Monday, October 5, 2009

ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි


ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි

මේ අහන්න කෆ්කා. දැන් ඔයා අත්දකින දේ තමයි හුඟාක් ග්‍රීක ශෝකාන්තවල ගරු අරුත වෙලා තියෙන්නේ. මනුස්සයා තමන්ගේ ඉරණම තෝරා ගන්නේ නැහැ. ඉරණමයි මනුස්සයා ව තෝරා ගන්නේ. ඒකයි ග්‍රීක නාටකයේ මූලික ලෝක දර්ශනය. එ‍තකොට ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචක අර්ථය එන්නේ ප්‍රධාන චරිතයේ නරක ගුණයක් නිසා නොවෙයි. යහපත් ගුණයක් නිසා. ඒක යි උත්ප්‍රාසය. මං මේ කොතනටද එන්න හදන්නේ කියලා දන්නවා ද? මිනිස්සු ඛේදවාචක ඇතුළේ තව තව එරෙන්නේ ඒ ගොල්ලන්ගේ දෝසයක් නිසා නෙවෙයි. ඒ ගොල්ලන්ගේ සුචරිතයක් නිසා. හොඳම උදාහරණය සොෆොක්ලීස්ගේ ඊඩිපස් රෙක්ස්. ඊඩිපස් ඛේදවාචකයට මුහුණ දෙන්නේ එයාගේ කම්මැලිකමක් හරි ගොබ්බකමක් හරි නිසා නෙවෙයි. එයාගේ තිබිච්ච වීරකම සහ අවංකකම නිසා. අන්න ඒකෙන් තමයි අනිවාර්ය උත්ප්‍රාසය උපදින්නේ.

කෆ්කා මුහුදු වෙරළේ-හරුකි මුරකමි -පිටුව 286
ගාමිණි වියන්ගොඩ පරිවර්තනය

ජිනදාසට නගරයේ කිසිදු ඩිස්පැන්සරියක නිදි පෙත්තක් මිළ දී ගන්නට නොහැකි විය. කිසිදු තැබෑරුමක මත් පැන් පොදක් නොවීය. නිදි පෙති මෙන්ම මත් පැන් ද සියල්ල විකි‍ණී අවසන්ව තිබූයෙන් සමහරු ඕඩිකොලොන් බෝතල් සහ වයින් ස්පිරිතු මෙන්ම ටර්පන්ටයින් වැනි රසායනික ද්‍රාවණ සොයා කඩ සාප්පු පීරමින් යන්නට වූහ. පොල් ගස් කරටි වල අමුණා බැඳ තැබූ කුඩා මැටි මුට්ටි වලින් සෑම පොල් ගහකම මුදුන් හැඩ වී තිබුනි. කිසිදා මදින්නට යොදා නොගත් පොල් ගස් ද රා මැදීමට යොදා ගෙන ඇති අයුරැ හාත්පස දකින්නට ලැබුනි. සමහරු පළතුරු වර්ග බැරල් වල දමාගෙන ඒ මතට ඊස්ට් ඉස පැසවන්නට උත්සාහ ගනිමින් සිටියහ. කිසිදා සයිඩර තාක්ෂණය නොදත්තවුන් සිය ගෙමිදුල් වල කසිප්පු- සීනි කරිංඤ්ඤං- සයිඩර් යනාදී මෙකී නොකී හැලි අරක්කු තරගයට මෙන් පෙරන්නට වූහ.

මේ සියල්ලන්ට මත් වන්නට ඇවැසි වූ මොහොතයි.

ජිනදාස අවසානයේ කළුකඩකාරයෙකු මුණ ගැසී අරක්කු බෝතලයක් මිල දී ගන්නට සිය සේසතම දුන්නේය. ඔහුට මේ බෝතලය මෝය කටේ ගිය පොල් ලෙල්ලක් මෙන් දැනුනි.

මිනිසුන් ට අවශ්‍යව තිබුනේ ඒ විපත්තිදායක මොහොතේ අවසිහියෙන් සිටීමටය. ඒ තවත් පැය දොලහකින් මහ පොලොව මත පතිත වන ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථිවිවාසී සියල්ලන් දැවී විනාෂ වී යන්නට නියමිත වූ බැවිනි. මුළු නගරයම ‍මුළු රටම මෙන්ම මුළු ලොවම කැළඹී සිය අවසාන මොහොත තත්පර ගණනින් ගණන් කරමින් හිඳිනා අවසන් වරුව එය විය. අහසේ පායා තිබූ සඳ මෙන්ම ඊට මදක් කුඩාවට දිලිසි දිලිසි හුන් ඇස්ටරොයිඩය මහ පොලොව ඉලක්ක කර ගෙන එමින් සිටින මොහොතේ එය දර්ශනය වන අර්ධ ගෝලයේ රටවල්වල වැසියන් හට කාලය ගෙවුනේ ඉමහත් නොසන්සුන් බවකිනි.

මෙන්න එසැනින් සැන පුවත්. එසැනින් සැන පුවත් ඔබ වෙත ගෙන එන්නේ ආකර්ෂා ය. දයාබර ‍හිතවතුනි. තවත් ලෝක විනාෂයට ඇත්තේ පැය එකොලහකුත් විනාඩි තිස් හයකුත් තත්පර පනස් දෙකකි. නාසා ආයතනය ප්‍රකාෂ කරන පරිදි ග්‍රාහක අංශුව පෘතුවියේ ඝට්ඨනය වන්නේ උත්තර අක්ෂාංශ විසි දෙකයි තිස් දෙකයි අතර සහ නැගෙනහිර දේශාංෂ එකසිය එකොලහයි එකසිය විසි තුනයි අතර කළාපයට ය. දැනට ගණනය කර ඇති නිරවද්‍යතාවය අනුව මේ මොහොතේ අහසේ දිස්වන පූර්ණ චන්ද්‍රයාගේ ආපාතන කෝණයට සමාන ලෙස ඇස්ටරොයිඩයේ ආපාතන කෝණය සම වන මොහොතේ සිට විනාඩි තුනක කාලයක් ඇතුලත එය පෘථිවිය මත ගැටෙන්නට නියමිතය. මේ ගැටුමට පූර්වයෙන් පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විනාඩියක කාලය තුල වායුගෝලයේ උෂ්ණත්වය සූර්යයාගේ උෂ්ණත්වයෙන් අර්ධයකට පත්වන හේතුවෙන් ඇස්ටරොයිඩයේ ගමන් පථයේ ඡේදන ලක්ෂ්‍යය වන ඉහත දැක්වූ අක්ෂාංශ සහ දේශාංශ කේන්ද්‍ර කරගත් අරය කිලෝමීටර පන්දහසක් වන සී‍මාවේ සියළු ගොඩබිම් සහ සාගර ප්‍රදේශවල සියලුම දේ වාෂ්ප වී යන අතර එමගින් විශාල තාප ප්‍රමාණයක් මුදා හැරෙන හෙයින් එම මොහොතේ සිටම පෘථිවිය මත සියළුම ජීව ක්‍රියා සහිත සත්ව සංතතිය විනාෂ වන්නට ක්‍රමයෙන් පටන් ගන්නා බවත් ප්‍රථම තත්පර දහය ඇතුලත පෘථිවිය මත සියළු ජීවින් පිලිස්සී යන බවත් නාසා ආයතනයේ ප්‍රකාෂ‍කයෙක් මීට ස්වල්ප වේලාවකට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාෂ කොට ඇත. දැනට ඇමරිකා එක්සත් ජනපදය සිය උපරිම තාක්ෂණය භාවිතා කො‍ට මෙම ග්‍රහක අංශුව විනාෂ කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති අතර දැනට ඇති තාක්ෂණික සීමාවන් හරහා ඉතිරි වී ඇති පැය එකොළහ තුල ක්‍රියාත්මක කළ හැකි කිසිදු ක්‍රියාදාමයක් නොමැති බව ඇමරිකානු ආරක්ෂක සේවය නිල නි‍වේදනයක් නිකුත් කරමින් ප්‍රකාෂයට පත් කර ඇත.

සියල්ලෝ ළඟ ළඟ එන මරු දකිමින් වික්ෂිප්තව සිටියහ. ඇස්ටරොයිඩයේ ගැටුම ස්ථිර ලෙසම ප්‍රකාෂයට පත්වූ මීට වර්ෂයකට පෙර සිටම පෘථිවිවාසීන් එම අවස්ථාවට මුහුණ දීමට බොහෝ අමාරුවෙන් සිත් සාදා ගන්නට පටන් ගත්තේ ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාලය විසින් නිරන්තරයෙන් නිකුත් කළ මෙම ව්‍යසනයේ නොවැලැක්විය හැකි හේතූන් කෙරෙහි හට ගත් විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වන්නට වූයෙනි. මුලින්ම ලෝකවාසීන් විශ්වාස කළේ ඇමරිකානුවන් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ චීන ජාතිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යාවකාෂගත අධිබල පරමාණු බෝම්බ රැගත් අභ්‍යවකාෂ යුධ යානා එය මත පතනයන් හේතු කොට ගෙන මෙම ඇස්ටරොයිඩය එහි ගමන් මගේදීම විනාශ කිරීමට සමත් වනු ඇතැයි කියාය. එවැනි ක්‍රියාන්විතයන් කීපයක්ම අසාර්ථක වූ බව මීට පෙර මාස ගණනාවක් තුලම ප්‍රවෘත්ති සේවා මගින් අනාවරණය කළෙන් සියල්ලෝ මහ පොළොවින් සමුගැනීමට එකාවන්ව තීරණය කළහ. සමහරැ කල් තියාම සිය දිවි හානි කරගන්නට යොමු වීමත් සමග ලෝකයේ සියළු තැන්හි පෙර කිසි කලෙක නොවූ විරෑ ලෙස ශෝකජනක ආරංචියෙන් පිරී ගියේය. බොහෝ ධනවත් අය ඇමෙරිකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති අභ්‍යවකාශයට පැන යාමේ මෙහෙයුම් වලට මුදල් බැඳීමට යොමු වූහ. එම මුදල් ප්‍රමාණයන් ඩොලර් බිලියන ගණනින් වූයෙන් ලංකාවෙන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට යා හැකි වූවෙකු ලෙස වාර්තා වී සිටියේ රජ පවුලේ අයෙකු පමණි. කෙලෙස හෝ පෘථිවි වාසී පවුල් හතරක් මෙම අභ්‍යවකාශය කරා පැන යාමේ දුලබ අවස්ථාව උදා කර ගෙන තිබුනි. ඔවුන් පෘථිවිය හැර යන්නට ගත්තේ මීට හරියටම මාස හතකට පෙරය. ඔවුන් නැවත පෘථිවිය කරා පැමිණීමට නියමිත වන්නේ මෙම විනාෂයෙන් අවුරැදු පහකට පසුය. කෙසේ වෙතත් පවුල් හතරකට අවුරැදු පහකට ජීවත් වන්නට තරම් ආහාර පාන සහ අනෙකුත් පහසුකම් අධිතාක්ෂණික උපක්‍රම යනාදිය තිබුන ද පෘථිවියේ යළි පැමිණ ජීවත් වන්නට කිසිදු ලෙසකින් ඔවුනට අවකාෂයක් නොවන වග විද්‍යාඥයන් තිර ලෙසම ප්‍රකාශ කළ ද ඔව්හු මෙම ව්‍යසන‍ය හැබැහින් දැක හැකි තරම් කාලයක් ජිවත්ව මිය යන්නට තිර ලෙස අදිටන් කරගත්තෝය. බිල් ගේට් ද ඔවුනතර විය. සැබැවින්ම මෙම ඇස්ටරොයිඩ ගැටුමෙන් පසු අවුරුදු විසිපන්දහසක් යන තුරැ පෘථිවි පෘෂ්ඨයේ හිරු ආලෝකය ‍පතිත නොවන බවත් අධික විකිරණයන් හේතුවෙන් කිසිදු ජීවියෙකුගේ පැවැත්ම වලංගු නොවන වගත් විද්‍යාඥයන් හෙලිදරව් කර ඇත. මෙම සියලු සිදුවීම් මධ්‍යයේ සුපුරුදු ලෙස ‍සිය ගුවන් විදුලි විකාශ පවත්වන පෞද්ගලික එෆ් එම් නාලිකා තම සේවාදායකයන්ගේ ලෝකාවසාන පණිවිඩ නිකුත් කරමින් සිටින්නට විය.

"ලෝකාවසානය තෙක් අප හා විශ්වාසයෙන් ගනුදෙනු කළ ගනුදෙනුකාර භවතුන් ට අපි තිර ලෙසම ඊළඟ අත්භවයේද මෙම මහ පොලොව මතම ඉපදී මෙම ව්‍යාපාර ඒ ආකාරයෙන්ම පවත්වා ඔබ සියළු දෙනා සමග නැවතත් එක්වන්නේ යැයි ද එතෙක් අප හා ආ ගමනට මෙසේ තුති මල් කුසුම් පුදන බව සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරය ප්‍රාර්ථනා කර සිටියි."

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම්- පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...

"ලෝකයේ අවසානයට ලං ව ඇති මේ මොහොතේ ඔබගේ දෙපා අනාදීමත් කාලයක් තිස්සේ සුරැකි ඩී එස් අයි සමූහ ව්‍යාපාරය මෙලෙස අප සියල්ලන් උපදින මතු අත් භවයක ද මේ ආකාරයටම දෙපා ලබා අපගේ විශ්වාසනීය පාවහන් මිළ දී ගෙන සමුර්ධිමත් නව ලොවක් තනන්නට අප හා එක්වන්නට වරම් ලැබේවා කියා මේ ප්‍රාර්ථනා ගෙනෙන්නේ ඩී එස් අයි සමූහ ව්‍යාපාරය!"

අවකාෂයේ
නිමක් නැති වූ
අඳුරෙන්
ආ වූ හිරැ කිරණයෙන්

නැගී...

පාවී ...

පම් පම් පම් පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම්ප පරරි රම්පම් පම් පම්ප පරරි රම්පම් පම්
පම් පම් පම් පම් පම්...
පම් පම් පම් පම් පම්...

"මේ ලොව අවසාන හෝරා කීපයේ දී අප මේ සූදානම් වන්නේ අපගේ මකරා ලකුණ දරණ ඇස්බැස්ටස් ෂීට් පාවිච්චි කර හිසට සෙවණක් තනා ගනිමින් අපගේ ව්‍යාපාර කෙරෙහි ඉමහත් විශ්වාසයක් තැබූ ගනුදෙනුකාර භවතුන්ට ලබන්නා වූ මේ ලෝක විනාශයෙන් මතු උපත ලබන ලෝකයේදීත් අප හා එක්ව මේ ආකාරයෙන්ම ගනුදෙනු කරන්නට වරම් ලැබේවා කියා පැතුම් ගෙන එන්නටය. පැතුම් ගෙන එන්නේ මකරා ඇස්බෙස්ටොස්! ලෝකය විනාශ වුවත් මකරා ඇස්බැස්ටොස් ඉතිරි වේ!! "

කාලාත්‍රයේ...

කාලාත්‍රයේ...
පසු යාමයේ
රස පොලොවේ
ඇස ගැටී රත්හැල් රස වැටී
රත්හැල්ලේ රසවැටී
කය නැති හිත ගල් වී

ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...
ඕ ඕ ඕ ඕ...ඕ ඕ ඕ ඕ...

"සූරූපී ලළනාවනි, ළඳුනි , වනිතාවනි මේ... ලොව විනාශ වන්නට පෙර ඔබ අත්විඳින අවසන් නිමේෂයයි. ඔබගේ පෙම්වතා ස්වාමියා අවසන් වරට ඔබ දකින්නේ මේ හෝරා කීපයේ දීයි. එම අවසන් හෝරා කීපය ඔබේ පෙම්වතාගේ ස්වාමියාගේ දෙනෙතට රසඳුනක් වන්නට මෙන්න වික්ටෝරියා සීක්රට් ලාංජරි දැන් ‍ඔබට ඉතාම පහසු මිලට! දෙකක් මිලදී ගත් විට නොමිලේ තුනක් ලබා ගැනීමට හැකි ස්ථාන... මාතලේ ෆැන්සි හවුස් -බුත්තල සාරි මන්දිර්- අගුණකොලපැලැස්සේ තමරා එන්ටර්ප්‍රයිසස්- දික්වැල්ලේ පමු‍ණුව ස්ටෝර්ස්- හාලි ඇල නිව් චින්තා ට්‍රේඩර්ස්....පිටකොටුවේ මනමෝදීනි විලාස් යනාදී දිවයින පුරා ශාඛා විසි හතකින් ... වික්ටෝරියා සීක්රට් සමගින් සුන්දර ලෝකාවසානයක්!"

පම් පම් පම්
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ රස පොලොවේ
පම් පම් පම් පම් පම්

ගුවන් විදුලි යන්‍ත්‍රයේ නිමක් නැති ලෝකාවසාන පණිවිඩ ප්‍රචාරයන්ට නොදෙවෙනිව රූපවාහිනී සේවා ද ලෝකාවසාන මොහොත ගැන විද්වත් සාකච්ඡා සහ විනෝද වැඩසටහන් මෙහෙය වන්නට උනන්දු වී ඇත්තේ සමස්ථ ජනප්‍රජාවගේ අවසන් හුස්ම පවා සැහැල්ලුවෙන් හෙලන්නට හැකි වන පරිදිය.

එක්තරා රූපවාහිනි චැනලයක් හදිසියේම ප්‍රචාරය කරන්නට ගත්තේ ලංකාවේ සිටින ධනවතුන් විසින් දුප්පතුන් කෙරෙහි ලෝකාවසානයේ දක්වන්නට යෙදුනු සිය අනුකම්පා සහගත සද්කාර්යයක් ගැනය. එනම් එම රූපවාහිනි වැඩසටහනට ඉදිරිපත් වන අයගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් ජයග්‍රහණය කරන්නන්ට ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්නට මෙම ධනකුවේරයන් සූදානම් වී ඇති බවයි. එම වැඩසටහනට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ඉඳුරුව ප්‍රසන්න ජයලත් නම් වූ විසි හතර හැවිරිදි තරුණයාගේ ඉල්ලීම වූයේ සිය පවුල සමග බකිංහැම් මාලිගාව බලන්නට යන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. වහාම ක්‍රියාත්මක වූ ධනකුවේරයෝ ඔවුනට පළමු පංතියේ බ්‍රිතාන්‍ය ගුවන්සේවා ටිකට් පත් ලබා දී ලෝකාවසානයට පෙර තිබූ අවසන් ගුවන් ගමනට එකතු කර එම සිහිනය සැබෑ කරගන්නට ඉඩ ඇරියහ . එම තරුණයා ඇතුළු පවුලේ සැම ඇඳිවතින්ම බ්‍රිතාන්‍ය බලා පිටත් වූයේ පවුලේ සියල්ලන්ම අන්දුන් කුන්දුන් තත්වයේ සිටියදී මය.

තවත් අයෙකු එම වැඩසටහනින් ජයග්‍රහණය කොට ඉල්ලා සිටියේ ජැක් ඩැනියෙල් ලීටර හතරේ බෝතලයකි. ඉතාම අපහසුවෙන් සිංගප්පූරුවෙන් වහාම ඩීඑච්එල් කර ගෙන්වා ගත් එම බෝතලය දැකුමෙන් කොස්වත්තේ සේනාරත්න සිහි විසංඥ නොවූවා පමණි. සත්‍ය වශයෙන්ම හැලි අරක්කු පෙරීමෙන් හෙම්බත්ව සිටි හෙතෙම ඉතිරි පැය දහය සිහි විසංඥ වනතුරු බොන්නේ යැයි කියා රූපවාහිනි විකාශ මධ්‍යස්ථානයෙන් පිටව සිය මිතුරන් සමග මග දිගට මධුපානය කරමින් කොස්වත්තට සේන්දු විය.

තවත් ජයග්‍රාහිකාවක් සිය ඉල්ලීම ලෙස ඉදිරිපත් කලේ රංජන් රාමනායක මහතා සමග ලෝකාවසාන සැන්දෑව ගත කරන්නට අවශ්‍ය බවය. එම ඉල්ලීම ඉටු කිරීමට කෙසේ හෝ උත්සාහ කළ යුතු වූයෙන් රංජන් රාමනායක සම්බන්ධ කරගැනීමට යෙදූ සියළු උපක්‍රමයන් අසාර්ථක වූ බැවින් සියළුම ධනකුවේරයන් ලජ්ජාවට පත්වී ඇගෙන් වෙනත් ඕනෑම වරමක් ඉල්ලන ලෙස බැගෑපත් වීමෙන් ගැටළුව සිවු ගුණයකින් වර්ධනය විය. මෙවර ඇය ඉල්ලා සිටියේ ශිහාන් මිහිරංග සමග සැන්දෑව ගත කිරීමට අවශ්‍ය බවයි. මෙයින් ද කැළඹුනු ධනකුවේරයෝ කරකියා ගත හැකි කිසිවක් නොවූයෙන් වැඩසටහන අතරමග නතර කර දමා දුප්පතුන් බයිට් කිරීමේ ලෝකාවසාන සංදර්ශනය ද නිමාවට පත් කළහ.

එම සුප්‍රසිද්ධ නාලිකාව සිය වැඩසටහන අතර මග නතර කර දැමුවද අනිකුත් තරගකාරී නාලිකා සිය වැඩසටහන් අඛණ්ඩව පවත්වන්නට යෙදුනෙන් සිය ඡායාරූපය මුද්‍රණය වූ රුපියල් දහසේ නෝට්ටු ද පාර්ලිමේන්තුවේ සෙංකෝලය හැරමිටියක් ලෙස ඇණ ඇණ යන්නට සිතැඟි වූ පරණ සමසමාජකාරයෙකු ද සිය සිහිනය සැබෑ කරගත්තේය. තවත් පශ්චාත් නූතනවාදියෙකුගේ ඉල්ලීමක් වූයේ සිය ජීවිතයේ අවසන් ඉල්ලීම ලෙස රාජාසනයේ වසුරැ හෙලන්නට ඇවසි බවයි. එම ඉල්ලීම ඉටු කරන්නට ඔහු සමග පිටත් වූ රූපවාහිනි කණ්ඩායම ලෝකාවසානයට පෙරම මරු දුටු බව එම රූපවාහිනියේම අවසන් පුවත් නිවේදනයේදී විකාශ විය.

බොහෝ අය පිරිත් සජ්ජායනා -සාමුහික බයිබල් සහ කුරාණ කියවීම් සහ ආගමික වතාවත්වල යෙදී සිටිය ද ගෝල්ෆේස් පිටිය පුරාම දක්නට ලැබුනේ විවිධ ලෝකාවසාන සංදර්ශනයන්ය. සන්ෆ්ලවර්ස්ලා ඉදිරිපත් කළ යුගන්ධර රාත්‍රිය සියල්ලන්ගේ චිත්තාකර්ෂනයට ලක්විය. සෑම ගීතයක් අවසානයේම අති විශාල අහස් වෙඩි දැවීමෙන් ලෝකාවසානයට අරුතක් එකතු කරන්නට ඔවුන් බොහෝ මුදල් වියදම් කර තිබුනි. සමහරුන් සාගරයේ නොගැඹුරු පෙදෙස්වල කුඩා බෝට්ටුවල නැගී සිටියේ එමගින් ලෝකය ගිනි ගෙන දැවෙන අවස්ථාවේ දී මුහුදට පැන එම ගිනි නිවා ගන්නට හැකිය යන විශ්වාසයෙනි. තවත් සමහරු විශාල බෝක්කු තුල ගුලි වී සිටියේ එමගින් තම දිවි රැකෙතැයි විශ්වාස ‍කළ හෙයිනි. සමහරක් වයෝවෘද අය මේ කිසිවක් ගණනකට නොගෙන එදිනෙදා කටයුතු වල යෙදී සිටියහ. ගෝල්ෆේස් පිටියේ තැන් තැන්වල තරුණ තරුණියෝ සිය සිතැඟි ලෙස අවසන් කාලය ගෙවමින් සිටියහ. ඔවුන් සමහරු බලාගත් අත බලාගෙන සිටි අතර සමහර ජෝඩු උමතුවෙන් මෙන් ඔවුනොවුන් සිප වැළඳ ලෛංගික අභිචාරයන්හි යෙදී සිටියහ. කිසිවෙකුත් කිසිවෙකු කෙරෙහි ද්වේශයක් වෛරයක් ඉරිසියාවක් නොවුනෙන් ඉමහත් සැනසිල්ලකින් ඔවුන් සියල්ලෝ සිය ජීවිත වල මෙතෙක් රැඳි ව්‍යාජ සළුපිලි උණා දමා අන්‍යොන්‍ය ප්‍රේමයෙන් වෙළී සිටියහ.‍

ගෝල්ෆේස් වෙරළ තීරයේ එක කෙලවරක අති දැවැන්ත එල්සීඩී තිරයක වි‍ශාල ඉලක්කම් වලින් ඉතිරිව ඇති කාලය තත්පර ගණන් වලින් දිස් වෙමින් තිබුනි. ඉඳහිට එම තිරයේ සටහන් වූයේ මෙම දැවැන්ත තිරය එම්ටීවී මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් සුවහසක් ලෝකාවසාන සංදර්ශන හිතකාමීන්ගේ පහසුව පිණිස තබා ඇති බවයි.

එදා රාත්‍රී අහසක් නොවීය. හරියටම ගණනය කර තිබූ වේලාවටම අහසේ සඳු පෙනුන මානයේ එතරම්ම විශාල ලෙස කහ පැහැති බෝලය දිස් වන්නට විය. ඒ සමගම මුළු අහසම රක්ත වර්ණ විය. ගිනි දළු දසත පැතිරෙන්නට විය.

තව අරක්කු බෝතලයක් මිළ දී ගන්නට සල්ලි සොයා බැංකුවක් කඩමින් හුන් ජිනදාසගේ ගෝනියේ වූ සල්ලි කොල ඔහුට පෙර අළු විය.


[විශේෂ ස්තුතිය උපුටා ගත් වර්ණ ගීතය වෙනුවෙන් නදීක ගුරුගේට නදීක ගුරුගේ/ඉන්ද්‍රචාප ලියනගේ/කසුන් කල්හාර යන අයවලුන්ට The Romantic Opera සීඩී තැටියට]

16 comments:

  1. meke mokak hari paste karanna bari ayi comments damaddi????

    ReplyDelete
  2. @ BoondiOnLine:
    samahara welawata me comment window eka pissu kelinawa.
    SO, try;
    Right Click On box >> This Frame >> Open Frame in new Tab

    now can paste.
    --
    maddata panala uththara dunnata samawenna. dakapu nisa nikan kiwwe :)

    ReplyDelete
  3. මේක වෙන්න බැරි නැහැ...

    යුද්දේ ඉවරවෙලා තියෙන නිසා හොඳයි...

    නැත්තම් මේ විදියටත් කියන්න පුළුවන්...


    "දශක 3ක් තිස්සේ පැවති යුද්ධයද කොන්දේසි විරහිතව නතර වී තිබිණි, කියලා.... :P :P :P

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා....මේක ඇත්තටම වෙයිද කියලා බයකුත් නොදැනෙනවාම නෙමෙයි....මා.......................ර සිරා!! හැබැයි රජෝ සිංහල නම් හදා ගන්නම වෙනවා...!!! වියරණ වැරදි නහුතයයි....ඩී. එෆ්. කාරියකරවන මහත්තයගෙ 'බස නැසෙන හැටි' සහ 'අරුත් නිරුත්' පොත් දෙක හොයාගෙන අත්පොත් විදිහට ළඟ තියාගෙන පාවිච්චි කළොත් සෑහෙන්න ගොඩ යන්න පුළුවන් වෙයි....කොහොම උනත්....උඹට ජය!!!!

    ReplyDelete
  5. නමක් නැති මහත්මියගේ රසඥතාවය ගැන මම ඉමහත් සතුටට පත්‍ වෙමි.

    මම හෙල හවුලෙ සාමාජිකයෙක් නොවෙයි. මට ලියන්න පුළුවන් විදියට මූලික ව්‍යාකරණ රීති පිළිපදිමින් මේ ලියල තියෙන්නේ.

    අනිත් එක උක්ත ආඛ්‍යාත කර්ම කතෘකාරක සමාස විභක්ති සන්ධි වියරණේ නීති රීති වලට අනුව ලියැවිලි ලියන්න ඕන කියල කියන මිනිස්සු ටික තමයි මේ ලංකාවේ ලිවීම නමැති බලාධිකාරය පවත්වා ගෙන යමින් අලුතෙන් ලියන්නට එන්න තටමන එවුන්ගේ කරඅඹලා දාන්න මේ වගේ භාෂා ත්‍රස්තවාදය දාන්නේ. ඔය භාෂාව කෙලවරට දන්න අයට ලියන්න දේවල් නැති අර්බූදය වහගන්නේ මේ වගේ ප්‍රෝඩාකාරී භාෂා ආලයක් ඉස්සරහට දාලා.

    මගෙන් වියරණ බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් වියරණේකින් මම ලියන්නම් කැමති නම් කියවලා මොකක් හරි විඳගන්න. නොකියෙව්වට තරහක් නෑ.

    වියරණ ඕන නම් අර විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පොත් කියවන්න.

    ඕන නම් ඒ වගේ සුප්‍රසිද්ධ ඇදුරෙක්ගේ පොතක් නිර්දේශ කරල දෙන්නම්. අටවක පුත්තු වගේ...

    ඔබේ නිර්නාමික ප්‍රතිචාරය අගය කරමි. ඒත් මිනිස්සු බය කරන්න හිතං මේ වගේ අවවාදමය ස්වරූපයේ ත්‍රස්ත ටෝක් දෙන එක පාලනය කරගන්න.

    ReplyDelete
  6. තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ සහෝදරයා....(ඔයාගෙ tone එකේ තියෙන හීන් තරහ අපට දැනෙන්නෙ නෑ කියන්න බෑනෙ...)..ඔයාගෙ නිර්මාණ නවගත්තේගම මට්ටමේ ඉහළ ඒවා බව දැනුණු නිසයි සිංහල හදා ගන්න කීවෙ...(පුදුම සතුටක් දැනුණෙ....)හැම නිර්මාණයකදිම භාෂා වියරණ රකින්න ඕන කියන ඔළමොට්ටළ කතාව අපි කියන්නෙ නෑ....එතකොට හොඳ දේවල් ලියවෙන්නෙ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ....ඒත් ඔයා මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන ශෛලියට සිංහල නිවැරදිව යොදා ගත්තා නම් ඒකෙ අගය නිමක් නෑ....බොහොම ආදරෙන් කරපු යෝජනාවක් වැරදියට තේරුම් ගැනීම ගැන මගේ බලවත් කනගාටුව...(මම මහත්මියක් කියලා උපකල්පනය කළේ ඇයි?..)

    ReplyDelete
  7. වැරදියට වටහා ගැනීමක් නැහැ සහෝදරයා. ඒ මම ලියපු ශෛලිය කෝපාග්නියක් බඩතුරේ තියං ලීවා කියල ඔබට හිතෙනව නම් මමත් ඔබ හා එකතුව කනගාටු වෙනවා. එහෙම දෙයක් නැහැ. නහුතයක් දෝෂ දැක්කා කියලා සහෝදරය ලියල තිබ්බ දේ දැක්කම මට ඇත්තටම හිනා ගියා. හීන් ලැජ්ජාවක් උපන්නා. හිත දහිරිය අරන් තමයි ඒ උත්තරය ලීවේ මම වගේ නොවන වෙන සුහුඹුලෙකුට මේ වගේ ලිවීමෙන් ඒ යකා සදහටම ලිවිල්ල නතර කරන්නත් ඉඩ ඇතිය කියල මට හිතුන නිසා.

    මෙහෙමයි. මනුස්සයෙක් මොකක් හරි මළදානයක් ලියලා ඒක බෙදාහදා ගන්නේ ඒකේ වියරණ ගැන විතරක් කතා කරන්න නොවෙයි නේ. වියරණ හදා ගන්න එක ලියන කාටත් වැදගත්. ඒත් මේ සහෝදරය ආදරෙන් කියපු විදිය ඇතුලෙත් මගේ කෝපාග්නිය යැයි ඔබ තේරුම් ගත් ව්‍යංගය ඔබ ලියූ දෙයෙහි ද වෙනස් ස්වරූපයකින් අන්තර්ගතයි. ඒක ඔබ‍ට නොපෙනීම ද ස්වාභාවිකයි.

    හොඳයි.

    මේ ලියැවිල්ල කියවල ඒක ගැන වචනයක් දෙකක් මෙතන ලියන්න පෙළඹීම ම මගේ ඉමහත් සතුටටත් ධෛර්යයටත් හේතු වෙනවා. ඒ ගැන මම ණයගැතියි.

    තරහවෙන්න සිත් රිදව ගන්න අපි පොඩි එවුන්යැ?
    :)

    ReplyDelete
  8. words are your tool, grammar is your logic.. constant vigilance on tool and logic gives you a better strategy.. you have a wonderful creative skill, see a good writer in making.. improve.. improvise... compose.. do not compromise your basic (language) for your style.. play with both.. re-read what you wrote.. Wish you a colourful journey.. we will wait for more..

    ReplyDelete
  9. thank you kiri for your encouraging words. i was just consulting few grammarians for this text and their opinion is the grammer and linguistics used in this text is in near standard with minor errors. of course this anonymous straight forwards the entire text is a bullshit in the grammatological perspective which i can not agree with.

    haka

    ReplyDelete
  10. Dear Bhakaawathi,

    I think all writers need editors.

    I know for a fact that I am blind to my own errors. Especially, as I always write direct into the laptop in Sinhala - the chances of even silly mistakes are very high. And I can only pick some of them when I read the text later.

    However, as an editor, I can easily pick up typos, grammar, spelling and style errors easily.

    -Rasika

    p/s: I dont see any difference between someone using a name like KiriMama to Annonymous. Both are not real names. Come to think about it, even Bakhawathi is not a real name.

    ReplyDelete
  11. Dear Rasika,

    i got your point, thanks for the comment.

    I do the same way, i type straight in the laptop while i am travelling or working [in the mid of other works:)] and post them in a hurry; it is not the perfect way to produce literature [or something we can call as] but i always loosing my stand on to keep the writeup till it has been checked thoroughly before posting.

    anonymous or kiri mama matter is clear and i have nothing to say about that.

    but

    still i know personally most of the commenter's having different pen names, and i admire their opinion rather to an anonymous.

    Haka

    ReplyDelete
  12. ඉතා ප්‍රබල උත්ප්‍රාසාත්මක තානයකින් ලියැවුණු මේ ලිපිය හකාගේ ඉතාමත් ඉහළ නිර්මාණයක් කියලා අගය කරන්නට මම කැමතියි.....ඉතාමත් සංවේදියි මෙන්ම දාර්ශණිකයි......තව තවත් ලියන්නට ඔබට දිරි ලැබෙන්නැයි පතනවා..............

    ReplyDelete
  13. @Anonymous on August 20, 2010 10:20 AM

    ස්තුතියි!

    ReplyDelete
  14. සුපිරියි... අති විශිෂ්ඨයි උත්කෘෂ්ඨයි

    ReplyDelete
  15. බුකියේ සුකිරි බයිලා ගහන චුට්ටියන් එක්ක මේ ලිපිය සැසදීම පට්ට අසාදාරණයි. ඒත් කියන්න ඕනේ මොන මල කරුමයකට හරි මේ වගේ පට්ට නිර්මාණාත්මක, ඒ වගේම සාහිත්‍යාර්ථයෙන් ගහන්න ඕන හිඩැස් වලට පන්න පන්න නෙලන බ්ලොග් වල කමෙටුවක් අතාරින්න තරම් පින් කරපු එවුන් හරි අඩුයි. ඒකට බුකියේ පිච්චු බයිලා පස්සෙන් පන්න පන්න 'ලයික්' දාන්න කෝටියයි.

    සහෝදරයා, තව තවත් ක්‍රියේටිව් සිතිවිලි වලින් බ්ලොග් අවකාශය සරසන්න උඹේ හිතට නිදහස, අතට ශක්තිය ඔය ඔක්කෝටම වඩා කාලය ලැබෙන්න කියල, බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. @ තීර්ථ යාත්‍රිකයා & The Modern Patriot

    දිරි දෙන වදන් පෙළට ස්තුතියි සහෝදරවරුනි!

    ReplyDelete