Wednesday, April 28, 2010

ලිඟු බිත්තිය


ඇය ඉමහත් පීඩාවෙන් සිටියාය.

ඇගේ සර්වාංගයම තෝන්තු ගතියකින් පෙලෙන්නේ යැයි ඇයට සිතුණි. ඉරිදා උදෑසන පුවත් පත ඇගේ ආලින්දයේ කනප්පුව මත තබා ගොස් තිබුනි. ඇය පිටු කීපයක් දිග හැර පිටුවල තිබූ නොයෙකුත් පින්තූර බලමින් සිටින්නට වන්නී නොයෙකුත් ගැහැණු පිරිමි සිරුරු මතුපිට රේඛාවන් විවිධ කෝණවලින් ඩැහැගත් ඡායාරූප ඇගේ සිත කිතිකවනු දැනෙන්නට විය. ඒ සියළු රූප රේඛා කිසිදු වැදගැම්මකට නැති ‍රසකළ කොන්ඩම් සින්තටික් යට ඇදුම් තට්ටය නැති කරන ඖෂධ අප්‍රාණිකත්වය නැති කරන බෙහෙත් පැය ගණන් මෝචනය වළක්වන බාම් වැනි දේ සමග ගැට ගසා ඇත්තේ ඇයි දැයි ඇයට නිනව්වක් නොවීය. උඩින් පල්ලෙන් අකුරු අතර කිසිවක් නොකියවූ ඇයගේ ඇස් එකවර අඟලේ අඟලේ හමාරේ ප්‍රමාණයේ ඉතා කුඩා දැන්වීමක නතර විය.

ලිඟු බිත්තිය
විමසන්න 0777-718889

ඇය ජංගම දුරකතනය දෙස මොහොතක් බලා සිටියාය.

ජංගම දුරකතනයේ අංක පුවත්පතේ දුටු අංක මෙන්ම එබී ගියේ ඇගේ මුදු මොළොක් අතැඟිලි තුඩුවලිනි. ඇගේ අතැඟිලිවල සුමුදු මුදු ගතිය තෛලමය සොබාවය නිසා දුන් දිස්නය ඇගේ ජංගම දුරකතනයේ ප්ලැටිනම් මුහුණත හා නොදෙවෙනිව බැබළුණි.

ප්‍රින්සි සිය දෑත් කළු සුදු ඩොනල්ඩ්ස් ඡායාරූප තහඩුවේ මීට වසර දොළහකට පෙර මිය ගිය සිය පියාගේ වම් අතින්ද තවමත් ඈ සමග වාසය කරන මහළු මවගේ අතීත යථාවක් වූ තාරුණ්‍යයේ සිට වත්මනට ශේෂ වූ සුරතින්ද සීරුවෙන් මෑත් කරගෙන ඒ සියල්ලන්ටම පසුතලය සැපයූ ස්ටුඩියෝවේ පසු පස වූ අළු පැහැති තිර‍ය පිටු පසට සෙමින් පසු බා ගියාය. ඩොනල්ඩ් ඡායාරූප ශාලාවේ තරප්පු පෙළින් බැස මහ පාරට ආ ඈ සීරුවෙන් ලං වූයේ දුරකතනයේ කෙළවර තරුණිය කියූ පරිදි මැක්ලෝරීන් පාරේ වාහන තදබදය අස්සෙන් තැනින් තැනින් හොල්මන් සේ මතුව මැකී යන උස ගොඩනැගිලි මුදුන් පසු කරද්දී හමුවන නොඋස් නොමිටි සිංහාරා කැෆේ ගොඩනැගිල්ලේ අයිනක වූ කුඩා කාර්යාලය වෙතය. ප්‍රින්සි යද්දීම ඇගේ නමින්ම ඈ අමතා එම කාර්යාලයේ අඳුරු වීදුරු දොර ඉදිරියෙන්ම හුන් චීන පෙනුමැති තරුණිය ඇය කැඳවා අභ්‍යන්තරයට යන්නට වූයේ අතිශය ප්‍රියංකර සිනාවකින් මුව සරසාගෙනය. චීන යුවතියකගේ සිනහව දොරකඩ අලවා තිබූ විචිත්‍ර සිතුවමක් විය.

එය විශාල රූපලාවන්‍යාගාරයකි. කාන්තා රූසපුව ඇල්ෆබැටික ලෙස මුල සිට අගට කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා සිමියුලේක්‍රයක් බවට පත් කර දෙන්නට එම රූපලාවන්‍යාගාර ශිල්පියෝ සමත් වෙති. තම ආත්මයේ සැහැල්ලුව රූපයකට පරිවර්තනය කර එම රූපය සිරුරේ තැනක තීන්තෙන් ලියා ගැනීමෙන් සිරුරත් ආත්මයත් යාවන දොරටුව කරා ගමන් කිරීම අතිශය පහසු වන බව ප්‍රින්සි දැන ගත්තෙන් ඈ ඇගේ නිතඹ මතුපිට ඇ‍ගේ ආත්මීය සැහැල්ලුවේ සංකේතය පච්චයක් බවට පත් කරන්නට ඉඩ දී මුනින් අතට වැතිරී නිසොල්මනේ සිටියාය. එම තීන්තෙන් ලියා ගැනීම ඇයට අතිශය වේදනාබරය. ප්‍රින්සි කීප වරක් සිය සිරුර ගස්සා අපහසුව මග හැර ගන්නට උත්සාහ දරන්නී ඇගේ පච්ච කොටන්නිය සිය භාවනාමය චිත්ත ඒකාග්‍රතාවය බිඳ ඇයට කාරුණික වදනක් පවසන්නට එය අවස්ථාවක් කර ගත්තීය.

"ප්‍රින්සි, ආත්මයේ සැහැල්ලුව සිරුර මත ප්‍රක්ෂේප කරගැනීම වේදනාබර අත්දැකීමක් විය යුතු නැහැ."

"මම දන්නේ නැහැ. මට නම් ඉමහත් වේදනාවක් දැනෙනවා මේ සිරුරේ ලිවීම. කටුවෙන් අනින්නේ නැතිව මේ ලිවිල්ල කරන්න බැරිද ?"

"ආත්මයෙ සැහැල්ලුව මේ කටුව තුලින් ඔබ තුළට ඇතුල් වන්නේ කටුවත් තීන්තත් සිරුරත් යන ත්‍රිත්වයේම ඒකාබද්ධ වීම එම රූප සංඥාව මතු පිට ශක්තියක් ලෙසට ගබඩා‍ වන්නටයි. ඔබ වේදනාවට පත්වන්නේ නම් ඒ ශක්තිය හානි වෙලා යනවා මිසක් මේ සංඥාවේ ගැබ් වන්නේ නැහැ. කුමක් හෝ වරදක් සිදුවී ඇති බව මගේ වැටහීමයි."

"කුමක් විය හැකි ද ඒ වරද? හරිගස්ස ගන්නට ඕනැ වෙයි වගෙයි යන්නට පෙර වැඩි දුර..."

"වරද ඇත්තේ ඔබ අතේ බව මට විශ්වාසයි. එක්කෝ ඔබ වැරදි සංඥාව තෝරා ඇත. නැත්නම් වැරදි තීන්ත තෝරා ඇත. මේ දෙකම අනුව කටුව තේරීම පමණයි මා අතින් සිදු වී ඇත්තේ. "

"වැරදි සංඥාව? එය කිසිසේත් විය නොහැකියි. මා තේරු සංඥාව මගේ ආත්මයේ සැහැල්ලුම තත්වයකදී මා අත්විඳි රූපමය වේදනයක්. තීන්ත ගැන මා ‍දන්නේ නැහැ. මම දන්නේ ඒ සංඥාව අත්විඳිද්දී සියළු වර්ණ කළු සහ සුදු බවට පත්වූ බව පමණයි. ඒ නිසාමයි කළු වර්ණ තීන්ත මා තෝරා ඇත්තේ."

"එසේ නම් මේ වේදනාබර අත්දැකීම ඔබ දරා ගතයුතුම දෙයක්...නමුත් ඔබ කෙදිනක හෝ මේ සංඥාවේ සාවද්‍ය බව අවබෝධ කරගනු ඇතැයි මගේ විශ්වාසය වේ..."

ප්‍රින්සිගේ මුළු සිරුරම කිසි දිනෙක නොලද සාත්තුවකින් සම්භාහනයකින් ස්පර්ශාවලියකින් ප්‍රබෝධ වී තිබුනි. සිරුර මතුපිට අඛණ්ඩව මලින් මල ඇමිණෙන මුවෙන් මුව සිප වැළඳ විවිධ සරාගී ක්‍රීඩා ඉරියව් දැක්වෙන චිත්‍ර වෛවර්ණයෙන් නිමහන් කර තිබුනි. ඒවා සියල්ල මෘදු තීන්තකින් කැන්වසයක් මතුපිට ඇඳෙනා ශෛලියකින්ම මුළු සිරුර පුරා පැතිරී ඉතිරී යන අයුරින් අතිශය සියුම් පින්සල් තුඩු හැසිරවීම් තුලින් ඔප් ගන්වා තිබුනි. ඈ නැවත නිද්‍රාවට පත් වන්නට පෙර ඇගේ මුළු සිරුර දෙසම අවසන් වරට ද නැමී බලන්නට විය. ඇගේ සිරුරේ දෙකලවා සහ යටිකය අසල ඇඳ ඇති මකර රූප දෙස අපහසුවෙන් නැමී බලත්ම ඇය වටහා ගත්තේ සිරුරේ රෝමයක් හෝ රෝම කූපයක් හෝ කරදරයකින් නොපෙලා ඒ සියල්ල ද චිත්‍රයේම කොටස් බවට පත් කර ඇති සෙයකි. ඇගේ මුවට මද හාසයක් පැමිණ එය වලක්වා නොපෙන්වා නැවතත් ඒ සුවපහසු ඇඳේ ඉහළින් සීලිමේ තිබූ දැවැන්ත දර්පණ දෙසට නෙත් යොමමින් තම සිරුරේ කාන්තියේම කිමිදී නිද්‍රාවට පත් වූවාය.

ප්‍රින්සි අභියස වූයේ දැවැන්ත දොරටුවකි. ඇය සිය සිරුරේ වස්ත්‍ර ලෙස තැවරී ඇති රූපාවලි මධ්‍යයේ තවමත් තෝන්තුවකින් පෙලුණාය.

ඈ සිටි ස්ථානය මන්දාලෝකයෙන් බැබළුන ශාන්ත සංගීතයකින් ස්ඵන්දනය වූ ගෝලාකාර ජ්‍යාමිතීන් මුහු වූ ඔපෙරා ශාලාවක් වැනි ය. එය උමගක ස්වරූපයක් ගත් අවකාශයකි. ඈ පසු කර තවත් ඈ මෙන්ම ස්වරූපරාගයෙන් මත්ව උමතුවෙන් මෙන් ඇවිද යන්නියන් ද උමං දොරටුව පසුකර ඇතුල් වන්නට විය. ප්‍රින්සි සිය නිරුවත් සිරුරත් අධික ලෙස වේශ නිරූපනයට ලක් වූ ඇගේ වෛවර්ණ රේඛාමය ආලේඛ්‍යයක් වූ මුහුණත් කිසි විටෙකත් කිසි ‍අයෙකුත් කිසි අයුරකින් ඈ හඳුනා නොගන්නේ ය යන්නෙන් විස්මයට පත්ව දෝනාව තුළට පියවර එසවූවාය.

දෝනාව තුළ බිත්ති කුඩා සිදුරු රාශියකින් යුක්ත වූයේය. එම සිදුරු නොයෙකුත් මට්ටමින් තිබුනේ ඒ කිසිවක් කිසි කෙනෙකුගේ හිස් මත සාමාන්‍ය උස ඉක්මවා යන්නට තරම් නූස් වීය. පහළින්ම වූ සිදුරු පවා කිසි කෙනෙකුගේ ඉඟ මට්ටමක් ඉක්මවා මිටි බවක් නොගත්තේය. දෝනාවේ දැකිය හැකි වූයේ ඈතට ඈතට වත්ම එකට ළංව ක්ෂුද්‍ර වී යන මායාමය වෘත්තයන් බවට රූපාන්තරණය වෙමින් පැවති මං පෙත් විනා අන් කිසිදු විශේෂ දෙයක් වූයේ නම් ඒ මේ බිත්ති පුරා අහඹු ලෙස පැතිර තිබූ සිදුරු පමණි.

ප්‍රින්සි තැතිගැන්මකින් තොරව ඉදිරියට ඇදෙන්නට වූවාය. දෝනා තුළ අතුරු දෝනා ද එම දෝනා තුළින් තවත් දෝනා ද යනාදී වශයෙන් එය සිදුරු බිත්ති වංකගිරියක් විය.
එක්තරා සිදුරක් අසලින් ඇය පිය මනිද්දී කිසියම් යාතිකාමය ස්වරයක් මධුර වූ ශ්‍රැතියකින් ගීතිකාවක් ගායනය වන්නේ යැයි ඇයට ශ්‍රවණය වූයෙන් ඈ එම සිදුර වෙත ළංව සියුම්ව සිය නෙත තබා බලන්නට වූවාය. ඇයට දැකගත වූයේ දැඩි අඳුරකි. එම කන්කළු නාදය දෙසවන් මන්මත් කරන්නට වූයෙන් ඇය තවත් අවධානයෙන් එම ගීතිකාවේ උස් පහත් ලෙසින් උච්චාරණය වන වදන් මනසට හසු කර ගන්නට තැත් දැරුවාය. ඒ කිසියම් ආගමික ගීතිකාවක් වැනි වූ සරාගී යාතිකාවක් බව ඇයට පසක් වූයෙන් එම සිදුර අසල නැවතී එය ශ්‍රවනයේම රැඳී හුන්නාය.

කාලය ගත වූයේ ඉතා සෙමින් බැවින් ඇයට තම සිතුවිලි රළ නැගී එමත දර්පණ වන්නට වූ කිසිදු අත්තනෝමතික සංයමයක් කෙරෙහි විජිගීෂාවක් නොවීය. ඇගේ ශ්‍රවනේන්ද්‍රිය ගෙන එන මධුරත්වයත් ඇගේ සිතුවිලි කිතිකැවී මතුවන අනේක චිත්ත රූපත් ඇගේ කාලය ඇගෙන් උදුරා ගන්නට ඉඩ දී ඈ නිසොල්මන් විය. ඇගේ අතීතය තුළ මොහොතක් කිමිදෙන්නට මේ කදිම අවස්ථාවක් යැයි ඇගේ යටි සිත කොඳුරන්නට වූයෙන් පර්සි ගැන මතකය සැනෙන් ඒ මන්දාලෝක දෝනාවේ එකම රූප සන්නියක් මෙන් ඇගේ මනසේ දිලෙන්නට විය. ඇය දෙනෙත් වසා අනන්තය දෙසින් ගලා එන ඒ රූප දහරාවට ඉඩ දුන්නීය.

සිදුර ඉදිරියේ ඇගේ දෙනෙත් පියැවුනි. වසර ගණනකට පෙර ඈ ඇගේ පෙම්වත් පර්සි සමග සරාගී ලෙස ගත වූ නිමේෂයන් ලෙස ඈ නිමැවූ මනස් සිත්තම් ඇගේ මනස් විවරයෙන් කැටි ගැසී හුන් වළාපටල සිය ඝණීභූත ස්කන්ධයන් දිය කර මහ පොලව මත පතිත වන වර්ෂාවක් මෙන් ඇද හැලෙන්නට විය. ඇගේ සිරුර තෙමී යන වගක් ඇයට දැනුනි. පර්සි කිසි දිනෙක ඇ‍යගේ සිරුරේ ශෘංගාරකලාපයන් ස්පර්ශ කර නොතිබුණි. ඔහු ඇයව හමු වූ සෑම අවස්ථාවක්ම එළිමහනක කෝපි කඩයක හෝ උද්‍යානයක විය. ඒ සෑම විටකම පර්සිගේ දෙනෙත් තුළ වූ ඒ අඳුර මේ සිදුරු තුළ වු අඳුරේම අවස්ථාවක් යැයි ඇයට සිතුනි. පර්සි ගේ මනසේ ගායනය වූයේ ද මෙබඳුම ප්‍රේම ගීතිකාවක් විය නොහැකිදැයි ඇය මනසේ ඇද හැලෙන ඒ කුණා‍ටුව මධ්‍යයේ විදුලි එළියක් සේ දිස් වන්නට විය.

***

පර්සි යටිබිම් හරස් මග වෙත සිය ස්වර්ණ පැහැ රථය හරවන්නට විය. ඔහුගේ දෛනික රාජකා‍රියේ අවසන නිවස්නය කරා යන ගමනේ හෝරාවන් දෙකක් මේ යටිබිම් හරස් මගෙන් කෙළවර වන අවන්හලේ ගත වෙයි. අවන්හල විවෘත වන්නේ සාමාජිකයන් සඳහා පමණි. දොරටුවේ මුර බල්ලන් ද මහේශාක්‍ය පෙනුමෙන් යුත් දැවැන්ත දේහදාරී මස් පිඩු පිප්පී ගිය මිනිසුන් හතර දෙනෙකි. තට්ට ගා කණකර පැළැඳි ඔවුන් ආම්කට් ඇඳුමින් සැරසී පච්ච කෙටූ දෑත් මස් ගොබ ප්‍රදර්ශනකාමයෙන් උලුප්පා සිටින සාමාජිකත්වය ස්ඵුට කරන රහස් පදය මිමිණීමෙන් පසු සුවච කීකරු ගෝලයන් වන ජාතියකි.

"රහස් පදය?"

"ඊඩිපස්"

පර්සි රථයේ සිටම සිය වීදුරු කවුළුපත පහත් කර එකෙකුට සිය රහස් පදය මුමුණන්නට විය. සැනෙකින් ගෞරවපූර්වක ලෙස පසුපසට වී රථයේ යතුර පිළිගන්නට සූදානම්ව හැඩි දැඩි තරුණයා සිය සුරත පෑවේය. වාහනයෙන් බැසගත් පර්සි තවත් හැඩි දැඩි මිනිසෙකුගේ මඟ පෙන්වීමේ පාදයාත්‍රාවෙන් එම දැවැන්ත කුළුණුමය අවන්හලේ දිගු කොරිඩෝවක් දිගේ ඉදිරියට ඇදෙන්නට විය. සමූහ යාතිකාව සූදානම් වෙමින් පැවතුනි. පර්සි සිය වස්ත්‍ර ගලවා ලෝගුවක් හැඳ මුහුණ ආවරණය වන පරිදි නින්ජා රෙදි පටි වැසුමකින් සන්නද්ධ වූයේ සිය කුටියට ඇතුළු වන්නට පෙරය.

ඔහුගේ කුටිය වෙත පා නගද්දී ප්‍රංශ රට බීමක් ඇනවුම් කරන්නට ද ඔහු අමතක නොකලේය.

පර්සිගේ කුටිය ඔහුට පමණක් සීමා වූ ස්වර්ණමය බිත්ති හැඩතල වැසූ විවිධාකාර කැටයමින් හැඩ ගැන්වූ ලෝහමය කැබලි ඇතුරූ බිත්ති වලින් ද බුරුත දැවයෙන් කළ ගාම්භීර කුඩා මේසයක් සහ අති සුඛෝපභෝගි සයනයකින් සහ ගඳකිලි කුටියකින් සමන් විත විය. පර්සි විටෙන් විට එම කුටියට ගෙන ආ පොත් පත්ද අසල රාක්කයක් පුරා අතුරා තිබුනි. අසාමාන්‍ය ප්‍රමාණයේ කහ පැහැති සුවඳ කැවූ ඉටි පන්දමක් මේසයේ කෙළවර වූ රන් පැහැති ඉටිපහන් රඳවනයක නිශ්චලතාවයේ දැල්වෙමින් පවතී.

සිය ලෝගුව සහ මුහුණු ආවරණය නියමිත ආකාරයෙන් පිහිටුවා ඇද්දැයි සැක හැර සිය කුටියේ කණ්ණාඩියෙන් පරීක්ෂා කළ පර්සි සමූහ යාතිකා කෙරෙන බිම් මහලට ඇතුළු වන කොරිඩෝව කරා සෙමෙන් ඇදෙන්නට විය.

යාතිකාවන් ඇරඹීමත් සමගම සියල්ලෝ තමන් විසින් ලියා ගෙන ආ විවිධ කවි පද මාලා වරින්වර උස් හඩින් සාමුහික රිද්මය තුළට ඇතුලු කරන්නට වූහ. ඒ අතර සමහර තීවෘතාවෙන් උච්ච හඩවල් දෝංකාර දී පරිමන්දිතව මහ හඩෙහි ගිලී ගියේය.
පර්සි සිය මව ගැන ලියැවුන කවියක් ද සිය ‍ආත්මගත ප්‍රේමයේ රන්රුව අගයන පෙම් ගීයක්ද ඒ දැවැන්ත ශබ්ධාගාරයේ බිත්ති මතින් රැව්පිලිරැව් දුන් ඇකෝස්ටික් යුධ අංගනාවේ පා කර හැරියේය.

පර්සිගේ මව අංශභාග රෝගයෙන් පෙලෙමින් සිය නිවසේ අසරණව වැතිරී සිටින්නීය.

***

ඒ මොහොත උදා විය. ප්‍රින්සි දෑස් හැර බලද්දී සිදුරෙන් ලිඟුවක් නෙරා පැමිණ තිබුනි. ඇය නිසොල්මනේ එම ලිඟුව දිහා නෙත්සර පහර නොබිඳ බලා සිටින්නට වූවාය. ඇගේ අවධානය තුළ ගොඩනැගෙමින් තිබූ ශක්තිය නාභිගත වී ඇගේ නිතඹ මත වූ සංඥාව ඇගේ මුළු සිරුරම කිතිකවමින් සුනාමිමය තරංගයකින් ඈ සොළවන්නට විය. ඈ වහා ඉදිරියට පැන ඒ ලිඟුව වඩවා මුව තුළ රඳවා ගත්තාය. ඒ ක්ෂණයෙන් බිත්තිය දෙදරා සියළු දේ හැකිලී යන්නට පටන් ගත්තේය. ඇගේ සිරුරේ වූ සියළු ලිංගික සංකේත සිරුරෙන් මිදී දෙදරා ගිය බිත්තිය තිබූ අවකාශය වසා එම ලිඟුවේ අයිතිකරු සඟවා ගත්තේය. ලිඟුවත් ඇයගේ සිරුරත් ඇගේ මුව තුළම සංකෝචනය වන්නට වූයෙන් ඇගේ සිරුර ඇගේ මුව තුළම කැටි ගැසී ලිඟුවත් එහි අයිතිකරුත් අවකාශයත් ඒ අවකාශය තාවකාලිකව වසා හුන් තීන්තෙන් ඇඳි ලිංගික චර්යා රූ ප්‍රතිබිම්බත් ඒ තුළට ඇදී යන්නට විය. අවසානයේ ඉතිරි වූයේ අතිශය ක්ෂුද්‍ර වූ ශක්ති පුංජයකි. එම ශක්ති පුංජය ගැඩවිලෙක් මෙන් ඇඹරි ඇඹරී සිය ශක්තිය ස්ථාවර කරගන්නට වැර දරන්නට වී ඒ අසමත් වැ සැනින් තරංගාකාර චිත්තාවලියක් ලෙස අවකාශය තුලින් ආලෝක වේගයෙන් පුපුරා ගියේ කිසිවක් එතැන ඉතිරි නොවෙමිනි. බයිනරි සංඛ්‍යා සාගරයක සියල්ල ගිලී සැඟ වුනි.

එම ශක්ති තරංගාකාර යම් දෙය අතිශය වේගයෙන් දසදෙසට ගලා ගොස් එහි කම්පනයට සංවේදී වු යමක ගැටී එම බීජයන් යලි පණ ගන්නට විය. මේ ශක්ති කැටිත්ත අවකාශයේ හමා ගොස් ගැටී තිබුනේ මිනිස් නියුරෝනයක් මතටය. නියුරෝනය මේ ශක්ති පුංජයේ ගැබ්වූ රහසිගත කේතයන් සැනෙන් දෘශ්‍යමය රූප බවට හරවා එම නියුරෝන ජාලයම කැලතවූයෙන් එම නියුරෝන ජාලාධිපතියා කල්පනාවේ නිමග්න එක මොහොතක දී ඒ සියලු විචිත්‍ර චිත්ත පරපෝෂී කේතයන් මනසින් නැවත සකස් කර අත්පිටපතකට ගත්තේය.

ඒ 1978 වසරයි.

එම නියුරෝන ශක්ති පුංජ ගැටීම සිදු වූයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ මොළයේ ඇතුලේ නිද්‍රාගතව හුන් නියුරෝනයක් තුළ බවට සැබෑ සාක්ෂිය වන්නේ 1983 දී තිරගත වූ "තුන්වැනි යාමය" යි.