරමින් හුන් කාලයේ අවසානය ලං ව ඇති බව දැනුනේ අපස්මාර රෝගියකු මෙන් ඇය විලි රුදා විඳිමින් ප්‍රසව තරංගයෙන් සිය යහන් ගබඩාව භූමි කම්පාවකට ලක් වෙමින් සිටි මොහොත උදා වූ දිනයේ ය.

වැල මදුලකින් ඇටය පනින්නාසේ ඉමහත් ආශ්වාදයෙන් සිය සිරුර ඇගේ රැහැණින් මුදා මෙතුවක් ජල තරංග ඔස්සේ පමණක් ඇසි අවට ‍ලෝකයේ සියලු ශබ්ද පියවි කනින් ඇසීමටත් පළමු වතාවට තම හදවත ගැහෙන රිද්මය තම කනින් අසා ගැනීමටත් මෙතුවක් දස මසක් තිස්සේ අනවරතව අසා සිටි සිය මවගේ ලබ් ඩබ් ශබ්ධාවලියට සමු දීමටත් කවියාට සිදු වූයෙන් පුර පසලොස්වක කුජ නවයේ සැරිසරන ගුරු කන්‍යා රාශියට පත් වන හෝරාවේ කැති නැකතේ තුන්වන පාදයේ සඳු ගමන් කරද්දී කටක ලග්නයෙන් මෙලොව එලිය දුටු කුමරු යැයි කිසිවකු විසින් සිය ජන්ම පත්‍රය නමෝ විත්තියෙන් සාදනු ඇතැයි කවියා සිතුවද ඒ කිසිවක් පොත පතක සටහන් වන්නට පෙර ඉස්පිරිතාල ඇඳෙන් අමාරුවෙන් බැස ගත් කවියා‍ගේ මව ඔහුව ඔතා සිටි සුදු පැනල් රෙද්ද පිටින්ම ගෙන තාප්පයෙන් පැන මහ මගට වන්නීය. කැනල් පාරේ නිශාචරයින් අතරින් ඇය කඩිමුඩියේ පා තබා මීට පැය හතරකට පෙර දරුවකු වැදූ ගැහැණියක ලෙස නොව සිපිරිගෙයින් පැන ‍යන්නා වූ සොර මුලක නාය‍කයෙකු බඳු වේගයෙන් දරු ගොට්ට ද කිහිලි රුවා ගෙන දුව ගොස් ප්‍රථමයෙන් ම හමු වූ කසල බාල්දියට කවියා දමා ඈ නොපෙනී ගියේ සර්වලෝක විනාසාය යනුවෙන් හැඳිනිය හැකි මේ ලෝකයේ කිසිවකු නොදත් භාෂාවකින් මන්තරයක් මතුරමිනි.

එතැන් සිට ගත වූ පැය අටක කාලයක් කවියා සිය උප්පත්ති කේන්ද්‍රයේ සඳු ලැග හුන් රාශියේම සෙනසුරුද වූයෙන් උපන් ජන්ම ඒරාෂ්ටක අවස්ථාවෙන් ඉපදීම කරණ කොට මියෙන්නට තරම් ප්‍රභල දුර්ගන්ධ වූ කැලි කසල මධ්‍යයේ නිරුපද්‍රිතව ජීවය අකාලයේ මියෙන්නට වූ අවසාන හෝරාව පන්නා ගෙන ගොස් ජීවත් වීමේ තවත් උත්ප්‍රේරණයක් සලසා ගත්තේ හිරු සමගින් කැලි කසල ගොඩ වෙත පියඹා ආ සෙනසුරුගේ වාහනය වූ ද කපුටන්ගේ අනවරත කරච්ච‍ලයේ රිද්මය රස විඳිමෙනි.

චන්ද්‍රයා සිය අකාෂ පථයේ සහචර සෙනසුරා සමග වූ සංයෝග වූ අවස්ථාව ක්‍රමයෙන් දිය කර ශනිට වඩා වේගයෙන් තව දුරටත් සිය ගමනේ යෙදුනෙන් ජන්ම ඒරාෂ්ටකය පහවී කවියා නගරයේ කැලි කසල හමුදාව භාරයට පත් වූයෙන් වහාම පත්‍ර වාර්තාකරුවන් රොත්තක් මැද්දේ ඔවුනගේ කැමරාවල සැනෙලි මැද්දෙන් සිය මුව අයා කිරි ඇබින්දක් දෙන නිරිඳෙක් ඇත්දෝහෝයි අසන්නාක් මෙන් හෙලූ බැල්ම විජයග්‍රහණය වීමත් සමගම අලුත උපන් ළදරුවන්ට දෙන කිරි මිශ්‍රණ සොයමින් යන්නට කිසිවකු නොවූයෙන් කැලි කසල එකතු කරන ස්ථානය අසල වූ බුලත් කඩය කරමින් වෙළහෙලදාමෙන් ජීවත් වූ ඇගි අක්කා වහා සිය හැට්ට බොත්තම් විවර කොට සිය වමත් තන පුඩුව දුන්නෙන් එහි ඇති කිරක් නොවූවද ඇති තාක් වූ උණුසුම මධ්‍ය‍යේ කවියා සිය පළමු මව ලෙස ඇය සිහියේ ඇඳ තබා ගත්තතේය.

එතැන් පටන් කවියා කපුටු බෝ රුක අසල ටියුබ් ලයිට් හපා කන කලු ගල් කැට වතුර සමග බී ගිලින මැජික් කාරයාගේ දිවා සහ සැන්ඳෑ සංදර්ශනය ද ඇගි අක්කා සමග දවල් දවසේ ම බුලත් මිටි බඳින හැන්දෑවෙද්දී ඉහ මුදුනට කර හවරිය ඔතා කෙස්ස බැඳගෙන විලවුන් නාගෙන පාරට බසින ප්‍රෙමක්කා ද අතර කාලය ගෙවී සියල්ලන්ටම නොදැනී මහ පාරේ තාප්ප මත අලවා ඇති අටකලම්පන්නයක් වූ පෝස්ටර ද පාරේ ඉබා‍ගාතේ යන් වහු කුණු බල්ලන් ද උන්ගේ ඇඟවල් මත වැස හුන් මැක්කන් ද කඩමින් ලොකු විය. කවියා කිසි විටෙකත් තමාගේ මව හෝ පියා හෝ නොදැන සිටීමෙන් ඔහුගේ සිත ඉමහත් සැහැල්ලුවෙන් පැවතුන අතර කළු ගල් ගිලින මිනිහා දිනක් කවියාගේ රත්තරන අතින් අල්ලා බලා කළ පරීක්ෂණය ඇවෑමෙන් සිය පියා මෙලොව කොහේ හෝ ඉන්නා බවත් ඔහු තමන් මෙන්ම වෙනත් මැජික් කාරයෙකු ගේ සංදර්ශණ බලමින් ද වෙනත් ප්‍රේමක්කා කෙනෙකු ගේ ලැම පෙදෙස හොරැහින් බලමින් ද ඉන්නවා විය යුතුය යන්න කවියා එකහෙලා තීරණය කරන විට නගරසභාවේ හැන්දෑවේ හතරට පිඹින නලාව නාද වූයෙන් මෙලොව කිසිවෙකුත් නොදන්නා ඒ ඔහුගේ නව වන උපන් දින සාදය අහසේ හිරු ගමන් ගත් පථයේ සලකුණු වී තිබුණි.

කවියා කුණු වලට දමා යාමට ප්‍රථම කවියාගේ මව මැතිරූ මන්තරයක් වූයෙන් ද එය ඔහුගේ දෙසවන් මත රැව් පිළිරැව් දෙන්නට වූයෙන් ‍දිනක් මැජික් සංදර්ශකයා සිය කාසි එකතු කරන ටින් එකේ රැඳුනු කාසි ගණන් කරන වේලාවක් බලා හෙතෙම ළං වී ඇසුවේ තමා කොහෙන් මේ ලෝකයට පැමිණියේ දැයි කියාය.

උඹ ආවේ මේං මේ ගල් ගෙඩි බඩෙන් එන්නා වාගේම ය

කවියා සතුටට පත් වූයෙන් එතැන් සිට තමන් මෙලොව පැවතීම පිළිබඳ සියලු සැක සංකා හිරු දුටු ‍පිනි මෙන් ද උදෑසන ලූ කෙළ පිඩක් මෙන් ද සිය සිතින් අකාමකා දැමූයෙන් මැජික්කාරයාගේ ප්‍රථම ගෝලයා බවට පත්වීමේ වරම ද උදා කරගත්තේය. දින කීපයකින්ම ටියුබ් ලයිට් අතින් ගසා කුඩු කිරීමටත් කුඩා ගල් කැබලි හොඳින් ගිල දැමීමටත් කුඩා රබානක් ගෙන විරිඳු කියන්නටත් කකුලෙන් චිත්‍ර අඳින්නටත් කවියා පුහුණු වූයෙන් උත්පත්ති අවස්ථාවේ සිකුරා ලග්න ගතව සිටීමේ සියළු ගති සොබා පහළ වූයෙන් කවියා චිත්තාකර්ෂණීය රුවින් ද පළල් දෙවුරින් ද කඩවසම් ශෝභාමත් සිරුරින් ද අසාහාය කාය ශක්තියෙන් ද වර්ධනය ව මහළු මැජික් ශිල්පියා වෙනුවෙන් සංදර්ශණ තනිවම පැවැත්වීමට තරම් පළපුරුද්ද අත් කරගත්තෙන් දිනක් පෙට්ටියකට දමා වැසූ තරුණියක් දෙකට කපා පෙන්වීමෙන් පසු තරු පහේ හෝටලයක නිත්‍ය මැජික් පෙන්වන්නා බවට පත් වීමත් සමග සිය විංශෝත්තරී දශා චක්‍රයේ සිකුරුට අදාල වසර විස්සේ පළමු වර්ෂය ගෙවා යන්නට පටන් ගත්තේය‍‍‍.

කවියා සිය මැජික් හැකියාවෙන් පොහොසතුන් වශී කරගන්නට සමත් වූයෙන් සිය දුප්පත් මිතුරන් අතරට එකතු වූ නවීන පන්නයේ අරුමෝසම් විලාසිතා වැළඳ ගත් සුඛෝපභෝගී ජීවන ක්‍රමයෙන් ආලිප්ත වූ අලුත් ධනවත් මිතුරන් ද සිය ආශ්‍ර ආශ්‍රමයට පත් වූයෙන් දිනක් මැජික් සංදර්ශණාවසානයේ දී එබඳු ධනවත් තරුණ කණ්ඩායමක ආරාධනයෙන් කවියා සිය මැජික් ශිල්ප දක්වන්නට ඔවුනගේ මන්දිරයට ගියේය.

ඒ යන ගමනාතුර එක්තරා රටක වෛද්‍ය විද්‍යාව හදාරනු පිණිස ගොස් සිටි ධනවත් තරුණියක් පුරුෂාණු වෙනුවට අබ ඇට ගර්භාෂගත කර දරුවන් උපදවන ක්‍රමයක් කෙරෙහි පර්යේෂණයේ යෙදී සිටියා ය. ඇය සිහිනයෙන් දකින්නේ ද සැබෑ ලොව සිදුවන තතුම බැවින් ඇය අනාගත වාක්‍ය කියන්නියක ලෙස ද ප්‍රකටව සිටියාය. ඇය ‍මීට වසර හතකට පෙර සිය ප්‍රථම උපාධි නිබන්ධයේ දී ප්‍රකට කර සිටියේ ආකාෂ වස්තු වල චලිතයේ පවතින අක්‍රමිකතාවයක් නිසා පොළවේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක උපදින මැජික් ශිල්පියකු විසින් මුළු ලෝකය ම පාලනයට ගන්නා බවය. එමෙන්ම ඇය සිය උපාධි නිබන්ධයට විවිධ වර්ගයේ කවි සහ කතා ද බොහෝ ප්‍රමාණයක් අමුණා තිබූයෙන් ඇයට උසස් සාමාර්ථයක් දී නැවත උපන් ගම්පලාත වෙත වෛද්‍යවරියක් ලෙස බලගන්වා එවා තිබුණි.

ඇය ද සහභාගි වූ මෙම මැජික් සංදර්ශණය අවසානයේ දී ඇය විසින් ඒ කවියා රැගෙන ආ කණ්ඩායමේ කෙනෙකුට කීවේ තමා විසින් මින් පෙර අනාවැකි කියන ලද මැජික් ශිල්පියා මේ විය යුතු බවයි.

පෙට්ටියක ලූ ගැහැණියක් පණ පිටින් දෙකට කපන්නට සමත් මිනිහෙකුට මේ ලොව ඕනෑම දෙයක් කළ හැකි බව මෙම වෛද්‍යවරිය එම කණ්ඩායමට සිය ශල්‍ය වෛද්‍ය විද්‍යා දැනුමෙන් ඒත්තු ගැන්වූවාය.

මින් කුපිත වූ ධන කුවේරයන් මෙතුවක් තමන් අමන්දානන්දයට පත් කළ කවියා අල්ලා රජයේ මහාමාත්‍යාදීන්ට චෝදනාභිමුඛව පෙන්වා සිරගත කරන්නට වැඩකටයුතු කළෙන් සිය සිකුරු දසාවේ රාහු අන්තර් දශාව උදා වී ඇති බව කවියා දැන නොගත්ත ද එය රාත්‍රි අහසේ තාරුකා පංති අතර සටහන් ව තිබුනේය.

සිරගතව හුන් කවියා දිනක් සිර මැදිරි බිත්තියේ කලකට පෙර සිටියවුන් විසින් ලියා තිබූ වැකියක් කියවමින් සිටියදී සිරගෙදර ජේලර්වරයෙකු නිරීක්ෂණ සටහනක් ලොග් පොතේ දමා ගොස් තිබුනේ කවියා නොතේරෙන භාෂාවකින් නොයෙක් දේ සිරගෙදර බිත්ති මත ලියන බවත් ඒවා වහාම පරීක්ෂාවට ලක් කළ යුතු බවත් ය.

එනයින් ඉන් පසුවදාම හිරගෙදරට වන් අක්ෂර විශ්ලේෂණ මහා ප්‍රාඥයන් පිරිසකගේ නිර්දේශයෙන් වහා කැඳවූ මහාධිකරණ බලතල සහිත ඒක පුද්ගල කමිටුවක තීරණය වූයේ කවියා විවිධ ජනතා නැගිටීම් වලට තුඩු දෙන අපභ්‍රංෂ විප්ලවවාදී කවි විශේෂයක් ලියා ඇති බවත් ඔහු දේශ ද්‍රෝහියකු බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි ප්‍රථම එල්ලා මැරීමේ සංදර්ශනයේදීම එල්ලා මරා දැමිය යුතු බවත්ය.

මැජික් ශිල්පියා කවියෙකු ලෙසත් විරෝධාර විප්ලවවාදී විමුක්තිකාමියකු ලෙසත් සුජාත පුත්‍රයන් අතින් මිය ගියේ එසේය.

17 comments:

  1. මේක කියවද්දි.. හිතට ඇති වෙච්ච සිතුවිල්ල වචන වලට පෙරලන්න මම දන්නේ නැහැ. ඇත්තෙන්ම අමුතු ශෛලයකින් ලිව්ව මයා කථාවක් වගේ.

    ReplyDelete
  2. කුමක් කියන්නදෝ නෝ තේරෙයි, මලී සහෝදරීය කී දෙයම තමා කියන්නට මටත් සිදු වී ඇත්තේ!

    ReplyDelete
  3. කෙටියෙන් කිවහොත් මේ කියන කවියා යනු මම[ඔබ] යි.

    කවියාගේ ජීවිතය කියවමින් අප සොයන්නේ අපව ම නොවේද? අඩුවැඩි වශයෙන් කවියා ගේ සිත් සොබාවෙන් නිපන් වන්නේ අපවම නොවෙද?
    හැමදෙනා තුළම අර්ධ වශයෙන් හෝ අනාතයෙකු සිටියි, කවියෙකු සිටියි, විප්ලවවාදී විමුක්තිකාමියකු ද වේ, ප්‍රාඥයන් ද වේ.
    එල්ලා මරන්නේද.., පුද දෙන්නේද.., කැරළි ගසන්නේ ද අප ම ය...!

    හකාවතී මේ අකුරින් අඳින්නේ අපට එරෙහිව නිරුවත් මනසින් කරළි ගසන අපව ම නොවෙද...?

    ReplyDelete
  4. අති විශිෂ්ටයි.ඔබේ කතා විලාශය සිත් ඇදගන්නා සුලුයි.ඔබ දිගටම ලියන්න.අපි දිගටම කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  5. මලී, බින්කු, ලිෂ්විෂ් ,පබලු ,නිර්නාමික සහ පැරකුම්:

    මෙය කියවීමට යෙදවූ කාලයටත් මෙහි වචනයක් ලියා තැබීමට දැක් වූ උනන්දුවටත් මම ණය ගැති වෙමි.

    අවසානයේ ප්‍රබෝධයට පත්වෙමි.

    ලේඛන කාර්යයේ බලා‍පොරොත්තු දල්වා ලමින් ඔබ සැම තම වටිනා කාලය මිඩංගු කරමින් මේ කරන කියැවීම්, විඳූම් සටහන් සහ අත්‍යංශුක විචාරයන්ට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

    සැමට ස්තුතියි!

    ReplyDelete
  6. මම මේක කියවන්න දවස් ගානක්ම මහන්සි උනා. මොනවා උනත් astrology ගැන මං නොදන්නා නිසා තවත් කොම්ප්ලිකේට් උනා..
    මේක මහා ප්‍රාතිහාර්ය කතාවක් කියල දැනුනා. ඒත් මම දන්න සිංහල මදි වගේ තේරුම් ගන්න නම්. අර පිස්සු මලී කෙල්ලටත් නොතේරෙනවා නම් මම ගැන මොන කතාද හකාවතී?

    සමාව ලැබෙන සේක්වා...

    ReplyDelete
  7. කටක ලග්නයෙන් ඉපදිලා, කවියාගේ මව දාලා යද්දි සෙනසුරු අතුරු දසාවක් ලැබීම හරිම rare...

    නියමයි හකාවතී... දිගටම ලියමු...

    ReplyDelete
  8. අයියෝ . . . මෙච්චර සුවිශේෂී කතාවක් කියවන්න මම මෙච්චර දවසක් පරක්කු කලේ ඇයි . . . .

    මට දැනෙන හැඟීම කොයි විදිහකින් ප්‍රකාශ කරන්නද කියලා මට වචන නෑ . . .

    මේ කෙටි කතාව අපේ සමාජයේ එක්තරා කොටසකගේ (පංතියකගේ . . ???) ජීවිත පිලිබඳ ව කරපු විශ්ලේෂනයක් . . . ඒ ජීවිත වල හරස් කඩක් . . .

    ඒ ඛේදාවාචකය මීට වඩා ලස්සනට විස්තර කරන්න කිසිවෙකුට හැකි වෙයිද . . .??? හකාවතීටම හැර . . . ! ! !

    ReplyDelete
  9. ඔය තියෙන්නෙ බඩු! වියාකරණත් එක්කම!ඉතා සතුටුයි!

    ReplyDelete
  10. Il mondo di una povera pazza,Anjana Jayaweera, දුකා,kasun & කිරිමාමා :

    දිරි ගැන්වීම් සහ අගය කිරීම් ඉතාම උපේක්ෂාවෙන් දරා ගමි. ස්තුතියි මේ සියළු දේ වෙනුවෙන් ඔබ සියල්ලන් ගත කළ කාලයට සහ ශ්‍රමයට.

    ReplyDelete
  11. නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...

    ReplyDelete
  12. Thusith Abeynayaka October 28 at 10:35am
    i just read sujacha puth... wickramaya. did u write it. can i make a commeant. i only read it once, but for me it is just wachana harambayak.it is close to majic realisom. but not get close inoufe.kathawe sundharbhaya eka eka deewal athare athaman wela wage.specially mula tika. if u wrote that , u can do much much more better than that

    http://www.facebook.com/home.php?filter=nf#/profile.php?id=1382987866

    ReplyDelete
  13. ඇත්තටම මේ කතාව හරිම ඉහලයි.අපූරැයි...තව ලියනතුරැ අපි බලාගෙන ඉන්නව.

    ReplyDelete
  14. Nice writing style. Could follow the storyline. But didn't understand the sub text (if any).

    Summary: I like it.

    -AD

    ReplyDelete