Monday, August 9, 2010

වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය

වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය


ලංකා නමැති දූපත් රාජ්‍යයේ සියළු රුක්හි පුෂ්පයෝ එකක් හෝ දෙකක් පිපී තිබුණි. ගස් කඳේ කවුරුන් හෝ කැමැත්තෙන් බැඳී තිබුණි. එහි නිදාන කතාව කියහු නම් මෙලෙසේ යැ.

ප්ලෝයම පටක තුළ රුධිරය ගලා යද්දී, ගස් කඳන් හෘදය සාක්ෂියේ හඩින් ලබ්ඩබ් ගාද්දී, මිනිස්සු ගස් කඳන් බදා ගෙන සිපාචාරයෙන් වැළඳ, උනුන් හා අනුරතියෙන් ඔද වැඩී, අනුරාගික ගස්පොතු ලෙව කමින් සංසාර්ගාභිමුව පිපිරෙන්නට ලං වූ යමහල් වැනිව රක්ත තප්තව, සමාධියකට වැදි ආල බසින් මන්මත්ව සිය සිල්පර කඳන් වන් වූ තොල් පටල ගස් මතුපිට උළමින් ස්පර්ශ සංතර්පණයෙන් උද්දාම ව සුරතාන්තය ලංව කෙඳිරි ගාමින් හුන්හ.

රටවැසියෝ මෙතුවක් කල් නොදැන සිටි මේ අනංගරංගය ඉගැනුමෙන් සිය සංතාප මඩිමින් ද බඩගෝස්තරය ගැන තවදුරටත් නොවැළපෙමින් ද සංසාරගත ප්ලැටොනික ප්‍රේමයෙන් උන්මාදව ද තම තම තරමට බදා වැළඳ ගත හැකි වටප්‍රමාණ උචිත ගස් කඳන් හා එතී අභිරමණ සුවයෙන් කාලය ගෙවන්නට වූහ. ජනී ජනයාගේ උල්ලාසය මෙතැනින් අවසන්යැ.

ගසකට අරක් ගත් වෘක්ෂ දේවතාවක් සිය පුද්ගලිකත්වයට හානි වන්නා වූ ද සිය දේව හිමිකම් උල්ලංඝනය වන්නා වූද මේ මනු ක්‍රියා ඉවසනු නොහී, ගස මුල වගුරන ශුක්‍රයන් හේතුවෙන් සිය අධ්‍යාත්මයට ඇතුළු වන්නා වූ ක්ලේෂයන් ද රුක් මූලයට සංසරණය වන්නාවූ එච්අයිවී වෛරස ස්‍රාවයන් ද හුදකලා බ්‍රහ්මචාරීත්වය හා බැඳුනු අනගාරික ජීවිතය ට වන්නා වූ හානියද යනාදී වූ මේ අකම්පාලයන් ඉවස ගත නොහී ඇමිනෙස්ට් ඉන්ටරනැෂනලයට අහසින් පාව ගොස් සිය දුක කියන්නට තැත් දරන්නට වන්නේය. දෙවියන් හෝ වුවද ලංකා තලයේ හෝ එසම නමින් වූ රසාතලයේ රස මංජු‍සාවේ කැලතී එන මදිරා අමපානයෙන් සිය දෙතොල ‍නොතෙමා මෙහි කුමට චෝදනා කරන්නට සපැමිණියේ දැයි වහා අසා ශක්‍ර දේවේන්ද්‍රයන් මඝ මානවක අවදියේ ලද සියුම් ප්‍රඥාවෙන් ද පූර්ව භවයෙහි නාටකීය ලෙස අත්විඳි බෝසතුන් මහෞෂධ සමයේ ලද අධිප්‍රඥාවේ පාඩම් මහිමයෙන්ද මිලින්දාදී වු ප්‍රශ්න ප්‍රකරණයේ දැක්වූ සුරුකම් ඒ කියැවීමෙන් ලත් ලාභයෙන් ද ලද ප්‍රඥා එක මොහොතින් රිවිෂන් වී රුක් දෙවිඳුන්ගේ අභිලාෂ සාධනයේ ලා දැක්විය හැකි අවම අවධානය ලෙස හෙතෙම උතුරුකරයේ භූමි භාගයක තැනවූ බොන්සායි ක්‍රමයේ ජාන ඉංජිනේරුගත ගසක පැළක් බැඳ එහි වැඩ වසන ලෙස ලද අණින් ඒ රුක් දේවතාවා A9 පාරෙන් ගොස් එ කිවු ගස සොයා මහත් අකරතැබ්බ ඉවසා සිය විමානය තනා ගෙන ජීවන වෘතිය වදාරන්නට විය. එම ඇතුලු නුවරට ගොඩවන බිහිදොර රැකවල්ලා සිටි රාජපුරුෂයන් විසින් දේව සංහතියේ පළමු වතාවට දෙවියකු ගේ කේෂාන්තයේ සිට දෙපරන්ද හරහා පාදාන්තයට පරීක්ෂා කොට වෘෂණ මංජුසාව හෑන්ඩ්ග්‍රෙනේඩයක් මෙන් සියුම්ව මිරිකන්නට යාමෙන් එබන්දක් එතැන නොවීමෙන් රාජපුරුෂයෝ දෙවි දේවතාවුන්ට මනුස්සයින්ට මෙන් ප්‍රජනන අවයව නැති බැව් දැන ගෙන උස් හඩින් සාධුකාර දී ඇතුළු නුවරට තුවක්කු කුඩුම්බියෙන් ඇන තල්ලු කළ හෙයින් දෙවියන්ගේ උල්ලාසය ඉන් නිමා වේ.

ලෝක ධාතුව තාප කරණය ට ලක් කරන්නාවූ කාබන් ඩයොක්සයිඩයන් ද මුලිනුපුටා දැමීමේ සද්කාර්යය සාධනය පිණිස පරිසර හිතකාමී යහජීවනය උදෙසා ද සියළු රුක් මිනිසුන් විසින් බදා වැළඳ සියළු කල්හි කෘතගුණ දැක්විය යුත්තේය යනාදී ‍වශයෙන් ද ගස් හා සංසර්ගයෙන් එම ගස් සංතර්පණයෙන් ආල වැඩිය යුතුය යන්නාවූ විශ්ව ධර්මය ලෝක ධර්මය පිණිස රටින් රට පුරෙන් පුර වීදියෙන් වීදිය කඩබක්කියෙන් කඩබක්කිය කනින් කන රැව් දෙවනු පිණිස ධර්ම යාත්‍රාව පිණිස එක් මුසොල්මානුවෙක් සිය කැමැත්තෙන් ගස් බැඳ ලන්නට කැමැත්ත දැක්වූ ශිලා ලිපියක් දැවැන්ත කුළක් මත කර එම කුළ ලෝකවාසී මනුප්‍රජාව වෙත ප්‍රදර්ශනය පිණිස රූපවාහිනී චැනල ද ශබ්දවාහිනී ගුවන් විදුලි චැනල ද අන්තර්මහාද්වීපික අන්තරජාල බහුරුකෝලමින් ද ප්‍රචාරණ කටයුතු සැණින් දියත් කළ මහාමාන්‍ය මැතින්දෙක් වහා ක්‍රියාත්මක වූයෙන් පරිවාර රාජමන්ත්‍රිකයෝද එමග ම ගත්හ. රාජ මන්ත්‍රී උල්ලාසය ද එලෙසම සමාප්තය.

කොසොල් රජ දුටු සීනයක් බඳු වූ මේ සාකල්‍ය පරිකල්පිත මනෝ වේදිකාව වචනයේ පරමාර්ථය ඉක්මවා සැබෑ වූයෙන් ලාංකීය ග්‍රාමයක එක්තරා අවැඩක් සිදුවුනැයි කටින් කට කටකතා පැතිරෙන්නට වූයෙන් සකල විධ මාධ්‍යකරුවෝ වහා රජගෙදර වටළා එහි බිහිදොර බිඳ රාජ සයනාගාරයට වන්නෙන් රාජේන්ද්‍රයාණෝ ඉමහත් තැති ගැන්මෙන් යුතුව මාධ්‍යකරුවන්ගෙන් මෙලෙස විචාරන්නට වූහ.

"තොප කුමන ආරවුලක් හේතුවෙන් මේ අනිච්චාවේ මාගේ යහන් ගබඩාව වටලන්නේද? "

"ලංකීය පොලෝතල භාරකරුවාණෙනි. ලංකා ඝන නාථයෙනි. අප මෙතැන තොප යහන් වටලා තොස නොවන්නේය. කිමදැයි අර මුසොල්මානුවා ගස් බැඳ ලූයේ දැනගනු රිසියෙනි මේ අස්ථාන චාරිකාව. "

"අහා! එම්බා මාධ්‍යකරුව. තොප නොදන්නෙහි ද පරිසරය වටපිටාව තොරම්බල් වීමෙන් රටවැසියන් විඳින ආරෝව? ඊට හේතු කිමදැයි කේවට්ටයන් නහුතයක් විමර්ශන- පර්යේෂණ- සමීක්ෂණ- විචාරක වාර්තා අනුසාරයෙන් සොයා ගෙන ඇති බව තොපි නොදත්තහු ද? සියළු ගස්හු ලැජ්ජාවෙන් තැවී ඇත්තාහුය. උහු විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් මෙන් කම්සැප විරහිතව ගර්හිතව ඇත්තෝය. ගස් අරක් ගත් සියළු දෙවිදේවතාවෝ එනයින් කණස්සළු වන්නට පටන් ගෙන ඇත්‍ තෝය. දෙවියන් කෝප කොට කුමන සංවර්ධනයක් ද පත්‍ර සගයිනි? එනයින් ම විසින් චක්‍රලේඛයක් විහිදා ඇත්තේ පහුගිය ජුලයි මාසයේ ජලවක චන්ද්‍ර මාසා දින ව්‍යතිපාත යෝගයෙන් විෂ්ටි කරණයෙන් ශුක්‍ර හෝරාවෙන් රවි පංචම හෝරාවෙන් සියළු මනුසතුන් විසින් ගස් වන්දනාමාන කරනු පිණිසත් පසඟ පිහිටුවා ගස් වැඳීමත් තත්ක්ෂණ කාලයක් ගසකට බැඳී සිටීමත් හැකි සෑම විටකම රූක්ෂසයන් හා රමණගත වන්නටත් රාජනියෝගාදියෙන් වෘතපූරණව ක්‍රියාත්මක කරවන ලෙසිනි. දැන් බලව. රටේ සමෘද්ධිය ඉස්තීරය! දෙවියන් සංතෝෂයෙන් අමා ඵලය ලකට පහල වනු ඇත. කේතුමතිය පොලෝතලයෙන් මතුවනු ඇත. සුරභිදෙන අරලිය මන්දිරයට නැට්ට වනාගෙන පිඹගෙන පිම්මේ එනු ඇත. එසේ වූ කල නුඹලා කුමන ආරූඨයකින් මා යහන් ගබඩා අසල නිදි වරවු ද?"

"ඔහෝ! රාජෝත්තමයිනි, ඔබගේ අසදෘශ නුවණ! දිඝායූ වේවා මහරජුනි, දීර්ඝායු වේවා!! අපි දු වහා ගොස් අසළ ඇති ගස්වල බැඳී රමණගතව එ ගස් අරක් ගත් දෙවිදේවතාවුන් ට ද ට්‍රිබලැක්ස් පෙන්වා උන් අක්ෂි සතපා -සංතර්පණයෙන් අපගේ සියළු දොස් වහා දුරු කර ගන්නෙමු. "

විද්‍යුත් අවිද්‍යුත් සර්වලෝක මාධ්‍යකාරකයන්ගේ උල්ලාසය ද එලෙසින් සමාප්ත විය.

6 comments:

  1. This is my first visit. You are a talented writer. Good Luck!

    ReplyDelete
  2. මුසුප්පුවටද වික්ෂිප්තියටද පැමිණි කල්හි හාස්‍යය රෝග ලක්ෂණයද ඖෂධයද වෙයි. ඖෂධයෙන් කැළඹී සිටිමි.

    ReplyDelete
  3. හප්පච්චියේ අර වාල්මිකියා කොලා වගේ කොරන්න වේවිද අපිටත්.....

    ReplyDelete
  4. නියම ලිපියක්.ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නා දී ඇත...

    ReplyDelete
  5. ස්තුතියි සැමට.

    :)

    මොකද්ද හේමලයෝ වාල්මිකී සීන් එක?

    ReplyDelete
  6. රත්නාකර (නම ෂුවර් නැත ) කියන පල් හොරා තමන්ගේ පව්ලේ අය තමන් කොරන වැරදිවල හවුල් කාරයෝ නොවෙන බව දැනගෙන කල කිරිලා ගහක් මුල ඉඳ ගත්තාලු.......අන්තිමට ගහ මූ වටේට වැඩිලා...රැවුලේ කුරුලු කූඩු බැඳිලා...අන්තිමට නැගිට්ටේ වල්මිකී වෙලාලු.....:)

    ReplyDelete